ශ්‍රී ලංකා මාතාවට ආශීර්වාදයක් වෙමින්, මනා ගුණයෙන් පිරි ශ්‍රේෂ්ඨ රජ පරපුරක ඓතිහාසික යුගයක් පසුකොට කාලය වේගයෙන් වෙනස් වී ගියේ ය.

පෙර මේ ලක් දෙරණේ අනුරපුර නම් රජ දහනෙහි කරුණාවෙහි ප්‍රතිමූර්තියක් බඳු රජෙක් පහළ විය. මාණික්‍යයනට සාගරයක් සේ, ගුණයනට ආකරයක් වූ ඒ රජ තෙමේ වනාහී ‘බුද්ධදාස’ රජු ය. සියලු උපායන් යොදමින් ලක්දිව වැසියනට සැප සලසාලමින් වෙසමුනි දෙව් රජහු ආලකමන්දාව සුරකින්නා සේ ලක්දිව සුරකිමින් නුවණින් ද ගුණයෙන් ද යුක්ත වූයේ ය.

හේ වනාහී පිරිසිදු කරුණාවට ගෘහයක් බඳු විය. දසරාජ ධර්මයෙන් යුක්ත විය. සතර අගතියෙන් තොර විය. රජු වනාහී ජනයා හට කෙතරම් සෙනෙහෙවන්ත වී ද යත්, පියාණන් පුතණුවන් හට යම් සෙනෙහෙවන්ත බවක් වී ද එසෙයින් ම සියලු සතුන් කෙරෙහි අනුකම්පා කළේ ය. මහා නුවණැති රජ තෙමේ දිළින්දන් උදෙසා ධනය දීමෙන් ද භවභෝග සම්පත් සහ ජීවිත සුරක්ෂිත කරමින් ද සිත් පිරුනන් කළේ ය. එසේ ම සත්පුරුෂයන් හට සංග්‍රහ කිරීමෙන් ද අසත්පුරුෂයන් හට නිග්‍රහ කිරීමෙන් ද ගිලනුන් හට වෙදකමින් උවටැන් කිරීමෙන් ද ගුණයෙන් අනූන බවට ගියේ ය.

දිනෙක රජ තෙමේ මඟුලැතු පිට නැඟී නහනු පිණිස තිසා වැවට යමින් සිටියේ ය. පුත්තාභග නම් විහාරයේ පසෙක තුඹස අසල කුස රෝගයෙන් පෙළෙන මහත් නාගරාජයෙක් රජුට දිස් විය. බඩෙහි හටගත් ගෙඩියක් නිසා වේදනාවෙන් දඟලමින් සිටි නා රජු දුටු රජ හට කරුණාව උතුරා යන්නට විය. රජ තෙමේ ඇතු පිටින් බැස නාගයා වෙත පැමිණ කාරුණික හදින් අමතන්නට විය.

“තොපගේ වේදනාව මම දනිමි. මහා තේජස් ඇති තෙපි වහා කිපෙන සුලු ය. එහෙයින් මේ අයුරින් තොපට පිළියම් කළ නො හැක්කෙමි.”

මෙසේ කී කල්හි ඒ නා රජ තෙමේ තමාගේ පෙණය තුඹසෙහි ඇතුළු කොට සන්සුන් ව සිටියේ ය. එවිට රජ තෙමේ හිනෙහි තිබුණ දැලි පිහිය ගෙන බඩ පලා දෝෂය ඉවත් කොට බෙහෙත් ගල්වා නා රජු සුවපත් කළේ ය. රජු හට මහා සොම්නසක් ඇති විය. “මගේ කරුණාව තිරිසන් සතුන් පවා දන්නෙහි ය” යැයි තමාට ම පැසසී ය. නා රජු තමා සුවපත් බව දැන, රජු හට කෘතගුණ දක්වමින් සිය ‘නාග මාණික්‍යය’ රජු හට පූජා කළේ ය. රජ තෙමේ ඒ මාණික්‍යය ගෙන අභයගිරි වෙහෙරෙහි සෙල් පිළිමයෙහි නේත්‍රා කළේ ය.

දිනෙක එක් භික්ෂුනමක් තුසවැටි ගමෙහි පිඬු සිඟමින් වඩින්නාහු ය. වියළි බතක් ලැබ කිරි සිඟා වඩිමින් පණුවන් සහිත කිරි දානයක් ලැබ එය වැළඳී ය. කුස පණුවෝ බෝ වී තෙරුන් වහන්සේගේ බඩ සැපූහ. තෙරුන් වහන්සේ රජු වෙත පැමිණ රජු හට දැන්වී ය. කාරුණික වූ රජ තෙමේ තෙරුන් වහන්සේ මොහොතක් වඩා හිඳුවා අශ්ව ගාලෙහි අශ්වයෙකුගේ නහරක් විද ලේ ස්වල්පයක් ගෙන තෙරුන් වහන්සේ හට වැළඳවී ය. මොහොතකට පසු “ස්වාමීනී, මේ වැළඳුවේ අශ්ව ලේ ය” යැයි දැන්වී ය. එය ඇසූ තෙරුන් වහන්සේ වමනය කරන්නට විය. පණුවන් ලේ සමඟ නික්මී තෙරුන් වහන්සේ සුවපත් විය.

