ගංගා, යමුනා, සරභූ, මහී, අචිරවතී යන පංච මහා ගංගාවන්ගේ ජලය නිරන්තරයෙන් මහා සාගරය වෙත ගමන් කරනවා. යම් මේ පුරුෂයෙකු ඒ මහා සාගරය මැදට නැවකින් ගොස් ජලය දෝතක් අතින් ගෙන දිවෙන් රස විඳ “මේ ගංගා නදියේ වතුර, මේ යමුනා නදියේ වතුර, මේ සරභූ නදියේ වතුර, මේ මහී නදියේ වතුර, මේ අචිරවතී නදියේ වතුර” කියා වෙන් කොට දක්වන්නට සමත් වුණහොත්, එසේ වෙන් කොට දැනගන්නට සමත් වුණහොත් නිසැකයෙන් ම එය ඉතා දුෂ්කර කටයුත්තක් ඉටු කිරීමට තිබෙන අසාමාන්‍ය දක්ෂතාවයක්.

නාගසේන මහරහතන් වහන්සේ මිළින්ද රජුගෙන් මේ ප්‍රශ්නය විමසද්දී මිළින්ද රජු පැවසුවේත් එය ඉතා දුෂ්කර කටයුත්තක් කියලයි. එවිට නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළා.

“රජතුමනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද්දේ එයටත් වඩා දුෂ්කර දෙයකි. එකට එක අරමුණෙහි පවතින්නා වූ අරූපී වූ චිත්ත චෛතසික ධර්මයන්ගේ ස්වභාවය මෙය ස්පර්ශය යි, මෙය විඳීම යි, මෙය සංඥාව යි, මෙය චේතනාව යි, මෙය සිත යි වශයෙන් වෙන් වෙන් කොට ප්‍රකාශ කිරීම යි.”

(මිළිඳු රාජ ප්‍රශ්නය)

දහම නොඇසූ විරූ අයෙකුට සිතුවිලි මාත්‍රයකින් හෝ විෂය නොවන ඒ ගම්භීර වූ ප්‍රඥාලෝකය උපදවා ගනිමින් සම්බුදුරජාණන් වහන්සේ මේ සියුම් ධර්මතාවයන් වෙන් වෙන් ව දැක වදාළේ, දැන වදාළේ ඇසතු බෝධි මූලයේ දී. සතියක් පුරා ඒ බෝධි පර්යංකයේ ම සමවත් සුවයෙන් ලොව්තුරු සැප විඳිමින් වැඩ හුන් සම්බුදුරජාණන් වහන්සේ ඒ සත්දින ඇවෑමෙන් වජිරාසන භූමියට ඊසාන දෙසින් වැඩ වෙසෙමින් සම්බුද්ධත්වය සාක්ෂාත් කිරීම පිණිස වජ්‍ර වූ අදිටනින් අසුන් ගත් මොහොතේ පටන් දස බිම්බරක් මර සෙන් පැමිණ සටන් කරද්දී පවා නොසැලී තමන් වහන්සේට සෙවණ සලසාලූ ඇසතු බෝධි වෘක්ෂය දෙස අභිනීල නේත්‍ර යුග්ම නොපියා සතියක් මුළුල්ලේ බලා සිටියා.

සම්බුදුවරයෙකුට උපකාරය වූ බෝධි වෘක්ෂය දෙස අනිමිසලෝචන පූජෝපහාර දක්වමින් සම්බුදුරජුන් මේ ලෝකයට කළගුණ දන්නා බවත්, කළගුණ සිහි කිරීමත් යන උත්තම සත්පුරුෂ භූමිය හඳුන්වා දෙද්දී ලෝකයේ ධර්ම රත්නය හෝ සංඝ රත්නය පහළ වී සිටියේ ද නැහැ.

දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනා කොට දේශිත ශ්‍රී සද්ධර්මය තුළ දී ද ඒ සත්පුරුෂ භූමිය යළි සිහිපත් කොට වදාළා.

“පින්වත් ආනන්ද, යම් කළගුණ දන්නා බවක් ඇද්ද, කළගුණ සිහි කිරීමක් ඇද්ද, එයට සත්පුරුෂ භූමිය යැයි කියමි.”

