තිලොවට තිලක වූ, මහා ප්‍රඥා ඇස් ඇති අපගේ ශාස්තෘන් වහන්සේ ඛුද්දක නිකායේ නිධිකණ්ඩ සූත්‍රයේ දී මෙසේ වදාළ සේක.
“යම්කිසි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා දන් දෙනවා නම්, සිල් රකිනවා නම්, සිත දමනය කරගෙන භාවනාවේ යෙදෙනවා නම් අන්න ඒක තමයි ඉතා හොඳින් තැන්පත් කරපු නිධානය වෙන්නෙ.
දාගැබ් වහන්සේලාටත්, ගුණවත් සංඝයාටත්, ආගන්තුකයින්ටත්, යම් පුද්ගලයෙකුටත්, මව්පියන්ටත්, වැඩිමහලු සහෝදර සහෝදරියන්ටත් දන් දීම්, ගෞරව දැක්වීම් ආදිය කරනවා නම්, මනා කොට තැන්පත් කරපු මෙම නිධානය කාටවත් සොරකම් කරන්න බෑ. පරලොව යද්දී තමාගේ පස්සෙන් ම එනවා. ඔක්කොම අත්හැරලා පරලොව යන්න සූදානම් වෙනකොට මේ පුණ්‍ය නිධානය තමයි අරගෙන යන්න තියෙන්නේ.
මේ පුණ්‍ය නිධානය හැමදෙනාට ම බෙදා ගන්න බෑ. හොරුන්ට පැහැර ගන්නත් බෑ. තමා පස්සෙන් එන අන්න ඒ පුණ්‍ය නිධානයයි නුවණැත්තා පින් වශයෙන් කළ යුත්තේ.”
කිසිවෙකුටත් පැහැර ගත නොහැකි වූ පුණ්‍ය නිධානය රැස් කළ යුතු ආකාරය අපගේ ශාස්තෘන් වහන්සේ මෙසේ වදාළ සේක. බුද්ධ කාලයේත්, ඉන් පසුවත් ජීවත් වූ බොහෝ ගුණවත් දෙවි මිනිසුන් ශාස්තෘන් වහන්සේගේ අවවාදයට අනුව ම යමින් පින් රැස් කිරීමට උත්සුක වූහ. වෙසෙසින්ම බුද්ධ කාලයේත්, ඉන්පසුවත් ජීවත් වූ ශ්රද්ධාවන්ත රජවරු තම ධනය හා බලය යෙදවූයේ ද බොහෝ විට බුද්ධ ශාසනය බැබළවීමත්, එහි චිරස්ථිතියත් උදෙසා ය. ඒ රජවරුන්ගේ බුද්ධ ගෞරවය, සංඝ ගෞරවය පවා පුදුමය දනවනසුලු ය. රහතන් වහන්සේලාගේ උණුසුම ලැබූ එම රජවරු අප්‍රමාණ පින් රැස් කරගත්හ. සමහර රජවරුන් තම රාජ්‍ය කාලය තුළ අතොරක් නැතිව පින්කම් කළ බැව් කියවේ. අද පටන් මෙම ලිපි පෙළෙන් ඉදිරිපත් කෙරෙන්නේ මෙසේ පිනේ වටිනාකම හඳුනාගත් ලක්දිව රජුන් කළ පින්කම් පිළිබඳවයි.
පෙර ලක්දිව අනුරාධපුර පොළොන්නරු යුග සලකා බැලූ විට, එකල ජීවත් වූ මිනිසුන්ගේ ගුණවත්කම් ගැන අසනා විට සිත මහත් ප්‍රීතියකින් ඉපිල යයි. එපමණක් ද නොව සැබැවින්ම එකල සිටි රජදරුවන්ගේ සංඝ ගෞරවය අද අපට සිතා ගත නොහැකි තරම් ය. ඔවුන් සිදු කළ පින්කම් දෙස බැලූ කල රාජ්‍යත්වය සහ බුදු සසුන අතර වූ අධිකතර සමීප සම්බන්ධතාවය අපට නිරීක්ෂණය කළ හැකි ය. මෙසේ එකල රජ දරුවන් විසින් සිදු කළ එක් පූජාවක් නම් ‘තූලාභාර’ දානය යි. එනම් එම රජදරුවන් විසින් තම ශරීරයේ බර මැන ඒ බරට සමාන ව දන් දීම සිදුකර ඇත. එසේම නිශ්ශංකමල්ල රජතුමා වැනි ඇතැම් රජවරුන් සිදු කළ තවත් පින්කමක් නම් ‘පදවීතිහාර’ පිනයි. එනම් ශ්‍රී පාද පද්මය පාගමනින් තරණය කොට ශාස්තෘන් වහන්සේට උපහාර දැක්වීමයි. එසේම තවත් සමහර රජවරු සිදුකර ඇති පින්කමක් නම් නේත්‍ර පූජාවයි. එනම් ඔවුහු බුදුරුවක් සිතින් මවාගෙන එය මෙනෙහි කරමින් සිදු කරන ලද පූජාවකි. එමතුදු නොව සමහර රජවරු සංඝයාට දාසයන් කොට තමා ම තමා ව පවරා දුන්හ. එසේ කළ රජතුමෙක් නම් මහාදාඨික මහානාග රජතුමා ය. එම රජතුමා බිසව, දරු දෙදෙනා සමඟ මංගල හස්තියාත්, මංගල අශ්වයාත් සංඝයාගේ දාසයන් බවට පවරා දුන්නේ මහ සඟරුවනේ වැළැක්වීම මධ්‍යයේ ය. ලොවෙහි අසදිස මහා සෑය වන රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ ගොඩනැගූ දුටුගැමුණු රජතුමා ද අධිකතර සංඝ ගෞරවයකින් යුක්ත වූ කෙනෙකි. එම උතුම් රජතුමා තම රාජ්‍ය කාලය තුළ මහ සඟරුවනට පූජා නොකොට බොජුන් වළඳා නැත.
එසේ ම උපතිස්ස නම් රජතුමා ද අධිකතර සංඝ ගෞරවයකින් යුක්ත වූ කෙනෙකි. හෙතෙමේ අවුරුදු හතළිස් දෙකක් වූ තම රාජ්‍ය කාලය තුළ ආහාරයට ගෙන ඇත්තේ අනුරාධපුර මහාපාලි දාන ශාලාවේ සංඝයා වළඳා ඉතිරි වූ දෑ ය. එනම් සංඝයා විසින් ඉඳුල් කොට අහවර වූ දෑ ය. දුටුගැමුණු රජුගේ බාල සොහොයුරු වූ සද්ධාතිස්ස රජු ද ඉතාමත් විශ්මිත සංඝ ගෞරවයකින් යුක්ත වූ කෙනෙකි. දුටුගැමුණු රජතුමා තම බාල සොහොයුරු හට තම අවසන් මොහොතේ ලබා දුන් උපදෙසක් වන්නේ කිසිම දිනක සංඝයාගේ කටයුතුවලට ප්‍රමාද නොවන ලෙසයි.
මෙසේ බුදු සසුනේ උණුසුම ලැබූ මේ උතුම් රජවරුන් ඉතාමත් අවිහිංසාවාදීව කටයුතු කළ අය වූහ. සංඝබෝධි රජතුමා මෙන්ම උපතිස්ස රජතුමා එසේ අවිහිංසාවාදී බව ප්‍රකට කළ රජවරු වූහ. ඔවුහු සොරකමේ යෙදී හසු වූ සොරුන් හට මරණ දණ්ඩණය නියම කළ ද ඒ අයව මරණයට ලක් නොකොට ඒ අයට අවශ්‍ය ධනය ලබා දී පිටත් කළෝ ය. ඒ වෙනුවට රාත්‍රී කාලයේ දී අමු සොහොනෙන් සොයා ගත් මළසිරුරු ගෙනැවිත් පුළුස්සා රටවැසියන් හට ප්‍රදර්ශනය කොට සොරුන් හට දඬුවම් කළ බවක් ඇඟවූහ. එසේම උපතිස්ස නම් රජතෙමේ දිනක් මහ සෑය වන්දනා කරමින් යන විට මහා සෑයේ පේසා වළලු මත කුඩා කූඹින් ගමන් කරනු දැක තමා විසින් ම මොනර පිලෙන් කළ මුස්නක් ගෙන ඒ සතුන් පිසදා දැමුවේ ය. මෙසේ ඒ රජවරුන්ගේ අවිහිංසාවාදී බව පෙර රජ දවස මැනවින් ප්‍රකට විය.
මෙකල මිනිසුන් අතර දැකීමට දුලබතම දෙයක් වන්නේ සත්‍යවාදී බවයි. රාජ්‍ය තන්ත්රය තුළද බොරුව වංචාවම රජ කරයි. කියන දේ නොකරන බව, කරන දේ නොකියන බව, අසත්යවාදී බව බලපවත්වයි. එනමුදු, බුදු දහමින් සුපෝෂණය වූ රහතන් වහන්සේලාගේ උණුසුම ලැබූ එදවස රජවරු සත්‍යවාදී බවෙන් මුදුන්පත් වූවෝ වූහ. අපගේ දුටුගැමුණු මහ රජු විසින් මේ රට එක්සේසත් කිරීමේ දී පවත්වන්නට යෙදුන යුද්ධයේ දී එතුමාගේ සේනාව අතින් එතුමාගේ සේනාව ම ඝාතනය වන්නට විය. එයට හේතුව නම් සේනා දෙක වෙන් වෙන්ව හඳුනාගත නොහැකි වීමයි. මේ අවස්ථාවේ දී ඒ උතුම් රජතුමා සත්‍යක්‍රියාවක් සිදු කළ අතර, එය නම් “මාගේ මේ ව්‍යායාමය රජ සැප ලැබීමට නොව ගෞතම බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා ය. මේ සත්‍යානුභාවයෙන් මාගේ සේනාංකයේ ආයුධ ආදිය ද ඇඳුම් පැලඳුම් ආදිය ද දිලිසේවා!” යි කියා ය. ආශ්චර්යයකි! අද්භූතයෙකි! රජතුමාගේ සේනාංකයේ ආයුධ හා ඇඳුම් දිලිසෙන්නට විය. එයින් සතුරන් වෙන්කොට හඳුනාගැනීමට හැකි විය.
මේ ආකාරයට ම සත්‍යක්‍රියා කළ තවත් රජෙක් නම් මහා පරාක්‍රමබාහු රජතුමා ය. ඔහු විසින් යුද්ධය පිණිස පොළොන්නරුවට තම සේනාව පිටත් කර යැවීමේ දී නාලන්දාව නම් ප්‍රදේශයේ දී මහා වර්ෂාවක් ඇද හැළෙන්නට විය. මේ අවස්ථාවේ එය රජුගේ පාර්ශවයට අවාසිදායක වූ අතර එය තේරුම්ගත් රජතුමා මෙසේ සත්‍යක්‍රියා කළේ ය. “මාගේ මේ ව්‍යායාමය බුදු සසුනේ දියුණුව උදෙසා පමණ ම ය. මෙය ඒකාන්ත සත්‍යයයි. මේ සත්‍යානුභාවයෙන් මේ වර්ෂාව නවතීවා!”
කියා ය. ඒ මොහොතේ මහා විශ්මිත අයුරින් වර්ෂාව නතර වූ අතරින් රජතුමාට යුද්ධය ජය ගැනීමට ද හැකි විය. මෙවැනි ඉතා ම තීරණාත්මක අවස්ථාවල දී සත්‍යක්‍රියා කොට එයින් පිහිටක් ලබා ගැනීමට නම් ඒ රජවරුන්ගේ ජීවිත තුළ එම සත්‍ය කෙතරම් බලපවත්වන්නට ඇති ද? අහෝ එවන් මිනිසුන් අතිශයින් ම උදාර නොවේ ද! එවන් යුග ගැන සිහිකිරීම පවා සිහිල් දිය දහරක් බඳු ය.
