highlights of the week
Home » NEW ARTICLES » සමාධිය හා ධ්‍යාන පිළිබඳ මෙම කරුණු ඔබ දැන සිටියාද?

සමාධිය හා ධ්‍යාන පිළිබඳ මෙම කරුණු ඔබ දැන සිටියාද?

“සමාධිං භික්ඛවේ භාවේථ. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති”

සසර ගමන අවසන් කිරීමට වෙහෙසෙන ආර්ය ශ්‍රාවකයා විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවේශ වීම අනිවාර්ය වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරමින් ආර්ය වූ සම්මා සමාධියක් දියුණු කළ යුතු වේ. ආර්ය වූ සම්මා සමාධිය බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ පෙන්වා වදාළ සේක.

“මහණෙනි, හේතු සම්පත් සහිත වූ, උපකාරක ධර්ම සහිත වූ, ආර්ය වූ සම්මා සමාධිය යනු කුමක් ද? එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියලා දෙයක් තිබෙනවා. මේ අංග හතෙන් යුතු වූ යම් සිතක එකඟ බවක් ඇද්ද, ඔය අංගයන්ගේ ඒකරාශී වීමක් ඇද්ද, මහණෙනි,ආර්ය වූ සම්මා සමාධිය කියන්නේ එයටයි. හේතු සම්පත් සහිතයි කියන්නේ එයටයි. උපකාරක ධර්ම සහිතයි කියන්නේ එයට ම යි.”

(මහා චත්තාරීසක සූත්‍රය – ම. නි. 03)

මේ අයුරින් ආර්ය ශ්‍රාවකයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති කුසල් දියුණු කරමින් නිවන ආවරණය කරන්නා වූ, නීවරණ නම් වූ අකුසල් දුරු කළ යුතු වේ.

“ආර්ය ශ්‍රාවකයා ආර්ය වූ සීලස්කන්ධයෙන් යුක්තව, ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව, ආර්ය වූ සිහි නුවණින් යුක්තව, ආර්ය වූ ලද දෙයින් සතුටු වීමේ ගුණයෙන් යුක්තව හුදෙකලා සෙනසුනක වාසය කරනවා. ඒ කියන්නේ, ආරණ්‍ය, රුක්සෙවණ, පර්වත, හිස් කුටි, පිදුරු ගෙවල් ආදියයි. ඔහු පිණ්ඩපාතය වළඳා, දානයෙන් පසුව පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන වාඩි වෙනවා.

ඔහු ජීවිතය නම් වූ ලෝකය ගැන ඇති විෂම ලෝභය දුරුකොට ඇලීම් රහිත වූ සිතින් වාසය කරනවා. විෂම ලෝභය කෙරෙන් සිත පිරිසිදු කරනවා. තරහ, වෛර ආදිය අත්හැර තරහ නැති සිතින් සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. තරහ, වෛර ආදියෙන් සිත පිරිසිදු කරනවා. නිදිමත, අලසකම අත්හැර, නිදිමත හා අලසකමින් බැහැරව ආලෝක සංඥාවෙන් යුතුව, සිහිනුවණ ඇතිව වාසය කරනවා. නිදිමත හා අලසකමින් සිත පිරිසිදු කරනවා. සිතේ විසිරීමත් පසුතැවීමත් බැහැරකොට නොකැළඹී ගිය සන්සිඳුණු සිතින් වාසය කරනවා. සිතේ විසිරීම හා පසුතැවීමෙන් සිත පිරිසිදු කරනවා. සැකය දුරුකොට, කුසල් දහම් ගැන ‘කෙසේ ද? කෙසේ ද?’ යනාදී සැකයෙන් එතෙරව වාසය කරනවා. සැකය කෙරෙන් සිත පිරිසිදු කරනවා.

(සාමඤ්ඤඵල සූත්‍රය – දී. නි. 01)

පංච නීවරණයන්ගෙන් සිත මේ අයුරින් පිරිසිදු කරනා ආර්ය ශ්‍රාවකයා හට මහත් සතුටක් සොම්නසක් උපදී.

“එය මෙවැනි දෙයක්. පුරුෂයෙක් ණයක් අරගෙන කර්මාන්තයක යොදවනවා. ඔහුගේ ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා. එතකොට ඔහු යම් පරණ මුල් ණයක් ඇත්ද, එය සම්පූර්ණයෙන් ම ගෙවලා දානවා. එයින් පසු ඔහුට අඹුදරුවන් පෝෂණය පිණිස ලාභයක් ඉතිරි වෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මං කලින් ණයක් අරගෙනයි ව්‍යාපාරයට යෙදෙව්වේ. ඒ මගේ ව්‍යාපාරය සාර්ථක වුණා. මං පරණ මුල් ණයක් ඇත්ද එය සම්පූර්ණයෙන් ම ගෙව්වා. අඹුදරුවන් පෝෂණයටත් මට ආදායම ඉතිරි වුණා’ කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.”

(සාමඤ්ඤඵල සූත්‍රය – දී. නි. 01)

එය එහි අටුවාවෙහි මෙසේ දක්වා ඇත.

“මෙහි භාග්‍යවතුන් වහන්සේ කාමච්ඡන්ද නීවරණය ණයක් සේ ද සෙසු දේ රෝග ආදියට සමාන කොට ද දක්වන සේක”

“යමෙක් අනුන්ගේ ණයක් ගෙන වැනසේ ද හේ ඔවුන් විසින් ණය දෙවැයි චෝදනා කරනු ලබන්නේ ද පරුෂ වචන කියනු ලබන්නේ ද තර්ජනය කරනු ලබන්නේ ද මරනු ලබන්නේ ද විරුද්ධව නැගී සිටීමට නො හැකි වෙයි. සියල්ල ඉවසයි. ඔහුගේ ඉවසා සිටීමේ කාරණය ඒ ණය වෙයි. මෙසේ යමෙක් යමක් කෙරෙහි කාමච්ඡන්දයෙන් ඇලේ. ඒ වස්තුව තෘෂ්ණා ග්‍රහණයෙන් ගනී. හේ ඔහු විසින් පරුෂ වචන කියනු ලබන්නේ ද තර්ජනය කරනු ලබන්නේ ද මරනු ලබන්නේ ද සියල්ල ඉවසයි. ඔහුගේ ඒ ඉවසීමේ කාරණය ඒ කාමච්ඡන්දය යි. ගෙහිමියන් විසින් මරනු ලබන ස්ත්‍රීන්ට මෙනි.”

“පුරුෂයෙක් රෝගී වෙලා, දුකට පත් වෙලා, දැඩි සේ ගිලන්ව ඉන්නවා. ඔහුට බත් කෑමටවත් පිරියක් නෑ. ඔහුගේ ඇඟේපතේ ප්‍රාණවත් ගතියක් නෑ. නමුත් පස්සේ කාලෙක ඔහු ඒ රෝගයෙන් මිදුණා. ඔහුට දැන් බත් කෑමට ප්‍රියයි. ඔහුගේ ඇඟපතත් ප්‍රාණවත්. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මම ඉස්සර රෝගී වෙලා, දුකට පත් වෙලා, දැඩි සේ ගිලන්ව හිටියේ. මට බත් කෑමටවත් පිරියක් තිබුණේ නෑ. මගේ ඇඟේපතේ ප්‍රාණවත් ගතියක් තිබුණේ නෑ. නමුත් දැන් මං ඒ රෝගයෙන් මිදුණා. මට දැන් බත් කෑමත් ප්‍රියයි. මගේ ඇඟපතත් ප්‍රාණවත්’ කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. සොම්නසක් ලබනවා.”

එය අටුවාවෙහි මෙසේ දක්වා ඇත.

“යම් සේ පිත් රෝගයෙන් ආතුර වූවෙක් මී පැණි, හකුරු ආදිය දුන් කල්හි ද පිත් රෝගයෙන් පෙලෙන බැවින් රස නොවිඳී ද තිත්තයි, තිත්තයි කියමින් වමනය කරන්නේ ම ය. මෙසේ ව්‍යාපාදයට පත් සිත් ඇත්තේ, හිතකාමී ආචාර්ය උපාධ්‍යායන් විසින් අල්පමාත්‍ර වූ ද අවවාදයක් දෙනු ලබන්නේ අවවාද නො ගනී ද ‘ඔබලා මට අතිශයින් උපද්‍රව කරන්නාහු’ යැයි ආදිය කියා සිවුරු හැර යයි. පිත් රෝගයෙන් පෙළෙන බැවින් ඒ පුරුෂයා මී පැණි, හකුරු ආදිය ප්‍රතික්ෂේප කරන ලෙසින්, ක්‍රෝධයෙන් පෙළෙන බැවින් ධ්‍යාන සුඛ ආදී ශාසන රසය නො විඳී.”