මේ ධර්ම මාර්ගය තුළ දියුණුවට, විපුල බවට, අභිවෘද්ධියට පැමිණෙන්නේ සත්පුරුෂයන් ම යි. ධර්ම මාර්ගයේ අවසානය තෙක් පැමිණ වදාළ සම්බුද්ධ ශ්‍රාවකයන් පවා ඒ අරහත් ඵලය තුළ පවා ප්‍රකට කරනු ලැබූවේ මේ සත්පුරුෂ ගුණය ම යි…

ගෞතම සම්බුද්ධ ශාසනයේ දිවැස්ලාභීන් අතර අගපත් වූයේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ අවසන් අත්භවයේ උපන්නේ සිද්ධාර්ථ ගෞතම රජ කුමරුන්ගේ බාප්පා වූ අමිතෝධන ශාක්‍ය රජුගේ බාල පුත් කුමරු ලෙසිනුයි. මහානාම ශාක්‍ය රජු ඔහුගේ වැඩිමහලු සහෝදරයා. මේ අනුරුද්ධ කුමාරයා කිසි දිනෙක ‘නැත’ කියන වචනය අසා තිබුණේ නැහැ. ඔහු අසන්නේ යමක් ද ඒ දෙය ඔහුට ලැබෙනවා. ඒ නිසා අනුරුද්ධ කුමාරයා ‘නැත’ යන්නෙහි අර්ථය ද දැන සිටියේ නැහැ.

භගු, කිම්බිල, නන්දිය ආදි අනෙක් ශාක්‍ය කුමාරවරුන් සමඟ කෙළි සෙල්ලමේ යෙදුණ එක දවසක අනුරුද්ධ කුමාරයා කැවුම් ඔට්ටුවට තැබුවා. ඔහු තරඟයෙන් පරාජයට පත් වුණ නිසා තම මාලිගයට සේවකයෙකු පිටත් කොට යවා කැවුම් ගෙන්වා ගත්තා. දෙවැනි වතාවටත් ඔහු කැවුම් ඔට්ටුවට තබා සෙල්ලම් කළා. දෙවැනි වතාවේත් අනුරුද්ධ කුමාරයා පැරදුනා. දෙවැනි වතාවටත් සේවකයෙකු තම මාලිගයට යැවූ කුමාරයා කැවුම් ගෙන්වා ගත්තා. තුන්වන වතාවටත් කැවුම් ඔට්ටුවට තබා ඔවුන් සෙල්ලම් කළා. ආයෙමත් අනුරුද්ධ කුමාරයා පැරදුනා. තුන්වන වතාවටත් සේවකයා මාලිගයට යවා කුමාරයා කැවුම් ගෙන්වා ගත්තා.

හතරවන වතාවටත් මේ පිරිස සෙල්ලම් කරද්දී ඔට්ටුවට තැබුවේ කැවුම් ම යි. අනුරුද්ධ කුමාරයා ඒ වතාවෙත් පැරදුනා. ඔහු හතරවන වතාවටත් කැවුම් ගෙන ඒම පිණිස සේවකයා ව මාලිගයට පිටත් කොට හැරියා. අනුරුද්ධ කුමාරයාගේ මවු දේවිය කුමාරයාගේ කැවුම් ඉල්ලීම කෙළවරක් නොවන බව දුටුවා. ඇය කුමාරයාට “කැවුම් නැත” කියා කියන්න යැයි පවසා සේවකයා ව පිටත්කර හැරියා. ‘නැත’ කියන වචනය කිසි කලෙක අසා නැති අනුරුද්ධ කුමාරයා සිතුවේ ඒ තවත් කැවුම් වර්ගයක් කියලයි. ‘කොණ්ඩ කැවුම්’, ‘මුං කැවුම්’, ‘හැඳි කැවුම්’ වගේ ‘නැති කැවුම්’ කියා කැවුම් වර්ගයකුත් ඇති බවයි ඔහු සිතුවේ. ඒ නිසා “නැති කැවුම් හරි එවන්න” කියා ඔහු මවට පෙරලා පිළිතුරක් යැවුවා.

රජ දේවිය මෙහෙම සිතුවා… ‘ඇත්ත තමයි… මගේ පුත් කුමාරයා උපන් තේකට නැත කියා වචනයක් අසා නෑ. ඔහු අසන්නේ යම් දෙයක් ද ඒ දේ හැම මොහොතක ම තිබුණා… අද මම පුතාට කියා දෙන්න ඕනේ නැත කියන්නේ මොකක්ද කියලා…’

ඇය හිස් භාජනයක් ගෙන පියනකින් වසා සේවකයා අතට දී මෙහෙම කිව්වා.

“මෙන්න කුමාරයාට ගිහින් දෙන්න ‘නැති කැවුම්’…”

සේවකයාත් සතුටින් පිටත් වුණා. ‘අද නම් කුමාරයා හොඳ පාඩමක් ඉගෙන ගනීවි’ කිය කියා සිතමින් ඔහු හිස් භාජනයත් ඔසවාගෙන උද්‍යානය වෙත ගමන් කළා.

එහෙත්… සිද්ධාර්ථ ගෞතම මහා බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගන්නට පෙර දිනයේ මේ මිහිමත අවසන් වරට ගෙවී ගිය පසේබුදුවරුන්ගේ යුගයේ පහළ වූ උපරිට්ඨ පසේබුදුරජාණන් වහන්සේ හමුවේ අන්නභාර නමින් දුගියෙකු ව ඉපිද මේ කුමරුන් සිදු කළ පුණ්‍ය කර්මයක විපාක ලෙසින් ඔහුට කිසි කලෙක ඔහු ඉල්වූ දෙයක් නැත කියා දකින්නට විපාකයක් තිබුණේ නැහැ. එදා උපරිට්ඨ පසේබුදුරජුන් හමුවේ තමන්ට ආහාර පිණිස වූ අවසන් බත්පත ඉතිරි නොකොටගෙන ම අත්හරින සිතින් ම යුතුව දන් දීමෙන් පසු ඔහු විසින් “සසරේ කිසි කලක නැත යන්න අසන්නට නො ලැබේවා!” කියා කළ ප්‍රාර්ථනාවකුයි මේ මල්ඵල ගැන්වෙන්නේ. එදා ඔහු විසින් අධිෂ්ඨාන කළ පරිදි ම සසරේ යළි කිසි කලෙක ඔහු ‘නැත’ කියා නොඅසන බව දුටු දෙවිවරුන් පවා සාදුකාර දුන්නා. එකල්හිදී ද ඒ සිදුවීම අනුමෝදන් වූ වෘක්ෂ දේවතාවෙකුගේ විමානය අනුරුද්ධ කුමරුන්ට හිස් භාජනය යැවෙන මේ මොහොතේ දී දැවෙන්නට පටන් ගත්තා. සිදු වන්නේ කුමක් ද කියා ඒ දේවතාවා විමසා බැලුවා. ‘නැත’ කියා දකින්නට සිදුවන කර්ම විපාක සියල්ල අහෝසි වී යන මහා පුණ්‍ය කර්මයක් මේ කුමරු එදා සිදු කරද්දී එය අනුමෝදන් වූ තමන් අනුරුද්ධ කුමරු වෙත මෙසේ හිස් භාජනයක් යැවෙද්දී එය නොසලකා හැරියහොත් එය තමාට ද නුසුදුසු දෙයක් බව දේවතාවා කල්පනා කළා. ඔහු විසින් දිව්‍ය කැවුම්වලින් ඒ භාජනය පුරවාලනු ලැබුවා. සේවකයා කුමරු අපහසුතාවයට පත් වන අයුරු සිතා සතුටින් සිනාසෙමින් ඔහු ගෙන ගිය භාජනය කුමරු අතට දුන්නා.

“මෙන්න කුමාරයාණෙනි නැති කැවුම්…!”

කුමාරයා භාජනය හැර බැලුවා. දිව්‍ය කැවුම්වල සුවඳින් උද්‍යානය පිරී ගියා. සියලු දෙනා එහි රැස් වුණා. කුමාරයා සියල්ලන්ට ම කැවුම් බෙදා දී තමනුත් අනුභව කළා. කුමාරයාට දැනුනේ පුදුමාකාර දුකක්.

‘අම්මා… මට හරි වෙනස්කමක් කළේ… මේ තරම් රස, මේ තරම් සුවඳ, මේ තරම් හොඳ මේ නැති කැවුම් දෙන්න අම්මා මං මෙච්චර ලොකු වෙනකල් හිටියනේ…’

කුමාරයා දුකින් පිරුන සිතින් යුතුව මාලිගයට ගියා. අම්මාට දෝෂාරෝපණය කළා.

“අම්මා මට වෙනස්කම් කරනවා… අම්මේ ඇයි මේ තරම් රස මේ ‘නැති කැවුම්’ හදලා දෙන්න මං මෙච්චර ලොකු වෙනකල් හිටියේ?”

ඒ අම්මා බොහොම නුවණැතියි. ඇය කලබල නො වී කල්පනා කළා. ‘මම කැවුම් යැව්වේ නෑ. නැති කැවුම් කෑවා කියනවා. රසයි කියනවා. සුවඳයි කියනවා. ආයෙමත් ඕනි කියනවා. ඇත්තටම මොකක්ද වුණේ?’

ඇය සේවකයා ව ගෙන්වා ප්‍රශ්න කළා. මහා ආශ්චර්යවත් දෙයක් සිදු වුණ බව සේවකයා පවසා සිටියා. විස්තරය ඇසූ රජ දේවිය මෙය නම් තම පුත් කුමරුන්ගේ පුණ්‍ය ලාභයක් බවත්, නිසැකව ම දෙවිවරුන් විසින් භාජනය දිව්‍ය කැවුම්වලින් පුරවන්නට ඇති බවත් සිතා ගත්තා. එයින් පසු අනුරුද්ධ කුමාරයාට නැති කැවුම් වුවමනා කළ ඕනෑම මොහොතක අම්මා කළේ හිස් භාජනයක් තබා “කැවුම් කන්න.” කියා කුමාරයාට කියන එක.

අනුරුද්ධ කුමාරයා පැවිදි බවට පත්ව මහරහතන් වහන්සේනමක් ලෙසින් දිවැස් නුවණින් මේ සා සුවිශේෂී ආනිශංසයක් ලැබෙන්නට තමන් වහන්සේ පෙර කළ පුණ්‍යකර්මය කුමක් ද කියා විමසා වදාළා. අන්නභාර නම් දුගියා ව උපරිට්ඨ පසේබුදුරජුන්ට දන් පිදූ පුණ්‍ය විපාකය මෙසේ සැප විපාක ඉපැද්දවූ බව උන්වහන්සේ දුටුවා. එදා අන්නභාර නම් උයන්පල්ලාගේ උයන අයිතිකරු වූ සුමන නම් සිටුවරයා මේ දානය ගැන අසා සතුටු වී පින අනුමෝදන් වූ ආකාරයත්, නොයෙක් වස්තුව ලබා දී එයින් පසු පින් කරන්නට උපකාරක වූ ආකාරයත් උන්වහන්සේ දුටුවා.

සත්පුරුෂ ධර්මය තුළ අග පැමිණි ඒ උතුම් සත්පුරුෂයාණන් වහන්සේ මේ කාලයේ ඒ සුමන සිටුතුමා සිටින්නේ කොහේ ද කියා දිවැස් නුවණින් විමසා බැලුවා. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ම දායක පවුලක ඔහු ඉපදිලා. වයස අවුරුදු හතක කුඩා දරුවෙක්. මේ ජීවිතයේදීත් නම ‘සුමන’. වැඩිමහලු සහෝදරයෙකු ද සිටි ඒ සිටු පවුලේ උපන් නිසා ‘චූල සුමන’ කියා හැඳින්වුණා.

සත්පුරුෂ හදමඬලේ සත්පුරුෂ ධර්මය පෙර භවයක තමන්ට උපකාරක වූ කෘතගුණය සිහි කරමින් මේ භවයේ ඔහුට උපකාරක වීම පිණිස මුලපිරුවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඍද්ධි බලයෙන් ඒ ගම් පියසට වැඩම කළා. චූල සුමනගේ පිය සිටුතුමා උන්වහන්සේ ව දැක බොහෝ සතුටට පත් වුණා.

“පුතේ, අපට මහා ලාභයක් ම යි. අපගේ ආර්යයන් වහන්සේ මෙහි වැඩම කළා නෙව.”

සිටු පවුල සිව්රු පාත්‍රා පිළිගත්තා. පා යුග දෝවනය කළා. ආසන පැනෙව්වා. සකසා දන් පූජා කළා. එතෙකින් ද නොනැවතී එහි වස් සමාදන් වන්න කියා ආරාධනා කළා. ඇප උපස්ථානය තමන් ම භාර ගත්තා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අනුකම්පාවෙන් යුතුව ඒ ආරාධනාව පිළිගෙන වදාළා.

වස් තුන් මාසය ගෙවී ගොස් අනුරුද්ධ මහරහතන් වහන්සේ ආපසු වැඩම කිරීමට සූදානම් වද්දී සිටුතුමා බොහෝ පරිෂ්කාරයන් පූජා කළා. එහෙත් අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

“මෙතරම් දේ මට කුමට ද උපාසක? මට ආවතේව කරන්නවත් කවුරුත් නෑ නෙව.”

නුවණැති සිටුතුමා වහා කාරණය තේරුම් ගත්තා.

“ස්වාමීනී, එහෙම නම් මගේ ලොකු පුතා මං ඔබ වහන්සේට දෙන්නම්.”

අනුරුද්ධ මහරහතන් වහන්සේ වස් තුන් මාසයක් වැඩ වෙසෙන්නට මේ ගමන පැමිණියේ ඔහු වෙනුවෙන් නො වෙයි.

“ලොකු පුතාට මේක කරන්න බෑ උපාසක…!”

“එහෙම නම් ස්වාමීනී, මගේ පොඩි පුතා ව ඔබ වහන්සේ භාර ගන්නා සේක්වා!”

අනුරුද්ධ මහරහතන් වහන්සේ පැමිණි කාරණය සඵල වුණා. එහි දී ම චූල සුමන සිටු කුමාරයා ව පැවිදි කරනු ලැබුවා. කපන ලද කෙස් රොද අතට ගෙන, හිස මුඩු කෙරෙන අතරේ, ‘කෙස්, ලොම්, නිය, දත්, සම’ කියා තච පංචකය මෙනෙහි කරමින් සිටි මේ පුංචි ශ්‍රමණයාණන් වහන්සේගේ සිත සියලු කෙලෙස් ගැටයන්ගෙන් නිදහස් වුණා. එතැන වැඩ සිටියේ ඍද්ධිබලලාභී රහතන් වහන්සේනමක්…! ආචාර්යයන් වහන්සේගේ උදරාබාධයට පිළියම් කරන්නට අනවතප්ත විලට ගොස් මහා නාගරාජයෙකු ව ඍද්ධි බලයෙන් මැඩලා පැන් ගෙනැවිත් දුන්නේ ඒ සුමන රහතන් වහන්සේ විසින්.

ගෞතම සම්බුදු සසුනේ තෘතීය ශ්‍රාවකයාණන් වහන්සේ වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් සත් දවසක් ගත කොට එයින් නැගී සිටියා. දිළිඳුන්ගේ මුනිවරයාණන් වහන්සේ අද කා හට පිහිට වන්න ද කියා බලද්දී දුටුවේ අනුන්ගෙන් සිඟා ගන්නා ආහාරයෙන් යැපෙන අසරණ මහලු මවක්. උන්වහන්සේ ඇය වෙත වැඩම කළා.

මහලු මාතාව තමන් ඉදිරියේ පෙනෙන සොඳුරු තේජස්වී රූපකාය දෙස බලා සතුටට පත් වුණා. අතේ තිබුණේ සීතල වී ගිය බත් කැඳක් පමණයි. ඇය එය පූජා කර ගත්තා. මහා පින් ඇති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ දන්කුඩ බත පිළිගෙන ඇයට මෙසේ පවසා සිටියා.

“අම්මා දන්නවා ද? මීට ජීවිත තුනකට කලින් මං ඉපදුණේ ඔය අම්මගේ කුසින්…!”

මේ සා උතුම් වූ, මේ සා අභිරූපී වූ, මේ සා බලසම්පන්න වූ උන්වහන්සේ මෙයට ජීවිත තුනකට පෙර තමන්ගේ පුතු වූ බව ඇසූ ඒ අම්මාගේ සිත සතුටින් ඉපිල ගියා. ඇය උන්වහන්සේට වන්දනා කළේ ඒ සතුටින් ම යි. උන්වහන්සේ තමන්ට පුතෙකු වී සිටි බව දැන ගැනීමෙන් උපන් ඒ සතුට ඇයගේ සිතේ රැඳී තිබුණා. ඇය මරණයට පත් වද්දීවත් ඒ සතුට සිඳී තිබුණේ නැහැ. නිදා පිබිදියාක් සේ ඇය නිම්මාණරතී දෙව්ලොව උපන්නා.

බලන්න… සත්පුරුෂ දහම තුළ දිනූ උතුමන් වහන්සේලා පෙර ජීවිතයන් පවා මෙනෙහි කරමින් කළගුණ සිහි කරනු ලබනවා…

රාධ බමුණා පැවිද්ද පිණිස පැමිණියේ මහලු වූවාට පසුවයි. දිළින්දෙකු වූ ඔහු සංඝයා වහන්සේලාට උපස්ථාන කරමින් කාලය ගත කළා. රාධ බමුණා පැවිද්ද පිණිස අපේක්ෂාවෙන් බොහෝ භික්ෂූන් වහන්සේලා හමුවට ගියත් ඒ කිසිදු තැනකින් ඔහුට පැවිද්ද හිමි වූයේ නැහැ. මේ ආකාරයෙන් කටයුතු සිදු වද්දී මහාකරුණා සමාපත්තියෙන් ලොව දෙස බැලූ තථාගතයන් වහන්සේ මේ බමුණාට රහතන් වහන්සේනමක් බවට පත් වන්නට සසරේ මේරූ පින් ඇති බව දැක භික්ෂු සංඝයා කැඳවා මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, මේ රාධ බ්‍රාහ්මණයාගෙන් කවර හෝ උපකාරයක් ලැබූ බව ඔබ අතරෙන් කවුරුන්ට හෝ මතක නම් ඔහුට අනුකම්පා කොට ඔහුගේ උපාධ්‍යායන් වහන්සේ ලෙස සිටිමින් ඔහු ව පැවිදි කරවන්න.”

ගෞතම සම්බුදු සසුනේ දකුණත් ශ්‍රාවක, ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ ධර්ම සේනාධිපති, ප්‍රඥාවෙන් අගපත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරිපත් වුණා.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මා දිනක් පිඬු සිඟා වඩිද්දී මේ රාධ බ්‍රාහ්මණයා ඔහු සිඟමනෙන් ලද බත් හැන්දක් මට පූජා කෙරෙව්වා.”

මෙසේ කළගුණ සිහි කෙරූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ දුගී බමුණා ව ‘රාධ’ නමින් ම පැවිදි කොට වදාළා. වැඩි කලක් ගත වන්නට පෙර ම රාධ ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අනුශාසනාවන්ගේ පිහිටා සියලු කෙලෙස් ගැටයන්ගෙන් නිදහස් ව රහතන් වහන්සේනමක් බවට පත් වූවා.

මේ බව දැනගත් ස්වාමීන් වහන්සේලාගේ සමාගමයේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සත්පුරුෂ ගුණ ශෝභාව ගැන කථා බහ කෙරුණා. එය නිමිති කරගෙන සම්බුදුරජාණන් වහන්සේ අලීනචිත්ත ජාතක කථාව දේශනා කොට වදාළේ පෙර සසරේ දී පවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කළගුණ දන්නා, කළගුණ සිහි කරනා සත්පුරුෂයෙකු ම වූ බව පෙන්වා දෙමිනුයි.

සම්බුදුරජාණන් වහන්සේ වදහළ ශ්‍රී සද්ධර්මය තුන්ලොව මුණගැසෙන සත්පුරුෂ ධර්මය යි. මේ ධර්මය දියුණු කළ හැක්කේ ද සත්පුරුෂයන්ට ම යි. සත්පුරුෂ ගුණ නැති කිසිවෙකුත් මේ ධර්මය තුළ අභිවෘද්ධියකට පත් වීමක් කැමැති නොවිය යුතු යි. කළගුණ දන්නා බව, කළගුණ සිහි කරනා බව යන උතුම් සත්පුරුෂ භූමියට පිවිසීමෙනුයි අපටත් මේ සත්පුරුෂ ධර්මය මනා කොට දරා ගනිමින් භාග්‍යවතුන් වහන්සේ ව ගෞරවයෙන් ඇසුරු කරන්නට ඉඩ ලැබෙන්නේ. ඒ උතුම් සත්පුරුෂ ගුණය අප තුළ වගා කර ගන්නට අප කැමති නම් මේ ධර්ම මාර්ගයේ විපුල භාවය ද අප කැමති විය යුතු යි.

මේ සෑම අවස්ථාවක දී ම ඒ නිකෙලෙස් සිතැති මුනිවරුන් තිසරණයේ පිහිටන්නට, පින් දහම් රැස්කර ගන්නට මඟ පෙන්වීමෙනුයි කළගුණ පිදුම් දී තිබෙන්නේ. ඉතා කුඩා උපකාරය වේවා අමතක නොකොට සිහිකර ගනිමින් අපත් කළ යුත්තේ සත්පුරුෂ ගුණයන් ම ඉස්මතු කරවන මේ උතුම් ධර්ම මාර්ගය විවෘත කරවීමෙන් කළගුණ පිදුම් දීම යි. අපට ප්‍රිය වූ යම්තාක් පිරිසක් වේ ද අප විසින් යහපත සැලසෙනු දකින්නට කැමති වූ යම්තාක් පිරිසක් වේ ද ඒ සියලු දෙනා හට සත්පුරුෂ ගුණ ශෝභාවන් අප තුළ ද උපදවා ගැනීමේ කැමැත්ත ඉපැදවූ මේ දහම අසන්නට, සේවනය කරන්නට, පුරුදු කරන්නට ඉඩප්‍රස්තා විවර කර දීම යි අප කළ යුතු.

සසරේ කෙලෙස් ගිනිවලින් දැවී තැවී ගිය වාර ගණන අප්‍රමාණ වද්දී සිත් නිවා සනසමින්, නිවනට සමීප වන්නට අපට ලැබුණු අවස්ථා ඉතා විරලයි. ඒ ලද අතිශය විරල අවස්ථාවෙන් උතුම් ප්‍රයෝජන ලබා ගැනීම අපෙන් ගිලිහී යන්නේ අපට මේ ‘කළගුණ දන්නා බව, කළගුණ සිහි කරනා බව’ නම් වූ සත්පුරුෂ භූමියට පැමිණෙන්නට නො හැකි වීමෙන්. මේ ධර්මය සත්පුරුෂ ධර්මය යි. ඒ සත්පුරුෂ ධර්මය පිහිටන්නේ සත්පුරුෂයන් තුළ පමණයි. මේ ධර්මය දියුණු කරන්නට නම් අප කළ යුත්තේ පළමුවෙන් ම මේ සත්පුරුෂ භූමියට පැමිණීම ම යි…!

එසේ නම්, අපගේ ශාස්තෘන් වහන්සේ අවබෝධ ඤාණය උපදවා ගත් බෝධි මූලයේ දී ම පෙන්වා වදහළ… ඒ නිකෙලෙස් සිතැති මහා ශ්‍රාවකයාණන් වහන්සේලා නොයෙක් තැන්හි දී ලොවට ප්‍රකට කොට වදහළ… සද්ජනයන්ට පිහිට, පිළිසරණ වන ක්ෂේමභූමිය වෙත පියනගන්නට අප වහා වහා කළ යුතු දෙයක් තිබෙනවා… නුගුණ අසන, නුගුණ ප්‍රකට කරවන, ඒ නුගුණ ගැන ම ගැටි ගැටී අකුසලයන්ගෙන් බැට කන ලෝකයක ගුණ කියමින්, ගුණ අසමින්, ගුණ ප්‍රකට කරවමින්, ගුණ ම දකිනා නිසාවෙන් සන්සිඳීමට ම පත්වෙමින් සත්පුරුෂ භූමියේ වැඩෙන්නට සියල්ලෝ අප්‍රමාදී වෙත්වා….!

සටහන – උදුලා පද්මාවතී