හෙම්බත් ව, බොහෝ විඩාපත් ව ඔහු නිවස දෙසට පැමිණෙමින් සිටියේ ය. ඈත සිට ම ඇසෙන්නට වූ මොර දෙන පොඩි එවුන්ගේ කරච්චල් හඬ විසින් ඔහුගේ සිත තවත් වෙහෙසට පත් කරවී ය. මේ ජීවිතය ඔහුට දැන් තිත්ත වී තිබේ. නිහඬව ම නිවස වෙත පැමිණ පිළ මත වාඩි වූයේ මොහොතක් හෝ විවේකයෙන් සිටින අදහසිනි. එහෙත්, කොයින් ද ඊට ඉස්පාසුවක්?

“ආ…..! උඹ ආව ද? මොකෝ උඩ බලාන අහසට ඔරවාගෙන ඉන්නේ… ඈ මනුස්සයෝ අදවත් බැරි වුණා ද ඇඳිරි වැටෙන්ට කළිං හරක් ටික හොයා ගන්ට….. හනේ හනිච්චං මෙහෙමත් මිනිහෙක්…..” විඩා හරිමින් අඳුරු අහස දෙස බලා සිටිනා ඔහු වෙත පැමිණි බිරින්දෑ අදත් ඔහුව පිළිගත්තේ වෙනදා මෙන් ම ඇනුම් පද වැලකිනි.

‘මෙච්චර කලක් පවුල් කෑ ගෑනිටවත් මං ගැන අනුකම්පාවක් නැති හැටි’ යි සිතෙත් ම ඔහුගේ හදවත වේදනාවෙන් පෑරි ගියේ ය. එය ම කෝපයක් බවට පත් විය.

“අනේ යෝදියේ….. ගෙදෙට්ට ගොඩ වෙච්ච ගමන් ම මගේ යකා අවුස්සාගන්නේ නැතුව කට වහගෙන ඉඳපං.”

“හා.. නේ… උඹේ මහා ලොකු යකා… යකා නො වේ ආන්න ණයකාරයෝ ඇවිස්සිලා…. අද දවසට තුන් වතාවක් ඇවිදින් ගමට ම ඇහෙන්නට කෑ ගැහුවා…. මං කිව්වා… උඹ ගෙදර නැති ය…. ඉන්න වෙලාවක ඇවිත් ඉල්ල ගන්න එකයි ඇත්තෙ කියලා.”

එකවර ම ලොකු දුවගේ පොඩි එකා මොර දෙන්ට පටන් ගත්තේ ය. “අක්කේ… ඔය කොල්ලාගේ ඇඬිල්ල නවත්තාපං ඉක්මනට. මේ පොඩි එකීට යාන්තං නින්ද යාගෙන ආව විතරයි.” තවත් දුවක් ඝෝරනාඩු කරනු ඔහුට ඇසේ. මේ සියල්ල ඔහුගේ සිතට උහුලන්ට බැරි තරම් මහා වදයකි. ඔහුගේ කෝපය නැති විය. මහා කලකිරීමක් ඇති විය. කලකිරුණු හිතින්, සිහින් හඬින් ඔහු තම බිරිඳ අමතන්නට විය.

“හ්ම්! අද මං සෑහෙන ඉසව්වක් ඇවිද්දා බං. ඒ එහෙකවත් හරක් ගැන හෝඩුවාවක් නෑ…. තව ගිහිං බලන්ට ඇත්තේ එක ඉසව්වක් විතරයි. ඒ අතරේ…. මං හේන පැත්තෙත් ගියා. ඒක දැක්කා ම මගේ පපුව දාලා ගියා… හේන ගොඩගන්ට මං කීයක් දේ කළා ද… කොයි, එකක්වත් හරි ගියායැ….ආයේ ණයක් ගන්ට පුළුවන් එක ණයකාරයෙක්වත් ඇත්තෙත් නෑ….. හනේ මන්දා මොනවා කරන්ට ද කියලා…..” යි කියමින් සෙමින් නැඟී සිටි ඔහු දිගු සුසුමක් හෙළී ය. යළි හෙමින් සීරුවේ fදාළ වෙත යාමට පිටත් විය.

