“අනේ… වෙද මහත්තයෝ, දැන් දවස් තුන හතරක ඉඳලා බඩ දනවා. ඒ මදිවට ඉස රුජාව. බඬේ හුළං පිරිල. කන්නත් බෑ.”

රෝගියාගේ අඳෝනාව අසා සිටි වෙද මහතා ඔහුගේ දකුණු අත ගෙන නළල රැළි ගන්වමින් නාඩි පරීක්ෂා කරන්නට විය. මඳ වේලාවකින් උගුර පෑදුවේ ය.

“ඔය ළමයාගේ බඬේ පිත හොඳටෝම නරක් වෙලා. ඒ පිත තමයි වාතයෙන් උඩට ගහන්නේ. එතකොට ඔය අමාරුකං එන්ට පුළුවං, හොඳා බය වෙන්ට කාරි නෑ. ඕකට අත්දුටු වෙදකං අපේ වෙදකමේ තියෙනවා නොවැ…”

කුමක් ද මේ බඬේ ඇඹුල් පිත

අද සමාජයේ බහුලව ම දක්නට ලැබෙනා කරදරකාරී රෝගයක් ලෙස මෙකී රෝග තත්ත්වය පෙන්වා දිය හැකි ය. දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයට අනුව ‘බඬේ ඇඹුල් පිත’ ලෙස හඳුන්වන මෙකී රෝගී තත්ත්වය ආයුර්වේද ග්‍රන්ථයන්හි පෙන්වා දී ඇත්තේ මෙසේ ය.

‘විදග්ධ පිත්තං අම්ල පිත්තං’. එනම් අප නො දන්නා, අප ගන්නා ලද ආහාරය ආමාශයේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට උපකාර වන පාචක පිත සමඟ නිසි ආකාරයෙන් නො පැසී පල් වීම නිසා මෙකී අම්ල පිත්ත රෝගී තත්ත්වය පැන නගී. විශේෂයෙන් ම මෙහි දී දූෂිත වන්නේ පිතයි. එහෙත් වාතය හා සෙම ද මෙයට සම්බන්ධ වේ. ආහාර ජීර්ණ පද්ධතියේ මෙකී දුර්වලතාවය හේතු කොටගෙන අග්නිමාද්‍ය නිසා නො පැසුනු යම් ආහාර රසයක් වේ ද එය ‘ආම රසය’ ලෙස ආයුර්වේදයේ පෙන්වා දී ඇත. එය ශරීරයේ උද්ගත වන දරුණු විෂ තත්ත්වයකි. පැරණි ආචාර්යවරුන් දක්වන ආකාරයට,

‘රෝගාණං ප්‍රථමො හේතුඃ
සර්වෝෂාං ආම සඳෙයා’

මෙකී ආම රසය ශරීරයේ හටගන්නා සියලු ම රෝග සඳහා මූල හේතුව වශයෙන් පෙන්වා දී තිබේ. මෙකී අම්ල පිත්ත රෝගයේ දී ඇතිවෙන ආම පිත්ත ස්වභාවය, වර්ණයෙන් කහපාට මිශ්‍ර කොළ පාටකි. ඉතා දුර්ගන්ධ වන අතර අම්ල රස වෙයි. මෙකී දෝෂ තත්ත්වය ආමාශය ඇසුරු කොටගෙන බොහෝ කාලයක් පැවතීමෙන් මුළු ශරීරය පුරා ම පැතිරී ගොස් අනේක ප්‍රකාර රෝගාබාධ ඇති කරයි. එවැනි අවස්ථාවල දී සමාජයේ බොහෝ දෙනෙක් අණ විණ දෝෂයක් යැයි සිතා දේවාල පසු පස හඹා ගොස් පීඩාවට පත්වෙන අවස්ථා ද නැතුවා නො වේ. එසේ ම බොහෝ විට මෙම අම්ල පිත්ත රෝගීන් තමාට හෘද රෝගයක් හෝ පිළිකා රෝගයක් ඇතැයි සැක සිතයි. මෙය කල් අල්ලා සිටින රෝගයක් බැවින් රෝගය හරි හැටි හඳුනාගෙන ප්‍රතිකාර යෙදීමෙන් සුවකර ගත හැකි ය.

අම්ල පිත්ත රෝගය වැළඳීමට හේතු (රෝග නිධාන)

■ මානසික ආතතිය – විශේෂයෙන් ම අම්ලපිත්ත රෝගයේ දී මානසික ආතතිය ප්‍රධාන වශයෙන් ම බලපාන හේතු සාධකයකි. අධික ශෝක, භය, දුක් පීඩා ආදි මානසික පීඩා ඇතිවෙන විටෙක මෙකී රෝගී තත්ත්වය නිරායාසයෙන් ම උද්ගත වෙයි.

■ නිසි වේලාවට ආහාර නොගැනීම

■ අධික ලෙස අම්ල, ලවණ, තීක්ෂණ ගුණ යුතු ආහාර නිතර ගැනීම.

■ බෝතල් කරන ලද කෘත්‍රිම බීම ජාති

■ අධික මත්පැන් පානය

■ වෂ විෂ කැවීමෙන් හා පෙවීමෙන්

■ නගරයේ ඇති විෂම ආහාරපාන වර්ග භාවිතය

■ දහවල් නිදීම හා රාත්‍රී නිදි මැරීම

■ තෙල් බැදුම් වර්ග නිතර පාවිච්චිය

■ ඌෂ්ණාධික ආහාර නිතර පාවිච්චිය

■ අවශ්‍ය තරම් ජලය පාවිච්චි නොකිරීම

■ කාලගුණ හා දේශගුණික වෙනස්වීම්වල දී

■ ආහාර ගත් විගස ජලය වැඩිපුර පානය කිරීම

■ ආහාර ගැනීමෙන් පසු විටින් විට නැවත ආහාර ගැනීම

අම්ල පිත් රෝග ලක්ෂණ

මෙකී අම්ල පිත්ත රෝග තත්ත්වයේ ලක්ෂණයන් ගැන සඳහන් කිරීමේ දී දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව එය කොටස් 02ක් යටතේ වර්ග කර පෙන්වා දිය හැකි ය.
1. ඌර්ධව ගත අම්ල පිත්තය
2. අධෝගත අම්ල පිත්තය

ඌර්ධව ගත අම්ල පිත්ත රෝග ලක්ෂණ

■ ගෙලෙහි, උදරයෙහි හා පපුවේ වේදනා සමඟ දැවිල්ල
■ අම්ල උද්ගාරය (රාම තෙල් යාම)
■ තිත්ත හෝ ඇඹුල් රසයෙන් වමනය වීම
■ වමනයත් සමඟ හිස රුජාව ඇති වීම
■ ආහාර නිසි ආකාරයෙන් නොදිරවීම
■ උදරයේ වාතය පිරීම
■ කල්යාමේ දී ආමාශගත තුවාල හට ගැනීම

අධෝගත අම්ල පිත්ත රෝග ලක්ෂණ

■ නිතර අධෝගත වාතය පිටවීම
■ අධෝමඟ දැවිල්ල සමඟ වේදනා හටගැනීම
■ අධික මළබද්ධය හෝ දියාරුවට වැසිකිළි යාම
■ වැසිකිළි යාමේ දී සෙම් කොටස් පිටවීම
■ මළ මාර්ගයේ තුවාල, බිබිලි, පැලීම් (පරිතර්තිකා) ඇතිවීම
■ කල්යාමේ දී බඩවැල් පහත් වීම (ගුදභ්‍රංශය) අර්ශස්, මළ මගෙහි ඉදිමුම, අර්ශස් අංකුර වැනි බොහෝ අපහසුතා ඇති කරයි.

මෙකී අම්ල පිත්ත රෝගයට නිසියාකාර වෛද්‍ය ප්‍රතිකාර නොකිරීම හේතුකොට ගෙන රෝගය කල් යාමේ දී දරුණු පීඩා ඇති කරනු ලබයි. එහි දී සිහි මුළාව, කරකැවිල්ල, හිසරදය සමඟ ක්ලාන්තය, මන්දාග්නිය (ආහාර අරුචිය) සිරුර දුර්වල වී කෘෂ වීම, නිතර දහදිය දැමීම, ශරීර අවයව කසාවන් පැහැ වීම, අත් පා දැවිල්ල, සම මතුපිට කුෂ්ඨ මතුවී දියර ගැලීම, සන්ධිගත ආබාධ (ආමවාත) දරුණු අස්ථි රෝග, එසේ ම කම්පනය, සිහිසන් නැතිවීම, හා මානසික රෝගාබාධයන් පවා කල්යාමේ දී ඇතිවිය හැකි ය.

හෙළ වෙද පිළියම්

විශේෂයෙන් ම මෙකී රෝග තත්ත්වයට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සේ ම දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ ද ඉතා සාර්ථක වූ ප්‍රතිකාර ක්‍රම රාශියක් පවතී. රෝගය කල්යාමේ දී සුවකිරීම ඉතා අපහසු වන අතර දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව මූලිකව රෝගියා ළය විරේක හා බඩ විරේක කිරීම සිදු කරනු ලබයි. ඒ තුළින් දූෂිත ආම පිත්ත තත්ත්වය බැහැර වූ පසු දෝෂ කෝප තත්ත්වයන්ට අනුව ප්‍රතිකාර ක්‍රම සිදු කරනු ලබයි.

අම්ල පිත්තයට දේශීය අත් බෙහෙත් අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳින රෝගීන්ගේ සුවය උදෙසාත්, පරම්පරාගත දේශීය වෛද්‍ය ක්‍රම සුරැකීම උදෙසාත් වටිනා බෙහෙත් වට්ටෝරු ක්‍රම කීපයක් මෙසේ ඉදිරිපත් කරමි. මෙකී ප්‍රතිකාර ක්‍රම ඔබ සිදු කරන්නේ නම් දේශීය වෙද්‍යවරයෙකුගේ උපදෙස් අනුව සිදුකිරීමට කටයුතු කරන්න.

■ තනිකර බෙලි කොළ කොටා තැඹිලි දියෙන් අනා සුළං නොයන සේ දින තුනක් වසා තබා පසුව එම ඉස්ම මිරිකා උක් හකුරු දියකර වැළඳීම ඉතා ගුණයි.
■ කීකිරිඳිය පවනේ වියළා චූර්ණ (කුඩු කර) බටර් සමඟ අනා වරකට මොරගෙඩියක ප්‍රමාණයෙන් අනුභව කොට උණු දිය වැළඳීම ගුණයි.
■ අට්ටික්කා ගසේ පොතු වියළා කුඩු කර, උදේ වරුවේ බටර් සමඟ අනා වරකට මොර ගෙඩියක් පමණ අනුභව කොට එළකිරි වැළඳීම අගනා ප්‍රතිකාරයකි.
■ පත්පාඩගම්, බෙලි මුල්, දලු, සැවැන්දරා මුල්, සමව ගෙන වියළා කුඩුකර උණුදියට දියකර වසා තබා නිවුණ පසු උක් හකුරු සමඟ වැළඳීම ද යහපති.
■ හාතාවාරිය අල හා අමු නෙල්ලි සමව ගෙන කොටා මිරිකා ගත් ඉස්මට මී පැණි දමා වැළඳීම
■ බෙලි දලු, රෝසමල්, කොත්තමල්ලි, හීං උඳුපියලිය, සමව ගෙන වියළා කුඩුකර උණුදියෙන් වැළඳීම හෝ තම්බා වැළඳීම ආමාශගත තුවාල සුවයට ද ඉතා යහපති.

පරම්පරාගතව පැවත එන කැහිපිත්තන් බෙහෙත

කැහිපිත්තන් කොළ ප්‍රමාණවත් තරමින් ගෙන හොඳින් කොටා, ඇල් දියෙන් මිරිකා එම ස්වරයට කෝමාරිකා ඉස්ම, සුදු හඳුන් කුඩු, සැවැන්දරා මුල් කුඩු, ඉඟිනි ඇට කුඩු, සමව කවලම් කර නිශ්චලව තබන්න. පසුදා උදේ හිස් බඩට ජෙලි මෙන් මිදී ඇති මෙකී බෙහෙත කිතුල් හකුරු සමඟ වළඳන්න.

විශේෂයෙන් ම මෙකී ඖෂධය අම්ල පිත්තය සැදුන මූලික අවස්ථාවේ දී යෙදීමෙන් සුවකරගත හැකි ය. මෙම ඖෂධය අම්ල පිත්තයට පමණක් නොව ශරීර දාහය, මුත්‍රා දැවිල්ල, සිහින දෝෂ (සිහිනෙන් ධාතු පිටවීම), වකුගඩු හා මුත්‍රා පද්ධතියේ ආබාධ, ප්‍රමේහ රෝග නසා ශරීරය සිසිල් කරන ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

විශේෂයෙන් ම අම්ල පිත්ත රෝගීන් ආහාර විහරණ පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය. පතෝල, බණ්ඩක්කා, කැකිරි, අළු පුහුල්, පිපිඤ්ඤා, ගෝවා, කොහිල අල හා කරටි, නෙළුම් අල, අළු කෙසෙල් මුව හා බඩ, වැනි ආහාර ඉතා ගුණදායක වන අතර සව්, බාර්ලි, කිතුල් පිටි කැඳ ඉතා ගුණදායක වන්නේ ය. අම්ල පිත්ත රෝගීන් සතියකට කීප දවසක් දියබත් සාදා වැළඳීම අගනා පිළියමකි.

විශේෂයෙන් ම අම්ල පිත්ත රෝගය සඳහා මානසික ආතතිය ප්‍රධාන වශයෙන් බලපාන බැවින් කෙලෙසුන්ගෙන් පීඩිත සිත දමනයට කටයුතු කළ යුතු ය. ඒ සඳහා සද්ධර්ම ඖෂධයේ පිහිට ලබා ගැනීම ප්‍රතිකාරයේ ප්‍රධානතම අංගයක් වන්නේ ය.

සියලු සත්වයෝ සුවපත් වේවා!

සටහන – පුලස්ති අධිකාරි