ඔබ දන්නවා ද?

‘ලෝකයේ වෙසෙන ජනයා අතුරින් සෑම දොළොස් දෙනෙකුගෙන් එක් අයෙකු ම දියවැඩියා රෝගියෙක්. සෑම තප්පර හතකට ම වරක් දියවැඩියා මරණයක්. වසරකට දියවැඩියාව හේතුවෙන් පාද කපා ඉවත් කරන රෝගීන්ගේ සංඛ්‍යාව 600 ඉක්මවයි.’

වර්තමානයේ අප ශ්‍රී ලංකාව දෙස බලන විට පෙර නොවූ විරූ ආකාරයෙන් නොයෙකුත් රෝගාබාධයන් වසංගත ලෙස පැතිරෙමින් පවතී. සාම්ප්‍රදායිකව ලාංකිකයා පැවත ආ රටාව බැහැර කරමින් විදේශීය සංස්කෘතියට හුරුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපට උරුම වූ සුඛෝපභෝගී පන්තියේ ලෙඩ රෝග යැයි පැවසිය හැකි තවත් එක් ආබාධයකි, මධුමේහය (දියවැඩියාව). අවුරුදු 5000කටත් වඩා පැරණි දේශීය වෛද්‍ය ක්‍රමයට අයත් වෛද්‍ය ග්‍රන්ථ තුළ පවා මෙකී රෝගය පිළිබඳ විස්තර දක්වා තිබේ. එහෙත් එදා සමාජය තුළ මෙවැනි රෝගීන් දක්නට ලැබුණේ ඉතාමත් අල්ප වශයෙනි. වර්තමානයේ ගත් විට අද ඉපදෙන ළදරුවන් පවා මෙකී රෝගයට ගොදුරු වී තිබීම මහා ඛේදවාචයකි.
කුමක්ද මේ මධුමේහය?

සාමාන්‍ය ජනවහරේදී දියවැඩියාව ලෙස හඳුන්වන මෙකී රෝගී තත්ත්වය දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට අනුව දුස්සාධ්‍ය රෝග අතරට ගැනේ. චිරාගත ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමයේ ද මෙකී රෝගී තත්ත්වය මධුමේහය ලෙස හඳුන්වා දී තිබේ. (මධු = පැණි/ මේහ = පිට වීම) මීට අනුව පැණි පිට වීම නොහොත් මූත්‍රා සමඟ සීනි පදාර්ථ පිට වීම මෙකී රෝගී තත්ත්වය යි. මේ පිළිබඳව පුරාණ ආචාර්යවරුන් දක්වා ඇත්තේ පහත අයුරිනි.

‘මධුරං යච්ච මේහේෂු
ප්‍රායෝ මධ්විව මේහතී
සර්වේපි මධුමේහාචස්‍යෞ
මධුයිංච තතෝරකඃ’

මීට අනුව මනුෂ්‍ය ශරීරයට වැළඳෙන ප්‍රමේහ රෝග විස්සෙහි ඇතුළත් රස මිහිරි වූ පැණි ආකාරයට මූත්‍රා කිරීමක් වේ ද ශරීරයේ මධුර වූ ස්වභාවයක් වේ ද එබඳු මේහ රෝග මධුමේහය ලෙස විස්තර කොට තිබේ. ශරීරයට අප ගන්නා ආහාර ජීරණය වීමෙන් පසුව ග්ලූකෝස් බවට පරිවර්තනය වී අසාමාන්‍ය ලෙස රක්ත ධාතුවෙහි ග්ලූකෝස් ප්‍රමාණය වැඩිවී මූත්‍රා සමඟ පිටවී යාම සිදුවෙයි. එයට හේතුව නම් රක්ත ධාතුවෙහි සීනි මට්ටම පාලනය කරන ඉන්සියුලින් ප්‍රමාණය අඩු වීමයි. ඉන්සියුලින් හෝර්මෝනය නිපදවන අග්න්‍යාශය දුර්වල වීම මෙහිදී සිදුවන බව පෙන්වා දිය හැකි ය.

ප්‍රමේහ විස්සට මුල් වීලා
මධුමේහ සෑදෙයි දුක් දීලා

දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රමේහ නමින් රෝග 20ක් දක්වා තිබෙයි. මෙකී විසි වැදෑරුම් ප්‍රමේහයන්ගේ විශේෂිත ලක්ෂණය වන්නේ මූත්‍රා සමග සාමාන්‍යයෙන් ශරීරයෙන් බැහැර නොවිය යුතු පදාර්ථ පිට වීමයි (ලේ, සැරව, සෙම්, ශුක්‍ර ආදි). මෙලෙස සඳහන් ප්‍රමේහ රෝග විස්සෙන් එක් රෝගයක් ලෙස මධුමේහය විස්තර කොට ඇත. එම ප්‍රමේහ රෝගවලින් සෙම් දෝෂයෙන් 10ක් ද පිත් දෝෂයෙන් 06ක් ද වාත දෝෂයෙන් 04ක් ද උපදින බව දේශීය වෛද්‍ය ග්‍රන්ථයන්හි දක්වා තිබේ.

සෙම් දෝෂය ප්‍රධාන වෙයි

1. උදක මේහය
2. උච්ඡු මේහය
3. සාන්ද්‍ර මේහය
4. සුරා මේහය
5. පිෂ්ඨ මේහය
6. ශුක්‍ර මේහය
7. සිකතා මේහය
8. ශීත මේහය
9. සනිර් මේහය
10. ලාලා මේහය

පිත් දෝෂය ප්‍රධාන වෙයි
1. ක්ෂාර මේහය
2. නීල මේහය
3. කාල මේහය
4. හරිද්‍රා මේහය
5. මංජිෂ්ඨ මේහය
6. රක්ත මේහය

වාත දෝෂය ප්‍රධාන වෙයි
1. වසා මේහය
2. මජ්ජා මේහය
3. හස්ති මේහය
4. මධු මේහය
විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතු වන්නේ මෙකී විසි වැදෑරුම් ප්‍රමේහ රෝගයන්ගෙන් එක් රෝගයක් හෝ වැළඳී නිසි ප්‍රතිකාර නොකර සිටීමෙන් කල්යාමෙන් එය මධුමේහ තත්ත්වයට පත් වන බව පෙන්වා දී ඇති බවයි.
රසයට වහල් වී දිව කය පිනවීම

ඉසි බස මෙයයි මධුමේහය වැළඳීම

දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මධුමේහය ප්‍රධාන කොට සියලුම ප්‍රමේහ රෝගයන් සෑදීමට හේතුවන රෝග නිධාන පිළිබඳව මනාව පෙන්වා දී ඇත. ආයුර්වේද කාය චිකිත්සා තන්ත්‍රයේ ප්‍රධානතම වෛද්‍ය ග්‍රන්ථය වූ චරක සංහිතාව රචනා කළ චරක ඍෂිවරයා විසින් මධුමේහ රෝග නිදානය හෙළි කළේ මීට අවුරුදු දහස් ගණනකට ඉහත දී ය.

‘ආලස්‍යා සුඛං ස්වප්න සුඛං දධීනී
ග්‍රාම්‍යෞදිකානුපරසාඃ පයාංසි
නවාන්නපානං තුඩ වෛකෘතංච
ප්‍රමේහ හේතුං තථ කෘච්ච සර්වම්’

මෙකී ඍෂි භාෂිතයට අනුව පස්ගෝ රස, ගව, එළු, කුකුළු හා ජලජ මාංශ සහ පැණි හකුරු යොදා පිළියෙල කර ගත් මධුරාහාර ද (මෙකල නම් අයිස්ක්‍රීම්, චොකලට්, පුඩිං, පැණි බීම ආදී කෘත්‍රිම රසකාරක යෙදූ අධික පැණි රස කෑම හා කේක් වැනි බේකරි කෑම වර්ග) නිතර බහුලව බුදිමින් ව්‍යායාමයෙන් ද තොරව අධිකව නිදි සුව විඳිමින් සුඛෝපභෝගීව කල්ගත කිරීම ප්‍රමේහයට මූලික ම හේතු සාධක බව පෙන්වා දී තිබේ.

මධුමේහ රෝග තත්ත්වය පරම්පරාගතව ද පැවතෙන හෙයින් එවැනි පවුල් ඉතිහාසයක් පැවති අය විශේෂයෙන් ප්‍රවේශම් විය යුතු ය. එවැනි රෝගීන් සුව කිරීම ඉතා අපහසු කාර්යයකි. මධුමේහය වැළඳීම කෙරෙහි මානසික බලපෑම ගැන ද සැලකිලිමත් විය යුතු කරුණකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ නීරෝගී බව හෙවත් ස්වස්ථ බව යනු කායික ඉන්ද්‍රියයන්ගේ හා මනසේ ප්‍රසන්න බව යනුවෙන් දක්වා තිබේ. එම පුද්ගලයාගේ වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂ සමතුලිත සේ ම ආහාර දිරවීමාදී අග්නියේ ක්‍රියාකාරීත්වය හා සප්ත ධාතූන්ගේ (රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර) මනා පැවැත්මෙන් යුතුව ශරීර කෘර්තීන් නිසි පරිදි සිදුවේ. රාග, ද්වේෂ, වෛරාදී කෙලෙස්වලින් යුතුව අප්‍රසන්න සිතුවිලි උපදින විට සිරුරේ විවිධ ශ්‍රාවයන් අධිකව වහනය වීම නිසා නොයෙකුත් රෝගාබාධයන්ට එය මූලික හේතුවක් විය හැකි ය. විශේෂයෙන් ම ආවේගකාරී සිතුවිලි හේතුකොටගෙන රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම සිදුවෙයි. නිතර මෙවැනි තත්ත්වයන් සිතේ හටගැනීම මධුමේහය රෝග තත්ත්වය උද්ගත වීමට බලපානු ඇත. එබැවින් නිතර මනස නිරවුල්ව තබාගැනීමත්, අසීමිත ආශාවන් පසුපස හඹා නොයාමත් අල්පේච්ඡ දිවියට හුරුවීමත් ඉතා වැදගත් වනු ඇත.

අතුරු විපත් දිවියට තව ළං වීම
මේහය නිසා වෙයි පසුවට විඳවීම

මධුමේහ රෝග තත්ත්වයෙන් දීර්ඝකාලීනව පෙළීම නිසාත්, ඒ සඳහා නිසි ඖෂධ භාවිත නොකිරීම නිසාත් මිනිස් සිරුරේ වැදගත් ඉන්ද්‍රියයන් රැසකට ම අහිතකර බලපෑම් ඇතිවේ. එවැනි අතුරු සංකූලතා පහත පරිදි ය.
1. හෘදයාබාධ
2. වකුගඩු අක්‍රිය වීම
3. ස්නායු දුර්වලතා
4. පාද කපා ඉවත් කිරීම
5. ඇසේ සුද ඇතිවීම
6. අන්ධ භාවය
7. අධික රුධිර පීඩනය
8. අංශභාගය
9. ලිංගික බෙලහීනතා
10. තුවාල සනීප නොවීම

ඔබටත් මේ ලක්ෂණ තිබෙනවා ද?

 දිවා රාත්‍ර්‍රී දෙකේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පිටකිරීම.
 අසාමාන්‍ය ලෙස නිතර පිපාසය ඇතිවී තොල කට වියළීම.
 හදිසියේ සිරුරේ බර අඩුවීම හා කෙට්ටුභාවය, තෙහෙට්ටුව, අප්‍රාණිකත්වය.
 තුවාල සුවවීම කල්ගතවීම හා ආසාදනවලට නිතර පත්වීම.
 අසාමාන්‍ය ලෙස නිරතුරු බඩගින්න දැනීම.
 මූත්‍රා ඇපල් ගඳින් යුතුව පිටවීම හා මූත්‍රා කළ ස්ථානවල කුහුඹුවන්, මැස්සන් නිරතුරු ගැවසීම.
 ඇස් පෙනීමේ හා අවධානය යොමුකිරීමේ දුර්වලතා හටගැනීම.
 පාද හිරිවැටීම, කෙණ්ඩා පෙරළීම නිරතුරුව සිදුවීම.
 දද, කුෂ්ඨ, කැසීම් වැනි චර්ම රෝගවලට නිරතුරු භාජනය වීම.
 රහස් ප්‍රදේශයන්ගේ කැසීම හා ලිංගාශ්‍රිත ආබාධ හට ගැනීම.