ටිකක් දුර යනතුරු ඔහු දෙස බලා සිටි බිරිඳ “ඒ පාර උඹ කොහෙද යන්නේ…. මේ ඇඳිරි වැටෙන වෙලාවේ…?” යි ඇසුවේ ඔහු දොළට යන බව දැන දැන ම ය. එයට කිසිදු පිළිතුරක් නො දුන් ඔහු නිහඬ ව ම ගමන් කළේ ය. ඒ නිහඬ බව ඔහු ව අතීතයට රැගෙන ගියේ ය.

තම බිරින්දෑව මේ නිවසට කැඳවාගෙන පැමිණි දිනය ඔහුට අද වාගේ මතක ය. එදා සතුටු වූ තරම්! ප්‍රීතියට පත් වූ තරම්! ඇගේ සුන්දර රුව දකිමින් කොතරම් සතුටක් වින්දා ද? ඈ පැවසූ මිහිරි වදන් ආසාවෙන් අසමින් කොතරම් සොම්නසක් වින්දා ද? ඈ සමඟ පෙමින් වෙළී කොතරම් ප්‍රීතියක් වින්දා ද? දැන්…. ඒ හැමදේම හීනයක් වගෙයි. දැන් අර ප්‍රියමනාප කතා බහ කලාතුරකින්වත් ලැබෙන්නේ නැත. දුඹුරුපාට ලප සෑදී ඇගේ රූපයත් අවලස්සන වී ඇත.

කල්පනාවේ ම පැමිණි ඔහු, දොළ අසලට ම පැමිණියේ ය. ඒත් නෑමට සිත් නො දේ. දොළ දෙස බලාගෙන ම ඔහු වාඩි විය. බිරිඳටත් පළමු දරුවා ලැබීමට සිටි අවදිය ඔහුට සිහිවිය. ඒ දිනවල ඔහු කොයිතරම් සතුටකින් ද හිටියේ. දරුවාට අනතුරක් වේවිදෝයි හිත තුළ තිබූ භය. ඒ හින්දාම “පරිස්සම් වෙන්න! පරිස්සම් වෙන්න!” කියා ඔහු දහස් වරකට වඩා තම බිරිඳට කියන්නට ඇත. ඔව්! ඒ පළමු දරුවා ප්‍රසූත කළ දිනය. ඔහු සතුටට පත් වූ තරම්. ඒත් දැන්…

තමන්ගේ දියණිවරු හත්දෙනා ම ආයෙමත් තම නිවසේ ම ය. වෙහෙස මහන්සි වී උගන්වා හදාපු උන් හොයලා බලලා දීගදෙන්ට කලින් ම උන්ගේ මනාපයට කටයුතු කළ හැටි… ඒ සිහිවෙද්දී දෑසට කඳුළු උණයි. දැන් ඒ හත්දෙනා ම දරුවොත් එකා දෙන්නා හදාගෙන, පවුලුත් කඩාගත්ත කනවැන්දුම් ගෑනු.

මෙසේ දොළ ඉවුරට වී බොහෝ වේලාවක් කල්පනාවේ නිමග්නව සිටි ඔහු අඳුරේ ම දොළට බැස නා ගත්තේ ය. යළි නිවස වෙත පැමිණ නිවසට ඇතුල් විය. තම බිරිඳ නින්දෙන් ගොරවන හඬ ඔහුට ඇසේ. එය ඔහුට හොඳින් හුරු ය. බෙදා තිබූ බත්පත අතට ගත්තත් ඔහුට කෑමට තරම් පිරියක් නැත. සීතල වී තිබූ බත්පත අත ගගා සිටි ඔහු කටක් දෙකක් කා එය ඉවත් කළේ ය.

හෙටත් පාන්දරින් ම අවදි විය යුතුය. අදට හරක් දාහතර දෙනා නැති වී දවස් පහකි. හෙටවත් උන්ව සොයා ගත යුතු ය. අටුව අසලට පැමිණි ඔහු තම පන් පැදුර එළා එහි හාන්සි විය. ඒ නිදා ගැනීම පිණිස ඔහුගේ සුපුරුදු ස්ථානයයි. හිස් වී අටුවේ “චීක් චීක්” ගගා කෑ ගසමින් මීයන් දඟලනු ඇසේ. එය ඔහුගේ නින්දට බාධාවක් නො වේ. මීයන්ගේ දැඟලිලි හඬ දැන් ඔහුට හුරුපුරුදු ය. ඒත් ඔහුගේ නින්දට ඇති ලොකු ම බාධාව මකුණන් ය. හත් මාසයක් පරණ ඔහුගේ නිදි පැදුරේ මකුණන් පිරී ඇත. වෙහෙසකර දවසේ විඩා හැරීමට ඇති මොහොත වන නින්දත් එනිසා ම විඩාවකි.

ඒ මේ අත පෙරළෙමින් කැඩි කැඩී නිදාගත් ඔහුට පාන්දරින් ම අවදි වන්නට සිදු විය. ඒ බිරින්දෑගේ පා පහරිනි. ඒ මදිවාට, “අදවත් උදෙන් ම ගිහිං කොහොම හරි හරක් ටික හොයාන වරෙං…” කියා ද ඈ කීවා ය. තම නිදි පැදුරත් අකුලා තැබූ ඔහු මුහුණ කට සෝදාගෙන උදෙන් ම නිවසින් පිටත් විය.

ගත වූ දින පහ පුරා ම මේ කෝසලයේ බොහෝ වන ලැහැබ්වලට රිංගා ඔහු තම නැති වූ හරකුන් සෙවී ය. අද දවසේත් ඔහු තම හරකුන් සොයා එක්තරා වන ලැහැබකට ඇතුළු විය. බොහෝ වේලාවක් වනයේ ඒ මේ අත සොයා බැලුව ද හරකුන් මෙහි ලැග සිටි බවට සලකුණක්වත් නොමැත. ‘අදත් හරක් ටික හොයා ගන්ට බැරි වෙයි වත් ද’ යි සිතෙද්දී ම මහා වෙහෙසකි ඔහුගේ සිතට ඇති වන්නේ. ඔහු තව තවත් වනය තුළට ඇතුල් විය.

‘හා ! අසිරියකි!’ රුක් සෙවණක භාවනානුයෝගී ව ශ්‍රමණයන් වහන්සේනමක් වැඩ සිටී. රත්තරන් පාට දේහ වර්ණයෙන් උන්වහන්සේ බැබළෙයි. ඉතාමත් සැප සේ වාසය කරන බවක් බැලූ බැල්මට ම පෙනේ. උන්වහන්සේ අසල ම පැත්තකින් දන් වැළඳූ පාත්‍රය තිබේ. සඟල සිවුර සිවු ගුණ කොට එළා ඒ මතයි උන්වහන්සේ වැඩසිටින්නේ. අහිමි වීමට කියා වෙන කිසිවක් උන්වහන්සේට නැත. ‘සැබෑවට ම කොයිතරම් සැපයක් ද?’ සිත සිතා ය ඔහු ආසාවෙන් බලා සිටියේ. මේ රුක් සෙවණේ විවේක සුවයෙන් වැඩ හිඳින්නේ තුන් ලොව ම ජයගත් මහා මුනිවරයාණන් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ බව මේ බ්‍රාහ්මණයා නො දනී. එහෙත් ඔහු උන්වහන්සේ ව දැකීමෙන් වසඟ විය. දෑස් පියාගෙන යම් ශාන්ත සැපයකින් යුතුව මේ හුදෙකලා වනයේ තනිව ම උන්වහන්සේ වැඩ සිටී. හරක් ටික නැති නො වුණා නම් තමා කිසිවිටෙකත් මේ වනයට පැමිණෙන්නේ නැත. බ්‍රාහ්මණයාට මෙය පුදුමයකි. ඔහු හඬක් නො නැගෙන සේ ටිකෙන් ටික භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියේ ය.

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වසා සිටි නෙතු සඟල විවර කළ සේක. ඒ අභිනීල නෙතු සඟලේ ඇති අපූර්ව කාන්තිය බ්‍රාහ්මණයා දුටුවේ ය. එහි කිසිදු විඩාබර ගතියක් ගෑවිලාවත් නැත. අතිශයින් ම ප්‍රීතිමත් බවක්, ශාන්ත බවක්, කාරුණික බවක් එහි පිරී පවතී. බ්‍රාහ්මණයාගේ සිතේ මහා සතුටක් ඇති විය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවේ ය.

