එදිනෙදා ගෘහ පාලනයේ දී අප සියලු දෙනා ම පාහේ හොඳින් දන්නා නමුදු අප අතින් ගිලිහෙන ඉතා සරල කරුණු සවිස්තරාත්මකව සමාලෝචනය කිරීම මෙම ලිපිපෙළෙහි මූලික අරමුණ වේ. ඊට අමතරව විවිධාකාර රෝග තත්ත්වයන් හා ඒවා ඇති වීමට හේතු කාරණා ද වළක්වා ගැනීම පිළිබඳව ද ඉදිරි ලිපි තුළින් ඉතා සරල ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

ආහාර ගැනීම ජීවීන්ගේ මූලික අවශ්‍යතාවයක් වන අතර ශරීර අවයවයන්ගේ මනා ක්‍රියාකාරීත්වය සඳහා උපකාරී වේ. සියලු පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සපිරුනු පිරිසිදු නැවුම් ආහාර මෙන් ම පිරිසිදු ව පිළියෙල කරන ලද සහ නිසියාකාර ව ගබඩා කරන ලද ආහාර පරිභෝජනය සියලු ම වයස් කාණ්ඩවල පුද්ගලයන් සඳහා ඉතාමත් වැදගත් වේ.

පිරිසිදු එළවළු සහ පලතුරු වගා කර ගැනීම, තෝරා ගැනීම ආදි කරුණු පිළිබඳ ව පරිපූර්ණ විග්‍රහයක් මහාමේඝ, හරිතයාය තුළින් පියවරින් පියවර පාඨක ඔබ වෙත තිලිණ කර දුන් බැවින් ඒ පිළිබඳ ව කෙටියෙන් ද ආහාර වර්ග මිල දී ගැනීමෙන් පසුව නිසි ආකාර ව ගබඩා කිරීමේ දී, ආහාර පිසීමේ දී, පිසූ ආහාර ශීතකරණය තුළ ගබඩා කිරීමේ දී සහ නැවත ආහාරයට ගැනීමේ දී අපගේ අවධානයට යොමු නොවන කරුණු දීර්ඝ වශයෙන් ද මෙම ලිපිය තුළින් සාකච්ඡාවට භාජනය කරනු කැමැත්තෙමි.

වෙළඳපොළෙන් ආහාර මිල දී ගැනීමේ දී විශ්වාසවන්ත ප්‍රභවයකින් මිල දී ගැනීමට හැකි නම් වඩාත් යෝග්‍ය වන නමුත් සැම විට ම ප්‍රායෝගික නො වේ. ගෙවත්තෙහි භෝග වගා කිරීමේ දී ද විශේෂයෙන් සැලකිය යුතු කරුණු කිහිපයක් ම වේ. සෑම පස් වර්ගයක ම සෑම වර්ගයක ම භෝග වගා කිරීම නුවණට හුරු නො වේ. පස්වල පවතින සමහර අයන වර්ග (Heavy Metals) භෝග වගාව සඳහා සුදුසු නො වේ. එබැවින් ඔබගේ ගෙවත්තේ පස් සාම්පලයක් පරීක්ෂා කර ගැනීම තුළින් භෝග වගාවට එම පස සුදුසුදැයි නිගමනය කළ හැකි අතර කුමන භෝග සුදුසුදැයි ද දැන ගත හැක. එසේ ඔබගේ ගෙවත්තේ පස්, වගාවට උචිත නොවන විටක දී සුදුසු වගා මාධ්‍යයක් භාවිත කොට ඔබට අවශ්‍ය භෝග වර්ග වගා කර ගැනීමේ හැකියාව තවමත් ඔබ සතුව ඇත. ශීත රටක නම් වගා ආවරණ භාවිත කොට ශීත කාලයේ දී වගාව ආරක්ෂා කර ගත හැකි වනු ඇත.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම උදෙසා ගිහි-පැවිදි සියලු දෙනාට ම මනා පෝෂණ ගුණයෙන් යුක්ත සමබර ආහාර වේලක අවශ්‍යතාවය විශේෂයෙන් අවධාරණය කළ යුතු නො වේ. (මේ පිළිබඳ වැඩි දුර විස්තර මී ළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න). ගෙවත්තෙන් නෙළා හෝ වෙළඳපොළෙන් මිල දී ගත් හෝ එළවළු සහ පලතුරු වර්ග වහා ම ශීතකරණයේ බහාලීම අද දින බොහෝ ගෘහ පාලකයන්ගේ පුරුද්දක් බවට පත් වී ඇත. නමුත් ශීතකරණයේ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමට පෙර, කුමන ආහාර ශීතකරණයේ ගබඩා නො කළ යුතු ද සහ කුමන ආහාර ශීතකරණයේ ගබඩා කිරීම අවශ්‍ය නො වේ ද යන වග විමසීම වැදගත් වේ. ඒ මගින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ළඟා කර ගැනීම මෙන් ම අනවශ්‍ය ආහාර ශීතකරණය තුළ ගබඩා කිරීමෙන් සිදු වන ආර්ථික හානිය ද වළකා ගත හැකි වනු ඇත. පහත ලැයිස්තුගත කර ඇති ආහාර වර්ග ශීතකරණය තුළ ගබඩා කිරීම අවශ්‍ය නො වේ.

තක්කාලි, බිත්තර, පැණි, අර්තාපල් ඇතුළු අල වර්ග, අඹ, කිවි, ඇප්රිකොට් වැනි පලතුරු වර්ග, අච්චාරු වර්ග, කෙචප්, ටින් කරන ලද මාලු වර්ග, දොඩම් පවුලේ පලතුරු වර්ග, පිපිඤ්ඤා වර්ග, පාන් පිටි, ජෑම් වර්ග, කුළුබඩු, සෝස් වර්ග, බටු, අන්නාසි, ගස්ලබු, විනාකිරි, සලාමි.

සමහර ආහාර වර්ග ශීත කිරීම තුළින් ඒවායේ පෝෂ්‍ය ගුණය, ස්වාභාවික වර්ණක, ඔක්ෂීකරණ හැකියාව, නැවුම් බව හා රස අඩුවිය හැක. එමෙන් ම තව සමහර ආහාර වර්ග ඉදීම පමා විය හැක. තවත් ආහාර වර්ග රළු තත්ත්වයක් ගත හැක.

එසේ ම සකස් කරන ලද ආහාර ශීත කිරීමෙන් අනතුරුව නැවත ආහාරයට ගැනීමට පෙර රත් කිරීම නූතන ලෝකයේ බොහෝ ප්‍රකට වේ. සමහර ආහාර වර්ග පිසීමෙන් අනතුරුව නැවත රත් කිරීම තුළින් ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය නිපදවීම සිදුවිය හැක. එමෙන් ම නැවත නැවත රත් කිරීම කිසිසේත් ම සුදුසු නො වේ. මෙහි දී නිදසුන් ලෙස පලා වර්ග, ප්‍රෝටීන බහුල ආහාර වර්ග (බිත්තර, මස්, මාලු වැනි ආහාර) ඉදිරිපත් කළ හැක. එබැවින් තමන්ගේ පවුලේ ආදරණීය සාමාජිකයන් වෙනුවෙන් මෙන් ම සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා සඳහා ආහාර පිළියෙල කිරීමේ දී ද ආහාර පිළියෙල කරන තැනැත්තාට ඇති වගකීම අති මහත් වේ. එය මෙවැනි ලුහුඩු සටහනක් මගින් ඉදිරිපත් කිරීම අභියෝගයකි. මෙම කරුණු සැලකීමේ දී ආහාර වෙළඳපාළෙන් හෝ ගෙවත්තෙන් තෝරා ගැනීමේ සිට පිළිගැන්වීම දක්වා වූ ක්‍රියාදාමය බෙහෙවින් ම සුපරීක්ෂාකාරී ව ඉටු කිරීම ආහාර පිළියෙල කරන තැනැත්තාගේ වගකීමක් වේ.

මනා කොට පිළියෙල කරන ලද ආහාරයක් දානමය වස්තුවක් කොට බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවක සංඝයා වහන්සේලා සඳහා බැති සිතින් යුතුව පූජා කිරීමේ ආනිශංස පිළිබඳ විග්‍රහයන් වේලාම සූත්‍රය, සප්පුරිස දාන සූත්‍රය යන සූත්‍රයන්හි සඳහන් වේ. තෝරා ගන්නා ලද ආහාර සහ අමුද්‍රව්‍යවල පිරිසිදු භාවය මෙන් ම ආහාර පිළියෙල කිරීමට යොදා ගන්නා භාජනවල පිරිසිදු භාවය ද වැදගත් වේ. එපමණක් නොව පිළියෙල කරන්නාගේ දෑත්වල පිරිසිදු භාවය ද මූලික තැනක් ගනී. කෙටි ව කැපූ නිය හා පිරිසිදු දෑත් මෙන් ම හැකි සෑම විට ම හිස් පලඳනාවක් පැලඳීම යෝග්‍ය වේ.

ආහාර ද්‍රව්‍ය මෙන් ම ආහාර පිළියෙල කිරීමට යොදාගන්නා අනෙකුත් අමුද්‍රව්‍ය වර්ග ද වැදගත් වන අතර ඒවායේ කාලය ඉකුත් වීමේ දිනය, නිවැරදි ව ගබඩා කළ යුතු ආකාරය (පරිසර සාධක), පිළියෙල කළ යුතු ආකාරය අසුරණයෙහි සඳහන් කොට ඇති අතර එම ආහාර මිල දී ගැනීමට පෙර මෙන් ම ආහාර පිළියෙල කිරීමට පෙර ද සුපරීක්ෂාකාරී ව කියවීම සහ පිළිපැදීම වැදගත් වේ. සමහර ආහාර ද්‍රව්‍යයන්ගේ අසුරණවල රත් කළ යුතු උෂ්ණත්වය සඳහන් වන අතර එම නිර්දේශිත උෂ්ණත්වයට වඩා රත් නො කළ යුතු බව මෙහි දී විශේෂයෙන් ම සඳහන් කළ යුතු වේ. මේ අතර තෙල් වර්ග, බටර් වර්ග විශේෂ වේ. බොහෝ විට මාගරින් වර්ග පාන් වැනි ආහාර මත තැවරීම සඳහා හෝ පිරවුම් ලෙස හෝ භාවිත කරන අතර රත් කිරීමෙන් ආහාර පිළියෙල කිරීම සඳහා උචිත නො වේ. එබැවින් ආහාර පිසීමට මාගරින් යොදා ගන්නා විට විශේෂයෙන් ප්‍රවේශම් විය යුතු ය.

එමෙන් ම සමහර කෘත්‍රිම ආහාර වර්ණක දියරමය ආහාර සඳහා පමණක් භාවිත කළ යුතු අතර පිළියෙල කිරීම සහ භාවිතය පිළිබඳ විස්තර උපදෙස් පත්‍රිකාවේ පැහැදිලි ව සඳහන් කර ඇත. කෘත්‍රිම ආහාර රසකාරක බොහෝ විට ශරීරයට හිතකර නොවන අතර ආහාර සඳහා එක් කර ගැනීම නිර්දේශ කළ නො හැක.

ආහාර රත් කිරීමේ දී බොහෝ විට පහසුව සඳහා අපි මයික්‍රොවේව් උඳුන් භාවිත කරමු. නමුත් ඒවායෙහි භාවිත වන කිරණ මගින් උණුසුම් වන ආහාරවලට සිදුවන බලපෑම පිළිබඳ ව තවමත් ඇත්තේ විවාදයකි. එබැවින් ආහාර රත් කිරීම සඳහා මයික්‍රොවේව් උඳුන් භාවිතය හැකි පමණ සීමා කිරීම සුදුසු බව මාගේ හැඟීම වේ.

මේ අයුරින් අප අතින් නොදැනුවත්ව ම සිදු වන අත් වැරදි නිවැරදි කර ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මග විවර කරනු නොඅනුමාන ය.

ආචාර්ය අසංකා ගුණසේකර
ගෙන්ට්, බෙල්ජියම