දිනෙක එක් මිනිසෙක් දිය බොන්නේ නො දැන ම දියබරි බිත්තරයක් ගිල්ලේ ය. දියබරියෙක් කුසේ හට ගත්තේ කුස තුළ හපන්නට විය. ඒ දුකින් පෙළෙන මිනිසා රජු කරා පැමිණියේ ය. රජු ඔහුගේ රෝග නිදානය සොයා කුස තුළ ‘සර්පයෙකැයි’ දැන ඔහුව නහවා රජගෙයි ඇඳක නිදි කරවී ය. ඒ මිනිසා ද තද නින්දට වැටින. කට දල්වා නිදන ඔහුගේ මුඛය වෙත හුයක බැඳි මස් වැදැල්ලක් තැබ්බවී. සර්පයා මස් ගඳින් පැමිණ මස් වැදැල්ල ගෙන කුස වෙත යන්නට විය. එකල ලණුවකින් ගෙන දිය බඳුනක දමා සර්පයා ද මිනිසා ද සුවපත් කරවී ය.

තවත් දිනෙක මැඩි බිජු සහිත දියක් වහා බොන්නෙක්හුගේ නැහැ සිදුරෙන් ගොස් බිජුව ඉස් මුලට නැගී, එය බිඳී මැඩියෙක් හට ගත්තේ ය. රජ තෙමේ හිස පලා මැඩියා බැහැර කොට හිස් කබල් පුරුද්දා බොහෝ කලකින් ප්‍රකෘතිමත් කළේ ය. හෙල්ලොලිය නම් ගම සත් වරක් මූඪගර්හ වූ සැඩොළියක් සුවපත් කළේ ය.

ධාර්මික වූ කාරුණික හදින් පිරි රජතුමා ලක්දිව වැසියනට හිත සුව පිණිස ගමක් ගමක් පාසා වෙදහල් කරවා එහි වෙදුන් නියුක්ත කළේ ය. රජ තෙමේ සියලු වෛද්‍ය ශාස්ත්‍රයන්ගේ සාරාර්ථයන් හකුළුවා සාරාර්ථ සංග්‍රහ නම් ප්‍රකරණයක් තනා අනාගතයෙහි ලක්දිව්හි පිළියම් පිණිස වෙදුන් හට ලබාදුන්නේය. ගම් දහසක එක් එක් වෙදෙකු බැගින් නියුක්ත කළේය. කෙත් ආදායමෙන් විස්සෙන් අඩක් වෙදුන් හට වැටුප් ලෙස දුන්නේ ය. ඇතුන්, අසුන් හා යුද සේනාවට ද වෙදුන් නියම කළේ ය. මහ මග ඒ ඒ තැන්හි පිළුන් හා අන්ධයන් හට ශාලා හා වැටුප් සහිත ශාලා ද කරවී ය. ධර්මභාණක තෙරවරුන් හට සත්කාර කොට නිතර ධර්මය ශ්‍රවණය කළේ ය. මහා කරුණා ඇති රජ තෙමේ සැත්කමිටිය ඉන තබාගෙන හැසිරෙන්නේ දුටු දුටු රෝගාතුර ජනයා රෝ දුකින් මිදී ය.

දිනක් රජ තෙමේ රජ අබරණින් සැරසී සේනාව සහිතව යමින් සිටියේ ය. ශ්‍රී සෞභාග්‍යයෙන් අග්‍රප්‍රාප්ත වූ රාජිර්ධියෙන් විරාජමාන වූ ඒ රජු දැක පෙර සසරෙහි වෛර බැඳි කුෂ්ඨ රෝගියෙක් කිපී පොළොවෙහි අත් ගසමින් රජු හට ආක්‍රෝශ පරිභව කරන්නට විය. මහ නුවණැති රජු පූර්ව සසරෙහි වෛරයෙකැයි දැන ඔහු වෙත පුරුෂයෙක් යැවී ය. පැමිණි පුරුෂයා කිමෙකැයි තොරතුරු විමසන්නේ, කුෂ්ඨ රෝගියා මෙසේ කී ය.

“බුද්ධදාස රජ මාගේ දාසයෙකි, පින් කොට රජ වී ය. මා හට අවමන් කොට ඇතු පිටින් ගියේ ය. ඔහු මා ළඟට එයි නම් දාසයෙකුට කරන සියලු නිග්‍රහ කරන්නෙමි. නැති නම් ලේ හෝ බොන්නෙමි.”

පුරුෂයා රජ හට මේ බැව් දැන්වී ය.

උපායෙහි දක්ෂ වූ රජ තෙමේ මිතුරෙකු සෙයින් කුෂ්ඨ රෝගියා වෙත ළං ව ආදරයෙන් කතා කොට මාළිගාවට රැගෙන ගියේ ය. කුෂ්ඨ රෝගය සුවපත් කොට නහවා මනා විලවුන් ගල්වා, මෘදු පිළි හඳවා, මිහිරි ආහාර වළඳවා යෞවන ස්ත්‍රීන් ලවා ආදර කරවා මැනවින් සකසන ලද ඇඳක සැතැප්පවී ය. කෙමෙන් කෙමෙන් ඔහුගේ වෛරය දුරු වී විශ්වාසතම මිතුරා බවට පත් වී ය. රජු මළ පසු ඒ සොවින් ඔහු ළය පැළී මළේ ය.

මෙසේ කාරුණික හදින් පිරි රජුගේ ගුණයන් ද ශාසනික සේවාව ද මහත්ම වන්නේ ය. දෙවියන් සමාන වූ කුමරුන් අසූවක් රජු හට විය. අසූ මහා සව්වන්ගේ නම් කුමරුන් හට තැබ්බවී ය. මහා පින් ඇති මහා ගුණ ඇති බුද්ධදාස රජු එකුන් තිස් වසරක් රාජ්‍ය කොට දෙව්ලොව ගියේ ය.

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි.