බ්‍රහ්මචරිය යන වචනය ඇහෙනවාත් සමඟ ම බොහෝ දෙනෙකුට ‘බඹසර සීලය’ මතක් වෙනවා නොඅනුමානයි. නමුත් බ්‍රහ්මචරිය යන වචනය යෙදෙන්නේ තනිකර ම සිල්පදයකට ම නොවෙයි- බ්‍රහ්මචරිය යන්නේ බොහෝ අර්ථ තිබේ. මේවා තේරුම් ගෙන තිබීම වැදගත් ය. නැතහොත් ‘බඹසර සීලය ම’ හරය කොටගෙන නිවන් මගේ ප්‍රමාද වීමට පුළුවන. වැරදි දෘෂ්ටිවලට යෑමට ද ඉඩ ඇත. එනිසා පපඤ්ච සූදනී නම් වූ මජ්ක්‍ධිම නිකායට්ඨ කථාවේ මහා සීහනාද සූත්‍ර වර්ණනාවට අනුව ‘බ්‍රහ්මචරිය’ යන වචනයේ අර්ථ විග්‍රහය මෙසේ ලිපියකින් විස්තර කෙරේ.

01. ‘බ්‍රහ්මචරිය’ ‐ දානය සඳහා ද යෙදේ-

මේ පිළිබඳ විස්තරයක් විදුර ජාතකයේ පෙනේ. විදුර පඬිතුමා නාරජුගෙන් ඔහුගේ නාග ඉර්ධි හා පුණ්‍ය විපාක ලැබීමට හේතුව විමසයි. කළ පුණ්‍ය ක්‍රියා විමසයි. එහි දී මෙවැනි උත්තරයකින් විස්තර කෙරේ.

අහං ච භරියා ච මනුස්සලෝකේ ‐ සද්ධා උභෝ දානපතී අහුම්හා
ඕපානභූතං මේ ඝරං තදාසි ‐ සන්තප්පිතා සමණබ්‍රාහ්මණා ච

“පඬිතුමනි, පෙර මිනිස් ලොව දී මම ද මාගේ බිරිඳ ද ශ්‍රද්ධා ඇත්තේ දානපතීහු වීමු. මාගේ නිවස එකල්හි සතරමං හංදියක කණින ලද පොකුණක් මෙන් විය. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආහාර පානාදියෙන් සංග්‍රහ කරන ලදී.”

මාලං ච ගන්ධං ච විලේපනං ච
පදීපියා සෙය්‍යමුපස්සයං ච
අච්ඡාදනං සයනං අන්නපානං
සක්කච්ච දානානි අදම්හ තත්‍ථ

“මල් සුවඳ විලවුන් පහන් දැල්වීමට අවශ්‍ය දෑ ඇඳ පුටු නිවාස වස්ත්‍ර සහ ආහාර පාන මිනිස් ලොව දී සකස් කොට පිදීමි.”

තං මේ වතං තං පන බ්‍රහ්මචරියං ‐ තස්ස සුචිණ්ණස්ස අයං විපාකෝ
ඉද්ධීඡුතී බලවිරියූපපත්ති ‐ ඉදං ච මේ ධීර මහාවිමානං-

“පඬිතුමනි, එය මාගේ ව්‍රත සමාදානය යි. එය මගේ බඹසරයි. මනා සේ පුහුණු කළ කුසල කර්මයන් නිසා නාග ඉර්ධිය ‐ තේජස ‐ බලය කායික චෛතසික වීර්යය නාලොව උපත සහ මාගේ මහා විමානය ද ලදිමි.”

මෙහි මිනිස් ලොවේ දී කළ සියලු දානයන් බ්‍රහ්මචරිය ලෙස එම නා රජු දක්වයි. ඒ අනුව බ්‍රහ්මචරිය යන්න දානයට ද යෙදේ. (මෙහිලා විමසිය යුතු කරුණක් ද වේ. එනම් නා රජු නාග ලෝක උප්පත්තිය පිණිස හේතු දක්වද්දි විස්තර කරන්නේ ශ්‍රද්ධාවෙන් දන් දීමයි. නමුත් සීලය, දමනය, ඉවසීම, ආර්ය සත්‍යාවබෝධයත් නොදක්වයි. එනිසා හුදෙක් දානය ම පෙරටු කොටගෙන සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් ගුණදහම් ගැන නොසිතන අය මේ කරුණු විමසීම වටී.)

02. වතාවත් කිරීම/මග පෙන්වීම අර්ථය ‘බ්‍රහ්මචරිය’

මෙය අංකුර පේත වත්ථුවෙහි එන කරුණකි. අසය්හ සිටුවරයාගේ දානයට පැමිණෙන යාචකයන් හට “අන්න අර දිසාව ” යැයි දන්හල දෙසට මග පෙන්වීම, ඒ වත සිදු කර ඒ අතින් සිතූ පැතූ සම්පත් ලබා දෙන දිව්‍ය ජීවිතයක් ලැබුණු අයෙක් ගැන විස්තරයක් වෙයි. එහි මෙසේ සඳහන් ය-

තේන පාණි කාමදදෝ – තේන පාණි මධුස්සවෝ
තේන තේ බ්‍රහ්මචරියේන – පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣති

(අසය්හ සිටුවරයාගේ දන්හල දෙසට අත දික් කිරීම නැමැති) ඒ හේතුවෙන් තොපගේ අත කැමැති සම්පත් දෙන්නේ වෙයි. ඒ හේතුවෙන් තොප අත ඉෂ්ඨ වස්තු ප්‍රසව කරන්නේ වෙයි. තොපගේ ඒ බ්‍රහ්මචර්යාවෙන් අත්හි පුණ්‍ය ඵලය පහළ වෙයි.

මෙහි වතාවත්/මග පෙන්වීම යන අර්ථයෙන් බ්‍රහ්මචරිය යන වචනය යොදා තිබේ.

03. වැඩිහිටි ගෞරවය සඳහා යෙදෙන ‘බ්‍රහ්මචරිය’ වචනය

මෙය යෙදෙන්නේ තිත්තිර ජාතකයේ ය. එක්තරා නුග ගසක් අරමුණු කරගෙන වඳුරෙකු හා ඇතෙකු මෙන් ම වටු කුරුල්ලෙකු වැඩිමහල්ලා කවුරු ද යැයි විමසද්දි වටු කුරුල්ලා එහි වැඩිමලා විය. එදා පටන් වඳුරාත්, ඇතාත්, වටු කුරුල්ලාට ගරු කරමින් සංවරයෙන් වාසය කළහ. එය ‘වටු බඹසර’ යනුවෙන් ජාතක කථාවේ එයි.

“ඉදං ඛෝ තං භික්ඛවේ තිත්තිරං නාම බ්‍රහ්මචරියං අහෝසි.”

පින්වත් මහණෙනි මෙය වනාහි ‘වටු බඹසර’ නම් විය. ඒ අනුව වැඩිමහල්ලන් පුදමින් ආදර ගෞරවයෙන් සංවරව වාසය කිරීම බ්‍රහ්මචර්යාව යන අර්ථයට ගෙන තිබේ.

04. සිව් බඹ විහරණ සඳහා යෙදෙන බ්‍රහ්මචරිය වචනය

මෙය මහා ගෝවින්ද සූත්‍රයෙහි යෙදේ. ගෝවින්ද පඬිතුමා සිව් බඹ විහරණ තුළ බොහෝ ශ්‍රාවකයන් හික්මවීය. එනම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන විහරණ හතරයි. එයින් ඒ ශ්‍රාවකයන් සියලු දෙනා සුගති උප්පත්තිය ලැබූහ. නමුත් ඒ මාර්ගය නිවන් මග නොවීය.
“තං ඛෝ පන මේ පංචසිඛ, බ්‍රහ්මචරියං න නිබ්බිදාය, න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති, යාවදේව බ්‍රහ්මලෝකූපපත්තියා.”

“පඤ්චසිඛය, ඒ මහා ගෝවින්දයන්ගේ බඹසර අවබෝධයෙන් කලකිරීම පිණිස හෝ නොඇල්ම පිණිස හෝ කෙලෙස් නැසීම පිණිස හෝ කෙලෙස් සංසිඳවීම පිණිස හෝ විශිෂ්ට ඥානය පිණිස හෝ චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස හේතු නොවීය. හුදෙක් බ්‍රහ්මලෝක උපත පිණිස හේතු විය.”

මහා ගෝවින්ද සූත්‍රයට අනුව බ්‍රහ්ම විහාර ප්‍රතිපත්තිය බ්‍රහ්මචරිය යන වචනයෙන් විස්තර කොට තිබේ.

05. ධර්ම දේශනාව/දහම් පදය සඳහා යෙදෙන ‘බ්‍රහ්මචරිය’ වචනය

සහම්පතී මහා බ්‍රහ්මයා අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මෙම ප්‍රකාශය කළේ ය.

“ඒකස්මිං බ්‍රහ්මචරියස්මිං සහස්සං මච්චුහායිනං”

“එක දහම් දෙසුමක් තුළ මාරයා මැඩලූ රහතුන් දහසක් වැඩ සිටිති.”

අන්ධකවින්ද සූත්‍රය (සං- නි- 01)

මෙහි දහම් පදය, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට බ්‍රහ්මචරිය යන වචනය යොදා තිබේ.

06. මෛථුනයෙන් වැළකීම සඳහා යෙදෙන ‘බ්‍රහ්මචරිය’ වචනය.

මෙය බොහෝ විට සිල්පද විස්තර කිරීමේ දී නිතර භාවිත වෙයි. මෛථුන ඇසුර හෙවත් අඹුසැමි ඇසුරින් වෙන්ව වාසය කිරීම යි. අබ්‍රහ්මචාරී බවින් වැළකීම ලෙස සමාදන්වන සීලය යි. කිසිදු කාම සේවනයක් නොකර පවිත්‍ර ජීවිතයක් ගත කිරීම මෙයින් අදහස් කෙරේ- බඹසර සීලය ලෙස කතා කරන්නේ මේ අර්ථයෙනි. සල්ලේඛ සූත්‍රයේ මෙසේ සඳහන් ය.

“පරේ අබ්‍රහ්මචාරී භවිස්සන්ති, මයමෙත්ථ බ්‍රහ්මචාරී භවිස්සාමී”

“අන් අය අබ්‍රහ්මචාරී වෙන්න පුළුවන්, නමුත් මම බ්‍රහ්මචාරී වන්නෙමි.”

මෙහි මෛථූන විරතිය බ්‍රහ්මචරිය ලෙස හඳුන්වා දී තිබේ.

07. වැරදි කාම සේවනයෙන් වැළකීම සඳහා යෙදෙන ‘බ්‍රහ්මචාරී’ වචනය.

මෙය මහා ධම්මපාල ජාතකයේ සඳහන් ය. ධම්මපාල පරම්පරාවේ අය වැරදි කාමසේවනය (තම බිරිඳ ඉක්මවා යාම, තම ස්වාමියා ඉක්මවා යාම) නොකිරීම එක්තරා බ්‍රහ්මචාරී බවක් බව සඳහන් ය.

මයං ච භරියං නාතික්කමාම
අම්හේ ච භරියා නාතික්කමන්ති
අඤ්ඤත්‍ර තාහි බ්‍රහ්මචරියං චරාම
තස්මා හි අම්හං දහරා න මිය්‍යරේ

“අපි ද භාර්යාවන් ඉක්මවා නොයම්හ. භාර්යාවෝ ද අපි ඉක්මවා නොයති. ඔවුන් හැර අනෙක් ස්ත්‍රීන් කෙරෙහි බඹසර හැසිරෙන්නෙමු. එනිසා අප පවුලේ පුංචි ළමුන් මැරෙන්නේ නැත.”

මෙහි ස්වදාර සන්තෝෂය බඹසර ලෙස දැක්වේ. එනිසා මේ අනුව විවාහ වූ අය වැරදි කාමසේවනයෙන් වළකින්නේ නම් එය ඔවුන්ට බඹසර වන්නේ ය.

08. අරමුණ ඉටුවීම /අධ්‍යාශය සඳහා යෙදෙන ‘බ්‍රහ්මචරිය’ වචනය.

ගාමිණී ජාතකයෙහි ගාමිණී කුමරා බෝසතුන්ගේ අවවාදයෙහි පිහිටා සොහොයුරන් සියයකට ශ්‍රේෂ්ඨව ඒ අය ද පිරිවරා සේසත් නංවා සැප ලැබී ය. ඔහු තම අරමුණු අභිමතාර්ථ ඉටුවී ඇති බව දකිමින් තම ගුරුතුමා ද සිහි කොට මේ උදානය කීවේය.

අපි අතරමානානං – ඵලාසාව සමිජ්ඣති
විපක්කබ්‍රහ්මචරියෝස්මි – ඒවං ජානාහි ගාමිණී.

“නුවණැත්තන්ගේ අවවාදයේ පිහිටා නොඉක්මන් ව කටයුතු කරන්නන්ගේ පවා ඵල ආසාව-ප්‍රාර්ථනාව ඉටු වේ. මම මුහුකුරා ගිය බ්‍රහ්මචරිය ඇත්තෙමි. ගාමිණී මෙය දැනගන්න.”

මෙහි අදහස ඉටුවීම ‘බ්‍රහ්මචරිය’ ලෙස අර්ථ දක්වත්‍.

09. වීර්යය සඳහා යෙදෙන ‘බ්‍රහ්මචරිය’ වචනය.

මෙය මහා සීහනාද සූත්‍රයෙහි පෙනේ- සතර අංගයකින් සමන්විත බ්‍රහ්මචරිය යන වචනය එහි යෙදෙන්නේ තපස් ක්‍රම හතරකින් කළ වීර්යයට යි.

“අභිජානාමි ඛෝ පනාහං සාරිපුත්ත චතුරංග සමන්නාගතං බ්‍රහ්මචරියං චරිතා.”

“සාරිපුත්තයෙනි, මම අංග සතරකින් යුතු වූ බඹසර හෙවත් වීර්යය කළ බව දනිමි.”

10. ආර්ය අෂ්ටාංගික මාර්ගය ‐ බ්‍රහ්මචරියාව යි.

මුළුමනින් ම පරිපූර්ණ අර්ථයෙන් ම බ්‍රහ්මචරිය යනු මේ උතුම් බුද්ධ ශාසනය යි. උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ නිවන් මාර්ගය යි. සීල, සමාධි, ප්‍රඥා සික්ඛා සහිත නිවන් මගයි. සියලු පින් ඇත්තෝ මේ බඹසරට ආසා කළ යුත්තෝ ය. මේ බඹසර වරදවා නොගත යුතු ය. ගෝවින්ද සූත්‍රයේ මෙසේ එයි.

“ඉදං ඛෝ පන මේ පඤ්චසිඛ බ්‍රහ්මචරියං ඒකන්තනිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කතමං ච තං පංචසිඛ බ්‍රහ්මචරියං -පෙ- අයමේව අරියො අට්ඨංගිකෝ මග්ගෝ ”

“පඤ්චසිඛයෙනි, මාගේ මේ නිවනට යන බඹසර වනාහී ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස හේතු වෙයි. සසර නොඇල්ම පිණිස හේතු වෙයි. කෙලෙස් නැසීම පිණිස හේතු වෙයි. කෙලෙස් සංසිඳවීම පිණිස හේතු වෙයි. විශිෂ්ට ඥානය පිණිස හේතු වෙයි. චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස හේතු වෙයි. නිවන පිණිස හේතු වෙයි. පඤ්චසිඛයෙනි, ඒකාන්ත කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිවන පිණිස පවතින බඹසර කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණි.”

මේ අනුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බ්‍රහ්මචරිය යනු බුද්ධ ශාසනය යි. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.
‘බ්‍රහ්මචරිය’ යන වචනය නොයෙක් තැන්වල නොයෙක් අර්ථයෙන් යෙදෙන බව මේ අනුව තේරුම් ගත යුතු ය. දානය, වතාවත, සීලය, බ්‍රහ්මවිහාර, වැඩිහිටි ගෞරවය, ධර්ම දේශනාව, දහම් පදය, වැරදි කාම සේවනයෙන් වැළකීම, උපෝසථය, අධ්‍යාශය, වීර්යය, ආර්ය මාර්ගය, මුළු බුදු සසුන ආදී අර්ථ දීම සඳහා බ්‍රහ්මචරිය වචනය යොදාගෙන ඇත. ශ්‍රේෂ්ඨ චරියාව යන අර්ථය බ්‍රහ්මචාරී යන්නට පොදු වචනයකි. මේ උතුම් දහම් අර්ථ තේරුම් අරගෙන උතුම් බඹසර වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ම පුරුදු කරන්නට සිතට ගත යුතු ය.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.