(සාමඤ්ඤඵල සූත්‍ර අටුවාව)

“පුරුෂයෙක් හිර ගෙදරක බන්ධනයකට හසුවෙනවා. නමුත් ඔහු පස්සේ කාලෙක තමන්ගෙ ධනය වියදම් නොකොට සුව සේ ම බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා. ඔහුගේ සම්පත්වලින් කිසිම වියදමක් යන්නේ නෑ. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මම ඉස්සර බන්ධනාගාරයට හසුවුණා. නමුත් මං දැන් ධන වියදමකින් තොරව සුව සේ ම බන්ධනාගාරයෙන් නිදහස් වුණා. මගේ භෝග සම්පත්වලින් කිසිදෙයක් වියදම් වුණේ නෑ.’ කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා”

(සාමඤ්ඤඵල සූත්‍රය – දී. නි. 01)

එය ද අටුවාවෙහි මෙසේ දක්වා ඇත.

“යම් සේ නැකැත් කෙළි දවසෙහි බන්ධනාගාරයෙහි බැඳුණ පුරුෂයා නැකැත් කෙළියෙහි මුල මැද අග නො දකී ද හේ දෙවෙනි දවසේ මුදාහරිනු ලැබුයේ, ‘අනේ ඊයේ නැකැත් කෙළිය මනාප විය, අනේ නැටුම, අනේ ගීතය’ යි අසා ද පිළිවදන් නො දෙයි. කවර කරුණකින් ද යත්, නැකැත් කෙළිය ගැන දැනුමක් නැති බැවිනි.

මෙසේ ථීනමිද්ධයෙන් මඩිනු ලබන භික්ෂුව විසිතුරු අයුරින් ධර්ම ශ්‍රවණය පවතිද්දී එහි මුල, මැද, අග නො දනී. හේ ධර්ම ශ්‍රවණය අවසන් වූ කළ ‘අනේ ධර්ම ශ්‍රවණය, අනේ දහම් කරුණ, අනේ උපමා..’ යැයි ධර්ම ශ්‍රවණයෙහි ගුණ කියන්නවුන් අසා ද පිළිවදන් නො දෙයි. කවර කරුණකින් ද යත්, ථීනමිද්ධය හෙයින් ධර්ම කතාවෙහි දැනුමක් නැති බැවිනි.”

“පුරුෂයෙක් තමාට සිතූ පරිදි ගත කරන්නට බැරි, අනුන්ට යටත් වෙලා වාසය කරන, තමා කැමති පරිදි යා ගත නො හැකි දාසයෙක් වෙලා සිටියා. ඔහු පස්සේ කාලෙක ඒ දාස බවෙන් නිදහස් වුණා. තමාට හිතූ පරිදි ගත කරන, අනුන්ට යටත් නො වෙන, තමන් කැමති පරිදි යා ගත හැකි ජීවිතයක් ලැබුණා. එතකොට ඔහුට මෙහෙම හිතුණා. ‘මං ඉස්සර තමාට සිතූ පරිදි කර ගන්නට බැරි, අනුන්ට යටත් වෙලා වාසය කරන, තමා කැමති පරිදි යා ගත නො හැකි දාසයෙක් වෙලා හිටියා. ඒ මං දැන් දාස බවෙන් නිදහස් වෙලයි ඉන්නේ. මට සිතූ පරිදි ගත කරන, අනුන්ට යටත් නොවෙන, මං කැමති පරිදි යා ගත හැකි ජීවිතයක් ලැබිලා තියෙනවා’ කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.”

(සාමඤ්ඤඵල සූත්‍රය- දී. නි. 01)

එය ද අටුවාවෙහි මෙසේ දක්වා ඇත.

