ආභස්සරව ඉපිද සිටිය දී පෘථිවි රසයට ලොබ බැඳ එහි සාරයෙන් පෝෂිත වූවන් ක‍්‍රමයෙන් ගොරෝසු ශරීර ලැබ පෘථිවිවාසී මිනිසුන් බවට පත්වූ අයුරු භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨ ස්වාමීන් වහන්සේට පහදා දුන්නේ අග්ගඤ්ඤ සූත‍්‍රයේ දී ය. එලෙස පෘථිවි වාසයට පැමිණි ඔවුහු මායිම් තනා ගත්තේ, ඇල් වී බෙදා ගත්තේ යම් කලක සිට ද ඒ කාලයේ පටන් ලොව තුළ පවත්නේ නො නිම් බල අරගලයකි.

එකෙකු පරයා අනෙකා උත්සාහ දරන්නේ තම බලය පතුරුවා හරින්නට ය. එහෙත් හාස්‍යයට කරුණ වන්නේ ඔවුන් මේ පතුරුවන බලාධිකාරය ඔවුන් සතු වන්නේ දරන නිලය මත වීමයි. අසීමිත බලයක් සහිත නිලයක් දරන්නට යමෙකුට අවස්ථාව සැලසෙන්නේ ශක්‍යතා හා කුසලතාවයන්ගෙන් ඒ තැනැත්තා අන්‍යයන් පරයා යන බැවිණි. එසේ වූ පමණින් නිලයේ බලතල අනෙකාට එරෙහි ව අයුතු ලෙස යොදවන්නට කිසිවෙකුට අයිතියක් නැත. එහෙත් ලෝකයේ පවත්නා සෑම බල අරගලයක ම ඉලක්කය වන්නේ නිලයේ බලය අනෙකා වෙත කෙරෙන බලපෑමක් දක්වා වර්ධනය කරවීමයි.

නිලතල නිසා ලද බලතල තුළින් අනෙකා අබිබවන්නට යමෙකු දරන ප‍්‍රයත්නය හුදු මානසික අඳභාවයක් පමණකි. එවන් උත්සාහයන් දැරූ බොහෝමයකට අවසන සිදු වූයේ නිලයත්, බලයත් අහිමිව හුදෙකලාවන්නට ය. එය අපේ අතීතය සාක්ෂි සහිත ව තහවුරු කරනු ලැබූවකි. මෙයට හේතුව නම් නිලය යනු හුදු තනතුරක් වීමත්, බලය ලැබෙන්නේ ඒ තනතුරට අදාළ යුතුකම්, වගකීම් ඉටුකරන්නට වීමත් ය.

තමන් අතින් සිදුවන කවර හෝ වරදක් සඟවන්නට නිලයවත්, බලයවත් සමත්වන්නේ නැත. වැදගත් වන්නේ චූදිතයා ද චෝදකයා ද යන්න නොව වරදක් සිදු වී ද නැති ද යන්නයි. සිදු වූ දෙය නැතැයි කියන්නා ද සිදු නො වූ දෙය වී යැයි කියන්නා ද එක සේ ම වරදකරුවන් ය. එසේ වූ කල්හි වරද සඟවන්නට හෝ වරදක් වූ බව අඟවන්නට නිලය හා බලය යොදා ගැනීමෙන් කියාපාන්නේ බලයෙන් උදුම්මා ගත් හිසක ඇති මාන්නය නො වේ ද?

නිලයන් දරන්නා වූ කවරෙකු හෝ වේවා සිහි තබා ගත යුත්තේ එයින් ලද බලය තුළින් තමන් සිදු කරන අකටයුතුකම් යම් දිනෙක තමන් ව දුකට පත්කරවන බවයි; නිලයෙන්, බලයෙන් මත්වූ මානසික අන්ධභාවයෙන් යුතු ව කටයුතු කිරීමෙන් යම් දිනෙක තමන් විනාශ මුඛයට ඇද වැටෙන බවයි.

‘‘අත්තනා’වකතංපාපං
අත්තජං අත්තසම්භවං
අභිමන්ථති දුම්මේධං
වජිරං’වස්මමයංමණිං”
‘‘තමා තුළ ම හට ගත්, තමා තුළින් ම පහළ වුණ, තමා විසින් ම කරපු පාපකර්මවලින් ම යි අනුවණයා දුක් විඳින්නේ. මැණික් ගලෙන් හැදෙන දියමන්තිය විසින් ඒ මැණික් ගල විනාශ කරනවා වගේ.”
(ධම්මපදය – අත්ත වර්ගය)

නිලය මැණිකකි. බලය එහි ඔපයයි. බලය තුළින් කරනා අකටයුතුකම් මැණිකෙන් ජනිත වූ දියමන්තියක් වග දැන හැඳින, සියල්ලෝ මනා සිහිනුවණින් ම කටයුතු කරත්වා!