ගෙවතු වගාව පිළිබඳ මූලික කරුණු කීපයක් සම්බන්ධ ව අපි පසුගිය ලිපියෙන් සාකච්ඡා කළෙමු. මෙම ලිපියේ සිට සිදු කිරීමට අදහස් කරන්නේ ගෙවතු වගාවක් ආරම්භ කිරීමට පෙර අප ඒ සඳහා සූදානම් විය යුතු අන්දම ගැන යම් අදහස් කීපයක් වෙත අවධානය යොමු කිරීම ය.

සැලැස්මක් සකස් කර ගනිමු.

කරන කියන සෑම දේකට ම සැලැස්මක් තිබිය යුතු වන අතර ගෙවත්තක් සඳහා ද මනා සැලැස්මක් තිබීම අත්‍යවශ්‍ය ය. සැලැස්මක මූලික අභිප්‍රාය වන්නේ එක්තරා ඉලක්කයක් හඳුනාගෙන එම ඉලක්කය කරා ගමන් කිරීමට අවශ්‍ය වන ක්‍රියාපිළිවෙළ නිවැරදිව තෝරාගෙන ක්‍රියාත්මක වීම ය.

ඔබ ගෙවත්තෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න පිළිබඳ නියමාකාර අවබෝධයක් තිබීම මුලින් ම අවශ්‍ය ය. ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔබට අවශ්‍ය සම්පත් තක්සේරුවක් කර ගැනීම ඊ ළඟට කර ගත යුතු කාර්යය යි. පසුගිය ලිපියෙන් අප අදහස් කළේ ගොවිපළක සාමාන්‍යයෙන් තිබිය යුතු තත්ත්වයන් ගැන දැනුම්වත් වීමකි. වගාබිමෙහි පස, ජලය, සෙවණ සහ හිරු එළිය, සුළං හමන දිසා, ජෛව විවිධත්වය ගැන සාමාන්‍ය අදහසක් තිබීම සැලසුමක් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය මුලික කරුණු ය. එමෙන් ම එය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් මානව සම්පත් ගැන ද සිතා බැලිය යුතු ය. බාහිර ශ්‍රමය ලබා ගැනීමට බලාපොරොත්තුවක් නැත්නම් ඒ සඳහා ඔබට කැප කළ හැකි කාලය ගැන ද තක්සේරුවක් කර ගත යුතු ය.

එම කරුණු ද සිත්හි තබාගෙන, මෙතැන් සිට අපි යම් තරමක විස්තරාත්මක සැලැස්මක් සකසා ගැනීම ගැන සාකච්ඡා කරමු. ගොවිපළවල/ගෙවතුවල විශාලත්වය විවිධ විය හැකි බව අප පසුගිය ලිපියේ සඳහන් කර ඇත. ඇතැම් ගෙවතුවලින් වාණිජ මට්ටමේ ඉලක්කයන් ද සපුරා ගත හැකි වන අතර ඇතැම් ගෙවත්තකින් නිවසේ එදිනෙදා පරිභෝජන අවශ්‍යතා යම් ප්‍රමාණයක් පමණක් සපුරා ගත හැකි විය හැකි ය. මෙහි දී අප විස්තර කරන්නේ සාමාන්‍ය මධ්‍යම පරිමාණයේ ඉඩම් ප්‍රමාණයක් උපකල්පනය කරගෙන ය. තම තමන්ගේ ගෙවතුවල විශාලත්වය සහ ස්වභාවය අනුව එම කරුණු ඔබට ගළපා ගත හැකි ය.

සම්පත් තක්සේරුවක් කර ගනිමු

මෙය ඔබේ සැලැස්මේ පළමු පියවර ය. තමා ළඟ දැනටමත් ඇති සම්පත් ගැන ඔබට යම් අදහසක් තිබෙනවා වෙන්නට පුළුවන. ඒත් ඒවා මොනවාද යන්න යම් ලේඛනගත කර ගැනීමක් සිදු කළහොත් එය ඔබගේ ඉදිරි සැලසුම්වලට ප්‍රයෝජනවත් විය හැකි ය. මෙම ලේඛනගත කර ගැනීම සඳහා පහත සඳහන් කරුණුවලට අවධානය යොමු කරන්න.

  • ඉඩම

ඉඩමේ ප්‍රමාණය ඔබ දනී. එහෙත් නිවසේ සහ අනෙකුත් අවශ්‍යතා ගැන සලකා බලා ගෙවත්තක්, ගොවිපළක් සඳහා කෙතරම් ඉඩ ප්‍රමාණයක් ඔබට වෙන් කර ගත හැකි ද? අවට ඇති අනෙකුත් ඉඩම්, භෞතික කරුණු, සෞන්දර්යාත්මක කරුණු වැනි දැය සලකා බලා කොපමණ ඉඩක් වගාවක් සඳහා වෙන් කර ගත හැකි ද යන්න සලකා බලන්න.
ඉඩමේ ස්වභාවය තේරුම් ගැනීම වැදගත් ය. එය තැනිතලා ද බෑවුම් සහිත ද අගල් සහිත කොටස් තිබේ ද ගල් බොරලු සහිත ද ජලය බැස යාම සම්බන්ධ ගැටලු තිබේ ද හිරු එළිය පතිත වන අන්දම වැනි කරුණු ඔබගේ සටහන්වලට ඇතුළත් වනු ඇත. ඉඩමේ සංරක්ෂණය කළ යුතු ප්‍රදේශය, පසෙහි දියුණු කිරීම් අවශ්‍ය ප්‍රදේශ, පස සෝදා යාම වළක්වා ගැනීමට ප්‍රතිකර්ම, ජලය බැස යාම සඳහා කළ යුතු ක්‍රියාමාර්ග, ගැළපෙන බෝග තෝරා ගැනීම වැනි ක්‍රියාමාර්ග ගැනීම සඳහා හැකිතාක් තොරතුරු එක්රැස් කර ගැනීම ඔබට පහසුවක් ඇති කරනු ඇත.

  • බාහිර පරිසරය

බාහිර පරිසරය යනුවෙන් අදහස් කරන්නේ ඔබ විසින් කරන්නට සැලසුම් කරන වගා කටයුතුවලට යම්කිසි සුබවාදී හෝ අසුබවාදී බලපෑමක් කිරීමට ඉඩ ඇති කරුණු ය. විශේෂයෙන් අල්ලපු ඉඩම හෝ ඉඩම්, ජල මාර්ග, මාර්ග පද්ධතිය, අයාලේ යන සතුන්, වන ජීවීන් හෝ වෙනත් ප්‍රකට සත්ව/ කෘමි හානි, අවට ඉඩම්වල වගා රටාව (රසායනික ද්‍රව්‍ය භාවිතය) වැනි කරුණු ගැන මනා අවබෝධයක් ලබා ගැනීම ඔබගේ සැලසුම් සකස් කිරීමේදී පහසුවක් වන්නට පුළුවන.

  • වෙනත් අත්‍යවශ්‍ය සම්පත්

වගාවක් ස්ථාපනය කර සාර්ථකව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අනෙකුත් සම්පත් ගැන ද තක්සේරුවක් කර ගත යුතු ය. ගෙවත්ත සකස් කර ගැනීමට වුවමනා ගොවි උපකරණ මූලික ය. ජලය යෙදීම සඳහා අවශ්‍ය භාජන හෝ ජල නල, පොහොර සකස් කර ගැනීම සඳහා අවශ්‍ය භාජන සහ උපකරණ ගැන ද අවබෝධයක් ලබා ගන්න. කුකුළන් ඇති කිරීම, ගව පාලනය ද කරන්නේ නම් ඒ සඳහා ද අවශ්‍ය සම්පත් ගැන අවධානය යොමු කරන්න. වගාවන් සඳහා ආධාරක (කෝටු, අතු යනාදිය) අවශ්‍ය විය හැකි ය. ඒවා අවටින් සපයා ගත හැකි ද යන්න සම්බන්ධ ව ද සිතා බැලිය යුතු වේ.
ඔබේ පාලනය යටතේ පවතින මානව සම්පත් ගැන ද හොඳ තක්සේරුවක් තිබිය යුතු වේ. වගාවක සාර්ථක අසාර්ථක බව රඳා පවතින්නේ ඒ කෙරෙහි දක්වන උනන්දුව සහ අවශ්‍ය අවස්ථාවන්හි දී ප්‍රතිකර්ම යෙදීම මත ය. ජලය සහ පොහොර යෙදීම නියමිත වෙලාවට කළ යුතු ය. කෘමි හානි, වෙනත් රෝග ආරම්භක අවස්ථාවල දී ම හඳුනාගෙන ප්‍රතිකර්ම යෙදිය යුතු ය. වෙනත් වචනවලින් සඳහන් කරනවා නම්, කුඩා දරුවකු බලාගන්නවා හා සමාන අවධානයක් වගාව සාර්ථක කර ගැනීමට වුවමනා ය.
ඉහත කාර්යයන් සඳහා ඔබට සහ පවුලේ අයට ඇති කාල අවකාශය සම්බන්ධ තක්සේරුවක් තිබීම ඉතා වැදගත් ය.

  • ආරක්ෂාව

ඔබ සකස් කර ගන්නා ගෙවත්තේ ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුත්තේ එසේ නොවුවහොත් ඔබගේ දිගුකාලීන මහන්සිය ඉතා කෙටි කලකින් විනාශ විය හැකි බැවිනි.
මුලින් ම අප සිතට ගත යුතු වන්නේ මනාව වැඩුන ගොවිපළකට සතුන්ගේ අවධානය වැඩි බව ය. අයාලේ යන හරකුන් එළුවන් වැනි සතුන්ගෙන් මෙන් ම කුරුල්ලන්ගෙන් විය හැකි හානිය විශාල ය. එසේ ම ඔබ විසින් ම ඇති කරන කුකුළන්ගෙන් වුව ද වගාවට හානි විය හැක.
මනාව සකස් කරන ලද වැටක අවශ්‍යතාව ගැන අප අවධානය යොමු කළ යුතු ය. ඉඩමේ පිහිටීම අනුව ඵලදායී අන්දමට වැටක් සකස් කර ගැනීම ගැන ද ඉදිරියේ දී සාකච්ඡා කරනු ඇත.

  • සිතියමක් සැකසීම

ඉඩමේ ස්වභාවය දළ සිතියමකට නගා ගන්නේ නම් වඩාත් පහසු ලෙස සැලසුම ක්‍රියාත්මක කිරීමට එය පිටුවහලක් වනු ඇත. අපට මුලින් ම දැනට පවතින තත්ත්වය සටහන් කර ගත හැකි ය. නිවසේ සහ වෙනත් ගොඩනැගිලි ඇත්නම් ඒවායේ පිහිටීම, මාර්ග, පඩිපේළි සහ භූමියේ ඇති භෞතික ලක්ෂණ එනම්, ජල වහන රටාව, ළිඳ හෝ ජල සැපයුම, බෑවුම්, අගල්, ගල් බොරලු සහිත
කොටස්, දැනටමත් ඇති වෘක්ෂලතා වැනි කරුණු එහි සටහන් කර ගත හැක.

  • ඉඩමේ දිශානතිය

එමෙන් ම සුළං හමන දිසාව ද සිතියමකට අවශ්‍ය වැදගත් කරුණු ය.
මෙබඳු සිතියමක ප්‍රයෝජන කීපයකි. පළමු දේ නම් එක් බැල්මකින් ඔබට මෙන් ම වෙනත් අයකුට වුව ද ඉඩමේ වත්මන් ස්වභාවය ගැන දළ අදහසක් ඇති කර ගත හැකි ය. දෙවැන්න නම් එය ම ඔබේ අනාගත දළ සැලැස්ම බවට පරිවර්තනය කර ගැනීමට පුළුවන. ඉඩමේ ස්වභාවය සහ ප්‍රමාණය අනුව ඒ ඒ තැන්වල ඔබ වගා කිරීමට සැලසුම් කරන බෝග සටහන් කර ගත හැක. අලංකාරය, සත්ව පාලනය, නිදහස්ව තිබිය යුතු ස්ථාන ආදිය ලකුණු කර ගත් විට ක්‍රියාත්මක කිරීමේ දී පහසුවක් අත් වේ. එමෙන් ම ඇතැම් විට බාහිර කෘෂි නිලධාරියකුගේ උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම් තැන් තැන්වලට ගෙන යා හැකි එබඳු විස්තරාත්මක සටහනක් වඩාත් ඵලදායී වේ.
මෙම සැලසුම යථාර්ථයක් බවට පත් කර ගැනීම යනු ඔබ සාර්ථක ලෙස ගෙවත්තක් වගාබිමක් සකස් කර ගත්තා වන්නේ ය. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සමහරක් ඊ ළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

සටහන – කේ. ඒ. ජේ. කහඳව