“යම් සේ නැකැත් කෙළි කෙළනා දාසයා මෙනම් නොවරදවා කළ යුත්තක් ඇත. ‘වහා එහි යව. නොයන්නෙහි නම් අත් පා හෝ, කන් නාසා හෝ කපා දමමු’ යි කී කල්හි වහා යන්නේ ම ය. නැකැත් කෙළියෙහි මුල මැද අග විඳ ගන්නට නො ලබයි. කුමක් හෙයින් ද? පරාධීන බැවිනි. මෙසේ විනයෙහි අකෘතඥව විවේකය පිණිස ආරණ්‍යට පිවිසියහු විසින් කිසියම් කැප දෙයක ද අකැප සංඥාවක් උපන් කල්හි උපන් විවේකය අත්හැර සිල් පිරිසිදු කිරීම පිණිස විනයධරයෙකුගේ සමීපයට යා යුතු වෙයි. විවේක සුව විඳීමට නො ලබයි. කුමක් හෙයින් ද? උද්දච්ච කුක්කුච්චයෙන් මැඩගනු ලැබූ බැවිනි.”

“පුරුෂයෙක් ධනය ඇතිව, භෝග සම්පත් ඇතිව, ආහාරපාන දුලබ වූ බිය උවදුරු සහිත කාන්තාර ගමනකට පිවිසෙනවා. නමුත් ඔහු පසු කලෙක ඒ කාන්තාරයෙන් එතෙර වෙනවා. සුව සේ ම ගමන අවසන් කොට බිය උවදුරු නැති ආරක්ෂාව ඇති තැනකට පැමිණෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා.‘ මං කලින් ධනය ඇතිව, භෝග සම්පත් ඇතිව, ආහාරපාන දුලබ වූ බිය උවදුරු සහිත කාන්තාර ගමනකට පිවිසුණා. නමුත් මං දැන් ඒ කාන්තාරයෙන් එතෙර වුණා. සුව සේ ම ගමන අවසන් කොට බිය උවදුරු නැති ආරක්ෂාව ඇති තැනකට පැමිණුනා’ කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.

(සාමඤ්ඤඵල සූත්‍රය – දී. නි. 01)

මෙකරුණ අටුවාවෙහි විස්තර වන්නේ මෙසේ ය.

යම් සේ කාන්තාරයෙහි දිගු මගට පිළිපන් පුරුෂයා සොරුන් විසින් මිනිසුන්ව පහරන තැන් ද ගිය තැන් ද දැක දඬු කැබැල්ලක ශබ්දයෙන් ද කුරුලු ශබ්දයෙන් ද ‘හොරු ආවෝ’ යැයි බිය හා සැක ඇත්තේ වෙයි. ගියත්, සිටියත්, නැවතුනත් ගිය තැනට වඩා නො ගිය තැන් බහුතර වෙයි. හේ කරදරයෙන් අසීරුවෙන් කෙම් බිමට පැමිණෙයි හෝ නොපැමිණෙයි. මෙසේ යමෙකුට විචිකිච්ඡාව උපන්නේ වෙයි. හේ බුදු වී ද බුදු නො වී ද? ආදී ක්‍රමයෙන් සැක කරන්නේ මුළාවට පැමිණ ශ්‍රද්ධාවෙන් අදහා ගැනීමට නො හැකි වෙයි. එසේ නො හැකි වන්නේ, මාර්ගයට හෝ ඵලයකට නොපැමිණේ.”

“මේ අයුරින් මේ පංච නීවරණයන් තමා තුළ නැති බව දකිද්දී මහත් සතුටක් ඇති වෙනවා. ඒ ප්‍රමුදිත වීම ඇති කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති මනසක් ඇති කෙනාගේ කය සන්සිඳෙනවා. සන්සිඳුන කයින් යුතුව සැපක් විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා.”

(සාමඤ්ඤඵල සූත්‍රය – දී. නි. 01)

“මෙසේ සමාධිමත් වූ සිත කාම භවය ඉක්මවන බැවින් ද කාම රාගයට ප්‍රතිපක්ෂ බැවින් ද මේ ධ්‍යානය කාම රාගයන්ගේ ම නිස්සරණය යි. කාමාන මේතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං”

නීවරණ ධර්මයන් දුරු කිරීම පිණිස ම දැඩිව පටන් ගත් වීර්යය ඇති බැවින් නොහැකිළුනේ ය (අසල්ලීනං). සිහිය ද අරමුණට අභිමුඛ වීමෙන් (සතිපි), අරමුණට එළඹ සිටියා වූ (උපට්ඨිතා), මුළා නො වූ (අසම්මුට්ඨා), කය හා සිත සැහැල්ලු වී නිවී ගියේ ය (පස්සද්ධෝ කායෝ), කය සන්සිඳුන බැවින් කෙලෙස් පීඩා නැත්තේ ය (අසාරද්ධෝ), සිත ද නොයෙක් අරමුණෙහි විසිර යාම සිඳ හැර එක් අරමුණක කරන ලද්දේ (සමාහිතං චිත්තං ඒකග්ගං) මනා කොට තබන ලද්දේ ය. මනාකොට පිහිටි බැවින් ම එකඟ ය. නිසල ය. පහ වූ සැලීම් ඇත්තේ ය. මෙපමණකින් ධ්‍යානය පිළිබඳව පූර්වභාග ප්‍රතිපදා කියන ලදී.”

(සමන්තපාසාදිකා විනයට්ඨකතා)

“ඔහු කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. ඔහු මේ කය ම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමනින් ම තෙත් කරනවා. එයින් පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නො කළ කිසි තැනක් නෑ.

ඒක මේ වගේ දෙයක්. දක්ෂ නහවන්නෙක් හෝ නහවන කෙනෙකුගේ ගෝලයෙක් ඉන්නවා. ඔහු ලෝහ බඳුනක නාන සුණු විසුරුවනවා. ඊට පස්සේ දිය ඉස ඉස පිඬු කරනවා. එතකොට ඒ නාන සුණු පිඬට අර වතුර කාවදිනවා. හොඳින් තෙත් වෙනවා. ඒ නහන සුණු පිඬ ඇතුළත පිටත සෑම තැන ම හොඳින් දිය පැතිරිලා තියෙනවා. පිටතට වැගිරෙන්නේ නෑ.”

(සාමඤ්ඤඵල සූත්‍රය – දී. නි. 01)

“මෙසේ කාමයන්ගෙන් හා අකුසලයන්ගෙන් වෙන්වූ සිත, ‘සවිතක්කං සවිචාරං’ අරමුණ තුළ කල්පනාව පවතී. ඒ මේ විතර්කය සිත අරමුණට නැගීම ලකුණු කොට සිටියේ ය. අරමුණෙහි සිත එළවීම ඵලය කොට සිටියේ ය. අරමුණෙහි සිත හැසිරවීම විචාරය යි. පුන පුනා හැසිරීම යැයි කියන ලද්දේ වේ. ඒ මේ විචාරය අරමුණ පිරිමැදීම ලකුණු කොට සිටියේ ය. සිත සමඟ උපන් ධර්මයන් ඒ අරමුණෙහි සිතට අනුව යෙදීම කෘත්‍ය කොට සිටියේ ය. අරමුණෙහි උපන් ධර්මයන් නොසිඳුන සේ පැවැත්ම ඵලය කොට සිටියේ ය.

ඒ විතක්ක විචාර දෙදෙන ප්‍රථම ධ්‍යානයෙහි ඇතැම් සිතක නොවෙන්ව පවතින විට විචාරයට වඩා ප්‍රකට අර්ථයෙන්, විචාරයට පෙරටුව යන අර්ථයෙන් ඝණ්ඨාරයෙහි පළමු පහළ වූ ශබ්දය සේ, සිත පළමු කොට හටගැනීම විතර්කය වේ. විතර්කයට වඩා සියුම් වූ අර්ථයෙන් ඝණ්ඨාරයෙහි අනුරාවය මෙන් පිළිවෙළින් බැඳී පැවතීම විචාරය නම් වේ. මේ විතර්කය අහසට නගිනු කැමති පක්ෂියෙකුගේ පියාපත් පැහැරීම බඳු ය. විචාරය අහසට නැගී ගත් පක්ෂීහුගේ පියාපත් නොසොල්වා දිගහැර යාම බඳු වේ.

(විවේකජං) නීවරණයන්ගෙන් වෙන් වීම විවේකය යි. නීවරණ පහ වූ ධ්‍යානය හා බැඳුණු ධර්ම රාශිය යන අර්ථයයි. (පීති සුඛං) මෙහි කය සහ සිත පිනවනවා යන අරුතින් ප්‍රීතිය වේ. ඒ ප්‍රීතිය මැනවින් පිනවීම ලකුණු කොට සිටියේ ය.

