පින්වතුනේ, පින්වත් දරුවනේ,

ආර්ය සත්‍යය අවබෝධ කරගන්න බැරිව බොහෝ දෙනෙක් සතර අපායේ දුක් විඳිනවා. එහෙම දුක් විඳින එක අපායක විස්තර තමයි පේතවත්ථුවල තියෙන්නේ. ඒ වගේම පින් කරගත්තු අය දෙව්ලොව ඉපදුණු ආකාරය විමානවත්ථුවල දැක්වෙනවා.

එක සිද්ධියක් තියෙනවා. මම කලින් හිතාගෙන හිටියේ මේක ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා කියලා. නමුත් ඒක කියන්නේ බුදුරජාණන් වහන්සේමයි. ඔන්න එක්තරා සැඩොල් ස්ත‍්‍රියක් පාරේ එද්දී බුදුරජාණන් වහන්සේ ඒ ඉස්සරහට වඩිනවා. වැඩම කරලා කියනවා, (උන්වහන්සේමයි මේ ප‍්‍රකාශ කරන්නේ)

‘‘එම්බා සැඩොල් ස්ත‍්‍රිය, දැන් මේ ඔබ ඉදිරියේ සිටින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ සිරිපතුල් වැඳ ගන්න. ඔබ කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ වැඩම කළේ. අටලෝ දහමින් කම්පා නොවන ඒ රහතුන් ගැන හිත පහදවා ගන්න.”

එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ විසින් මෙයාව වන්දනාවට පෙළඹෙව්වා. එතකොට මේ සැඩොල් කාන්තාව උන්වහන්සේ දිහා බැලූවා. හිත පහදවා ගත්තා. පහදවාගෙන පහන් සිතින් වන්දනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩියා. දැන් මෙයා බුදුරජාණන් වහන්සේ වඩිද්දී ඒ පැත්ත හැරිලා වැඳගෙන බලාගෙන ඉන්නවා. එහෙම ඉන්න කොට ගවදෙනක් ඇවිල්ලා අර ස්ත‍්‍රියට අනිනවා. ඇනලා ඒ ස්ත‍්‍රිය මරණයට පත්වෙනවා. මරණයට පත්වෙලා මෙයා කෙලින්ම දෙවියන් අතර ඉපදුණා.

දෙවියන් අතර ඉපදිලා දවසක් මෙයා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. දිව්‍ය අප්සරාවක් හැටියට ඇවිල්ලා කියනවා,

‘‘වීරයන් වහන්ස, මම දැන් මහත් වූ දිව්‍ය ආනුභාවයට පත්වුණා. මම මේ නිකෙලෙස් වූ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ආවා.”

‘‘පින්වත් දෙව්දුව, ඔබේ මේ සිරුරෙන් රත්තරන් පාට රශ්මියක් විහිදෙනවා. විසිතුරු ආභරණවලින් සැරසිලා ඉන්නවා. ඔබ දිව්‍ය අප්සරාවන් පිරිවරා ඉන්නවා. මට වන්දනා කරන කවුද ඔබ?”

‘‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේමයි මාව වන්දනා කරන්න උත්සාහ කළේ. මං සැඩොල් ස්ත‍්‍රියක් වෙලා පාරේ ගමන් කරද්දී ඔබවහන්සේ මා ඉදිරියට වැඩම කරලා ඔබවහන්සේට වන්දනා කරන්න කිව්වා.

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම එදා ඔබවහන්සේට වන්දනා කළා. ඊට පස්සේ මං ඒ සැඩොල් ජීවිතයෙන් චුතවෙලා තමයි මේ දිව්‍ය ලෝකයේ උපන්නේ. ස්වාමීනී, මට දැන් උපස්ථාන කරන්න දිව්‍ය අප්සරාවන් ලක්ෂයක් ඉන්නවා. ස්වාමීනී, මම මේ පින කරගත්තේ ලෝකනාථ වූ මහාකාරුණික බුදුරජාණන් වහන්සේ නිසයි. මං ඒ නිසා බුදුරජාණන් වහන්සේව වන්දනා කරන්න පැමිණුනා.”

එහෙම කියලා ඒ දෙව්දුව වන්දනා කරලා, ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේටත් වන්දනා කරලා එතැනම අතුරුදහන් වෙනවා. එතකොට බලන්න, මේ මොකක් කරලාද? බුදුරජාණන් වහන්සේව ඇස් දෙකෙන් දැකලා හිත පහදවා ගෙන වන්දනා කරලා. බලන්න, කොයිතරම් යහපතක් ඉෂ්ට කරගෙන තියෙනවාද? එතකොට මේකෙන් අපට පේනවා, කෙනෙක් නියම විදිහට ඒක කරනවා නම් කොයිතරම් තියෙනවාද? ඔය කියාපු කොටස සඳහන් වෙන්නේ ‘චණ්ඩාලි දිව්‍ය විමාන වස්තුවේ.’එ

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !