ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි,

අපේ හිත්වල හටගන්නා අකුසල් දුරුකර ගන්න බුදුරජාණන් වහන්සේ ලස්සන උපක‍්‍රමයක් පෙන්වලා දෙනවා. ඔන්න අපි හිතමු කෙනෙකුට අකුසලයක් මුල් කරගෙන අර්බුදයක් හටගන්නවා කියලා. දැන් එයා කල්පනා කරන්න ඕන මෙන්න මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ‘මට මේ අර්බුදය ඇතිවුණේ අකුසල අරමුණක් සිතන්න ගිහිල්ලයි. එ් නිසා මම, යම් පාපී අකුසල් ඇද්ද එ්ක ප‍්‍රහාණය කරගැනීම පිණිස, මේ ජාතියේ අරමුණු මෙනෙහි නො කොට, රාග, ද්වේෂ, මෝහ ප‍්‍රහාණය වන කුසල් අරමුණක් මෙනෙහි කළ යුතුයි.’ එයා සිතිය යුත්තේ අන්න එ් විදිහටයි. එ් කියන්නේ අකුසල් සහගත අරමුණ වෙනස් කරලා, කුසල් අරමුණකට සිත යොමුකිරීමයි.

අපි කියමු, කවුරු හරි කෙනෙක් අපිට බැණ්නා. අපි ඔන්න එ් බැණපු එක මෙනෙහි කර කර ඉන්නවා. එතකොට හටගන්නේ ද්වේෂයයි. එයා හඳුනාගන්න ඕන, ‘ඔන්න මට අකුසලයක් හටගත්තා. මේක මගේ භාවනාවට බාධාවක්. මේ විදිහට ධර්ම මාර්ගයට බාධාවක් ඇතිවෙන කරුණු සිත සිතා සිටීමෙන් මට අයහපතක් මිසක් යහපතක් නම් සිද්ධ වෙන්නේ නෑ. එ් නිසා මම මේ සිතුවිල්ල වෙනස් කරන්න ඕන. වෙනස් සිතුවිල්ලක් සිතන්න ඕන’ කියලා ඔන්න එයා ඊට පස්සේ මෛත‍්‍රිය සිතන්න පටන් ගන්නවා.

මෛත‍්‍රිය කියන්නේ කුසල අරමුණක්. කලින් එයාට තිබුණේ ද්වේෂය. එ්ක බැහැර කරලා කුසල් අරමුණක් මෙනෙහි කරන්න පටන් ගත්තා. එ් විදිහට කුසල් අරමුණ මෙනෙහි කරන කොට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හටගත් ළාමක අකුසල් ස්වභාවයක් තිබුණා ද එ්ක ප‍්‍රහාණය වෙලා යනවා.

ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘‘එ් විදිහට සිතින් (තේසං පහානා අජ්ඣත්තමේව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එ්කෝදි හෝති සමාධියති) අර අකුසලය ප‍්‍රහාණය වෙනකොට, සිත සන්සිඳෙන කොට, සුවපත් වූ එක අරමුණක තියාගෙන සිත පවත්වන්න පුළුවන්.

එ් වගේම දේශනා කරනවා ”මහණෙනි, මේක හරියට දක්ෂ වඩුවෙක් කරන වැඩක් වගේ. ඔන්න ලෑල්ලක ඇණයක් ගහලා තියෙනවා. වඩුවාට දැන් මේ ඇණය ගලවන්න ඕන. වඩුවා එ් ඇණය ගැලවීම පිණිස වෙන ඇණයකින් අර ඇණයට තට්ටු කර කර අර ඇණය උස්ස උස්සා අයින් කරනවා. එ් වගේ තමයි මේක කළ යුත්තේ.” බලන්න මේ උපමාව.
මේකෙන් පේන කාරණය තමයි, කුසල් වැඞීමට ධර්මය වගේ ම තමාගේ දක්ෂකමත් උපකාරී වෙනවා. තමන් එ්ක තේරුම් අරගෙන ක‍්‍රියා කරන්න දක්ෂ නැත්නම් එ් කාරණය කරන්න බෑ. දැන් ලෑල්ලක ඇණයක් ගහලා තියෙනවා. එතකොට එ් ඇණේ ගලවන්න ඕන. එයා ගාව මිටියක් මොකුත් නෑ. එ් නිසා වෙන ඇණයකින් තමයි තද කර කර ගලවන්න ඕන. එහෙම නම් එයා දිගට ම උත්සාහ කරන්න ඕන.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘‘එ් විදිහට දිගින් දිගට ම කරලා ලෑල්ලේ වැදුණු අර ඇණය ගලවලා දානවා වගේ එයා සිතේ තිබුණු එ් අකුසල අර්බුදය බැහැර කරනවා.” දැන් අපි ඉගෙන ගත්තේ මෙනෙහි කර කර ඉන්න යම් නිමිත්තකින් අකුසල් හටගන්නවා ද එ්ක කුසල නිමිත්තකට මාරු කළ යුතුයි කියලයි. ඉතින් ඔබටත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ සුන්දර අවවාදය අකුසල් ප‍්‍රහාණය කර ගැනීම පිණිස ම උපකාර වේවා!

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

මහාමේඝ 2015 උඳුවප් කලාපය
WWW.MAHAMEGHA.LK