නව ව්‍යවහාරික වර්ෂයක පමණක් නොව නව දශකයක ද උදාව වූ 2020 ජනවාරිය සමස්ත ලෝකය ම පිළිගත්තේ උත්සවශ්‍රීයෙනි. එහෙත් ඒ ප්‍රීතිමත් භාවයට එතරම් ආයුෂ තිබුණේ නැත. වර්ෂයේ පළමු සතිය තුළ ම අළු යට වූ ගිනි පුපුරු ගිනි ජාලාවන් මවමින් දැල්වී ගියේ ඇමෙරිකානු හමුදාවන්ගේ රොකට් මිසයිල ප්‍රහාරයන්ගෙන් ඉරාන හමුදා ප්‍රධානියා ඝාතනය කරමින් පමණක් නොව සමස්ත ලෝකවාසීන් තුළ ම අවිනිශ්චිත ස්වභාවයක් ද ලෝක යුද්ධයක උණුසුමක් ද උපදවමිනි. අප මේ සටහන තබන්නේ ඒ පසුබිම තුළ ය.

මෙම සටහන තබන විට උදා වී ඇති තත්ත්වය නම් ඉරානය විසින් එල්ල කරනු ලබන ප්‍රබල ප්‍රතිප්‍රහාරයකට සූදානමින් ඇ. එ. ජ. විසින් සිය බල කඳවුරු සූදානම් කරලීම යි. මෙය ඔබ අතට පත් වන විට තත්ත්වය කවරාකාර දිශානතියකට යොමු වී තිබේදැයි අපි නොදනිමු. එහෙත්, පැහැදිලි ව ම පෙනී යන්නේ ලෝකයේ බලාධිපත්‍යය තහවුරු කර ගැනීමට කුළල් කා ගන්නා ලෝක බලවතුන්ගේ පොරපිටියක නරඹන්නන් ද පීඩිතයන් ද බවට පත් වන්නට අපට සිදු වන බව යි.

“ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට ජය මඟුල්” යැයි ජන සම්මතයේ ව්‍යවහාර කෙරුණ ද මේ වනාහී එවැනි අහඹු වාසනාවක් සලසන්නක් නොව තෝරු මෝරු සටන් වදිනා විට හාල්මැස්සන් ද තැලී පොඩී වී යන්නාක් මෙන් ලෝක බලවතුන්ගේ බල පොරය හමුවේ අපට ද තාඩන පීඩන විඳින්නට සිදු වන අවස්ථාවකි. එකිනෙකා නසා දමමින් ඔවුන් මේ බලාපොරොත්තු වන්නේ ස්වකීය බලාධිකාරය පවත්නා තනි අධිරාජ්‍යයක ගොඩනැගීම යි. ‘කෙසේ හෝ ජය ගනිමු’ යැයි සිතා ඔවුන් කරනා මේ අරගලය, දෙපසේ ම අගයකින් මිනිය නොහැකි මානව සම්පත් ද අති මහත් වටිනාකමකින් යුතු භෞතික සම්පත් ද සහමුලින් ම විනාශ කරලන්නක් බව ඔවුන් තේරුම් ගන්නේ නැත. අවියෙන්, රුධිරයෙන් ලබනා ජයක් වෙනුවෙන් කරන මේ නින්දිත වෑයම තම තමන් ව ම අනතුරට පත් කරන බව තේරුම් ගත්තේ නම් ඔවුන් සමස්ත මානව සංහතියේ පැවැත්ම ස්වකීය බල තණ්හාව වෙනුවෙන් මෙසේ හෙට්ටු කරන්නේ ද නැත.

“පරේ ච න විජානන්ති – මයමෙත්ථ යමාමසේ
යේ ච තත්ථ විජානන්ති – තතෝ සම්මන්ති මේධගා”

“මේ විදිහට කෝලාහල කර ගන්න ගියොත්, අපි ම යි විනාශ වෙන්නේ’ කියලා මේ කෝලාහල කරන උදවිය දන්නේ නෑ. නමුත්, ‘මේ කෝලාහලවලින් වැනසෙන්නේ අපි ම යි’ කියලා යම් කෙනෙක් දන්නවා නම්, ඒ තුළින් ම යි කෝලාහල සන්සිඳෙන්නේ.”

(ධම්ම පදය – යමක වග්ගය)

සම්බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වී වදාරණ ලද පරම අවිහිංසාවාදී, මානව හිතවාදී චින්තන රටාව ඔවුනට හුරුපුරුදු වූවක් නො වේ. බලවතා විසින් දුබලයා මැඩ පැවැත්වීම නම් න්‍යාය හැර මානව වර්ගයාගේ පොදු යහපත, හිතසුව පිණිස භාවිත කරන න්‍යායන් ඔවුන්ගේ න්‍යායපත්‍රයන්ගේ ප්‍රමුඛ වී නැත. එහෙයින් ම සියල්ලෝ අනතුරේ හෙළන බලකාමී හැසිරීමක් මිස මතුදු අනෙකක් ඔවුන්ගෙන් අපේක්ෂා කළ නො හැකි ය.

ලෝකයේ තත්ත්වය එබඳු වුව ද අවෛරයෙන් වෛරය මැඬලන සුභාෂිත උරුමය අප සතු ය. ඒ ධර්ම පර්යායන් අසා ඇත්තවුන් වූව ද ලෝවැසියන් ලෙස අපි මේ පොදු දුර්භාග්‍යයෙන් මිදී නොයන්නෙමු. කළ හැකි සහ කළ යුතු ම දෙය නම් නැසී වැනසී යන කය ඒ අනතුරට විවෘත ව තිබිය දී ම මෙසේ අකුසල මූලයන් බලවත් ව නැසී වැනසීමට ම පත් වන විපත් පත් ලෝකය තුළ සිත රැකගෙන නැගී සිටිමින්, කවර මොහොතක හෝ එළඹෙන මරණය හමුවේ සුගතිය ආරක්ෂා කර ගැනීම යි.