පිරිසිදු බව ඇත්තෙන්ම සුන්දර දෙයක්. වතුර නාලා, දහඩිය සෝදලා මේ සිරුර පිරිසිදු කරගන්නවා. ගත දවටන වස්ත්‍ර සබන් දමා පිරිසිදු කරනවා. අපි වාසය කරන තැන, ගෙවල් දොරවල් අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරනවා. පරිහරණය කරන බඩු බාහිරාදිය දූවිලි ඉවත් කරලා පිරිසිදු කරනවා.

මේ පවිත්‍ර බව ජීවිතයක තියෙන්න ඕන. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පවා එවන් පිරිසිදු බවට ප්‍රශංසා කොට වදාළා. අපිරිසිදු බව, ප්‍රමාදය මලකඩවලටත් උපමා කළ අවස්ථා ගැන ධර්මයේ සඳහන් වෙනවා.

අසජ්ඣායමලා මන්තා – අනුට්ඨානමලා ඝරා
මලං වණ්ණස්ස කෝසජ්ජං – පමාදෝ රක්ඛතෝ මලං

“නිතර සජ්ඣායනා නොකළොත්, කටපාඩම් කරපු දේට මල බැඳෙනවා. උත්සාහයෙන් වැඩ නොකළොත්, ගෙදර දොරේ වැඩවලටත් මල බැඳෙනවා. කම්මැලිකමෙන් ඉන්න ගියොත් ශරීර සෝභාවයටත් මල බැඳෙනවා. කෙත් වතු ආදිය රකින කෙනා ප්‍රමාද වුණොත්, ඒවටත් මල බැඳෙනවා.”

(ධම්මපදය – මල වර්ගය)

තව අවස්ථාවක දී අප භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර චුන්දකම්මාර පුත්‍රයන්ගේ අඹ වනයෙහි වැඩ වාසය කරද්දී මෙසේ විමසා වදාළා.

“චුන්දය, ඔබ කවර කෙනෙකුගේ පිරිසිදු බව රුචි කරන්නේ ද?”

ඔහුගේ පිළිතුර වූයේ මෙයයි.

“ස්වාමීනී, බටහිර ප්‍රදේශවාසී, පැන් කෙණ්ඩි ඇති, සෙවෙල් මල් දරන, ගිනි පුදන, දියෙහි බැස පව් සෝදන බ්‍රාහ්මණයෝ පිරිසිදු බව ගැන කියනවා. ඔවුන්ගේ ඒ පිරිසිදු බවට මම කැමතියි.

ස්වාමීනී, ඒ බ්‍රාහ්මණයෝ තම ශ්‍රාවකයන් ව මේ අයුරින් සමාදන් කරවනවා. ‘එම්බා පුරුෂය, මෙහි එන්න. පාන්දරින් අවදි වී පොළොව අමදින්න. පොළොව අමදින්නේ නැතිනම් අමු ගොම ගාන්න. නැත්නම් අලුත් තණකොළවලින් පොළොව පිරිමදින්න. නැත්නම් අග්නි පූජාව කරන්න. අග්නි පූජා නොකරන්නේ නම් ඇඳිලි බැඳ සූර්ය නමස්කාරයෙහි යෙදෙන්න. සවස දියෙහි බැස පව් සෝදන්න.’ ස්වාමීනී, මේ අයුරින් පනවන ඔවුන්ගේ පිරිසිදු බවට මම කැමතියි.”

භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, “චුන්දය, ඒ බටහිර ප්‍රදේශවාසී, පැන් කෙණ්ඩි ඇති, සෙවෙල් මල් දරන, ගිනි පුදන, දියෙහි බැස පව් සෝදන බ්‍රාහ්මණයෝ පිරිසිදු බව පනවන්නේ ඔය අයුරින් වුවත් ආර්ය විනයේ වෙනත් අයුරකින් තමයි පිරිසිදු බව පනවන්නේ.”

චුන්ද කම්මාර පුත්‍රයන් එවිට කියා සිටියේ, “ස්වාමීනී, ආර්ය විනයෙහි යම් අයුරකින් පිරිසිදු වෙයි ද ඒ ගැන මට දහම් දෙසන සේක්වා!” යනුවෙන්. එවිට අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“චුන්දය, තුන් අයුරකින් කයෙන් අපිරිසිදු බව ඇතිවෙනවා, සිව් අයුරකින් වචනයෙන් අපිරිසිදු බව ඇතිවෙනවා. තුන් අයුරකින් මනසේ අපිරිසිදු බව ඇති වෙනවා.

කයින් අපිරිසිදු බව ඇතිවෙන්නේ මෙහෙමයි

1.චුන්දය, ඇතැම් කෙනෙක් සතුන් මරයි. ඔහු රෞද්‍රයි. ලේවැකුණු අත්වලින් යුක්තයි. වැනසීම්, පැහැර ගැනීම්වලින් යුක්තයි. සියලු සතුන් කෙරෙහි දයාවෙන් තොරයි.

2.සොරකම් කරයි. ගමෙහි හෝ වනයේ හෝ අන් අ‍ය සතු වස්තු, උපකරණ ආදියක් වේ ද ඒ නුදුන් දෙය සොර සිතින් පැහැර ගනියි.

3.වැරදි කාම සේවනයෙන් යුක්තයි. එනම්, මව විසින් රකිනු ලබන, පියා විසින් රකිනු ලබන, මාපියන් විසින් රකිනු ලබන, සොයුරා විසින් රකිනු ලබන, සොයුරිය විසින් රකිනු ලබන, නෑයන් විසින් රකිනු ලබන, ගුණධර්ම විසින් රකිනු ලබන යම් ස්ත්‍රීන් වෙත් ද එමෙන්ම ස්වාමියා සහිත, විවාහය පිණිස යටත් පිරිසයෙන් මල් මාලාවකින් හෝ වෙන්කරන ලද ස්ත්‍රීන් කෙරෙහි වරදේ බැඳෙන්නේ වෙයි.

වචනයෙන් අපිරිසිදු බව ඇතිවෙන ආකාර හතර මෙයයි.

4.මෙහිලා කෙනෙක් බොරු කියයි. සභාවක් මැදට හෝ පිරිසක් මැදට හෝ නෑයන් මැදට හෝ ජන සමූහයක් මැදට හෝ රජය මැදට ගිය විට, ඔහු ඉදිරියට කැඳවා සාක්ෂි විමසයි නම් ‘එම්බා පුරුෂය, යමක් දන්නෙහි නම් එය පවසන්න.’ එවිට ඔහු නොදන්නේ ම, ‘දනිමි.’ යි කියයි. දන්නේ ම ‘නොදනිමි.’ යි කියයි. නුදුටුවේ ම ‘දකිමි.’යි කියයි. දුටුවේ ම ‘නොදකිමි.’ යි කියයි. මෙසේ තමා උදෙසා හෝ අනුන් උදෙසා හෝ කිසියම් ලාභයක් උදෙසා දැන දැන බොරු කියන්නේ වෙයි.

5.ඔහු කේළාම් කියයි. මෙතනින් අසා මෙතන බිඳවීම පිණිස වෙන තැනක කියයි. එතනින් අසා ඔවුන් බිඳවීම පිණිස මෙතන විත් කියයි. සමඟි වූවන් බිඳවයි. අසමඟි අයගේ අසමඟිය වැඩි කරයි. පිරිස වෙන් කිරීමෙහි ඇලී සිටියි (වග්ගාරාමෝ). පිරිස වෙන් කිරීමෙහි යෙදුණේ වෙයි (වග්ගරතෝ). පිරිස වෙන් කිරීමෙන් සතුටු වෙයි (වග්ගනන්දි). පිරිස් වෙන් කරන වචන පවසයි.

6.දරුණු වචන කියයි. යම් වචනයක් දරුණු වෙයි ද (යා සා වාචා අණ්ඩකා) කර්කශ වෙයි ද (කක්කසා) කටුක වෙයි ද (පරකටුකා) අනුන් කිපෙනසුලු වෙයි ද (පරාභිසජ්ජනී) ක්‍රෝධය ඇති කරන්නේ වෙයි ද (කෝධසාමන්තා) සිතේ සන්සිඳීම නැති කරන්නේ වෙයි ද (අසමාධිසංවත්තනිකා) එබඳු වචන කියන්නේ වෙයි.

7.නිසරු දේ කියයි. කාලානුරූප නොවන දේ කියයි (අකාලවාදී). අසත්‍යය කියන්නේ වෙයි (අභූතවාදී). අයහපත් දේ කියයි (අනත්ථවාදී). අධර්මය කියයි (අධම්මවාදී). හික්මීම නැතිවන දේ කියයි (අවිනයවාදී). මතක තබා ගැනීමට නුසුදුසු දේ කියයි (අනිධානවතිං වාචං භාසිතා හෝති). (අකාලේන අනපදේසං අපරියන්තවතිං අනත්ථසංහිතං) මෙසේ නොකල්හී, හේතු රහිතව, සීමා රහිතව අයහපත් වචන කියයි.

මනසින් අපිරිසිදු බව ඇතිවෙන ආකාර තුන මෙයයි.

8.කෙනෙක් අන්සතු දෙයට ආසා කරයි (අභිජ්ඣාලූ හෝති). අනුන් සතු වස්තු උපකරණ වේ ද ඒ කෙරෙහි ගිජු වූයේ වෙයි. ‘අහෝ! සැබවින්ම ඔවුන්ට අයත් දෙය මා සතු වේවා!’ යි සිතයි.

9.(ව්‍යාපන්න චිත්තෝ හෝති) ද්වේෂ සිතින් යුක්තයි. දූෂිත වූ සිතිවිලි ඇත්තේ වෙයි. ‘මේ සත්වයෝ වැනසෙත්වා! සිරගත වෙත්වා! මුලින්ම නැසෙත්වා! විනාශයට පත් වෙත්වා! නැත්තටම නැති වෙත්වා! යි’ සිතයි.

10.(මිච්ඡාදිට්ඨීකෝ හෝති විපරීතදස්සනෝ) වැරදි දෘෂ්ඨියක් ගත්තේ වෙයි, විපරීත දැක්මකින් යුතු වූයේ වෙයි.

‘නත්ථිදින්නං’ – දෙන ලද්දෙහි විපාක නැත.

‘නත්ථියිට්ඨං’ – පුදන ලද්දෙහි විපාක නැත.

‘නත්ථි හුතං’ – සේවා කටයුතුවල විපාක නැත.

‘නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකො’ – හොඳ නරක කර්මයන්ගේ විපාක නැත.

‘නත්ථි අයං ලෝකෝ’ – මෙලොවක් නැත.

‘නත්ථි පරෝලෝකෝ’ – පරලොවක් නැත.

‘නත්ථි මාතා’ – මවක් නැත.

‘නත්ථි පිතා’ – පියෙක් නැත.

‘නත්ථි සත්තා ඕපපාතිකා’ – ඕපපාතික සත්වයෝ නැත.

‘නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්ති’ – මෙලොව පරලොව පිළිබඳව සිය විශිෂ්ට ඤාණයෙන් අත්දැක යමක් පවසත් නම්, එබඳු වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැතැ’යි මෙබඳු දෙයක් සිතට ගත්තේ වෙයි.

චුන්දය, මේවා දස අකුසල කර්මයන්ගේ මාර්ගයන් ය (දස අකුසල කම්මපථ). මේ අකුසල කර්ම මාර්ගයන්ගේ යෙදී සිටින්නෙක් හිමිදිරියේ නැගිට පොළොව ඇමදුවත් අපිරිසිදු ම යි. ඇමදුවේ නැතත් අපිරිසිදු ම යි. පොළොවේ අමු ගොම තැවරුවත් අපිරිසිදු ම යි. ගොම තැවරුවේ නැතත් අපිරිසිදු ම යි. අමු තණකොළවලින් පොළොව පිරිමැද්දත්, නැතත් අපිරිසිදු ම යි. ගිනි පිදුවත් ගිනි නොපිදුවත් අපිරිසිදු ම යි. ඇඳිලි බැඳ සූර්ය නමස්කාර කළත්, නොකළත් අපිරිසිදු ම යි. සවස තුන්වෙනි කොට දියට බැස්සත්, දියට නොබැස්සත් අපිරිසිදු ම යි.

එයට හේතුව නම්, මේ දස අකුසල කර්ම මාර්ගයෝ අපිරිසිදු ය. අන්‍යන්ව ද අපිරිසිදු ම කරති. මෙම දස අකුසල කර්ම මාර්ගයන්ගේ ගමන් කිරීම හේතුවෙන් නිරය පැනවෙයි. ප්‍රේත විෂය පැනවෙයි. යම්කිසි දුගතීන් වේ ද ඒවා පැනවෙයි.” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

ඒ වගේ ම පිරිසිදු බව ගැන වදාළේත් කයෙන් තුන් අයුරකිනුත්, වචනයෙන් සිව් අයුරකිනුත්, මනසින් තුන් අයුරකිනුත් පිරිසිදු බව ඇතිවන බවයි.

1.සතුන් මැරීම අතහැර, දඬුමුගුරු අවිආයුධ අත්හැර දයාවෙන් යුතුව සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පී ව වාසය කිරීමෙන්,

2.සොරකම අත්හැර සොරකමින් වැළකීමෙන්,

3.වැරදි කාම සේවනයෙන් වැළකීමෙන කයෙන් සිදු වන පිරිසිදු බව ඇති වේ.

4.බොරු කීමෙන් වැළකී සිටීමෙන්,

5.කේළාම් කීම අත්හැර, කේළමින් වෙන් වී අසමඟි අය සමඟි කරමින් සමඟියෙහි ම ඇලී සමඟි කිරීමෙහි බස් පවසමින්,

6.දරුණු වචනයෙන් වැළකී, දොස් රහිත, කනට සැප ඇති කරන, දයාව ඇති කරන, හෘදයංගම වැදගත් වචන, බොහෝ ජනයා කැමති වචන පැවසීමෙන්

7.නිසරු දේ කීමෙන් වැළකී කාලානුරූපව සත්‍ය වූ, යහපත් වූ දේ ම, ධර්මය ම, හික්මීම ඇතිවෙන දේ ම, මතක තබා ගැනීමට සුදුසු දේ ම කියමින් – හේතු සහිත ව, සීමා සහිත ව යහපත් වචන පැවසීමෙන් වචනයෙන් පිරිසිදු බව ඇති වේ.

8.අන්සතු දේට ආසා නොකිරීමෙන් – (අනභිජ්ඣාලූ‍ හෝති)

9.ද්වේෂ නැතිව මෙත් සිතින්, දූෂිත සිතිවිලි නොමැතිව විසීමෙන් – (අව්‍යාපන්නචිත්තෝ හෝති)

10.නිවැරදි දෘෂ්ඨියෙන්, විපරීත නොවුණු දැක්මෙන් යුතු වීමෙන් (සම්මාදිට්ඨිකෝ හෝති අවිපරීත දස්සනෝ)

එනම්,

‘අත්ථි දින්නං’ – දානයෙහි විපාක ඇත.

‘අත්ථි යිට්ඨං’ – පුදන ලද්දෙහි විපාක ඇත.

අත්ථි හුතං’ – සේවායෙහි විපාක ඇත.

‘අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ – හොඳ නරක කර්මයන්ගේ විපාක ඇත.

‘අත්ථි අයං ලෝකා’ – මෙලොවක් ඇත.

‘අත්ථි පරෝ ලෝකෝ’ – පරලොවක් ඇත.

‘අත්ථි මාතා’ – මවක් ඇත.

‘අත්ථි පිතා’ – පියෙක් ඇත.

‘අත්ථි සත්‍තා ඕපපාතිකා’ – ඕපපාතික සත්වයෝ ඇත.

‘අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමං ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්ති’ ලොවෙහි නිවැරදි මගට පිළිපන්, මෙලොව පරලොව පිළිබඳ සිය විශිෂ්ට ඤාණයෙන් අත්දැක යමක් පවසන උතුමන් ඇතැ’ යි පිළිගැනීමෙන් සිතින් පිරිසිදු බව ඇති වේ.

මේවා දස කුසල කර්ම මාර්ගයන්‍ ය (දස කුසලකම්මපථා).

මේ කුසල කර්ම මාර්ගයෙහි යෙදී සිටින්නා හිමිදිරියේ නැගිට පොළොව පිරිමැද්දත් පිරිසිදුයි, පොළොව ඇමදුවේ නැතත් පිරිසිදුයි. පොළොවෙහි අමු ගොම තැවරුවත්, නොතැවරුවත් පිරිසිදුයි. අමු තණකොළවලින් පොළොව පිරිමැද්දත් නැතත් පිරිසිදුයි. ගිනි පිදුවත්, නොපිදුවත් පිරිසිදුයි. ඇඳිලි බැද සූර්ය නමස්කාර කළත්, නොකළත් පිරිසිදුයි. සවස තුන්වෙනි කොට දියට බැස්සත්, නොබැස්සත් පිරිසිදු වූයේ ම වෙයි.

එයට හේතුව නම්, මේ දස කුසල කර්ම මාර්ගයන් පිරිසිදු හෙයිනි. අන්‍යන් ව ද පිරිසිදු ම කරන හෙයිනි. මෙම දස කුසල කර්ම මාර්ගයෙහි ගමන් කිරීම හේතුවෙන් දෙවියෝ පැනවෙති, මිනිස්සු පැනවෙති, යම් සුගති වෙත්නම් ඒවා ද පැනවෙති.”

මෙසේ සැබෑම පිරිසිදු බව ගැන අප භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක් ම ය.

එවන් වූ පාරිශුද්ධ බවක් අප තුළත් ගොඩනගා ගන්නට හැකිවුණොත්… එය වාසනාවක් ම යි.

(ඇසුර – චුන්ද සූත්‍රය, අං. නි. – දසක නිපාතය)

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.