මුළුමහත් ලෝකය ම පොදුවේ මුහුණ දුන් ඛේදනීය ඉරණමක් සහිත ව 2020 ව්‍යවහාරික වර්ෂය නිමාවට පත්ව 2021 නව ව්‍යවහාරික වර්ෂය එළඹුනි. ඒ තාක් කල් අපට අසන්නට දකින්නට ලැබුණේ දේශසීමා ඔස්සේ වෙන් වෙන් වශයෙන් ජනයා මුහුණ දුන් ඛේදවාචකයන් පිළිබඳ ව වන අතර කොවිඩ් – 19 වසංගත රෝගය ඒ සියල්ල අබිබවමින් සමස්ත මානව සංහතියට ම මාරාන්තික බලපෑමක් එල්ල කරන්නට සමත් විය.

ලෝකයේ සම්මත බලවත්කම් සියල්ල අහෝසි කරවමින්, ඒවායේ තාවකාලික බලසම්පන්න භාවය තහවුරු කරවමින් ලෝකය ම සිරගත කරලූ, ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත අහිමි කරලූ සහ මිලියන සංඛ්‍යාත ආසාදිතයන් බිහි කරලූ මේ ව්‍යාධි උවදුර නිසා ඇති වූ සමාජ, ආර්ථික පරිහානිය ද සුළුපටු නොවේ. සමස්ත ලෝකය එකම බාධකයක් හමුවේ නැවතී ගත් අවස්ථාවක් බවට එය පත් විය. ඒ සා ශක්ති සම්පන්නව ලෝ සත පෙළන ලද මෙකී භයානක වසංගත තත්ත්වයට මුහුණ දෙන්නට මුළුමහත් ලෝකයට ම නොවූ ආරක්ෂණ ක්‍රමවේදයක් ශ්‍රී ලාංකිකයන් වූ අප සතු වූයේ ලොව සියලු දුක් නසනා සත්‍යයේ ආනුභාවය සහිත ආධ්‍යාත්මික හර පද්ධතිය මේ භූමියේ මුල් බැසගෙන පවත්නා නිසාවෙනි.

මෙයින් වසර 2610කට පමණ පෙරාතුව සියලු සම්මා සම්බුදුවරුනගේ විජයභූමිය වන බුද්ධගයාවේ වජිරාසන භූමියේ වැඩ හිඳිමින් සත්‍යාවබෝධය උපදවාගෙන සර්වඥතා භූමියට පත් භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉන් වසරකුදු ඉක්ම යන්නට පළමු මේ හෙළදිවට වැඩම කළේ දුරුතු පුන් පොහෝ දිනයක දී ය. එදා යක්ෂයන්ගේ වාසභූමියක් ව පැවති හෙළදිව මතු සම්මා සම්බුද්ධ ශාසනය පිහිටන පුණ්‍යභූමිය බවට පත් කරවාලූයේ සම්මා සම්බුදුරජුන්ගේ ඒ අසිරිමත් සිරි ලංකා-
ගමනය යි. සම්බුදු සිරිපා පියුම් පළමු කොට ස්පර්ශිත මහියංගණ භූමියේ පටන් හෙළදිව සිසාරා හාත්පස වැඩ හිඳිනා සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ හිඳිනා ධාතු චෛත්‍යයන් මෙබිම බුද්ධ පාරිභෝගික වස්තුවක් සේ ම බුද්ධ ආඥාව පවත්නා පින්සාර භූමියක් බව ද පෙන්වා දෙයි. එසේ ම, සම්බුද්ධාභිෂේකයෙන් සම්බුදුරජුන් පිදුම් ලද මොහොතේ සෙවණ සලසාලූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේගේ මූල පද්ධතිය මෙබිමෙහි බැස ජීවමාන වැඩ සිටින සේක. පිරිනිවන් මංචකයේ වැඩ සිටි සම්බුදුරජුන්ගේ පැනවීම ප්‍රකාරව දෙවිවරුන් මෙබිම රකිනා අතර සර්වඥ ධාතු මංජුසාවක් බඳු වූ මෙපින්බිම ඒ පර්යායෙන් ද දෙව්බඹුන් විසින් පුද දෙමින් සුරකින්නක් බවට පත්ව තිබේ.

දැනුදු පිරිසිදු ව නිර්මල ව තිසරණය පවත්නා පින්බිම මේ හෙළදිව ම වන නිසාවෙන් සරණ සීලය තුළ මැනැවින් පිහිටා නිතින් පින්දහම් සිදු කරමින් උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට පිළිසරණ සලසා ගැනීමේ භාග්‍යය අප සතුව තිබේ. මේ ව්‍යාධි බිය පැතිර යාම අවදානම් සහගත බව තේරුම් ගත් මොහොතේ පටන් පරම සත්‍යයේ පිහිටමින් සම්බුදුරජුන් වදහළ සූත්‍ර දේශනාවන් සජ්ඣායනා කරමින් ආධ්‍යාත්මික රැකවරණය තුළ සරණ ලබන්නට අපට හැකි විය. සිල් රකිමින්, බණභාවනා කරමින් රැස් කරන පුණ්‍ය සම්පත්තීන්ගෙන් නොහිස් මේ ජීවිත ස්වභාවය අපට දෙලොව යහපත සලසාලන්නකි. ජාති ජරා ව්‍යාධි මරණ ආදියෙන් සෑම කල්හි ම පීඩිත දුක්ඛිත සංසාර ගමන නිමා කරනු පිණිස ඇති ඒකායන මාර්ගය ද එය ම වන්නේ ය. දුකින් මිදෙනු කැමැත්තෝ නොපමාව පැමිණිය යුත්තේ ඒ භගවත් බුදු සරණට ය, උත්තම දම් සරණට ය, අරහත් සඟ සරණට ය.

“ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං සරණමුත්තමං
ඒතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චතී”

“ඔය තිසරණය තමයි එක ම ආරක්ෂාව. ඔය තිසරණය ම තමයි උතුම් ම සරණ. ඔය තිසරණයට පැමිණුනා ම යි සියලු දුකෙන්
නිදහස් වෙන්නේ.”

(බුද්ධ වග්ගය – ධම්ම පදය)