කය හා සිත පිනවීම කෘත්‍ය යි. ප්‍රීතිය පැතිරීම කෘත්‍ය යි. ඔද වැඩි බව ඵලය කොට සිටියේ ය. සැප ලබා දීම සුඛ වේ. කය හා සිත පිළිබඳ පෙලීම් දුරුකරනුයි සුඛ නම් වේ. එය රස විඳීම ලකුණු කොට සිටියේ ය.

කාන්තාර මාර්ගයක යන පිපාසාවෙන් පෙළෙන කෙනෙකුට දිය දැකීමෙන් හා ඇසීමෙන් ප්‍රීතිය ද වන සෙවණට යාමෙන් හා දිය බීමෙන් සුඛය ද වේ. මේ අයුරින් යම් සිතක ප්‍රීතිය වේ ද ඒ සිතෙහි සුඛය වේ. මේ ප්‍රීතිය ද සුඛය ද මේ ධ්‍යානයෙහි ඇත්තේ යයි මේ ධ්‍යානය ප්‍රීති සුඛයි කියනු ලැබේ.”

(සමන්තපාසාදිකා විනයට්ඨකතා)

“තවදුරටත් කියනවා නම්, භික්ෂුව විතක්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් ආධ්‍යාත්මිකව පැහැදීම ඇතිව සිතෙහි මනා එකඟ බවෙන් යුතුව විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවන ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. ඔහු මේ කය ම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමනින් ම තෙත් කරනවා. එයින් පුරවනවා. ඔහුගේ සියලු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නො කළ කිසි තැනක් නෑ.

ඒක මේ වගේ දෙයක්. යට දිය උල්පත්වලින් වතුර ගලන ගැඹුරු විලක් තියෙනවා. හැබැයි ඒ විලට නැගෙනහිර පැත්තෙන් වතුර එන මගක් නෑ. දකුණු පැත්තෙන්… බටහිර පැත්තෙන්… උතුරු පැත්තෙන් වතුර එන මගක් නෑ. වැස්සත් කලින් කලට පිළිවෙළකට වහින්නේ නෑ. එතකොට ඒ විලෙන් ම දිය දහරා උල්පත්වලින් උඩට මතු වෙවී ඒ විල ම සීතල ජලයෙන් හොඳට තෙත් කරනවා. මුළුමනින් ම තෙත් කරනවා. වතුරෙන් පුරවනවා. හොඳින් පුරවනවා. ඒ මුළු විලේ ම සිහිල් ජලයෙන් පහස නො ලැබූ කිසි තැනැක් නෑ.

(සාමඤ්ඤඵල සූත්‍රය – දී. නි. 01)

(විතක්ක විචාරානං වූපසමා) විතර්ක විචාරයන්ගේ සන්සිඳීම නිසා (අජ්ඣත්තං සම්පසාදනං) ආධ්‍යාත්මයෙහි ශ්‍රද්ධාව බලවත්ව පිහිටයි. එවිට (චේතසෝ ඒකෝදිභාවං) වඩ වඩාත් සිත එකඟ වේ. විතර්ක විචාරයන්ගේ අවිද්‍යාමාන භාවයෙන්, සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් වාසය කරයි.

“තව දුරටත් කියනවා නම් භික්ෂුව, ප්‍රීතියට ද නොඇලීමෙන් උපේක්ෂාවෙන් යුතුව කයෙන් සැපයක් ද විඳිනවා. ආර්යයන් වහන්සේලා යම් ධ්‍යානයකට උපේක්ෂා සහගත සිහිය ඇති සැප විහරණය යැයි පවසනවා ද ඒ තුන්වන ධ්‍යානයත් උපදවා ගෙන වාසය කරනවා. ඔහු මේ කය ම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමනින් ම තෙත් කරනවා. එයින් පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීතිය රහිත සුඛයෙන් ස්පර්ශ නො කළ කිසි තැනක් නෑ.

ඒක මේ වගේ දෙයක්. මහනෙල් විලක හෝ රතු නෙළුම් විලක හෝ සුදු නෙළුම් විලක හෝ ඇතැම් මහනෙල් වේවා, රතු නෙළුම් වේවා, සුදු නෙළුම් වේවා, ඒ නෙළුම් ජලයේ ම යි හටගන්නේ. ජලයේ ම යි වැඩෙන්නේ. නමුත් ජලයෙන් උඩට ඇවිත් නෑ. ජලය තුළ ම ගිලී වැඩෙනවා. එතකොට ඒ නෙළුම් අග දක්වාත් මුල දක්වාත් සීතල දියෙන් හොඳට තෙත් වෙලා තියෙන්නේ. පිරිලා තියෙන්නේ. හැමතැන ම පැතිරිලා තියෙන්නේ. ඒ සෑම මහනෙල්වල, රතු නෙළුම්වල, සුදු නෙළුම්වල සීතල දිය නොපැතුරුණු කිසි තැනක් නෑ.”

(සාමඤ්ඤඵල සූත්‍රය – දී. නි. 01)

(පීතියා ච විරාගා) මෙහි දී ප්‍රීතියට ද නොඇල්මෙන්, එය ද ඉක්මවා යාමක් සිදු වේ. (උපෙක්ඛකෝ ච විහාසිං) මෙහි සමව ඉසිලීමට සුදුසු පරිදි බලය යන අර්ථයෙන් උපේක්ෂාව වේ. අපක්ෂපාතීව බලයි යන අර්ථය යි.

(සතෝ ච සම්පජානෝ) සිහිය හා නුවණ – සිහිය සිහිකිරීම ලකුණු කොට ඇත. නුමුළා බව කෘත්‍ය කොට ඇත. කෙලෙසුන්ගෙන් රැකීම වැටහීම කොට ඇත. සම්පජඤ්ඤය නුමුළා බව ලකුණු කොට ඇත. විමසීම වැටහීම කොට ඇත.
තුන්වන ධ්‍යානයෙහි සුඛය ප්‍රීතියෙන් ඉවත් කරන ලද්දේ සිහිනුවණින් නොරකිනු ලබන්නේ නම් නැවත ප්‍රීතිය සහිත ධ්‍යානයට ම පැමිණෙන්නේ ය. සිහිය හා නුවණ යන දෙකෙහි ආනුභාවයෙන් ම මෙය සුරැකිය යුතු වේ. යම් සේ දෙන විසින් කිරි පෙවූ වස්සෙක් දෙනගෙන් ඉවත් කරන ලද්දේ, අන් තැනකට ගොස් රැකෙනු නොහැකිව නැවත දෙන කරා ම පැමිණේ ද ඒ අයුරිනි.

(සුඛං ච කායේන පටිසංවේදේසිං) ධ්‍යානයෙන් නැගී සිටියේ ද කායික සුඛයක් විඳින්නේ ය. ධ්‍යානය තුළ ද මහත් වූ කායික සුඛයක් විඳින්නේ ය.

(යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරී) බුද්ධාදී ආර්යයෝ උපේක්ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය. සුඛ විහරණ ඇත්තේ යැයි වදාරත්, දෙසත්, පනවත්, පිහිටුවත්, විවෘත කෙරෙත්, බෙදත්, ප්‍රකට කෙරෙත් ප්‍රකාශ කෙරෙත්, පසසත් යන අර්ථය යි.

(සමන්තපාසාදිකා විනයට්ඨකතා)

තව දුරටත් කියනවා නම් භික්ෂුව, සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන් කලින් ම සොම්නස් දෙක ඉක්ම යාමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපෙක්ඛා සහගත සතිය ඇති සතර වන ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහු මේ කය ම පාරිශුද්ධ වූ ප්‍රභාෂ්වර වූ සිතින් පතුරුවාගෙන වාඩි වී ඉන්නවා. ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාෂ්වර සිතින් ස්පර්ශ නො කළ කිසි තැනක් නෑ.

ඒක මේ වගේ දෙයක්. සුදු වස්ත්‍රයකින් හිස සහිතව මුළු සිරුර ම පොරවාගෙන වාඩි වී සිටින කෙනෙක් ඉන්නවා. එතකොට ඔහුගේ මුළු කයෙහි ම සුදු වස්ත්‍රයෙන් නොවැසුණු කිසි තැනක් නෑ.”
(සාමඤ්ඤඵල සූත්‍රය – දී. නි. 01)

(සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා) කායික සැප දුක ප්‍රහාණයෙන්, (පුබ්බේව සෝමනස්ස fදා්මනස්සානං අත්ථංගමා) මානසික සැප දුක කලින් ම අත්හැර ප්‍රහාණයෙන්.

(කත්ථ උප්පන්නං දුක්ඛින්ද්‍රියං අපරිස්සේසං නිරුජ්ඣති. ඉධ භික්ඛවේ භික්ඛු විවිච්චේව කාමෙහි…. පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති. එත්ථුප්පන්නං දුක්ඛින්ද්‍රියං අපරිසේසං නිරුජ්ඣති)

කොතැන්හිදී උපන්නා වූ දුක් ඉන්ද්‍රිය ඉතිරි නැතිව නිරුද්ධ වේ ද? මෙහිලා භික්ෂුව කාමයෙන් වෙන්ව.. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. එහි දී දුක් ඉන්ද්‍රිය ඉතිරි නැතිව නිරුද්ධ වේ.

(කත්ථ උප්පන්නං fදා්මනස්සින්ද්‍රියං…. සුඛින්ද්‍රියං…. සෝමනස්සින්ද්‍රියං අපරිසේසං නිරුජ්ඣති. ඉධ භික්ඛවේ භික්ඛු සුඛස්ස ච පහානා…. චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති. එත්ථුප්පන්නං සෝමනස්සින්ද්‍රියං අපරිසේසං නිරුජ්ඣතීති)

කොතැන්හිදී උපන්නා වූ fදා්මනස්ස ඉන්ද්‍රිය…. සුඛ ඉන්ද්‍රිය…. සෝමනස්ස ඉන්ද්‍රිය ඉතිරි නැතිව නිරුද්ධ වේද මෙහිලා භික්ෂුව සැපය ද ප්‍රහාණය කොට… සතරවන ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. එහිදී සෝමනස්ස ඉන්ද්‍රිය ඉතිරි නැතිව නිරුද්ධ වේ.

(ඉන්ද්‍රිය සංයුත්තය – සං.නි. 5)

(අදුක්ඛමසුඛං) යම් අදුක්ඛමසුඛ වේදනාවක් කියන ලද ද ඒ වේදනාව සියුම් වූවා, අතිශය දුර්විඥෙය වූවා සුව සේ දැනගන්නට නො හැකි ය. යම් වේදනාවක් සුඛ නො වේ ද දුක්ඛ නො වේ ද සෝමනස්ස නො වේ ද fදා්මනස්ස නො වේ ද මේ වේදනාව ‘අදුක්ඛමසුඛ වේදනා’ යි ගන්නට හැකි ය. අදුක්ඛමසුඛ හෙවත් උපේක්ෂා චේතෝ විමුක්තියට ප්‍රත්‍ය දක්වනු පිණිස මේ වේදනා වදාරණ ලදැයි දත යුතු ය.”

(සමන්තපාසාදිකා විනයට්ඨකතා)

මේ අයුරින් දියුණු කරන ලද සමාධිය ඤාණ දර්ශනය පිණිසත්, ඉර්ධි ප්‍රාතිහාර්ය දැක්වීම පිණිසත්, අනුන්ගේ සිත් දැකීම පිණිසත්, පුබ්බේනිවාසානුස්සති ඤාණය උපදවා ගැනීම පිණිසත්, චුතූපපාත ඤාණය ලබාගැනීම පිණිසත්, ආසවක්ඛය ඤාණය සාක්ෂාත් කිරීම පිණිසත් උපකාරී වන අයුරු භාග්‍යවතුන් වහන්සේ මැනවින් වදාළ සේක.

නිර්මලව ලද ගෞතම බුදු සසුනේ සැබෑ ම පිළිසරණ ලබා ගැනීමට මේ උතුම් නිවන් මග පිළිබඳව සැමගේ සිත් සතන් සුපහන් වේවා!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන පූජාවන් නිෂ්ඵල වන්නේ ද?

අසමසම වූ සම්බුදුවරයන් වහන්සේලාට දෙව් මිනිසුන් විසින් පූජාවෝ පවත්වනු ලබති. ඒ පූජා සත්කාරයන් උන්වහන්සේලා නොඉවසති. මෙය බුදුවරුන්ගේ ධර්මතාවයකි.