මේ සටහනට මුල පුරන අද දවස 2020 පෙබරවාරි 4 වෙනිදා… ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සැමරුම වෙනුවෙන් සිංහ ධජ ඉහළට නැගුනු දවස…

උදෑසනින් ම අන්තර්ජාල ප්‍රවෘත්ති වෙත අවධානය යොමු කළ මගේ නෙත ගැටුනේ ගූගල් මුල් පිටුව සිංහ ධජයෙන් සැරසී ඇති ආකාරය යි. සුළඟේ ලෙලදෙන ඒ සිංහ ධජය මගේ සිතේ මා උපන් රට වෙනුවෙන් ප්‍රබල සංවේදනයක් සනිටුහන් කරන්නට සමත් වුණා.

උදෑසන ම ප්‍රවෘත්ති බලන්නට සිත් වුණේ ලොව පුරා ජනතාව මරණ බියෙන් තැති ගන්වමින් පැතිර යන නව කොරෝනා වෛරසයේ නවතම තත්ත්වය දැන ගැනීමට උපන් අවශ්‍යතාවය නිස යි. ඊට පළමු දුටු සිංහ ධජය මගේ නෙතට සතුටු කඳුළක් ගෙන ආ කාරණයක් සිහිපත් කරලූවා. ඔව්… ලෝකය රෝ දුක් මරණ බියෙන් වෙලී සැළුම් කනවා. එහෙත්… මේ සිංහ ධජය සෙවණේ උපන් අප, ලොව පෙළන සියලු බිය හමුවේ නිසැකව ම දෙලොව රැකවරණය ලද හැක්කවුන් බවට පත්ව සිටිනවා. කවර මහිමයක් ද…! සිංහ ධජයට බෝ පත් සතරක් එක් කළා වූ ලොව විශිෂ්ටතම සොයාගැනීමේ හර පද්ධතිය ජීවන දර්ශනය කර ගත්තවුන්ගේ ලාභය යි ඒ…!!!

කුමක් ද මේ නව කොරෝනා…?

2019 වර්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් වාර්තා වූ රෝගියෙකුගේ රෝග කාරකය ලෙස හඳුනාගත් වෛරසය යි මෙනමින් හඳුන්වන ලද්දේ.
අද දිනය (2020. 02. 04) වන විට නව කොරෝනා වෛරසය නිසා සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 426ක් බවත්, ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20625ක් බවත් චීන වාර්තා සඳහන් කොට තිබෙනවා. කොරෝනා ආසාදිත මරණ අතරින් එකක් පමණයි මේ දක්වා චීනයෙන් පිටත දී වාර්තා වී තිබෙන්නේ.

නව කොරෝනා වෛරසයේ ආරම්භය ගැන මෙතෙක් නිශ්චිත තහවුරු කිරීමක් සිදු කොට නැහැ. නාගයින්ගේ මස් අනුභවය නිසා මෙම රෝගය ඇති වූ බවට මූලික ව මතයක් ඉදිරිපත් කෙරුණා. එසේ ම චීනයේ ජෛව විද්‍යාත්මක පර්යේෂණයක දී අත්වැරදීමකින් මෙම වෛරසය පරිසරයට එක් වූ බවට ද යම් යම් පිරිස් චෝදනා කොට තිබුණා.

බොහෝ සෙයින් මීට සමාන වෛරස වවුලන් තුළ දැකිය හැකි බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. මිනිසුන් හට මෙම වෛරසය ගෙන ආ මූලාරම්භකයා වවුල් විශේෂයක් වීමට හෝ වවුලන් නිසා ආසාදිත වූ සත්ව කොට්ඨාසයක් වීමට ඉඩ ඇති බව යි ඔවුන් පවසන්නේ. වන සත්ව මාංශ ආහාරයට ගැනීම සුලබ චීනය තුළ ඒ ආකාරයෙන් ආසාදනයක් පැතිර යාම පහසුවෙන් සිදු විය හැක්කක්.

මෙය මේ තාක් හඳුනාගෙන තිබූ වෛරසයක් නොවෙයි. එනිසා එයට මුහුණ දීමට හැකි විශේෂිත ඖෂධයක් සොයා ගැනීමට හෝ එන්නතක් නිෂ්පාදනය කිරීමට මාස ගණනාවක් හෝ වසර ගණනාවක් වුවත් ගත විය හැකි බව යි ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්නා දෙන්නේ.

අපේකම රැකි මනුස්සකම

මේ රෝගයේ පැතිරීමත් සමඟ වූහාන් නගරය සීල් තබන්නට චීන බලධාරීන් පියවර ගත්තා. මිලියන සංඛ්‍යාත චීන වැසියන් සේ ම විදේශිකයන් බොහෝමයක් ද ඒ ආකාරයට නගරය තුළ සිරගත කෙරුණා.

විශේෂයෙන් ම උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් චීන විශ්වවිද්‍යාලවලට ඇතුළත් ව සිටි තරුණ දූ දරුවන් බොහෝමයක් ද වූහාන්වල සිටියා. ලෙඩදුක් ජීවිත කරා පැමිණෙද්දී ජාති, ආගම්, වයස් ආදී කිසි භේදයක් නැහැ. ඔවුන් සියල්ලෝ එක සේ ම ජීවිත හානි පමුණුවන අනතුරකට මුහුණ දී සිටියා.

ඇමෙරිකාවත්, ජපානයත් චීන බලධාරීන් හා සාකච්ඡා කොට තම රටවාසීන් වූහාන්වලින් නිදහස් කොටගෙන තම රටවලට ගෙන්වා ගැනීමට කටයුතු කළා. ඒ අතරේ, ඔවුන් තරම් බලවත් ආර්ථික මට්ටමක නොසිටියත්, තාක්ෂණික පහසුකම් අතින් ඔවුන් තරම් ඉදිරියෙන් නොසිටියත් මනුස්සකම් අතින් බොහෝ ඉහළින් අප සිටින බව යළිත් තහවුරු කරමින් වූහාන්හි සිරව හුන් ශ්‍රී ලාංකේය සිසු පිරිස මුදවාගෙන මෙරටට ගෙන ඒමට අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ බලධාරීන්, ආරක්ෂක අංශ සමඟ ඒකාබද්ධ ව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා.

වූහාන්හි සිරව සිටිය දී ඒ පිරිස් අන්තර්ජාලයට යොමු කළ සටහන්වලින් ඔවුන් මුහුණ පා සිටින අන්තරාදායක තත්ත්වයත්, සිටින තැන ම සිරකරුවන් ව සිටීමේ මානසික පීඩාවත්, ලේ ඤාතීන්ගේ රැකවරණය පිණිස වන පැතුමත් ඉස්මතු කෙරුණා. ඔවුනගේ හදගැස්ම හඳුනාගෙන තම ජීවිත අවදානම පවා පසුපසට ඇද දමා, ඔවුන්ට රැකවරණය සලසා දීම ප්‍රමුඛ අරමුණ බවට පත් කොටගෙන ඒ වෙනුවෙන් ඇපකැප වූ පිරිස සහ මේ වනවිටත් නිරෝධායන මධ්‍යස්ථානයන් තුළ ඔවුනගේ නිදුක් නිරෝගී සුවපත් භාවය වෙනුවෙන් ඇප කැප වී සිටින පිරිස අප හැඳින්විය යුත්තේ වීරයන් ලෙස යි. ඔවුනට උතුම් තෙරුවන් සරණින් සෙත් වේවා!!! දෙවියෝ ඔවුන් රකිත්වා!!!

පැතිරෙන්නේ කොහොම ද?

නව කොරෝනා වෛරසය ද ඉන්ෆ්ලුවෙන්සා රෝගය ආකාරයෙන් ම රෝගී වූවෙකුගේ කැස්සෙන් සහ කිවිසුම් යාමෙන් පැතිර යන්නක්. ඒ ඔස්සේ ආසාදිතයාගෙන් පිට වන වෛරස් රෝගකාරක අසල සිටින්නෙකු විසින් හුස්ම ගැනීමෙන් ඔහුට ඇතුළු වනවා. එසේ නොවුණහොත් ඒ රෝගකාරක අවට මතුපිටවල තැන්පත් වනවා. යමෙකු ඒ මතුපිටවල් ස්පර්ශ කොට ඇස, නාසය හෝ මුඛය ස්පර්ශ කළ විට ඒ හරහා ඔහු ද ආසාදනය විය හැකියි.

ඒ නිසා, නිතර දෑත් සේදීම, පොදු ප්‍රවාහන සේවා වැනි පුද්ගලයන් බොහෝ කොට ගැවසෙන ස්ථානවල දී ඇස, නාසය හෝ මුඛය ස්පර්ශයෙන් වැළකී සිටීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු භාවිතයේ යෙදවීම මේ රෝගයෙන් ආරක්ෂා වීමට උපකාරක යි. මේ දක්වා අප රට තුළ රෝගයේ පැතිර යාමක් වාර්තා නොවන නිසා මුඛ ආවරණ පැලඳීමේ දැඩි අවශ්‍යතාවයක් නැහැ.

එහෙත් ගැටලුව මෙම වෛරසය ආසාදිත වූවන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට යම් කාලයක් ලබා ගැනීම යි. එනිසා, මුඛ ආවරණ පැලඳීම නොකළ යුත්තක් කියා බැහැර කළ නොහැකියි. කෙසේ නමුත්, යම් අවස්ථාවක රෝග පැතිරීමක් වුවහොත් හෝ සෞඛ්‍ය බලධාරීන් විසින් උපදෙස් දෙනු ලැබුවහොත් මුඛ ආවරණ පැලඳීම අනිවාර්යයෙන් ම කළ යුතු වනවා.

කැස්ස සහ කිවිසුම ඇති පුද්ගලයන් අනෙක් පුද්ගලයන් ඉදිරිපිට එසේ නොකර සිටීමත් මෙවැනි රෝගී තත්ත්වයන් පාලනයෙහි ලා ඉතා වැදගත් බව අප කවුරුත් සිහි තබා ගත යුතු යි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක

– නිතර ම තම දෑත් සබන් ගා සෝදා ගත යුතු අතර මෙය පොදු ස්ථානයක සිටී නම් කළ යුතු ම ය. සබන් වෙනුවට දෑත් පිරිසිදු කරන වෙනත් ආදේශක වුව ද භාවිත කළ හැකි ය.

– කහින විට සහ කිවිසුම් පිට කරන විට ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් මුව සහ නාසය වසා ගැනීම සඳහා භාවිත කළ යුතු ය. ටිෂූ කඩදාසි භාවිතයෙන් පසු ක්‍රමානුකූල ව ඉවත දැමිය යුතු ය. කහින විට සහ කිවිසින විට වැලමිට නවා මුව සහ නාසය ආවරණය වන පරිදි එය කළ යුතු ය.

– සෑම විට ම ශ්වසන රෝගීන් ඇසුරෙන් ඉවත් වී සිටිය යුතු අතර පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැළකී සිටිය යුතු ය.

– ශ්වසන රෝග ලක්ෂණ පහළ වූයේ නම් වහා ම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ලබා ගත යුතු ය.

– මස්, මාළු ආහාරයට ගැනීමේ දී හොඳින් පිසින ලද ඒවා ආහාරයට ගත යුතු ය.

– වන සතුන්ගෙන්, හෝ සත්ව ගොවිපළවල සේවය කරන්නේ නම් රෝගී සත්වයන්ගෙන් ඈත් වී සිටිය යුතු ය. මිය ගිය සතුන් පරිභෝජනයට නොගත යුතු ය

තත්ත්වය බරපතළ ද?

2003 වර්ෂයේ පැතිර ගිය සාර්ස් වෛරසය තරම් ඉහළ මරණ ප්‍රතිශතයක් නව කොරෝනා වෛරසයේ පෙන්නුම් කරන්නේ නැහැ. නමුත්, සාර්ස් වෛරසය පැතිර ගිය ආකාරයට වඩා ශීඝ්‍ර සහ ඉහළ පැතිරී යාමේ ස්වභාවයක් ඇතිවයි මෙම වෛරසය ක්‍රියාත්මක වන්නේ. එනිසා, සාර්ස් වෛරසය තරමට ම හෝ ඊටත් වඩා ප්‍රබල ව නව කොරෝනා වෛරසය අයහපත් බලපෑම් ඇති කරලනු ඇති බවයි අනුමාන කරන්නට තිබෙන්නේ…

මේ ප්‍රශ්නය දැන් විතර ද?

කිසිසේත් ම නැහැ… මෙම වෛරසය ම නොවූවත් මේ ආකාරයෙන් බොහෝ මිනිස් ජීවිත අහිමි කරලමින් ලෝකයේ වරින්වර පැතිර ගිය වසංගත තත්ත්වයන් තිබුණා.

සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි කාලයේ දී විශාලා මහනුවර දුර්භික්ෂයක් සමඟ පැතිරී ගිය රෝග තත්ත්වය නිසා බොහෝ මරණ සිදු වූ බව සඳහන්. දෙරාක් දොරක් පාසා ඇටසැකිලි වන් ව දිරාපත් වූ ද මිය ගියා වූ ද පිරිස් සිටි එකල විශාලාවේ මළ සිරුරක් බැහැර කරන්නට හෝ අයෙකු නොවූ බව ද කියැවෙනවා.

නාගයන් විසින් පිට කරන ලද විෂ දුම් ආඝ්‍රාණයෙන් දඹදිව ජනයා අතර පැතිර ගිය ‘අහිවාතක’ නම් රෝගයක් ගැන ද අටුවා ග්‍රන්ථයන්හි දැක්වෙනවා.

මේ මහා භද්‍ර කල්පයේ පළමුව ලොව පහළ වූයේ කකුසඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. එකල ලක්දිව හැඳින්වූයේ ඕජදීපය යනුවෙනු යි. කකුසඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඕජදීපයට වඩින ලද්දේ පුණ්ණකාල නම් රකුසෙකු නිසා හට ගත් පජ්ජරක නම් උණ රෝගයක් වැළඳී මහත් උපද්‍රව ඇති ව තිබුණු කාලයක දී බව මහාවංශයේ සඳහන් වනවා. කකුසඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් මුළු දීපයෙහි ම වූ පජ්ජරක රෝගය සන්සිඳී ගියා.

මේ මහා භද්‍ර කල්පයේ දෙවනු ව ලොව පහළ වූ කෝණාගමන සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකල වරදීපය නම් වූ මෙබිමෙහි දුර්භික්ෂයකින් බලවත් උපද්‍රව හටගත් කාලයක වරදීපයට වැඩම කළ බව ද මහාවංශයේ සඳහන්. ඒ උතුම් බුද්ධානුභාවයෙන් කෝණාගමන බුදු සසුන අතුරුදහන් වන කාලය දක්වා ම නිසි කලට මනා කොට වැසි වැස්ස බව යි කියැවෙන්නේ.

ඒ අයුරින් ම සිරි සඟබෝ රජ දවස රක්තාක්ෂි නම් රකුසෙකු නිසා පැතිර ගිය උණ රෝගයක් ගැන ද මහාවංශයේ සඳහන් වනවා. ඇස් තද රතු පැහැ ගැන්වන බලවත් උණක් හටගත් බවක්, එසේ රෝගී වූවෙකුගේ ඇස් දෙස බැලූ විට අනෙකාට රෝගය හට ගත් බවත් එහි දැක්වෙනවා. නව කොරෝනා වෛරසය ද ඇස් තුළින් පවා ඇතුළු විය හැකි බව සඳහන් කෙරුණා. දුරාතීතයේ දී ද එවැනි දේ සිදුව ඇති බව යි මේ ප්‍රවෘත්තීන්ගෙන් පෙනී යන්නේ. සිරි සඟබෝ රජු විසින් අධිෂ්ඨාන පූර්වක ව සිදු කළ සත්‍යක්‍රියාවකිනුයි රකුසා මැඩලා රටෙහි රෝ බිය තුරන් කරන්නට හැකි වුණේ.

කොළරාව, පාචනය, මැලේරියාව, සාර්ස්, මර්ස්, එබෝලා ආදී නම්වලින් හඳුන්වන ලද නොයෙක් වසංගත රෝගයන් නිසා ලෝකයේ කලින් කල විශාල වශයෙන් ජීවිත හානි සිදු වූ බවට වාර්තා තිබෙනවා. ඒ අතරට එක් වූ අලුත් ම වසංගත තත්ත්වය තමයි නව කොරෝනා ආසාදනය…

රැකෙන්නට මග…

යථෝක්ත පූර්ව උපද්‍රව තත්ත්වයන්හි දී සම්බුද්ධානුභාවයෙන් එකී උපද්‍රව බැහැර වූ බව පැහැදිලි ව පෙනෙන්නට තිබෙනවා. අදටත් අපට රැකවරණය ඒ උතුම් බුද්ධානුභාවය යි, ධම්මානුභාවය යි, සංඝානුභාවය යි…

දුර්භික්ෂ, රෝග හා අමනුෂ්‍ය යන තුන්බියෙන් ඇලලී අමු සොහොනක් බවට පත් විශාලා නුවර සියලු බිය සන්සිඳුවමින් තුනුරුවනේ ගුණානුභාවය කල්පයක් කල් දස දහසක් සක්වළ පැතිර පවත්නා පරිදි පිහිටවූ බුද්ධ ආඥාව නම් රතන සූත්‍රය යි. එසේ ම සර්පරාජ කුලයන්ට මෙත් පතුරුවමින් ඔවුනගෙන් වන ගැහැට දුරලනු වස් දස දහසක් සක්වළ කල්පයක් බලය පවත්නා පරිදි වදහළ බුද්ධ භාෂිතය ඛන්ධ පිරිත යි. කිසිදු අමනුෂ්‍යයෙකු විසින් පීඩා කළ නොහෙන බලවත් බවක් දරා වැඩ සිටිමින්, මහා කරුණා සිතින් ලොවට යහපත දන් දෙමින් දස දහසක් සක්වළ කල්පයක් බල පවත්නා ලෙසින් අංගුලිමාල රහත් මුනිඳුන් කළා වූ සත්‍යක්‍රියාව අංගුලිමාල පිරිත යි. අපගේ පූජනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලා සෑම දිනක ම සම්බුද්ධ වන්දනාව සිදු කොට මේ පිරිත් ධර්මයන් සජ්ඣායනා කරමින් තමන්ටත්, සියලු ලෝකයටත් රැකවරණ සැලසෙන ලෙස සෙත් පතන්නටත්, සත්‍යක්‍රියා කරන්නටත් අපට අවවාද කරනුයේ ඒ හැර අන් රැකවරණයක් දෙව් මිනිස් ලෝකයේ නැති නිසාවෙනුයි. යහපත කැමති අප කළ යුත්තේ ඒ අවවාදානුශාසනාවන්ගේ හික්මීම යි.

ජීවිතයේ ඇත්ත…

චීනය ලෝකයේ බලවත් රටක්. නිෂ්පාදන ආර්ථිකය තුළින් ලෝක ආර්ථිකය පවා හසුරුවන්නට තරම් ප්‍රබල වූ රටක්. එහෙත්… ව්‍යාධි දුක ඔවුනට අබිබවා යන්නට හැකි වූයේ නැහැ…
ලෝකයේ සෙසු බලවත් රටවල් පවා සංචාරක තහනම් ද පනවමින් උත්සාහ කරන්නේ නව කොරෝනා ආසාදනයෙන් ගැලවී යන්නට යි. රෝග බය, මරණ බය ඔවුනටත් පොදුයි.
ඇස් පනාපිට අප මේ දකින්නේ ජීවිත යථාර්ථය නේ ද? මේ කය ලෙඩ වන්නක්. ලෙඩ හොඳ කර ගන්නට යම් යම් ආකාරයන්ගෙන් හැකි වුවත්, ලෙඩ වන ස්වභාවය යනු කවරාකාරයෙන්වත් හොඳ කළ නොහැක්කක්.

බොහෝ සේ ජරාජීර්ණ ව, ලෙඩ දුක්වලින් පීඩාවට පත්ව තමන් වහන්සේ හමුවට පැමිණි නකුලපිතු උපාසකතුමන් එකී පීඩාවන් කියා සිටි අවස්ථාවේ සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“ගෘහපතිය, එය එසේ ම ය. ගෘහපතිය, එය එසේ ම ය. මේ කය නම් ලෙඩ රෝග පිණිස ම වූවකි. සියුම් සිවියකින් වට වී ගිය බිත්තරයක් වැනි දෙයකි. ගෘහපතිය, එබඳු වූ කයක් පරිහරණය කරමින් මොහොතකට නමුත් නීරෝගී බව ගැන කියන්නේ නම් එය මෝඩකමක් විනා අන් කුමක් ද?

ඒ නිසා ගෘහපතිය, ඔබ මේ විදිහට හික්මිය යුතු යි. ‘ලෙඩ වන මේ කය ලෙඩ වී ගිය ද සිත නම් ලෙඩ නොකර ගන්නෙමි’යි කියා ය.”

(නකුලපිතු සූත්‍රය – සං. නි. 03)

සියුම් සිවියකින් වැහුනු බිත්තරයක් වගේ වුණ මේ කය බිඳී යන්නට තිබෙන්නේ නව කොරෝනා ආසාදනයෙන් නම් එය එසේ ම සිදු වේවි. මරණය කාට නම් වළකන්නට හැකි ද? එනිසා, ඒ ඇත්ත සිහි කරමින් මරණානුස්සතිය වඩන්නට මේ සුදුසු ම කාලයක්. ඒ පින ද ඔබට මග නොහැරේවා!

වූහාන් වැසියන්ට තමන්ගේ චිත්ත පීඩාවන් දුරු කරවා ගනු පිණිස මියුරු සංගීත රටා ශ්‍රවණය කරන්නට සලස්වන බවක් මාධ්‍ය තුළ වාර්තා කෙරුණා. කාමයකින් උපන් දුක, දුකට ම අයිති තවත් කාමයකින් කොහොම වහන්න ද? නමුත්, ලෝකය උත්සාහ කරන්නේ එයට යි. එවන් ලෝකයක ඉපිදත්, කාමයේ ආදීනව දකිමින් කාමයන් බැහැර කරලනු පිණිස පිළිවෙතෙහි යෙදෙන්නට අපට ඉඩ සැලසුවේ සම්බුද්ධ රාජ්‍යයේ උරුමය යි. මේ සටහන සමාරම්භයේ, සිංහ ධජය සෙවණේ අප ලද රැකවරණය ගැන මා යමක් සටහන් තැබුවා ද එයට නිමිත්ත මේ කරුණ යි.

සෑසි මුනි සිහනද නැගෙන මෙවන් පින්බිමක අප ලද ජීවිතය නිකරුණේ වැනසී යන්නට දෙන්න එපා. විපත් පත් ලෝකය හමුවේ ලේ උරුමයෙන් අප ලද තිසරණ සරණින් පිළිසරණ සලසාගෙන අපි මෙලොවත්, පරලොවත් – සුගතියත්, නිවනත් රැක ගනිමු. ලොවට ද යහපත දන් දෙමු.

තෙරුවන් සරණයි!

සටහන – උදුලා පද්මාවතී

වැඩි විස්තර වෙනුවෙන්…
නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම හෝ තොරතුරු දැනුම් දීම වෙනුවෙන්,
0710 107107
0113 071073