පෙර රජවරු තුළ දැකිය හැකි වූ තවත් සුවිශේෂී ම ලක්ෂණයක් වන්නේ අසාමාන්‍ය බුද්ධ ගෞරවයයි. එකල දේවානම්පියතිස්ස රජතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිව රාජ්‍යයෙන් පිදූ අතර ම හෙතෙමේ දින හතක් මහා බෝධීන් වහන්සේට දොරටුපාලයා වශයෙන් කටයුතු කළේ ය. මහා බල පරාක්රමයකින් යුතු වූ දුටුගැමුණු රජතෙමේ හත් වතාවක් බුද්ධ ශාසනයට මේ ලක්දිව පූජා කළේ ය. එසේ ම ඇතැම් රජවරු නොයෙකුත් ගම්බිම් ඒ අදාළ වෙහෙර විහාරස්ථානවලට පූජා කොට තිබේ. එක්දාස් හයසිය ගණන්වල මේ රටේ ජීවත් වූ රොබට් නොක්ස් නම් විදේශිකයා ඔහුගේ වාර්තාවල සඳහන් කොට ඇත්තේ රජතුමාට වඩා ගම්බිම්වල අයිතිය ඇත්තේ වෙහෙර විහාරස්ථානවලට බවයි. එබැවින් එකල රජතුමාට බදු ආදායම් ප්‍රමාණය පහළ ගිය බවයි. රජතුමාට ඇතුන් හිමි වූවාක් මෙන් ම වෙහෙර විහාරස්ථානවලට ද ඇතුන් හිමිවූ බවත්, රජතුමාට අයිති ගොඩනැගිලිවල සුණු පිරියම් කරන්නාක් මෙන් ම වෙහෙර විහාරස්ථානවල පමණක් සුණු පිරියම් කිරීමට රජතුමා අවසර ලබා දුන් බවත් එම වාර්තාවල සඳහන් වේ. එපමණක් ද නොව එකල හිඳගන්නා ආසනවලට පිරුවට එළිය හැක්කේ රජතුමාට සහ භික්ෂූන් වහන්සේලාට පමණක් වූ බව ද එහි සඳහන් වේ. මෙසේ ඒ රජවරු සෑම විටම බුද්ධ ශාසනය ප්රමුඛතැන්හිලා කටයුතු කළෝ ය. වර්ෂ එක්දහස් හයසිය ගණන් වන විට පෘතුගීසි ආක්‍රමණ නිසා බුද්ධ ශාසනයේ යම් පරිහානියක් සිදු වුව ද ඊට පෙර රජ දවසේ නිම කරන ලද ගොඩනැගිලි ආදියේ පෞරාණික නටබුන් අලංකාර ගල් කැටයම්වලින් සෑදූ අනර්ඝ විශ්මිත නිර්මාණ බව රොබට් නොක්ස් පවසයි. වර්තමානය වන විට පෘතුගීසි පමණක් නොව ලන්දේසි ඉංග්‍රීසි කාලිංග මාඝ වැනි නොයෙකුත් විදේශීය ආක්‍රමණ නිසා ඒ අතීත රජදරුවන්ගේ ශ්‍රී විභූතිය අතිශයින් ම සැඟවී ගොස් ඇති නමුත් පුරාණ නගර ආදියේ ශ්‍රී විභූතිය තවමත් නටබුන් අතරින් දැකිය හැකි වේ.
මෙසේ නොයෙක් අයුරින් බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා තම රාජ්‍ය කාලය ම කැප කරමින් ක්‍රියා කළ ඒ රජ දරුවෝ කලින් කලට ශාසනය විකෘති කිරීමට පැමිණි නොයෙකුත් වාදවිවාද ආදී මිථ්‍යාදෘෂ්ටි පලවා හරිමින් බුද්ධ ශාසනය සහ බුද්ධ දේශනාව රැක ගැනීමට දිවි හිමියෙන් කැපවී ක්‍රියා කළහ. කිහිප වතාවක් ම වෛතුල්‍යවාදය නම් මිථ්‍යාදෘෂ්ටියක් ලක්දිව වසා පැතිර යන්නට වූ අතර අභයගිරිය මුල් කරගනිමින්, ග්රන්ථ රචනා කරමින්, ධර්ම දේශනා පවත්වමින් එම මිථ්‍යාදෘෂ්ටිය වේගයෙන් ප්‍රචලිත වන්නට විය.
එකල රජ කළ ගෝඨාභය සහ වෝහාරික තිස්ස නම් රජ දරුවන් විසින් මෙම මිථ්‍යාදෘෂ්ටික මතධාරී භික්ෂූන් රැගෙන විත් ඔවුන් සිවුරු හරවා සසුනින් නෙරපා එම ග්රන්ථ ආදිය පුච්චා අළු කොට බුද්ධ ශාසනය පිරිසිදුව ම රැක ගැනීමට ක්‍රියා කළහ.