“අනේ ශ්‍රමණයන් වහන්ස, මගේ හරක් දාහතර දෙනා නැතිවෙලා උන් හොයාගන්ට බැරුව අදට දවස් හයක්. ඔබ වහන්සේට ඒ ප්‍රශ්නේ නෑ නෙව. ඒ නිසා ම යි ඔබ වහන්සේ මේ සනීපෙට ඉන්නේ… ඒ මදිවාට මගේ පව්කාර හේන. ඒකේ තියෙන්නේ කොළයක් දෙකක් තියෙන තල ගස් ටිකක් විතරයි. ඔබ වහන්සේට ඒ ප්‍රශ්නෙත් නෑ නෙව. ඒක ම යි ඔයතරම් සනීපෙට ඉන්නේ… මගේ නිවසේ වී අටුව හිස්. ඒකේ මීයෝ නටන්නේ හිතට අරගෙන වගේ. හත් මාසයක් පරණයි මගේ පැදුර. ඒකේ මකුණෝ පිරිලා. එහෙම ප්‍රශ්නයක් ඔබ වහන්සේට නෑ නෙව. ඒ හින්ද ම යි ඔබ වහන්සේ ඔය තරම් සනීපෙට ඉන්නේ. මට හිටියා දූලා හත් දෙනෙක්. උන් හත් දෙනාම පවුලුත් කඩාගෙන, දරුවොත් එකා දෙකා හදාගෙන දැන් කනවැන්දුම් වෙලා. එහෙම කරදරයක් ඔබ වහන්සේට නෑ නෙව. ඒක ම යි ඔතරම් ම සනීපෙට ඔබ වහන්සේ ඉන්නේ…. ඔක්කෝටමත් හරි අපේ ගෙදර උන්දැ… ඇඟ පුරා ම දුඹුරු පාට ලප හැදිච්ච මගේ බිරින්දෑ මං නිදාගෙන ඉන්නකොට ඇහැරවන්නේ පයින් ගහලා. එහෙම වදයක් ඔබ වහන්සේට නෑ නෙව. ඒ හින්දා ම යි ඔය සනීපෙට ඉන්නේ… පාන්දර මං නැගිටින්ටත් කලිං ණයකාරයෝ එනවා ගෙදරට. ගත්තු ණය දීපං කියලා බැණ වදිනවා. ඔබ වහන්සේට එහෙම ප්‍රශ්නයක් නෑනේ. ඒ හින්ද ම යි ඔබ වහන්සේ ඔය තරම් සනීපෙට ඉන්නේ…”

තම සිතේ හටගත් සතුටට ඔහු මෙසේ කියාගෙන ගියේ ය. බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ඔහු දෙස බලාගෙන නිහඬ ව ම වැඩ සිටි සේක. කාමයන්ගේ අල්ප වූ ආස්වාදයට වසඟ වූ සිතින්, බොහෝ දුක් කම්කටොළු විඳවන ලෝ සතුන් කොතරම් අසරණ ද? දැන් ඒ කාමයන් තුළ පවතින දුක් සහිත බව මේ බ්‍රාහ්මණයාට ප්‍රකට වී තිබේ. කාමයන්ගෙන් බැහැර වීම තුළ උපදින සැපය ඉස්මතු වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණයා අමතා මෙසේ වදාළ සේක.
“පින්වත් බ්‍රාහ්මණය, දැන් හය දවසක් තිස්සේ ඔබේ ගවයන් දාහතර දෙනා ආ ගිය අතක් නෑ. ඇත්තෙන් ම එහෙම ප්‍රශ්නයක් මට නෑ. බ්‍රාහ්මණය, මං ඒ නිසා සුවපත් වුණ කෙනෙක්. කොළ එක දෙන තියෙන තල ගස් ඇති පව්කාර හේනක් මට නැහැ. ඒ නිසා ම මං සුවපත් වුණ කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය, ඔබේ හිස් වෙච්ච අටුවේ හිතට අරගෙන වගේ මීයෝ නටනවා කිව්වා නේ ද? මට නම් ඒ ප්‍රශ්නෙත් නෑ. ඒ හින්දා ම මං සුවපත් වුණ කෙනෙක්. ඔබේ පැදුර මාස හතක් පරණ වෙලා. ඒකේ මකුණො පිරිලා. එහෙම ප්‍රශ්නයක් මට නෑ. ඒ හින්දා ම මං සුවපත් වුණ කෙනෙක්. බ්‍රාහ්මණය, දරුවෝ එකා දෙකා හදාගෙන, පවුල් කඩාගත්තු කනවැන්දුම් දූලා හත්දෙනෙක් ඔබට ඉන්නවා. මට එහෙම ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ හින්දා ම මං සුවපත් වුණ කෙනෙක්. දැන් ඔබේ ගෙදර උන්දැ ඔබව නැගිට්ටුවන්නේ පයින් ගහලා. ඒ ප්‍රශ්නේ මට නෑ. ඒ නිසාම මං සුවපත් වුණ කෙනෙක්. පාන්දරින් ම අවදිවෙද්දී ගත්තු ණය දීපං කියලා බැණ වදින ණයකාරයෝ මට නෑ. ඒ හින්දා පින්වත් බ්‍රාහ්මණය, මං සුවපත් වූ කෙනෙක්.”

සම්බුදුරජාණන් වහන්සේ වදාළේ මෙපමණකි. ඒ බ්‍රාහ්මණයාට සිහිනුවණ ඉපදුණි. ‘මේ ඔක්කොම අල්ලාගත් විට නේ ද දුක් සේරම උපදින්නේ… ඒවා අත්හල මේ ශ්‍රාමණයන් වහන්සේ සැපයට පත්වෙලා.’ ඔහුට අපමණ සතුටක් ඇතිවිය. ඔහු තමන් හට වැසී තිබූ කාමයන්ගේ ආදීනව ඉස්මතු කරවා දුන්, දුක් සහිත දිවියේ අතරමං ව සිටිය දී සැනසිලි මඟ පෙන්වා දුන්, ප්‍රඥාව නම් වූ පහන අත දරාගෙන තමා හට ආලෝකය උදාකර දුන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන මෙසේ පවසන්නට විය.

“ස්වාමීනි, ඉතා ම මනහරයි! යටිකුරුව තිබ්බ දෙයක් උඩු අතට හරවනවා වගෙයි. වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මඟ වැරදුන කෙනෙකුට හරි මඟ පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දැකීම පිණිස අඳුරේ තෙල් පහනක් දරා සිටිනවා වගෙයි භාග්‍යවතුන් වහන්සේ මා හට නන් අයුරින් දහම් දෙසා වදාළේ. ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේ ව සාදරයෙන් සරණ යනවා. ජීවිතයේ සැබෑ තතු පෙන්වා දෙන ශ්‍රී සද්ධර්මය මම සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහන් සිතින් යුතුව උතුම් ධර්මයේ හැසිරෙන නුවණැති පිරිස වන ආර්ය මහා සංඝ රත්නය මම සරණ යනවා. අනේ මා හටත් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිදි බව ලැබෙනවා නම්, උපසම්පදාව ලැබෙනවා නම් කොයිතරම් දෙයක් ද?

භාරද්වාජ ගෝත්‍ර ඇති ඒ පින්වත් බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි උපසම්පදාව ලැබී ය. නොබෝ කලකින් ධර්ම විනය උගෙන පිරිසෙන් වෙන් වූ උන්වහන්සේ දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන්නට විය. එසේ දහමට දිවි පුදා වාසය කරද්දී කල් නො යවා ම ඒ භාරද්වාජ තෙරුන් උතුම් මහරහතන් වහන්සේනමක් බවට පත් වූ සේක.

ඒ රහතන් වහන්සේලා කාමය පරිපූර්ණව ම අවබෝධ කළ සේක. කාමයේ ඇති අල්ප ආස්වාදයන්, මහත් දුක් ගොඩක් බවත් ඒ අයුරින් ම අවබෝධ කළ සේක. කාමයන්ගෙන් නිදහස් වීම ද මනාව අවබෝධ කරගෙන දුක් සදන කාමයන්ගෙන් අත් මිදී පරම සැපයට පත් ඒ රහතන් වහන්සේලා සැබැවින් ම සැපසේ වාසය කළ සේක. ඒ රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

(සං. නි. – 1 බහුධීතු සූත්‍රය ඇසුරිනි)

මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.