කට වටා වැට බඳිමු – මධු මේහය දුරු කරමු

■ පථ්‍ය ආහාර පාන
විශේෂයෙන් දේශීය සහල් වර්ග වන සුදු හීනැටි, ගොඩ හීනැටි, මසුරං, දික්වී, සුවඳැල්, කුරුළු තුඩ, මා වී සහලේ බත් ඉතා ගුණදායක ය. මුං ඇට, කවුපි, බෝංචි, පරිප්පු, කඩල, සෝයා, කුරක්කන්, මෙනේරි, ඕළු ඇට, තම්බපු හාලේ බත්, පැරණි ධාන්‍යවලින් කළ ආහාර වර්ග ඉතා යහපත් වේ. මුගුණුවැන්න, ගොටුකොළ, කූර තම්පලා, කිරි අගුණ, මැල්ල කොළ, තෙබු කොළ, කතුරු මුරුංගා, මඩු දළු, කොහිල අල හා කරටි, දිය හබරල, කෙසෙල් මුව, පොලොස්, කංකුන්, කැබැල්ල දළු, කෙකටිය, නෙළුං අල හා දඬු, අළු කෙසෙල්, සාරණ, තුඩ දළු, වැල් පෙනෙල, මොනර කුඩුම්බිය, කෝවක්කා, දේවදාලිය (පඩ වැල්), නිවිති, කොස් දළු, හීං බෝවිටියා, කටු එරබදු, ළපටි අට්ටික්කා ගෙඩි, කරවිල, කහකඩ මාළුව වැනි දේශීය ආහාර වර්ග අතිශය ගුණදායක වේ. පථ්‍ය පලතුරු වර්ග ලෙස සුවඳැල්, ඉදුණු අළු කෙසෙල්, ගස් ලබු, කජු පුහුලන්, සිංහල ජම්බු, මාදං, දෙළුම්, උගුරැස්ස, නෙල්ලි ගුණදායක ය. දේශීය පාන වර්ග ලෙස බෙලි කොළ, හා එම මල්, රණවරා කොළ හා එම මල්, කොතල හිඹුටු මුල්, නෙල්ලි රසකිඳ, ඉකිරිය, වල් කොත්තමල්ලි, වරකා ගසේ ඉදුණු කොස් කොළ වෙන වෙනම හෝ කීපයක් එකට දමා තම්බා බීම ඉතා ප්‍රශස්ත වන්නේ ය.

■ පථ්‍ය විහරණ
ශරීරයට ගැළපෙන ව්‍යායාම් (යෝගාසන) සක්මන් කිරීම්, ක්‍රීඩා කිරීම්, මානසික සුවතාවයට අදාළ භාවනා හා වන්දනාමානවලට යොමු වීම රෝග සුවයට මනා පිටුවහලකි.

■ අපථ්‍ය ආහාර පාන
සීනි, හකුරු, මුදවාපු කිරි, යෝගට්, ටින් කිරි, පැණි බීම වර්ග ආදී සියලුම පැණි රස ආහාර වර්ග ඉතා අහිතකර ය. මත්ස්‍ය මාංශ, ආප්ප, ඉඳිආප්ප, පිටි අධික අල වර්ග, පාන් පිටි ආහාර, කුළුබඩු අධික ආහාර වර්ග, මත්පැන් අපථ්‍ය වන්නේ ය.

■ අපථ්‍ය විහරණ
දවල් නිදීම, රාත්‍රී නිදිමැරීම, ස්ත්‍රී සම්භෝගය, ප්‍රමාණය ඉක්මවා සිසිල් ජලය පානය, කය වෙහෙසීමකින් තොරව සුඛෝපභෝගී දිවියට හුරුවීම අපථ්‍ය විහරණ ලෙස පෙන්වා දිය හැකි ය.

මධුමේහය පරදා – දිනුමට හැකිද මන්දා

මධුමේහ රෝග තත්ත්වය නිට්ටාවට සුව කිරීම සම්බන්ධයෙන් බොහෝ මතභේද පවතී. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව නම් එය සුව කළ නො හැකි බවත්, පාලනය කළ හැකි බවත් දක්වයි. එහෙත් දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව එම අදහස පිළිනොගනී. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව නම් සෙම ප්‍රධාන වී සෑදුන මධුමේහය සාධ්‍ය හෙවත් සුව කළ හැකි බවත්, පිත ප්‍රධාන වී සෑදුන මධුමේහය දුකසේ සාධ්‍ය හෙවත් බොහෝ වෑයමින් පිළියම් කර සුව කළ හැකි බවත් වාත ප්‍රධානව සෑදුන මධුමේහය දුස්සාධ්‍ය හෙයින් සුව කළ නො හැකි බවත් පැහැදිලිව දක්වා තිබේ. එම නිසා සෑම මධුමේහ රෝග තත්ත්වයක් ම පාලනය කරන මනඃකල්පිත මතය පිළිබඳ රෝගීන් වඩාත් සැලකිලිමත් විය යුතු ය.

ආයුර්වේද හා දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රම තුළ මධුමේහය සඳහා ඉතා ප්‍රත්‍යක්ෂ වූ ප්‍රතිකාර බොහෝමයක් ඇත. ඔබ කළ යුත්තේ අතුරු ආබාධ ගොන්නක් ඇති බෙහෙත් පෙත්තට ම ජීවිතය යට නොකොට සුදුසුකම්ලත් දේශීය වෛද්‍ය උපදෙස් පැතීමයි.

හස්තසාර ප්‍රතිකාර විධි (වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න)

1. අළු කෙසෙල් අල, අට්ටික්කා පොතු, කොතල කෙමිය මුල්, වියළි කහ, මාදං පොතු, කෙකටිය අල, කලාදුරු අල, රත් මල් පොතු, ඉඟිනි ඇට, සුදු හඳුන්, රණවරා පොතු, කුඹුක් පොතු කලං 01 බැගින් ගෙන වතුර පත 08/01ට සිඳ පත 1/2 බැගින් උදේ/සවස පානය කිරීම ඉතා යහපති. මෙයින් මධුමේහය ප්‍රධානව විසිවැදෑරුම් ප්‍රමේහ රෝග, බහුමුත්‍රතාවය, තොලකට වියළීම, පිත කිපීමෙන් වූ රෝග සුවකොට මනා සුවයක් ලබා දෙයි.

2. වැල් පෙනෙල, හීං නිදිකුම්බා පංචාංගය කලං 04 බැගින් ඉඟිනි ඇට, එනසාල් ඇට, කැකිරි ඇට, ඕළු ඇට කලං 01 බැගින් ගෙන වතුර පත 08/01 ට සිඳ, උදේ/දවල්/සවස පානය කිරීමෙන් අධිකව සීනි ඇති රෝගීන්ට ඉතා ගුණදායකයි.

3. වරකා ගසේ ඉදුණු කොස් කොළ නැටිත් සමඟ කලං 06යි පතරාජ පොතු (ලෝලු), කොතල කෙමිය මුල්, මාදං පොතු කලං 02 බැගින් ගෙන වතුර පත 08/01ට සිඳ උදේ/සවස පානය කිරීම ඉතා යහපත් වන අතර දියවැඩියා තුවාල සුවයට ද අගනා දේශීය චිකිත්සා ක්‍රම වන්නේ ය.

4. මාදං ඇට කබලේ බැද කුඩුකර කෝපි මෙන් වත්කර බීමත් කෝවක්කා, මස්බැද්ද, විෂ්ණුක්‍රාන්ති, හීං බෝවිටියා කැඳ වැළඳීමත් රෝග සුවයට ඉතා යහපති.

5. ‘කොතල කෙමිය උණ බොඩ හා අට්ටික්කා සොහොන් මල් පැළෑටිය ගෙන අටිනෙක්කා

දවස දෙවේලේ දීමෙන් මී එක්කා
දියවැඩියාව දුරුවී යනවා දැක්කා’

සටහන – පුලස්ති අධිකාරී