එසේ ම මහායානය සහ වජ්රයානය යන මිථ්‍යාදෘෂ්ටි ද නීලපට යානය නැමැති මිථ්‍යාදෘෂ්ටිය ද විනාශ කිරීමට එදවස රජ කළ රජදරුවෝ ක්‍රියා කළ අතර සසුනින් නෙරපන ලද එම මිථ්‍යාදෘෂ්ටික මතධාරී භික්ෂූන් ශරීරයේ යම් සලකුණක් කොට පිටත් කර ඇත්තේ නැවතත් සසුන විනාශ කිරීමට පැමිණීම වැළැක්වීම සඳහා ය. ඒ රජවරුන්ගේ උත්සාහය වීරිය නොවන්නට අද මෙලක්දිව මහායාන ධර්මය වසා පැතිරගත් දේශයක් වන්නට ඉඩ තිබිණි. එසේනම් අද අප මේ ධර්මයේ උණුසුම ලබමින්, සත්පුරුෂ ඇසුරේ වසමින් මෙතරම් සැනසිල්ලක් විඳින්නේ එම රජදරුවන් කළ අතිමහත් කැපවීම හා සේවය නිසා බව අප කෘතවේදීව සිහි කළ යුතු ම ය.
එසේම යම් යම් අවස්ථාවල දී සංඝභේද සිදු වූ අතර ඒවා පසිඳලීම සඳහා සංඝයාට මැදිහත් වීමට සිදු නොවන අවස්ථාවල දී මෙම අතීත රජ දරුවෝ මහත් පරිශ්‍රමයක් ගෙන සංඝයා සමඟි කළෝ ය. එකල නිකාය තුන අතර අවුරුදු දහසක් පමණ පැවති සංඝභේදයක් මහා පරාක්‍රමබාහු රජතුමාගේ අපරිමිත පරිශ්‍රමයකින් පසු සමඟි කරන්නට යෙදුණි. මහාවංශයේ සඳහන් වන පරිදි මහා පරාක්‍රමබාහු රජතුමා ඉතා ම දුක සේ මෙම සංඝ සමඟිය ඇති කොට ඇත. මෙසේ ඒ රජවරු බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තම ජීවිතය පවා කැප කොට ක්‍රියාකර ඇති බව මෙයින් මනාව පැහැදිලි වේ.
ධර්ම දානය යනු සියලු දානයන්ට අග්‍ර වන උතුම් ම දානය වන බව අපගේ ශාස්තෘන් වහන්සේ වදාළ සේක. ශ්‍රී සද්ධර්මයෙන් අපරිමිත සැනසිල්ලක් ලැබූ මේ උතුම් රජවරු ධර්ම දානය ද තමන්ගේ කටයුතු අතර මූලික ස්ථානයේ තබා කටයුතු කළහ. රට පුරා ම ධර්මශාලා ඉදි කරමින්, ධර්ම දේශකයන් වහන්සේලාට විශේෂ සත්කාර සම්මාන සිදු කරමින්, ධර්ම පුස්තක රචනයට ද අන් අයව උනන්දු කළ ඒ රජවරු ධර්ම ග්රන්ථ නැවත නැවත රචනා කරවමින්, ඒ කර්තව්‍යයට සහභාගී වන අයට බත් වැටුප් පවා ගෙවීමට ක්‍රියා කළහ. රට පුරා ධර්ම දේශනා සංවිධානය කරමින් රටවාසීන්ට ධර්මය ශ්‍රවණය කිරීමට බොහෝ අවස්ථා සලසා දීමට තරම් ඒ රජදරුවෝ බොහෝ පරාර්ථකාමී වූහ. අප මේ භුක්ති විඳිමින් සිටින්නේ ඒ උතුම් රජවරුන්ගේ මහා ශාසනික මෙහෙවරේ දායාදයයි.
මේ ජීවිතයේ යම් පිනක් රැස් කළා ද යම් සීලයක් පුරුදු කළා ද යම් ගුණයක් වැඩුවා ද ඒ සියල්ලට ම බලවත් හේතුවක් වූයේ ඒ රජදරුවන් අනාගතය උදෙසා බුද්ධ ශාසනය පිරිසිදුව ම දායාද කිරීමට මහ සඟරුවන හා එක්ව ගත් උත්සාහයයි. එසේ නම් අප ඒ රජවරු ගැනත්, ඒ රජවරුන් සිදු කළ උතුම් ශාසනික සේවාවන් ගැනත් කෘතවේදීව සිහි කළ යුතු නොවේ ද..? මෙසේ ඒ රජදරුවන් සිදු කළ ශාසනික සේවාවන් පිළිබඳ ව තවත් විස්තර රැගෙන මහාමේඝ මීළඟ කලාපයෙන් හමු වෙමු.
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
සාකච්ඡා කළේ – උත්පලා ගුණතිලක
Recent Comments