සම්බුදු මුවින් සුදේශිත සත්‍යවාදී භාෂිතයන්ගේ ආනුභාවය තුළ ලැබිය හැකි පිළිසරණ ගැන නැවත වරක් සිහිපත් කරවන්නට සුදුසු ම කාලයක් අප රට හමුවේ තිබෙන බව පෙනේ. අන් කවර යුගයකට හෝ වඩා තීව්‍රවත්, ක්‍රියාශීලීවවත් කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරමින් මුළු රටක් පෙළ ගැසී සිටියදීත්, අන් කාලවලට වඩා අඩුවෙන් වැසි ලැබෙමින් පැවතියදීත් අපිරිසිදු ජල මූලාශ්‍රවල බෝ වී මාරාන්තික ඩෙංගු රෝග වාහකයන් ව ක්‍රියාත්මක වන මදුරුවන්ගේ අඩුවක් අප දුටුවේ නැත. පෙර සමස්ත වසර පුරා වාර්තා වූවාක් මෙන් දෙගුණය ඉක්මවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් මේ වසරේ මුල් මාස හත තුළ වාර්තා වූයේ පෙර නො වූ විරූ අයුරින් ඩෙංගු මර්දනය පිණිස ජනී ජනයා පෙළ ගැසී සිටිය දී ම ය.

එපමණක් නො වේ; මේ වර්ෂය වැසි ඵල අතින් ලැබීම් අඩු වූ කාලසීමාවක් ද විය. එහි නියත ප්‍රතිඵලය වන්නේ ජල හිඟය මත ආහාර නිෂ්පාදනය පහළ බැසීම ය.

ඒ සියල්ල අතරතුරේ දළදා වහන්සේ උදෙසා මහා පූජෝපහාරයක් පැවැත්වෙමින් තිබියදී මහනුවර නගර සීමාව ආවරණය කරමින් දින ගණනාවක් පුරා විනෝද මේලා සැණකෙළි ගණනාවක් ද පැවැත්වුණේ පංචකාම සම්පත්තියේ ගිලී කෙලෙස් හා මුසුවන මිනිසුන් දැක සතුටුවන අමනුෂ්‍ය කොට්ඨාසයන්ට ප්‍රීතිය උපදවමිනි.

මේ සියල්ල තුළ පෙනී යන්නේ රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය හාත්පසින් අප වට කොට තිබෙන බව නො වේ ද? අද මෙරට විශාලාවකි. නිසැකව ම අපට ද පිහිට පිළිසරණ වන්නේ එදා විශාලාව තුන්බියෙන් මුදවාලූ අසමසම සත්‍යානුභාවය යි.

තමන් වහන්සේ ගැන සිතුවේ යමෙක් ද ඒ සිතුවිලි මාත්‍රය තුළ පවා සිතන්නාට යහපත ම සලසාලූ මහා මුනිවරයාණන් වහන්සේනමක් ලොව පහළ වී නම් ඒ අප සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම පමණි. සත්‍යය ම බලය කොට ගත්, සත්‍යයෙන් සත්‍යය ගළපා මුවින් වදන් පිට කළ, සත්‍යයේ ආනුභාවය දෙව් මිනිස් ලෝකය සිසාරා දස දහසක් සක්වළ ඉක්මවාලූ ආඥා ක්ෂේත්‍රයක් බවට පත් කරලූ යම් ශාස්තෘන් වහන්සේනමක් වී නම් එද අප සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම පමණි. ඒ ලෝක ශ්‍රේෂ්ඨයන් වහන්සේ පිරිනිවන් පා වදාරා වසර 2561ක් ඉක්ම ගිය ද ඒ බුද්ධ ආඥාවේ නම් වෙනසක් නැත්තේ ම ය.

සරණ ගිය ශාස්තෘත්වය සැදැහැයෙන් සිහි කොට, තෙරුවන් ගුණයන්ගේ සත්‍යානුභාවයෙන් ගෞතම සම්බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරය වූ, ගෞතම සම්බුදුරජුන්ගේ ධාතුන් වහන්සේලා සුරකින ධාතු කරඬුව වන් වූ මේ සුපින්බිම රැකේවා කියා අධිෂ්ඨාන කිරීම මේ මොහොතේ බුද්ධ ශ්‍රාවකයන් අතින් ඉටු විය යුතු ම දෙයකි. සිල්වත්, ගුණවත් පිරිස් විසින් කරනු ලබන ඉල්ලීම පින අසා දැක අනුමෝදන් වන දේව මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කළ නො හේ.

“තස්මා හි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං
තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා”

“සියලු භූතයිනි එනිසා අසව් යොමා සිත
මෙත් සිත පතුරව් නිතර ම හැම මිනිසුන් වෙත
ඒ කිසිවෙක් තොප හට පින් දිව රෑ පුද දෙත
පමා නො වී තෙපි ඒ හැම නිති සුරැකිය යුත…!”
(රතන සූත්‍රය, ඛු. නි.)

සියල්ලෝ ඒ උතුම් තෙරුවන් ගුණ අනුස්සතියේ යෙදෙමින් රතන සූත්‍රය සජ්ඣායනා කරත්වා! ඒ උතුම් තෙරුවන, ගුණයෙන් මුළුමහත් ලොව අග පැමිණි බව වනාහී ලොව පරම සත්‍යයකි. ඒ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!!!