මේ ලෝකේ මිනිස්සු නොයෙක් විදියට බෙදෙනවා. කුලය ගෝත්‍රය විතරක් නෙවේ. උඩරට පහතරට ජාතීන් ආදියෙන් අන් අයගෙන් වෙන්වී ඉන්න උත්සාහ කරනවා. කොයි අයුරින් බෙදුණත්, ගල් යුගය, කාර්මික යුග විදියට ගත්තත්, මිනිසා කොයි අයුරින් වර්ගීකරණය කළත් මිනිසා තුළ දිස්වන දුර්වලතාවල නම් වෙනසක් නැහැ. මහා ගුණයෙන් – පිනෙන් පිරුණු උතුමන් හැරුනු විට සමස්ත මිනිස් වර්ගයා සංසාරගත වූ පුරුදු අත්හරින්නට සමත් වුණේ නෑ.

ධම්මපදයේ ජාතක කතාවල එන චරිතවල ඇති දුර්වලකම් අදත් අප තුළ, අප වටා අපි තාම දකිනවා. මේත් ඒ වගේ ම චරිතයක්.

අතුල කියන්නේ ධර්මයට ආසා කරපු කෙනෙක්. තනියෙන් බණ අහන්න ගිය අතුලට හිත පැහැදුනා. බණ ටික ටික අහල බණ භාවනාත් පුරුදු කළා. දන්න අඳුනන අයත් බණ අහන්න එකතු කරගත්තා. නොදැනී ම පන්සියයක පිරිසක් එකතු වුණා. කාලයක් යනකොට අතුල මේ පිරිසට උපදෙස් දෙන කෙනා වුණා. හැමෝගෙම කල්‍යාණමිත්‍ර අනුශාසක මේ අතුල උපාසක. ධර්මෙට ආසා කරපු අතුල උපාසකට බණ අහන්න යනකොට මුල්තැන, සැලකිල්ල ලැබුණා.

දවසක් අතුල උපාසක තමන්ගේ පිරිසත් එක්කාසු කරගෙන හැන්දෑ යාමෙක බණ අහන්ට පූර්වාරාමෙ පැත්තට ගියා. එදා අපගේ රේවත රහතන් වහන්සේ පූර්වාරාම ප්‍රාසාදෙ ආලින්දයට වැඩියා. මහතෙරුන් වහන්සේලාට ආසන පනවලයි තිබුණේ. ඉතින් අපගේ රේවතයන් වහන්සේ මේ අසුනක වාඩි වුණා. ළඟ පාතක කවුරුවත් පේන්ට නැහැ. අපගේ මහෝත්තම වූ රේවතයන් වහන්සේ සමාධිය වඩන්න හරි දක්ෂයි. සල්ලිකාර සිටුවරයෙක් ඇඳුම් අල්මාරියෙ තියෙන ඕනෑම සළුවක් පොරවනවා වගේ ඒ උත්තමයා කැමති සමාපත්තියක් ලබන්ට, සුව සේ ම නිවන් සැප වළඳන්න දක්ෂයි. විවේක සිතින් සමාධියට සම වැදුනා. මේ ලෝකෙත් එක්ක තියෙන සබඳතා මොහොතකට නැවැත්වුවා.

ටික වෙලාවකින් අතුල උපාසක පිරිවරින් ආවා. දුරින් ම කවුරුත් දන්න කියන ප්‍රසිද්ධ භික්ෂුවක් ඉන්නවා. දෝත් මුදුන් තියලා වන්දනා කරලා මෙහෙම කිවුවා.

“ස්වාමීනී, අපේ පිරිසට ධර්මයක් දේශනා කරන සේක්වා!” තෙරුන් වහන්සේගෙන් පිළිතුරක් ලැබුණේ නෑ. දෙවැනි තුන්වැනි වතාවට කිවුවත් වෙනසක් වුණේ නෑ. අතුලට මේක මහා අපහසුවක් වුණා. පිරිසක් ඉදිරියේ මේක මහා අවමානයක් විදිහටයි දැනුනේ. හිතේ මහා අප්‍රසාදයක් හටගත්තා.

“හපෝ බෑයි නම් බෑ කියන්න එපැයි. ඇහුන්නෑ වගේ ඉන්නේ මොකටද. අපිට වෙන භික්ෂූන් නැතුවයැ බණ අහන්න.”

කට්ටිය එක්කම නැගිටලා යන්න ලෑස්ති වුණා. එතකොටම දුර තියා සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා දැක්කා. දුවලා ගිහින් සාරිපුත්ත රහතන් වහන්සේට මෙහෙම කිවුවා.

“අනේ ස්වාමීනී, අපි මේ බණ ටිකක් අහන්න ආවේ. කොහෙද අර හාමුදුරුවො මුකුත් කියන්නැතුව ඇහුන්නෑ වගේ ඉන්නවා. අනේ අපිට බණ ටිකක් කියන්න.”

පගේ සාරිපුත්තයන් වහන්සේ හිතුවා ‘ධර්මයට හරි ආසා පිරිසක් වගේ’ කියලා. ධාතු ආයතන ගැන පරම ගම්භීර දේශනාවක් කළා.

බණ අහන්න ම ඕන කියලා ගියාට අතුලගේ හිත හරි ගියේ නෑ.

‘ඔහොම කියන බණ කාටෙයි තේරෙන්නේ. ඇරත් ඒ බණ හරී දිගයි. අපට වෙන වැඩ නැතුවයැ.’

ඔය විදිහට හිත හිතා යන්න පිටත් වෙනකොට අපගේ ආනන්දයන් වහන්සේ වැඩ ඉන්නවා දැකලා ඒ පැත්තටත් ගියා. ගිහින් මෙහෙම කිවුවා.

“අප්පේ ඔබවහන්සේ ඉන්න එක කොයිතරම් හොඳ ද. අපි මේ ආවේ බණ අහන්න. රේවතයන් වහන්සේ අපිට බණ කිවුවේ නෑ නොවැ. ඒත් සාරිපුත්තයන් වහන්සේගේ බණ තේරෙන්නෑ. ඇරත් එච්චර දිගට කියනකොට කම්මැලි වගේ. අපිට ලස්සනට කාලීන බණක් කියනවා නම් හොඳයි.”

මෙහෙම කිවුවාම ආනන්දයන් වහන්සේ හිතුවා ‘මේ අයට ගැඹුරු ධර්මය තේරෙන්නෑ වගේ.’ කියලා දානය ගැන විනාඩි දෙක තුනක් බණ කියලා වැඩියා.

සිවුවනක් පිරිසට ම අපගේ ආනන්දයන් වහන්සේ දුටුවහම හරි සතුටුයි. ඒත් අතුලට එහෙම වුණේ නෑ.

“හපොයි මෙහෙමත් කරනව ද? අපෙන් බේරෙන්න වගේ වචන දෙක තුනක් කියලා දැම්මා. මොකෝ අපි දන් දෙන්න දන්නැතිවයැ.”

ආව එකේ භාග්‍යවතුන් වහන්සේටත් වැඳලා ම යනවා කියලා ගඳකිළිය පැත්තට ගියා.

“පින්වත් අතුල, අද බොහෝ පිරිවරකුත් සමඟ ඇවිත් විශේෂ කාරණාවක්වත් ද?”

“අනේ ස්වාමීනී, මම මේ අපේ අය එක්කරගෙන ආවෙ බණ ටිකක් අහන්න. රේවතයන් වහන්සේ ඉදිරිපස ම ඉන්නවා දැකලා බණ කියන්න ආරාධනා කළා ම බෑ කිවුවෙත් නෑ. මුකුත් නොකියා හිටියා. මට හරි මොකද වගේ මේ කට්ටියත් ඉස්සරහා. අකමැති නම් කෙළින් කියන්න එපැයි. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ ළඟට ගියා. උන්වහන්සේත් බණක් නම් කිවුවා සෑහෙන දිගයි. ඇරත් ඒවා තේරෙනවා මදි. එතකොට කිසි උද්‍යෝගයක් නෑ. පස්සේ ආනන්දයන් වහන්සේ ළඟට ගියා. උන්වහන්සේ ඇපෙන් බේරෙන්න වගේ වචන දෙක තුනෙන් බණ කිවුවා. එහෙමත් ඉතින් හරි නෑනෙ. ගොඩක් පිරිස ඉන්නවනේ.”

නිවන් දකින්න ආසාවෙන් බණ අහන්න ආවට බණ අහලා තමන්ට හිතිච්ච දේ අතුල කිවුවා.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් අතුල, ඕක අලුත් දෙයක් නො වේ. අද ඊයේ දෙයක් නො වේ. නිශ්ශබ්දව හිටියත් බණිනවා. වැඩිපුර කථා කළත් බණිනවා. ගානට කථාකරල හිටියත් බණිනවා. මේ ලෝකේ නින්දා නොලබපු කෙනෙක් නම් නෑ.
නින්දාව විතරක්වත්, ප්‍රශංසාව විතරක්වත් ලබපු මිනිසෙක් අතීතෙ හිටියෙත් නෑ. වර්තමානෙත් නෑ. අනාගතේ පහළ වෙන්නෙත් නෑ.”

මේ විදිහට පැවසුවාට පස්සෙ අතුල උපාසකට කාරණේ තේරුණා. අඩුපාඩු හදාගත්තා.

අතුල උපාසක විහාරෙට යන්න පටන් ගත්තේ පිරිසිදු හිතින්. නමුත් තමුන් දන්නෙම නැතිව පිරිස අතර කැපී පෙනීමට ආසා කළා. පරණ පුරුද්ද ඉස්සරහට ආවා. හිතුණ හිතුණ දේ කියෙව්වා.

අපිටත් වෙන්නෙ ඔය ටික ම යි. කරුණු කාරණා හොයන්නෑ. මතුපිටින් පේන දේ විවේචනය කරනවා. පිරිසක් එකතු වුණ තැනක දී, විවාහ මංගල්‍යයක දී, අවමඟුලක දී කථා වෙන්නේ අනුන්ගේ දේ ම යි. විවේචනයක් ම යි. අව්ව දිගට ම පෑවුවොත් දොස් කියනවා. දිගට ම වැස්සොත් බණිනවා. ඒ තබා බස්රථය, දුම්රිය පමා වුණොත් ඒකටත් දොස් කියනවා.

රජයටත් දොස් කියලා, අහස පොළොවටත් දොස් කියලා, නෑදෑයොන්ටත් දොස් කියලා, ගෙදර අයටත් දොස් කියලා බණ ටිකක් අහන්න කියලා විහාරයට ගියත් ඔබට පේන්නෙ දෝසය ම යි. සංසාර පුරුද්දක් විදිහට ඇතුළාන්තෙන් ම ආවට… තමන්ගේ විශ්වාසවන්ත කෙනත් එක්ක විවේචනය කළාට… තමන් නීච වෙන එකෙන්, කර්ම රැස්වෙන එකෙන් බේරෙන්න බැහැ.

කරුණු සොයා නොබලා නින්දා කිරීම නුවණැතියන්ගේ වැඩක් නොවෙයි. නුවණ නැති අයගේ වැඩක්. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ වගේ පස් දෙනෙක් ඉන්නවා. පළමුවෙනි කෙනා දීලා බණිනවා, “මං දෙනවා. දෙන එක ගන්න නම් දන්නවා.” කියලා. දෙවෙනියා එකට ඉඳලා බණිනවා, “අපෝ මං හිටියනේ. එයාගේ හැටි මං දන්නවා.” කියලා. තුන්වෙනියා කට ඇරගත් ගමන්. කියන ඕන දෙයක් පිළිගන්න ලෑස්තියි. නුවණින් හිතන ස්වභාවයක් නෑ. කියන පැත්තට හැරෙනවා. හතරවෙනි කෙනා වහා වෙනස්වන සුලුයි. ශ්‍රද්ධාව, භක්තිය, ප්‍රේමය ටිකයි තියෙන්නේ. පොඩි දෙයින් කලකිරිලා බැණ බැණ යනවා. පස්වෙනි කෙනා මෝඩයි. කුසල් අකුසල්, යහපත අයහපත මොකවත් තේරෙන්නෑ. ඒ නිසා ඔහේ බැණ බැණ ඉන්නවා. (අවජානාති සූත්‍රය, අං. නි. 3)

මේ හැම දෙනාම රැස්කර ගන්නෙ පිනක් නම් නෙවෙයි. ඒ නිසා අපි කළ යුත්තේ තවත් කෙනෙකුගේ තිබෙන්නා වූ ගුණ ම සොයා බලා පැවසීම යි. එහෙම නොකරපු අවස්ථාවල ලැබුණ විපාක අපි හොඳින් ධර්මය ඇසුරින් දැනගෙන තියෙනවා. ඒ නිසා මේ කාරණා පහෙන් කරන චෝදනාවලට සැලෙන්න හොඳ නෑ. ඒ වගේ ම නුවණැති උතුමෙකුගෙන් දොස් ලබන දේවල් කරන්න හොඳත් නෑ. අතුල උපාසක වගේ හැම දේක ම දෝසය හොය හොයා යන්න හොඳ නෑ. නැත්නම් අපිටත් වෙන්නේ මේ ටික ම යි.

 – අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි