අද වන විට අප සමාජය ඉතා දුෂ්කර කාලයකට මුහුණ දෙමින් සිටිනවා. ජීවිතය ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටි අපට මේ දුෂ්කර කාලය විශාල අභියෝගයක් වී තිබෙනවා. විශේෂයෙන් ම නිවසක අම්මාට මේ දුෂ්කර කාලයේ දැනෙන බර වැඩියි. ඇය සිටින්නේ පීඩාවෙන්. ‘මෙවන් මොහොතක කාන්තාව හැසිරිය යුත්තේ කෙසේද? මේ සමාජය සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේද?’ කියා අපි මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවේ පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.

“සංසාරේ ස්වභාවය තමයි ‘අචින්ති තම්පි භවති’ නොසිතූ දේ ම වෙනවා. ‘චින්ති තම්පි විනස්සති’ සිතූ දේ විනාශ වෙනවා. අප වර්තමානය වන විට මුහුණ දී තිබෙන්නේ එවැනි කාලයකට යි. බොහෝ දෙනෙක් සිත තුළ පැතුම් ගොඩාක් තබාගෙන සිටින කාලයක තමා ඒ සියලු පැතුම් බොඳ කරමින් අපට ජීවන අරගලයක යෙදෙන්න සිදුවී තිබෙන්නේ.

සාමාන්‍යයෙන් ධනය තිබෙන කෙනකුට සිතෙන්න පුළුවන්, ‘අපි මීට පෙර සැපසේ වාසය කළා. අපට ධනය තිබුණා. ඒ නිසා කිසිම දෙයක අඩුපාඩුවක් අපට තිබුණේ නැහැ.’ ඒ වගේම දුප්පත් කෙනකුට සිතෙන්න පුළුවන්, ‘අඩුම තරමේ අපිට වේලක් හැර වේලක් හරි කන්න තිබුණා. දැන් ඒකත් නැහැනේ.’ කියලා. ඔය විදිහට දොම්නසක් ඇතිවෙන්න පුළුවන්, ‘මොකක්ද අපි සසරේ කළ කර්මය?’ කියලා. එසේ සිතුණාට අපි ඇත්තට ම මුහුණ දී තිබෙන්නේ සසරේ සත්‍ය ස්වභාවයට යි. අපේ භාග්‍යවතුන් වහන්සේගේ දහමට අනුව අපගේ ජීවිතය දෙස බලන විට ඇත්තට ම අපි මුහුණ දී තිබෙන්නේ අප මුහුණ දිය යුතු, අපට මුහුණ දෙන්න සිදුවන සසරේ සත්‍ය ස්වභාවයට යි.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඒ සත්‍ය ස්වභාවය කුමක්ද කියා. උන්වහන්සේ වදාළා ‘කිච්ඡෝ මනුස්සපටිලාභෝ’ – ‘මේ මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන්නේ ගොඩාක් දුර්ලභ දුෂ්කර දෙයක්.’ කියලා. ඒ දුර්ලභ මනුස්ස ජීවිතය අපට ලැබුණා. ‘කිච්ඡං මච්චාන ජීවිතං’ – ‘ඒ උපන් මනුස්සයාට තමන්ගේ ජීවිතය ගෙවා ගන්න ගොඩාක් දුෂ්කරතාවට මුහුණ දෙන්න වෙනවා.’ එහෙනම් ඒ සත්‍යයට අපි මුහුණ දී තිබෙනවා. ‘කිච්ඡං සද්ධම්මසවනං’ – ‘මෙහෙම ජීවිතයක් ගත කරන මිනිස්සුන්ට ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනවා, බුදු බණ පදයක් අසන්න ලැබෙනවා කියන දේ දුර්ලභ දෙයක්.’ ‘කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ’ – ‘ඒ බුදුබණ කියා දෙන තථාගත අරහත් සම්මා සම්බුදුවරු මේ ලෝකයට පහළ වෙනවා කියන දේ සැමටම වඩා දුර්ලභ දෙයක්.’

ඉතිහාසය දෙස බලනවිට අපේ ජීවිතවල දුෂ්කරතාවලින් බැහැර වූ තැනක් නැහැ. මේ දිනවල කෑමබීම අගහිඟ ප්‍රශ්න එනවා. සුවසේ වාසය කිරීමට බැරි අවස්ථා එනවා. මේ දුෂ්කර කාලයේ අපි ඉන්නේ පීඩාවෙන්. කලබලයෙන්. නොසන්සුන් සිතින්. එනිසාම පොඩි දෙයටත් අපට ඉක්මනින්ම තරහා යනවා. අපේ ඉලක්ක සම්පූර්ණ කර ගන්නට නොහැකි වූ විට අපට චිත්ත පීඩා එනවා. ඒ වගේම අපි කැමැති දේ කන්න, අඳින්න, බලන්න අපට බැරිවෙනකොට සිතට ගොඩාක් වෙහෙස දැනෙනවා. එක නිවසේ සිටින අය එකිනෙකා නුරුස්සනවා. විශේෂයෙන්ම නිවසේ අම්මාට මේ දිනවල විශාල වශයෙන් දුක්පීඩා, චිත්ත පීඩා ඇතිවෙනවා. දරුවන් කුසගිනියි කියද්දී, ඔවුන් ලෙඩ වෙද්දී, ඔවුන්ගේ අඩුපාඩු බහුල වෙද්දී අම්මාගේ හදවතයි මුලින් ම දැවෙන්නේ. ඒ හැමදේකට ම අපගේ බුදුරජාණන් වහන්සේගේ දහම තුළ පිළිතුරු තිබෙනවා.

මේ දුෂ්කර වෙලාවේ ඔබගේ සිතත් තරහෙන් යටවෙලා නම්, ඔබට යහපත හොයන්න අමාරුයි. ‘මම දැන් කළ යුතු සුදුසු ම දේ කුමක් ද?’ කියා තේරුම් ගන්න බැරිව යනවා. එවිට ජීවිතය අවුලෙන් අවුලට පත්වෙනවා. එසේ පීඩාවත් සමඟ, දුෂ්කරතා සමඟ සිතේ හටගන්නා තරහා නැමති සතුරා දමනය කරගෙන ජීවිතයට යහපත උදාකර ගන්නා ආකාරය කියවෙන ලස්සන දේශනාවක් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ දහම තුළ තිබෙනවා. ඒ තමා ඔබ අප දන්නා කරණීයමෙත්ත සූත්‍රය.

මේ උතුම් දේශනාව භාග්‍යවතුන් වහන්සේ වදාළේ නිවන පතාගෙන බුදුසසුනෙහි පැවිදි වූ උතුම් ස්වාමීන් වහන්සේලා පිරිසකට. උන්වහන්සේලා වස් කාලයේ භාවනා කිරීමට වනාන්තරයකට වැඩියා. ඒ වනාන්තරයේ රුක් ඇසුරු කරගෙන සිටි දෙවිවරුනට මේ ස්වාමීන් වහන්සේලාගේ සීල තේජස නිසා උන්වහන්සේලාට ඉහළින් විමානවල සිටින්නට නොහැකි වුණා. ඔවුන් ස්වාමීන් වහන්සේලා පලවා හරින්නට සිතා අමනුස්සයන්ගේ වෙස් ගෙන උන්වහන්සේලා ව බිය වැද්දුවා. ඒ වස් කාලය බොහොම දුෂ්කරව ගෙවලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩම කර මේ බව ප්‍රකාශ කළා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා, ‘පින්වත් මහණෙනි, එතැන සිටින්නේ වෘක්ෂ දෙවිවරු. ඒ අයගේ සිත් පැහැදීම පිණිස මේ සූත්‍රය නිතර සජ්ඣායනා කරන්න. මේ දහමට අනුව ජීවිතය ගත කරන්න. එවිට ඔබට පහසුව සැලසේවී. ඔබගේ ජය භූමිය එතැන යි.’ කියා. සඟ රුවන නැවත එතැනට වැඩියා. මෙත් සිත වැඩුවා. දෙවිවරුන්ගේ උපකාරය මැද්දේ උන්වහන්සේලා අරහත්වයට පත් වුණා. එසේනම්, සඟරුවන අරහත්වයට පත් වූ උතුම් දේශනාවක් තමා කරණීයමෙත්ත සූත්‍රය. එය අපගේ ගුණධර්ම පෝෂණය කරන සුන්දර දේශනාවක්.

