ලක්දිව පහළ වූ සැදැහැවත් රජ දරුවන් තම රාජ්‍ය බලය යොදා ගනිමින් රටේත්, සම්බුදු සසුනේත් දියුණුවට වැඩ සදමින් සිදු කළ විවිධ විසිතුරු පින්කම් පිළිබඳව ඔබට මෙම ලිපිපෙළින් කියවන්නට ලැබෙනු ඇත. අපගේ වංශකතා හා ඉපැරණි ග්‍රන්ථ ඇසුරු කරගනිමින් ලියැවෙන මෙම ලිපිපෙළ තුළින් පින් රැස් කරන විවිධ විධීන් හා පිනෙහි ඇති වටිනාකම ඔබට මනාව පසක් වනු ඇත. එපමණක් ද නොව අතීත රජ දරුවන් කළ ඒ මහානීය පින්කම් පිළිබඳ ව දැන අපට ද ඒ පින් සතුටින් අනුමෝදන් වී පින් රැස්කර ගැනීමට මෙය මහඟු පිටුවහලක් වනු ඇත.

ගිය වර ලිපියෙන් අප සාකච්ඡා කළේ පෙර ලක්දිව විසූ රජවරු බුදු දහමින් සුපෝෂණය වී, මහත් වූ බුද්ධ ගෞරවයකින්, සංඝ ගෞරවයකින් යුතුව කටයුතු කළ ආකාරයත්, තම ජීවිතය තුළ පුරුදු කළ සත්‍යවාදී බවත්, අවිහිංසාවාදී බව මෙන් ම බුද්ධ ශාසනය චිරාත් කාලයක් රැක ගැනීම උදෙසා තම ජීවිත කැප කළ ආකාරයත් පිළිබඳ ව ය.

රජවරු වනාහි යුද්ධ කිරීම පෙරටු කරගත් අය වෙත්. ලේ වැගිරීම ඔවුන් තුළ සාමාන්‍යයෙන් දැකිය හැකි පොදු ලක්ෂණයකි. එනමුත් තෙරුවන් සරණ ගිය ලක්දිව්වාසී රජවරු තම රටවැසියන් පිළිබඳ මහත් වූ කරුණා සිත් දැරූ අය වූහ.

එකල විසූ බුද්ධදාස ආදී උතුම් රජවරු රටවැසියන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් රට පුරා ම ආරෝග්‍යශාලා ඉදිකිරීමට උත්සුක වූහ. එමතුද නොව අංගවිකල වූ අයට නොයෙකුත් ආකාරයේ උපස්ථාන කටයුතු සිදු කිරීමට ද කටයුතු සම්පාදනය කළෝ ය. 
එසේ ම පොළොන්නරු යුගයේ විසූ පරාක්‍රමබාහු නම් නිරිඳු තෙමේ වෙදකමේ පරතෙරට දත් අයෙක් වූයේ ය. හෙතෙමේ විවිධ අවස්ථාවල දී රට පුරා පිහිටි 
ආරෝග්‍යශාලා වෙත ගොස් ඒ ගිලනුන්ට ලබා දුන් ඖෂධ ආදිය විමසා සමහර අවස්ථාවල දී ඒ ඖෂධ අදාළ රෝගයට සුදුසු නොවූ කල්හි ඒ වෙදුන්ට පවා වෙදකම පිළිබඳ අවවාද කොට තිබේ. එමතුද නොව සමහර රජ කෙනෙක් විශේෂයෙන් උපෝසථ දිනවල දී රට පුරා ස්ථානවල සතුන් ඝාතනය කිරීම ද මත්පැන් පානය කිරීම ද තහනම් කළහ. මේ ආකාරයෙන් ඒ උතුම් රජවරු බුද්ධ ශාසනය පන්දහසක් කල් පැවතීම පිණිස, බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස සියලු‍ ආකාරයේ පවුරු පදනම් බැඳ ඇත්තේ විශේෂයෙන් ම ඒ උතුම් රහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මධ්‍යයේ ය. අධික සඟ ගෞරවයකින් යුතු වූ ඒ රජවරු තම දේශපාලන දිවිය තුළ වැදගත් ම සාධකය කොට සිතුවේ බුද්ධ ශාසනයේ දියුණුව පිළිබඳ ව යි. ලොවෙහි අසදිස සෑ රජාණන් වහන්සේ ඉදි කළ ඒ උතුම් දුටුගැමුණු මහරජු පැවසූයේ එතුමා සහ සද්ධාතිස්ස කුමරුන් අතර ඇති වූ අමනාපය පසිඳලීමට එක් හත් හැවිරිදි සාමණේරයන් වහන්සේනමක් ඉදිරිපත් වූවා නම්, තමන් දෙදෙනා අතර කිසිම කලක දී යුද්ධයක් ඇති නොවන බවයි. මෙකල සාමණේරයන් වහන්සේනමකට තබා ස්ථවිර භික්ෂූන් වහන්සේනමකට වුව ද නිසි ගෞරවය ලැබීම යනු සුලබ දෙයක් නම් නොවේ. මෙකල මිනිසුන්ගේ ස්වභාවය බලන කල්හි ඒ රජවරුන්ගේ උතුම් දිවි පැවැත්මට පවා නමස්කාර කළ යුතු නොවේ ද?

ඒ උතුම් රජවරුන් බුද්ධ ශාසනය උදෙසා කළ මෙහෙවර කෙතරම් ද යත් 14 වන සියවසේ ගම්පොළ බුවනෙකබාහු නම් රජු රාජ්‍ය කරන සමයේ වැඩ විසූ දේවරක්ෂිත ජයබාහු නම් මහා ස්ථවිරයන් වහන්සේ ‘නිකාය සංග්‍රහය’ නම් ඓතිහාසික ග්‍රන්ථය රචනා කිරීමේ ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් කරන්නේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න, විචක්ෂණශීලී රාජරාජ මහා අමාත්‍යාදීන් නිසා මේ බුද්ධ ශාසනය පවතින්නේ ය යන්න තහවුරු කිරීම උදෙසා බවයි. එමතුද නොව පූජාවලිය නම් ග්‍රන්ථය රචනා කළ මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ පවසා සිටින්නේ තමන් වහන්සේ එය රචනා කරන්නේ එතෙක් ලංකාවේ රජ කළ එකසිය පනස් හයක් පමණ වූ උතුම් රජවරු බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ උද්දේසික පූජාවන් ඉතාමත් කෙටියෙන් විස්තර කිරීම සඳහා බවයි. එසේ ම ඉන් මතුවට, බුද්ධ ශාසනය පන්දහසක් කල් පවතින කල්හි ඒ ඒ රජවරු විසින් බුදුරජාණන් වහන්සේ උදෙසා සිදුකරන වෙනත් පූජාවන් ලියා තැබීමට අනාගතයේ පහළ වන තවත් ග්‍රන්ථ රචකයන්ට උන්වහන්සේ ආරාධනා කොට සිටින බවයි. එම ග්‍රන්ථ පමණක් නොව මහාවංශය, නිකාය සංග්‍රහය, රාජරත්නාවලිය, සද්ධර්මාලංකාරය, අත්තනගලු‍වංශය ආදී නොයෙකුත් ග්‍රන්ථවල සඳහන් වී 
ඇත්තේ ද බුදු සසුනට සිදු වූ අපරිමිත පූජාවන් 
පිළිබඳ ව ය. මින් මතු ඔබ මේ ලිපිපෙළෙන් කියවන්නේ ඒ අසිරිමත් යුගයන් පිළිබඳ ව ය.

වර්තමානයේ අපට රාජ්‍ය වංශයක් දැකිය නොහැකි ය. රාජාණ්ඩු ක්‍රමයක් දැකිය නොහැකි ය. මෙකල සිටින්නේ සර්වජන බලයෙන් පත් වූ ජනාධිපතිවරුන් ය. ‘රජ කෙනෙක්’ යන වදනට පවා යම් අර්ථයක් තිබේ. එනම්, ‘ධර්මයෙන් අන් අය ව සුවපත් කරවන්නා’ යන්නයි. රජ කෙනෙක් හඳුන්වන තවත් නම් තිබේ. ඉන් එකක් නම් ‘නවරත්නාධිපති’ යන්නයි. එනම් මුතු, මැණික් ආදී නවරත්නයන්ට අධිපතිව සිටින බවයි. එසේම භූමියට අධිපති වන හෙයින් ‘භූපති’ නමින් ද නරයන් අතර ශ්‍රේෂ්ඨ වන නිසා ‘නරාසභ’ නමින් ද මිනිසුන් අතර ප්‍රධාන වෙන නිසා ‘නරාදිත්‍ය’ නමින් ද 
එසේ ම ‘මහීපති’ හා ‘නරදේව’ යන නම්වලින් ද රජවරුන් හඳුන්වනු ලැබිණි. එකල මිනිසුන් රජ කෙනෙකු සැලකුවේ මිනිසුන් අතර පහළ වූ දෙවියකු ලෙසිනි. එයට හේතුව නම් රජ කෙනෙක්ගෙන් එපමණ වූ උපකාරයක් මනුෂ්‍යයාට සැලසුන බැවිනි. අද පවා ඒ රජවරු බැන්ද වැව් අමුණු ආදියේ බොහෝ ප්‍රයෝජන ලබනා අපමණ මිනිසුන් වෙත්. එසේ නම් ඒ උතුම් රජවරු කළ උපකාර, සත්පුරුෂ භූමිය නම් වූ කෙළෙහිගුණ සිහි කිරීම තුළ පිහිටා සිටින කෙනෙකුට නම් කිසිසේත් ම අමතක කළ නොහැකි ය.

මනුෂ්‍යයන් වශයෙන් අප කා තුළත් අඩුපාඩු තිබේ. පෙර රජවරු දෙස බැලූ කල ඔවුන් පවා තම තරුණ ජීවිතය තුළ රාජ්‍යත්වයට පෙර යම් යම් අඩුපාඩුකම් ආදිය ප්‍රදර්ශනය කළ නමුදු රාජ්‍යත්වයට පැමිණි වහා ම ඒ සියලු‍ දුර්ගුණ බැහැරලා එක ම එක අරමුණක් උදෙසා කැපවූහ. එනම් ජාතියත්, බුදු සසුනත් දියුණුවට පැමිණවීම යි. ඒ ඒ රජවරුන්ගේ රාජ්‍ය කාලයන් දෙස හොඳින් බැලූ කල ඒ අය රාජ්‍ය කළ කාලය තුළ සම්පූර්ණයෙන් ම වෙහෙස ගෙන ඇත්තේ එම එක ම එක අරමුණ ඉෂ්ට කරගැනීම උදෙසා ය. එකල විසූ ගෝඨාභය නම් වූ රජු රාජ්‍යත්වයට පෙර එක්තරා ආරවුලක් නිසා කතරගම ප්‍රදේශයේ විසූ දසබෑ සහෝදරයින් ඝාතනය කළ අතර රාජ්‍යත්වයට පත් වූ පසු හෙතෙමේ ගඟෙන් එතෙර හා මෙතෙර ආරාම පන්සියය බැගින් විහාරස්ථාන දහසක් ඉදි කළේ ඒ අකුසලය ගෙවා දැමීම අරමුණු කරගෙන ය. එමතුද නොව එකලටත්, මෙකලටත් එක සේ බලපානා පොදු කරුණක් තිබේ. එනම් රටක අභිවෘද්ධිය උදෙසා බලපාන ප්‍රධාන ම සාධකයක් නම් ඒ රටේ රජතුමා ය. අතීතය දෙස හැරී බලන කල බුද්ධ ශාසනයේ යම් අභිවෘද්ධියක් සිදුවී ඇත්නම් ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති කාරණයක් වන්නේ එකල රජ කළ රජතුමා ය. අවශේෂ බාහිර සම්පත් කොපමණ පැවතිය ද ඒ සියල්ල බලගන්වන්නේ ධාර්මික රජ කෙනෙක් විසිනි. රජතුමාගේ උපකාර නොමැතිව රහතන් වහන්සේලාට පවා කටයුත්තක් කරගැනීම තරමක් දුරට අසීරු ය. මිහිඳු මහරහතන් වහන්සේ පවා ධර්මදූතයන් වහන්සේනමක් වශයෙන් මෙ සිරිලකට පැමිණෙන කල්හි, එකල රාජ්‍යය කළ මුටසීව රජතුමාගේ ස්වභාවය සලකා, බෙහෙවින් පින්වන්ත වූ දේවානම්පියතිස්ස රජු රාජාභිෂේකය පවත්වා රාජ්‍යත්වයට පත් වන තෙක් මෙහි පැමිණීම මඳක් ප්‍රමාද කළ සේක.

වරක් ධර්මාශෝක රජු දඹදිව් රාජ්‍යය විචාරණ කල්හි වසර හතකින් සංඝයා සංඝකර්ම, විනයකර්ම හෝ පොහොය කොට නොතිබූ අතර බලවත් ශාසනික අර්බුදයක් හටගෙන තිබිණි. මේ අවස්ථාවේ දී මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේ ඇතුළු සඟ පරපුරේ අවවාද අනුශාසනා මධ්‍යයේ ධීර වීර පරාක්‍රමයෙන් යුක්ත වූ ධර්මාශෝක රජු ඒ සඳහා මැදිහත් වී ඒ ශාසන අර්බුදය මුළුමනින් ම සමථයකට පත් කරන්නට යෙදුණි. එසේ නම් රාජ්‍යත්වය යනු බුද්ධ ශාසනය කෙරෙහි බලපානා තීරණාත්මක සාධකයක් බව මෙයින් මනාව ගම්‍ය වේ. සෑම විට ම රටේ දියුණුව හා බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හෝ පිරිහී යාම සිදුවී ඇත්තේ රාජ්‍යත්වයේ බලපෑම අනුව ම ය.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
සාකච්ඡා කළේ – උත්පලා ගුණතිලක