highlights of the week
Home » Archives » දේශීය අල යළි පරිභෝජනයට

දේශීය අල යළි පරිභෝජනයට

මෑත මාස කීපයක සිට මෙරට පුවත්පත් හා සඟරාවල දේශීය ආහාර සම්බන්ධව නිතර නිතර ලිපි පළ වෙන්නට පටන් ගෙන ඇත. බොහෝ ලිපිවල පරමාර්ථය වන්නේ දේශීය ආහාර වර්ගවල ඇති ඖෂධීය ගුණාංග මතු කර දීම ය. මෙය හොඳ ප‍්‍රවණතාවකි.

මෙවැනි ප‍්‍රවණතාවන්වලින් ඉස්මතු වී පෙනෙන්නේ අප ගන්නා බටහිර පන්නයේ ආහාර වේල ගැන නැවත සිතන්නට බොහෝ දෙනා පෙළඹී ඇති බව ය.

මෙම පුවත්පතක් කියවන අතරතුර මා හිතවත් අයකු විසින් සඳහන් කරන්නට යෙදුණ අදහසක් පිළිබඳ ව ඔබගේ ද අවධානය යොමු කරන්නට සිතුවෙමි. ඔහු පැවසුවේ, ‘‘බටහිර කෑම කෑවම හැදෙන ලෙඩ රෝග සුව කර ගන්නට අපට දේශීය ආහාර ගැන සිතන්නට සිදු වෙලා” යනුවෙනි.

අද අපට සිදුවී ඇත්තේ මෙය නො වේ ද? දියවැඩියාව, හෘදයාබාධ සහ පිළිකා අද අප රටේ ප‍්‍රධාන ම සෞඛ්‍ය ගැටලූ බවට පත්ව ඇත. මෙම රෝගවල මූලය අපගේ අවිධිමත් ආහාර රටාව යි.

මෙහි අනෙක් පැත්ත නම් බොහෝ බටහිර ජාතිකයන් දැන් දැන් පෙරදිග සහ සම්ප‍්‍රදායික ආහාරවලට නැඹූරු වෙමින් සිටින බවය. මෙයට ප‍්‍රධානම හේතුව වශයෙන් දැකිය හැක්කේ නූතන කෘෂිකර්මය තුළ ආහාර නිෂ්පාදනයේ දී යොදා ගනු ලබන විෂ රසායනික ද්‍රව්‍ය සහ හෝමෝන වර්ග නිසා පිළිකා වැනි සුව කිරීමට අසීරු රෝග වැලඳෙන බව ඔප්පූ වී තිබීම යි.

අප කෘෂිකර්මය වශයෙන් තේරුම් ගත යුත්තේ රසායනික යෙදවුම් සහ වැඩි දියුණු කරන ලද බෝග වගාව පමණක් නොව පරිසරයෙන් ප‍්‍රශස්ත ලෙස ප‍්‍රයෝජන ගැනීම බව පසුගිය කලාපයෙන් සඳහන් කළෙමි. එමෙන් ම අප අවධානයෙන් සිටින්නේ නම් වගා නො කරන ලද ආහාර පරිසරය අපට සපයා දෙන බව ද කීවෙමි.

අද අප කතා කරන්නේ ඊටත් වඩා වටිනා කරුණු කීපයක් සම්බන්ධයෙනි. එනම් පරිසරය අපට දායාද කර දුන් අති විශේෂ ආහාරයක් වන අල වර්ග ගැන ය.

අල යනු ඇතැම් පැළෑටි තම ආහාර ගබඩා කර ගන්නා ක‍්‍රමවේදය යි. එමෙන් ම බොහෝ අල වර්ග ප‍්‍රතිජනනය වන්නේ ද එසේ ගබඩා කරගත් පෝෂණය භාවිතා කරමිනි. අල බොහෝ විට එළවළු වර්ගයක් ලෙස සලකනු ලබයි. එහෙත් අනෙකුත් ආහාරවලින් අල වෙනස් කර දැකීම අවශ්‍ය වන්නේ අලවලට අපේ ආහාරයන් තුළ ලැබී ඇති සුවිශේෂී ස්ථානය නිසා ය. බත්, කොස්, දෙල් සමග ම අල ද අපගේ ප‍්‍රධාන වේලට ඇතුළත් කර ගත හැකි ආහාරයකි.

අලවලට අප රටේ ප‍්‍රධාන ආහාර වේලෙන් පසුබසින්නට සිදු වූයේ අපගේ පරගැති චින්තනය නිසා ය. ඉංග‍්‍රීසි ජාතිකයින් මෙරට වතු කෘෂිකර්මය ආරම්භ කළ ද, ඔවුනට කම්කරුවන් මෙරටින් ලබා ගත නො හැකි වූයේ මෙරට ජනතාවට ආහාර හිඟයක් නො වූ හෙයිනි. ඉංග‍්‍රීසීන් මෙරටට පැමිණි අවදියේ අප රට තිබූ තත්ත්වය සම්බන්ධ ව ඔවුන් පළ කළේ මෙබඳු අදහස් ය.

‘‘ඉතාම පහසුවෙන් තම ගෙවත්තෙන් සහ අවටින් ආහාර සපයා ගැනීමට හැකියාවක් තිබිය දී වතුවල කුලීකාරයන් වශයෙන් සිංහලයන් සේවයට යාමට කැමති වන්නේ නැත. තම ගෙවත්තේ ඇති බෝගවලින් කිසිදු ආයාසයකින් තොරව මෙහි ගැමියනට තම පවුල් නඩත්තු කර ගැනීමට හැකියාව ඇත.”

සුදු ජාතිකයන් අපගේ මෙම ස්වයංපෝෂිත බව සිතාමතා ම නැති කිරීමට කරන ලද උත්සාහයන් ගැන මා ඔබට අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. 1850 වැනි කාලයේ දී පවා ඇමරිකාව සහ ඉන්දියාව අපගේ ප‍්‍රධාන ම තිරිඟු පිටි සැපයුම්කරු බව ද ඉහත සඳහන් පොතෙහි දක්වා ඇත. අපගේ දේශීය ආහාර රටාව විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයට ඔබත් මාත් හසුවී තිබෙන බව මේ කරුණු සලකා බලන කල අපට පැහැදිලි විය යුතු ය. ඉංග‍්‍රීසින් අප රට හැර ගිය නමුත් ඔවුන් අපට දායාද කළ පරගැති බව අපට තාමත් ඉවත් කර ගත නො හැකිව ඇත. අපි දැන් තිරිඟු ප‍්‍රධාන ආහාරය වශයෙන් පත් කර ගෙන සිටිමු. එහෙත් එක් තිරිඟු ගසක්වත් මෙරට වැවෙන්නේ නැත.

ඔවුන් අපට දායාද කළ ආහාර රටාව දැන් බටහිර ජාතීන් විසින් ම ප‍්‍රශ්න කරනු ලබයි. එමෙන් ම බටහිර ජාතීන් නැවතත් ස්වභාවික ආහාරවලට දැඩි උනන්දුවක් දක්වන්නේ, එම ආහාර නිපදවීමට යොදා ගනු ලබන රසායනික විෂ සහ හෝර්මෝනවලින් උද්ගතව ඇති සෞඛ්‍ය ගැටලූ නිසාවෙනි. එහෙත් බොහෝ රටවල් මේ සඳහා ප‍්‍රමාද වූවා වැඩි ය. එ් ඔවුනගේ ජාන සම්පත් බොහොමයක් මේ වන විට වඳ වී ගොස් ඇති බැවිනි. දැන් ඔවුන් පෙරදිග රටවල් දෙස බලන්නේ මෙම දේශීය ආහාරවල අගය වැටහී ඇති බැවිනි.
ජෛව විවිධත්වයේ සංකේතයක් බඳු අප රටට මෙබඳු කනගාටුදායක තත්ත්වයක් ඇති විය යුතු නැත.

අප රටේ පරිභෝජනයට සුදුසු අල වර්ග 90 කට වඩා තිබූ බව ඔබ දන්නවා ද? මෙම අල වර්ග විවිධත්වය අපගේ ආහාර සුරක්ෂිත භාවයේ වැදගත් ලක්ෂණයක් විය. බොහෝ අල වර්ග ප‍්‍රධාන ආහාර වේල සඳහා විකල්පයක් වශයෙන් වූව ද ගත හැකි වූයෙන් වී අස්වනු පාළු වූව ද බඩගින්නේ සිටීමේ අවධානමක් අපට නො වී ය.

1940 වසරේ ඝර්ම කලාපීය කෘෂිකර්මය :ඔරදචසජ්ක ්ටරසජමකඑමරසිඑ* නම් සඟරාවේ ඩබ්ලිව් මොලගොඩ මහතා විසින් අපගේ අල සම්බන්ධව මෙසේ සඳහන් කර ඇත.

‘‘පසුගියදා පැවැත්වූ ඉංගී‍්‍රසි මල් ප‍්‍රදර්ශනය හෑල්ලූවට ලක් වීමට හාරිස්පත්තු අල ප‍්‍රදර්ශනය හේතු කාරක විය. එහි ප‍්‍රධාන ම ප‍්‍රදර්ශන භාණ්ඩය වුයේ අඩි 9 ක් උස රාජාල අලයකි. මෙය හෑරීම සඳහා මිනිසුන් 4 දෙනෙකුට දින දෙකක් ගත විය. අඩි 4 ක් පළල මැස්සක් මත රුවා එය ඔසවා ගෙන එ්මට මිනිසුන් 6 දෙනෙකු උවමනා විය.”

මේ අප රට අල අභිමානය සංකේතවත් කරන සටහනකි. සිතා බලන්න. අඩි 9 ක් දිග හා අඩි 4 ක් පමණ පළල අලයක් පවුල් කීයකට, පුද්ගලයන් කී දෙනෙකුට ආහාර සැපයීමට සමත් ද? බොහා් අල වර්ග සැලකිය යුතු තරම් විශාල බව ඔබ දන්නා කරුණකි.

අප නිතර ම මතක තබා ගත යුතු කරුණක් වන්නේ අපගේ පැරැන්නන්, බත් පමණක් අනුභව කළ ජනතාවක් නො වන බව ය. බත ප‍්‍රධාන වූ බව සත්‍යයකි. එහෙත් බත මත ම පමණක් යැපෙනු වෙනුවට කුරහන්, මෙනේරි, බඩ ඉරිඟු, තල වැනි අනෙකුත් ආහාර වර්ග ද ප‍්‍රමාණවත් ලෙස වගා කරනු ලැබී ය. එ් සමඟ ම ස්වභාව ධර්මය විසින් සපයන ලද ඉබේ වැවෙන අල සහ වගා කරන ලද අල ද ප‍්‍රධාන ආහාරයන් විය.

පාන්පිටි සහ බත්වලට වඩා මෙම අනෙකුත් අල සහ ධාන්‍යවල පෝෂණ කොටස් අධික වූයෙන් නිරෝගීකමට ඉන් ලද හැකි පිටුවහල ඉමහත් ය.

අලවල ඇති පෝෂණීය ගුණ සම්බන්ධව ඔබ දැනුවත් විය යුතු ය. සෑම අල වර්ගයක ම ලවන වර්ග හා විටමින් ඇතුළු ක්ෂුද්‍ර පෝෂක බොහොමයක් අඩංගු ය. කෙඳි සහිත හෙයින් ආහාර ජීර්ණ පද්ධතියට හිතකර ය. හෘද රෝග ඇති කරන නරක කොලස්ටරෝල් අඩු කරවයි. අලවල සීනි අඩංගු වන නමුත් එ්වා ශරීරයට අවශෝෂණය වන්නේ ඉතා සෙමිනි. එම නිසා අල ග්ලයිසෙමික්ස් දර්ශකයේ පහළ අගයක් ගන්නා ආහාර ලයිස්තුවට එක්වී ඇත.

අපගේ දේශීය වෙදකමට අනුව මෙම සැම අල වර්ගයක් ම ඖෂධ ගුණයෙන් යුක්ත ය. ඉන් කීපයක් ඔබේ අවධානයට යොමු කරමි.

හුලංකීරිය- ශරිරයේ අම්ල ගතිය මර්ධනය කරයි. අජීර්ණය සුව කරයි. ස්ථුල බව අඩු කරයි. දියර ස්වභාවයෙන් මළ පිටවීම පාලනය කරයි. ලේ සීිදං පහවන අතීසාරය සුව කරයි. අර්ෂස් සුව කරයි. ළදරු ආහාරයක් ලෙසත්, සුව වූ රෝගීන්ට දෙන බර අඩු ආහාරයක් ලෙසත් නිර්දේශිත ය.

බුත්සරණ- සෙංගමාලය වැළඳුන රෝගීන්ට රෝග අවස්ථාවේ දී මෙන් ම රෝගය සුවවූ පසූ කලක් යන තුරු ම කෑමට දිය යුතු ය. කහ උණ සුව කරයි. කුණකටුවන් සහ කරවලයන් දෂ්ට කළ අයට බුත්සරණ ඖෂධයකි. ළදරුවන්ගේ සෙම් රෝග නිවාරණයට සහ කිරි මැලියම් දොස්වලට ඖෂධයකි.

කිඩාරන්- කිඩාරන්වල ඖෂධීය ගුණය කියා නිම කළ නො හැක. ශරීරයේ උෂ්ණයෙන් වැළඳෙන රෝග මැඬලයි. වැඩිහිටි කතුන්ගේ ඇට මිදුලූ දියවීමේ රෝගය සුව වේ. අර්ෂස් රෝගයෙන් බඩ වැල මෑත්වීම වළකයි. අර්ෂස් වැළඳීම වළකයි. අර්ෂස් වැළඳුන අය සුව කරයි. නාග විෂ මෙන් ම සියලූ සර්ප විෂ මර්ධනයට කිඩාරන් යොදා ගනී.

දන්දින- අධික රුධිර පීඩනය පාලනය කරයි. ඉතා පෝෂ්‍ය ගුණයෙන් යුතු හෙයින් ශරීර ශක්තිය වඩවයි. කාන්තාවන්ගේ කේෂ කලාපය වැඞීමට උපකාර වේ.

අල වර්ග සම්බන්ධව තවත් වැදගත් කාරණයක් නම් අල පමණක් නොච එ්වායේ කොළ ද අතිශයින් පෝෂ්‍යජනක බවයි. උදාහරණයක් වශයෙන් බතල කොළවල අලවලටත් වඩා විටමින් ක්‍ල විටමින් ණ, ලවන සහ පොටෑසියම් අඩංගු ය. මෙයට අමතරව මඤ්ඤොක්කා කොළ අපට අත්‍යවශ්‍ය පෝෂණය සපයයි.

මේ අන්දමට අලවල ඖෂධීය ගුණ ලයිස්තුව දිගට ලියා ගෙන යා හැක. කිරි අල, කටු අල, ගෝනල, ඉන්නල, ඉසුරු අල, දන්දින, ඉනි අල, ඇඟිලි අල, නාට්ටාල, හිරිතල, රාජා අල, උඩල – මෙම ලයිස්තුව ඉතා දිග එකකි. එහෙත් ඔබට මා ඉදිරිපත් කිරීමට අදහස් කළේ ඔබගේ උනන්දුව නැවත ඇති කරවන උදාහරණ කීපයක් පමණි. නැවත ඔබගේ ආහාර වේලට අල ආහාර ඇතුළත් කර ගැනීමට ඔබව පොළඹවන කරුණු කීපයක් පමණි.

අපට වෙළඳපළෙහි දක්නට ලැබෙන්නේ ඉතා සීමිත අල වර්ග සංඛ්‍යාවකි. මයියොක්කා, බතල, සහ ඉතා මඳ වශයෙන් ඉන්නල, කිරි අල, රාජාල වැනි වර්ග කීපයක් පමණි.
මෙම ඇතැම් අල පෙර දී ඔබගේ ගෙවත්තේ තිබී ඔබගේ නො සැලකිල්ල නිසා වඳ වී ගියා වන්නට පුළුවන. එතරම් ආයාසයක් අනවශ්‍ය හෙයින් නැවත ඔබගේ ගෙවත්තට මෙම අල ඇතුල් කර ගත හැකි ය. ඉතා වැදගත් කාරණය වන්නේ දේශීය අල වර්ගවලට කෘමි හානි ඉතාම අවම බව ය. එනිසා රසායනික විෂ භාවිතයෙන් තොර ආහාරයක් ඔබට ලැබේ. ජලය යෙදීම අවම මට්ටමක පවතින හෙයින් ජල දුෂ්කරතා ඇති ඉඩම්වලට ද යෝග්‍ය ය. වර්ග කිපයක් ගෙවත්තේ ඇත්නම් වසර පුරා ම අස්වනු ගත හැකි වන හෙයින් ආහාර සුරක්ෂිත බවත් ඇති වේ.

මෙම අල නැවත සොයා ගෙන ඔබේ ගෙවත්තට එකතු කර ගන්නේ නම් එ් සඳහා දැනට පවතින ගැටලූ ද විසඳා ගත යුතු ය. එනම් එ්වා වගා කර ගන්නේ කෙසේ ද යන්න ය. සම්ප‍්‍රදායික වයෝවෘද්ධ ගොවි මහතුන්ගෙන් උපදෙස් ගැනීම එක් උපාය මාර්ගයකි.

පහත සඳහන් පුද්ගලයන් සහ ආයතන විමසීමෙන් ද අල වර්ගවල බීජ සහ වැඩිදුර උපදෙස් ඔබට ලබා ගත හැකි වනු ඇත.

01. දේශීය අල වර්ග සංරක්ෂණය කිරීමේ ජාතික වගකීමකින් කටයුතු කරන දන්තුරේ පේ‍්‍රමවර්ධන වෙද මහතා, ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය, කාල්වාන, අරණායක.
02. දේශීය බීජ සුරැකීමේ ජාතික ගොවි සම්මේලනය, ප‍්‍රගති මාවත, හෝමාගම.

මෙම ආයතන සහ පුද්ගලයන් මෙරට දේශීය බීජ සුරකින ජාතික මෙහෙවරක කොටස්කරුවෝ වෙති.

ආනයනික බෝගයක් වන අර්තාපල්වලට හැර කිසිදු අල වර්ගයකට රෝග නැත. රසායනික පොහොර සහ කෘමි නාශක අවශ්‍ය නැත. සත්ව ඝාතනය කිරීමට අවශ්‍ය නැත. ඉදින් කෘෂි රසායන විෂ කා නැසෙනු වෙනුවට, පෝෂණ ගුණයෙන් ඉහළ, එමෙන් ම වස විසෙන් තොර ආහාර වේලක් ඉදිරි පරපුරට දායාද කිරීමේ දැහැමි ක‍්‍රියා පිළිවෙළකට එළඹීමට ඔබටත් සිත් පහළ වේවා!

මහාමේඝ 2013 උඳුවප් කලාපය
WWW.MAHAMEGHA.LK

හරිත සටහන
හැපී ගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව

හැපි ග‍්‍රීන්ස් සංවිධානය
www.happygreens.lk
මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, ඇල්ල.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ගෙවත්තක් වගා කරමු – බිම් සැකසීම සහ ජල කළමනාකරණය

බිම් සැකැස්මේ දී සලකා බැලිය යුතු වැදගත් ම සාධකය නම් ජල කළමනාකරණය යි. ඉඩමේ ස්වභාවය අනුව ජල කළමනාකරණ සැලැස්ම වෙනස් කර ගත යුතු ය.