භාග්‍යවතුන් වහන්සේ වදාළා ඒ ශාන්ත නිවන අපේක්ෂාවෙන් සිටින කෙනෙක් මේ ගුණධර්ම පුරුදු කරගන්න දක්ෂ වෙන්න ඕන. තමාගේ දක්ෂතාවය මතයි මෙම ගුණධර්ම රඳවා ගන්න පුළුවන් වෙන්නේ. ගුණධර්ම ඉබේ රැඳෙන්නේ නැහැ. අපට යම් තරහක්, පීඩාවක්, එකටෙක කිරීමක්, දුකක් දොම්නසක්, මාන්නයක්, ඉරිසියාවක් ඇතිවුණොත් අපේ සිතේ ඒක කා වදිනවා. ඒකට අමුතු දක්ෂතාවයක් අවශ්‍ය වන්නේ නැහැ. සිත හරි දක්ෂයි අකුසලය රඳවාගෙන තබා ගන්න. නමුත් ඒ අකුසලයේ බැස ගන්නා සිත මේ ගුණදහම් තුළ රඳවා ගන්න නිවන පතාගෙන සිටින කෙනා දක්ෂ වෙන්න ඕන. නැවත නැවත මේ විඳවීමට කැමැති නැති කෙනා මේ ගුණධර්ම දියුණු කරගන්නට දක්ෂ වෙන්න ඕන.

උජූ ච – ඍජු වෙන්න ඕන.

සූජූ ච – වඩාත් ඍජු වෙන්න ඕන (ඍජු වෙනවා කියන්නේ, ඒ කෙනා අවංකයි. ඒ ජීවිතය වක්‍ර නැහැ. සිතින්, කයින්, වචනයෙන් අකුසලයෙන් වැළකිලා නම් ඇය හෝ ඔහු ඍජු කෙනෙක්. මේ ඍජු බව තමාගේ ජීවිතය තුළ ඇතිකර ගන්න දක්ෂ වෙන්න ඕනෑ)

සුවච – කීකරුකම ජීවිතයට අවශ්‍ය ම දෙයක්. වැඩිහිටියන්, ගුරුවරුන් අවවාදයක් දුන් විට එය හිස් මුදුනින් පිළිගන්න කිව්වා. කාන්තාවකට කීකරුකම ගොඩාක් වටිනවා. ඇයගේ ජීවිතය සුන්දර වෙන්නේ රැකවරණයක් යටතේ, කීකරුකම යටතේ දිවි ගෙවන විටයි. ඇය හිතුමනාපයේ ජීවිතය ගත කළොත් ඒ ජීවිතයෙන් සුන්දරත්වය පලා යනවා. ගුණයක් කවදාවත් ජීවිතයට විනාශය ගෙන එන්නේ නැහැ. රැකවරණයක් මයි ගෙන එන්නේ.

මුදු – භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ නිවන් මඟ යන කෙනාට දැඩි සිතක් නැතිව මෘදු සිතක් තිබෙන්න ඕන කියලා. එන ප්‍රශ්න අර්බුද හමුවේ දැඩි සිත තවත් වේදනා ගෙන දෙනවා.

අනතිමානී – මාන්නයෙන් තොරව වාසය කළ යුතුයි. අගහිඟකම් නොමැතිව ජීවත් වූ කෙනකුට මේ දුර්භික්ෂ කාලයේ ප්‍රණීත කෑමබීම අඩුවෙලා එදාවේල කන්න නොලැබෙන්න පුළුවන්. සොර සතුරන් නිසා ආභරණ පලඳින්න බැරිවෙන්න පුළුවන්. විසිතුරු මෝස්තර නැති වෙන්න පුළුවන්. එසේ සිදු වෙද්දී ‘මම කොහොමද මෙහෙම පාරේ යන්නේ? මම මෙහෙම හිටිය කෙනෙක් නොවේනේ.’ කියා නොසිතා ඇය නිහතමානි වුවොත් ප්‍රශ්න ගොඩාක් අඩු වෙනවා.

