හැටපස් වන වතාවටත් අපි ජාතික නිදහස් දිනය සැමරුවා. ඒ නිසා ම පසුගිය දවස් ටිකේ නිදහස් දේශයක්, නිවහල් හෙට දවසක් ගැන ආයෙමත් බොහොම තීව‍්‍ර විදියට කථා බහ කෙරුනා. ක‍්‍රි. ව. 1500 ගණන්වල ඉඳලා ම අපි ඔය ගැන කථා කළානේ. අවට සමාජයේ කරුණු කාරණා ඒ විදියට සිද්ධ වෙද්දි සැබෑ ම නිදහස ලෝකයට කියලා දීපු, නිදහසට මඟ කියා දීපු, ක‍්‍රියාවෙන් පෙන්වලා දීපු, ඒ නිදහස කරා වූ මාර්ගයේ තම ශ‍්‍රාවකයන් මනාව හික්මවනු ලබපු ඒ තුන්ලෝකාග‍්‍ර වූ, දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ මේ ‘නිදහස’ ගැන කළේ මොන ආකාරයේ විග‍්‍රහයක් ද? කියන එක අපි හොයලා බලමු.

එදා බුද්ධ කාලෙ දඹදිව සත්‍ය ගවේෂණය ගැන තිබුණෙ පුදුමාකාර උනන්දුවක්. විවිධාකාර අය විවිධාකාර දේවල් කළා මේ වෙනුවෙන්. ‘බාහිය’ කියන්නෙත් ඒ වගේ උත්සාහ කරලා, තමුන් ‘අරහත්’ යැයි හිතාගෙන හිටි කෙනෙක්. මෙයා ජීවත් වුණේ සුප්පාරක පටුනේ. ඉන්දියාවෙ බටහිර වෙරළ තීරයේ. මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ, මුම්බායට මඳක් උතුරු පැත්තට වෙන්නයි මේ තැන තියෙන්නෙ. සුප්පාරක පටුන ගැන වැඩිපුර පේළියක් එකතු කරන්න හිතුණෙ ඒක අපේ ශ‍්‍රී ලාංකේය ඉතිහාස වංශකථාවෙ එන වැදගත් ස්ථානයක් නිසා. ආර්ය වංශයේ මූලාරම්භකයා ලෙස සැලකෙන විජය රජතුමා ලංකාවට එන්න නැව් නැංගෙත් සුප්පාරක පටුනෙන් බවයි මහාවංශය කියන්නේ.

ඉතින් අපි කතා කරමින් හිටියෙ බාහිය ගැනනෙ. බාහිය ඇඳගෙන හිටියෙත් ටිකක් අමුතු විදිහේ ඇඳුමක්. ඒක දර පතුරුවලින් නිර්මිතයි. ඒ නිසා මිනිස්සු මෙයාට කිව්වෙ ‘බාහිය දාරුචීරිය’ කියල. විවිධ ආකාරයේ තපස් රැකපු මේ තැනැත්තා හිතුවා එයත් රහතන් වහන්සේ නමක් කියලා. මෙයාගෙ හිතේ ඇතිවුණ මේ වැරදි සිතිවිල්ල දැකපු, මෙයාට හිතවත් දෙවිකෙනෙක් මෙයා ගැන අනුකම්පාවෙන් කරුණු පහදලා දීලා සැබෑ අරහත් මඟ කියා දෙන, එවකට සැවැත් නුවර වැඩසිටි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සැළ කර සිටියා.

සත්‍යය ගැන එදා තිබුණ පිපාසාව පුදුමෙනුත් පුදුමයි. බාහිය එවේලේ ම පිටත් වුණා සුප්පාරක පටුනෙන් සාවත්ථිය බලා…. අද වගේ වාහන තිබුණෙ නැහැ. පයින් ම තමයි ගමන. ධර්ම පිපාසාව කොතරම් ද කියනව නම් මෙයා අතරමඟ නැවතුනේ රැයක් ගතකරන්න පමණ ම යි. ලංකාව වගේ 67 ගුණයක් විතර විශාල ඉන්දියාවෙ, සුප්පාරක පටුනෙ ඉඳල සාවත්ථියට තියෙන දුර සිතියමකින් බැලූවත් අපිට දාඩිය දානව. හැබැයි බාහිය ගියේ පයින්. අව් වැසි, සා පිපාසා නො බලා. කොහොම හරි මේ බාහිය සැවැත් නුවර ජේතවනාරාමෙට ආවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතෙ වැඩලා. මෙයා පාරවල් දිගේ ඇවිදගෙන ගියා බුදුරජාණන් වහන්සේ හොයාගෙන. ඒ මහා තෙදැති නරෝත්තමයන් වහන්සේව බාහිය දුරදීම හඳුනාගත්ත. දුවගෙන ගිහින් වැඳ වැටුණා. තෙවරක් ම ආයාචනා කිරීමෙන් පස්සෙ චතුර් මහා ඍද්ධිවිධ ඤණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේ බාහිය ගැන උපන් මහත් අනුකම්පාවෙන් මේ විදියට වදාරණවා.

‘‘පින්වත් බාහිය, එහෙනම් ඔබ මේ විදියටයි හික්මෙන්න ඕන. යමක් දකින විට, ඒ දේ ගැන කෙලෙස් ඇති නො වීමක් ම යි වෙන්නෙ. එය දැකීම් මාත‍්‍රයක් පමණයි. යමක් අසන විට, ඒ දේ ගැන කෙලෙස් ඇති නො වීමක් ම යි වෙන්නෙ. එය ඇසීම් මාත‍්‍රයක් පමණයි. යමක් ආඝ‍්‍රාණය කරන විට, ඒ දේ ගැන කෙලෙස් ඇති නො වීමක් ම යි වෙන්නෙ. එය ගඳ-සුවඳ දැනීම් මාත‍්‍රයක් පමණයි. යමක් රස විඳින විට, ඒ දේ ගැන කෙලෙස් ඇති නො වීමක් ම යි වෙන්නෙ. එය රස විඳීම් මාත‍්‍රයක් පමණයි. යම් පහසක් විඳින විට, ඒ දේ ගැන කෙලෙස් ඇති නො වීමක් ම යි වෙන්නෙ. එය පහස විඳීම් මාත‍්‍රයක් පමණයි. යමක් සිතින් දැනගත්ත විට, ඒ දේ ගැන කෙලෙස් ඇති නො වීමක් ම යි වෙන්නෙ. එය දැනගැනීම් මාත‍්‍රයක් පමණයි.

ඉතින් පින්වත් බාහිය, යම් වෙලාවක ඔබ යමක් දකින විට ඒ දකින දේ ගැන, අසන විට ඒ අසන දේ ගැන, ආඝ‍්‍රාණය කරන විට ආඝ‍්‍රාණය කරන දේ ගැන, රස විඳින විට රස විඳින දේ ගැන, පහස ලබන විට පහස ලබන දේ ගැන, සිතින් දැනගන්න විට ඒ දැනගන්න දේ ගැන කෙලෙස් ඇති නො වීමක් නම් වෙන්නෙ ඔබ ඒ හේතුවෙන් ඒකට බැඳෙන්නෙ නෑ. යම් වෙලාවක ඔබ ඒ කිසිවකට බැඳෙන්නෙ නැත්තං ඔබ එතන නෑ. ඔබ එතන නැත්නං ඔබ මෙලොවත් නෑ. ඔබ පරලොවත් නෑ. ඒ දෙක අතරත් නෑ. ඔබ නිදහස්…….”

මෙහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ නැවතත් පිණ්ඩපාතෙ වැඩියා. බාහියට මුළුමනින් ම ‘නිදහස්’ වෙන්න ගතවුණේ බොහොම සුළු වෙලාවයි. ඒ බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ සියළු කෙලෙසුන්ගෙන් සැබෑවට ම නිදහස් වුණා.

මොහොතකට හිතල බලන්න අපි මේ කෙලෙස් කාමයන්ට කොයිතරම් බැඳිලා ගිහින් ද කියලා. මේ කාම ගිනිවලින් කොයිතරම් නම් දැවි දැවී ද ඉන්නෙ කියලා. මේ කාම මඩ ගොහොරුවේ අපි කොයිතරම් එරිල ද ඉන්නෙ කියලා…..? අවාසනාව අපිට ඒක නො පෙනෙන එක. පෙනුනත් පිළිගන්න අකමැති එක. පිළිගත්තත් ගොඩ එන්න අකමැති එක. ගොඩ එන්න කැමති වුණත් ඊට අනුගමනය කළ යුතු මාර්ගය පිළිපදින්න අකමැති එක. මේ කොයි එකට අකමැති වුණත් අපිට වෙන්නෙ මඩේ ම එරිල ඉන්න. නුවණැති වීරියවන්ත කෙනා විතරයි වලෙන් ගොඩ යන්නේ. මේ ලාමක, තුච්ඡු කාමුක ආශ්වාදයන්ට ඇලිලා, ඒවයින් අන්ධ වෙලා ඉන්න අය හිතනවා ඒ සැප විඳිමින් සිත් සේ ජීවත් වීම තමයි නිදහස කියලා. බලන්න මේ කාමයන් නිසා අපි කොයිතරම් නම් බන්ධන ප‍්‍රමාණයකට හිර වෙලා ද කියල. ගොඩක් වෙලාවට අපිට තේරුම් ගන්න අමාරුයි අපි බන්ධනයක හිර වෙලා ද කියලවත්. ඒ තරමට ම අපි අන්ධ වෙනවා. මොහොතකට හිතලා බලන්න ජීවිතේ කවදා හරි ඔබ මොනයම්ම දෙයක් හෝ වෙනුවෙන් දුක් වුණා නම්, කඳුළු සැළුව නම්, හඬා වැලපුණා නම් ඒ බන්ධනයක් නිසා නෙවෙයි ද කියලා…… ඉතින් අපි නිදහස් ද?එ

මේ ලෝ දහම පසක් නො කරගැනීම නිසා, සැබෑ නිදහස නො ලැබීම නිසා එක පුද්ගලයෙක් මේ අනවරාග‍්‍ර සංසාර ගමනෙදි හෙලූ කඳුළු සතර මහා සාගර ජලයට වැඩි බවයි තුන්කල් දක්නා නුවණින් යුත්, ලෝකවිදු වූ අප ශාස්තෘන් වහන්සේ වදාළේ. මේ සසර ගමන අතිශය අනියතයි. බියකරුයි. බිහිසුණුයි. මේ ගමන වැටිල තියෙන්නෙ සතර අපාය හරහා. මහා දුක් කන්දරාවක්, වේදනා සමුදායක් මැදිනුයි මේ පාර වැටිල තියෙන්නෙ. ඉතින් මෙවන් වූ සසරකින් නො මිදුණු සත්වයාට කවර නම් නිදහසක් ද?

ඇති තතු ඇති ලෙස ම දැක, කවදා නම් අපි ‘නිදහස්’ වෙමු ද?

නිදහසේ සටහන
කාලිංග මහානාම