සියලු සත්වයන්ට වඩා උතුම් වූ බුද්ධ වීරයන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්ත වශයෙන් ම පාරිශුද්ධ ජීවිතයකින්, උත්තරීතර ශක්තියකින් යුතුවන සේක.

මානසික බලයේ සුවිශේෂ ප්‍රබෝධය වන සේක.

නිදහස් නිවහල් චිත්තයේ පරම රැකවරණය වන සේක.

ප්‍රීතියේත්, සැනසුමේත්, සෞභාග්‍යයේත් මිහිරි උල්පත වන සේක.

බුද්ධිමය විද්‍යාවේ අසිරිමත් ආලෝකය වන සේක.

සියලු දෙවියන්ගේත්, මිනිසුන්ගේත් එක ම විමුක්තිදායකයාණන් වන සේක.

මාගේ එක ම ආරක්ෂකයාණන්, සදාදර හිතවතාණන්, ප්‍රේමනීය ගුරු උතුමාණන්, ආධ්‍යාත්ම නායකයාණන්…. ස්වාමීනී…. ඔබ වහන්සේ ම වන සේක.

මාගේ බුද්ධියට අමතන, මාගේ බුද්ධිය පුබුදුවන, පරම නිදහසේ චමත්කාරය මතුකර දෙන, මේ විශ්වයේ සිටින ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය මාණික්‍ය රත්නය වන, පරම සුවිශේෂ සම්බුද්ධ බලයෙන් හා විස්මයජනක ඉර්ධි බලයෙන් යුතු, මහා කරුණාවේ ජල නිධිය වන ඔබ වහන්සේ මාගේ එක ම ශාස්තෘන් වහන්සේ වන සේක. සුවහසක් ගැටලුවලින් පිරුණු ජීවිතයට, අවිනිශ්විත වූ ජීවිතයට, අන්ධකාරයේ යනෙන සාංසාරික සත්වයාගේ අසරණ වූ ජීවිතයට…. එක ම පිහිට පිළිසරණ ඔබ වහන්සේ ම වන සේක.

පිවිතුරු ජීවිතයක සැනසිල්ල අස්වැසිල්ල ලබා දුන් පරම පූජනීය මානව හිතවාදියාණන් ඔබ වහන්සේ ම වන සේක…..

දුක් වේදනා සිත්වල පුරවාගෙන, සිතින් හඬ හඬා සෝ සුසුම් හෙලන ජීවිතවලට යළි කිසි දිනෙක නො හඬා නො වැළපී සිටින්නට මග කියාදුන් මහා කාරුණිකයාණන් ඔබ වහන්සේ ම ය.

සාංසාරික සත්ව සංහතියේ අනාරක්ෂිත සිත් සතන් සදා සුරක්ෂිත කර සෙනෙහසින් රැකවරණය දෙන, දෙව් මිනිස් සකල සත්ව ප්‍රජාවගේ දයාබර පීතෘවරයාණන් ඔබ වහන්සේ ම ය.

ජීවිතය ගැන වඩාත් ම පැහැදිලි, වඩාත් ම තර්කානුකූල, ඉතා ම නිදහස් චින්තනයක් ඇති, මනුෂ්‍යත්වය ඉහළින් ම සැලකූ අපගේ ධර්මස්වාමී වූ ඔබ වහන්සේ, තුන් ලොවට ම ඉහළින් ම අග්‍ර ව වැඩ සිටින සේක. සාංසාරික ජීවිතයේ අපූරු රහස සොයාගත් ශාක්‍ය මුනීන්ද්‍ර වූ මහා පින්වතාණන් වහන්ස, ඔබ වහන්සේ විස්මයජනක වූ, අපූර්ව වූ ආධ්‍යාත්මික ශක්තියක් දරාගෙන උත්තම ගුණයන්ගෙන් පරිපූර්ණ වූ ජීවිතයක් ගත කළ සේක.

තුන් ලොවට ඇති අසමසම වූ අසහාය පාරිශුද්ධ නායකත්වය ද ඔබ වහන්සේ ම ය. ජ්‍යේෂ්ඨත්වය ද ශ්‍රේෂ්ඨත්වය ද ඔබ වහන්සේ ම ය. මේ ලෝකයේ වඩාත් ම අවංක, වඩාත් ම සීලවන්ත, වඩාත් ම ඤාණවන්ත, වඩාත් ම බුද්ධිමත්, වඩාත් ම කරුණාවන්ත, උත්තරීතර පුරුෂ රත්නය ඔබ වහන්සේ වන සේක.

ඔබ වහන්සේ තුළ වූ තරම් එපමණ පිවිතුරු, එපමණ නො කැළැල්, එපමණ ශාන්ත, එපමණ ගම්භීර, එපමණ උදාර චරිතයක් සකල සත්ව ප්‍රජාවේ වෙන කවුරු තුළ නම් දකින්න ද?

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මහා කාරුණික බුදුරජාණන් වහන්ස, ඒකාන්තයෙන් ම ඔබ වහන්සේ අපගේ ජීවිතවල සියලු දුක් දුරු කරන සේක. සියලු ධෛර්යයත්, සැනසීමත්, භාග්‍යයත් සලසා දෙන සේක.

ඔබ වහන්සේගේ සම්බුදු බලය ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් ය, අචින්තනීය ය. මුළු මහත් විශ්වය පුරා ම බල පවත්වන සේක.

මාගේ සම්බුදුරජාණන් වහන්ස, මම ද ඒ උදාර ශක්තියේ පිළිසරණ ලැබගන්නෙමි. සැබැවින්ම මහෝත්තම වූ ඔබ වහන්සේ සරණ යාම තරම්, වෙන උත්තම දෙයක් කොයින් නම් ලබන්න ද?

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නම් ඒකාන්තයෙන් ම අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක.

මාගේ අති උතුම් භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මේ සියලු ගුණයන්ගෙන් යුතුව වැඩ හිඳිමින් සියලු සතුරු උවදුරු මැඩ වසර 45ක් පුරාවට ම අසත්‍ය යටපත් කොට සත්‍යය ම ඉස්මතු කොට පෙන්වා වදාළ සේක. ඒ සත්‍යයේ ආලෝකය කිසිවක් හා සම කළ නො හැකි ය.

ඒ නිසා ඒකාන්තයෙන් ම මාගේ සැබෑ නායකයා ද ගුරුවරයා ද මා හට නිවන් මග පෙන්වන – සසර දුකින් මා මුදවන මාගේ පරම පූජනීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ද මා දුකින් ගලවන්නා වූ රැකවරණය ද මාගේ දිවි මග පහන් කරන ආලෝකය ද… ස්වාමීනී ඔබ වහන්සේ ම වන සේක.

මෙසේ මාගේ බිය දුරු කොට සත්‍යයේ ආලෝකය උදාකර දෙන සම්බුද්ධරාජෝත්තමයාණන් වහන්සේ මම මුළු හදවතින් ම සරණ යමි. දෙවනුව ද තෙවනුව ද සරණ යමි. එය මාගේ ජීවිතයේ සදාකාලික ආලෝකය වේවා.! මාගේ මුළු ජීවිතය ම උතුම් සම්බුදු සමිඳුන් හට පූජා වේවා…!

ඇසුර – ‘බුද්ධියේ හිරු කිරණ’ ග්‍රන්ථ රත්නය

(මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෙහෙණින් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)