සන්තුස්සකෝ ච – ලද දෙයින් සතුටුවීම මේ ජීවිතයට ගොඩාක් යහපත සලසනවා. තමන්ට ප්‍රණීත දේ ලැබෙනකොටත් සතුටු වෙනවා. කර්කශ දේ ලැබෙනවිටත් සතුටු වෙනවා. මේ යුගයේ හැටියට මෙහෙම ලැබීමත් හොඳයි කියා ඇය සිතන නිසා ජීවිතයට එන අර්බුද අඩුයි. මේ ගත කරන පුංචි කාලයේ සැනසිල්ලේ ඉන්න නම් ලද දෙයින් සතුටුවීම ගොඩාක් උපකාර වෙනවා.

සුභරෝ ච – පහසුවෙන් පෝෂණය කළ හැකි වීම, බිරිඳක් ලෙස මේ ගුණය හොඳින්ම පුරුදු කළේ අපේ යශෝධරා උත්තමාවියයි. ඇය සසර පුරාම මේ ගුණය පිරුවා. ආශාවන් අඩු වූ ඇයව පෝෂණය කිරීම බෝධිසත්වයන්ට බරක් වූයේ නැහැ.

අප්පකිච්චෝ ච – වැඩකටයුතු අඩු බව. මේ සඳහා ජීවිතයේ වඩාත් උපකාරී වන්නේ පිළිවෙළයි. ඒ ඒ අවස්ථාවේ ඒ ඒ වැඩය නිම කරනවා නම් වැඩ කටයුතු අඩු වෙනවා.

සල්ලහුකවුත්තී – සැහැල්ලු දිවි පැවැත්ම. අපට ඉදිරියට ආර්ථික අර්බුදයක් එනවා කියලා අසන්න ලැබෙනවා. එවිට, ‘අනේ දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නේ? අපිට කන්න බොන්න නැතිවෙයි ද? රස්සා නැතිවෙයිද?’ කියලා අනාගතයේ නැති බරක් දැන් ම ඔළුවට දා ගත්තොත් මේ මොහොතෙත් බරකින් ම ඇය පීඩිත වෙනවා. එසේ නොකර ආර්ථික අර්බුදයට සරිලන ආකාරයට ජීවිතය හැඩ ගස්සා ගත්තොත්, එන විදිහකට ජීවත් වෙන්න සිත සකස් කර ගත්තොත් ඇයට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්.

ඒ වගේ මේ සූත්‍රය පුරාවට මෙත්සිත වඩනා හැටි කියා දෙනවා. ඇයට නිතර කේන්ති එනවා නම්, ‘සියලු සත්වයෝ සුවපත් වේවා’ කියන වචනය නිතර සිහිපත් කිරීම සුදුසුයි. ඇය තරහ සිතක ආදීනව සිතනවා. තරහව කියන අකුසලය දුරු කරන්න උත්සාහ කරනවා. මේ ආකාරයට ඇය හොඳින් මෙත්සිත පුරුදු කරගත්තොත් මේ අර්බුදවලට විසඳුම් තිබෙනවා.

එනිසා, ඔබ උත්සාහ කරන්න… අනාගතය දුෂ්කර වෙන්න පුළුවන්. අනාගතයේ කෑමබීම නැතිව මැරෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මැරෙන්නෙ කවදා ද කොහොමද කොතැනද කියන ප්‍රශ්නය පැත්තකින් තියලා ‘මම මැරෙන්න පෙර මගේ හදවත සම්බුදුරජාණන් වහන්සේ වදාළ ගුණධර්මයන්ගෙන් පෝෂණය කර ගන්නවා. මම මැරෙන්න පෙර මෙත්සිත පුරුදු කරනවා, ඉවසීම පුරුදු කරනවා.’ කියා අධිෂ්ඨානයක් ඇතිකර ගන්න.

සටහන – නයනා නිල්මිණි