තිසරණ සරණ ගිය ගිහි ශ්‍රාවකයන් හට ද මෙලොව පරලොව දෙලොව ම ජය ගැනීම පිණිස ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුශාසනා කොට වදාළ සේක. එනමුදු ඒ සම්බුදු දෙසුම් නොදන්නා, ඒ ඔවදන් සිහි නොකරන, නාමිකව පමණක් බෞද්ධයන් යයි කියා ගන්නා සමාජයක් හා ජනයා දෙලොව ම පරදින අභාග්‍යවන්තයෝ බවට පත්ව සිටිති. දීඝජානු කෝලිය පුත්‍රයා ගිහි ජීවිතය ගත කරන කෙනෙකුගේ මෙලොව පරලොව දෙලොව ම හිත පිණිස, සැප පිණිස පවතින කරුණු ගැන විමසූ කල්හි සම්බුදු මුව මඬලින් නික්මුණු සොඳුරු දෙසුමකි ව්‍යග්ඝපජ්ජ සූත්‍රය.

(අං. නි. – අට්ඨක නිපාතය).

එම දෙසුම තුළ සම්බුදුරජාණන් වහන්සේ මෙලොව යහපත පිණිස පවතින කරුණු සතරක් මේ ලෙසින් පෙන්වා වදාළ සේක.

“චත්තාරෝ මේ ව්‍යග්ඝපජ්ජ, ධම්මා කුලපුත්තස්ස දිට්ඨධම්මහිතාය සංවත්තන්ති දිට්ඨධම්ම සුඛාය. කතමේ චත්තාරෝ: උට්ඨානසම්පදා, ආරක්ඛසම්පදා, කල්‍යාණමිත්තතා, සමජීවිකතා.”

“ව්‍යග්ඝපජ්ජයෙනි, මේ ධර්මයන් සතරක් කුල පුත්‍රයා හට මෙලොව දී හිත පිණිසත්, මෙලොව දී සැප පිණිසත් හේතු වෙයි. ඒ කවර සතරක් ද යත්; උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණමිත්‍රතා සහ සමජීවිකතාව යි.”

මේ කරුණු සතර ගැන අසිරිමත් විග්‍රහයක් ද තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

උට්ඨාන සම්පදාව

“ඉධ ව්‍යග්ඝපජ්ජ කුලපුත්තෝ යේන කම්මට්ඨානේන ජීවිකං කප්පේති, යදි කසියා යදි වණිජ්ජාය යදි ගොරක්ඛේන යදි ඉස්සත්ථේන යදි රාජ පොරිසේන යදි සිප්පඤ්ඤතරේන. තත්ථ දක්ඛෝ හෝති අනලසෝ තත්‍රෑපායාය වීමංසාය සමන්නාගතෝ අලං කාතුං අල සංවිධාතුං, අයං වුච්චති ව්‍යග්ඝපජ්ජ, උට්ඨානසම්පදා”

“ව්‍යග්ඝපජ්ජයෙනි, මෙහිලා කුලපුත්‍රයෙක් යම් කර්මාන්තයකින් ජීවිතය ගෙවයි නම්, එනම් ගොවිතැනින් වේවා, වෙළඳාමෙන් වේවා, ගවපාලනයෙන් වේවා, දුනු ශිල්පයෙන් වේවා, රාජ්‍ය සේවයෙන් වේවා, වෙනත් ශිල්පයකින් වේවා ජීවත් වෙයි නම්, එහිලා ඔහු දක්ෂ වෙයි, කම්මැලි නොවෙයි, ක්‍රමානුකූල ව කිරීමට, පිළිවෙළකට කිරීමට උපාය වීමංසන කුසලතාවයෙන් යුක්ත වෙයි. ව්‍යග්ඝපජ්ජයෙනි, මෙය නැගී සිටීමේ සම්පත්තිය යැයි කියනු ලැබේ.”

‘උට්ඨාන’ යන වදනට නැගී සිටීම, උත්සාහය, අභිවෘද්ධිය වැනි අරුත් ලබාදිය හැකි මුත් භාග්‍යවතුන් වහන්සේ උට්ඨාන සම්පදා යන වචනය තුළින් පුළුල් අරුතක් කැටි කොට ඇති බව පෙනේ. කුමන මාර්ගයකින් ආදායම් ඉපදුව ද එහිලා ඔහු දක්ෂ විය යුතු ය. අධ්‍යාපනය හා පුහුණුව එයට මනා පිටුවහලකි. තවද අලස බව දුරු කොට වීර්යවන්තයෙකු විය යුතු ය. එලෙසින්ම එම ආදායම් මාර්ගය පිළිබඳ උපායශීලී නුවණක් හා මනා විමසීමක් තිබිය යුතු ය. ඒ සඳහා තම ආදායම් මාර්ග පිළිබඳ මනා අධ්‍යයනයක් සිදු කිරීම, විද්වත් මත විමසීමට සුදුසු පර්යේෂණ සිදු කිරීම ආදිය අතිශයින් ම ප්‍රයෝජනවත් ය. ඒ සියල්ල සමඟින් සිදු කරන කටයුත්ත මනා කොට සිදු කිරීමට, එය මනා කළමණාකරණයකින් යුතුව සංවිධානය කර ගැනීමට සමත් විය යුතු ය. මේ සියලු අංගයන්ගෙන් සමන්විත බව උට්ඨාන සම්පදාව යි.

ආරක්ඛ සම්පදාව

“ඉධ ව්‍යග්ඝපජ්ජ, කුලපුත්තස්ස භෝගා හොන්ති උට්ඨානවිරියාධිගතා බාහාබලපරිචිතා සේදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධා තේ ආරක්ඛේන ගුත්තියා සම්පාදේති ‘කින්ති මේ ඉමේ භෝගේ නේව රාජානෝ හරෙය්‍යුං න චෝරා හරෙය්‍යුං න අග්ගි චහෙය්‍ය න උදකං වහෙය්‍ය න අප්පියා දායාදා හරෙය්‍යුන්ති. අයං වුච්චති ව්‍යග්ඝපජ්ජ, ආරක්ඛසම්පදා.”

“ව්‍යග්ඝපජ්ජයෙනි, මෙහිලා කුලපුත්‍රයා හට නැගී සිටි වීරියෙන් යුතුව ලබන ලද, අතපය වෙහෙසීමෙන් රැස් කරන ලද, ඩහදිය හෙළා උපදවන ලද, ධාර්මික වූ, ධාර්මික ව ලැබුණු යම් දේපල වස්තුවක් ඇද්ද, ඒවාට නිසි ආරක්ෂාව ත්, රැකවරණය ත් යොදයි. එනම් ‘කිම, මාගේ මේ භෝගයෝ රජවරු පැහැර නොගනිත් නම්, සොරු පැහැර නොගනිත් නම්, ගින්නෙන් නොදැවෙයි නම්, ජලයෙන් ගසා ගෙන නොයයි නම්, අප්‍රියයෝ දායාද කර නොගනිත් නම් මැනැවැ’ යි. ව්‍යග්ඝපජ්ජයෙනි, මෙය රැකීමේ සම්පත්තිය යැයි කියනු ලැබේ.”

වෙහෙස මහන්සි වී උපයා සපයා ගන්නා දෙය රැකගැනීම ද දියුණුවන පුද්ගලයා තුළ තිබිය යුතු ය. එය ආරක්ඛ සම්පදාවයි.

කල්‍යාණමිත්තතාව

“ඉධ ව්‍යග්ඝපජ්ජ, කුලපුත්තෝ යස්මිං ගාමේ වා නිගමේ වා පටිවසති. තත්ථ යේ තේ හොන්ති ගහපති වා ගහපතිපුත්තෝ වා දහරා වා වුද්ධසීලිනෝ වුද්ධා වා වුද්ධසීලා සද්ධාසම්පන්නා සීලසම්පන්නා චාගසම්පන්නා පඤ්ඤාසම්පන්නා තේහි සද්ධිං සන්තිට්ඨති සල්ලපති සාකච්ඡං සමාපජ්ජති. යථා රූපානං සද්ධාසම්පන්නානං සද්ධාසම්පදං අනුසික්ඛති, යථාරූපානං සීලසම්පන්නානං සීලසම්පදං අනුසික්ඛති යථාරූපානං චාගසම්පන්නානං චාගසම්පදං අනුසික්ඛති, යථාරූපානං පඤ්ඤාසම්පන්නානං පඤ්ඤාසම්පදං අනුසික්ඛති. අයං වුච්චති ව්‍යග්ඝපජ්ජ, කල්‍යාණමිත්තතා.”

“ව්‍යග්ඝපජ්ජයෙනි, මෙහිලා කුලපුත්‍රයා යම් ගමක හෝ නියම් ගමක හෝ වසයි නම්, එහි යම් ඒ ගෘහපතීහු හෝ ගෘහපතිපුත්‍රයෝ හෝ මේරූ ගති ඇති තරුණයෝ වේවා, මේරූ ගති ඇති වැඩිහිටියෝ වේවා, ශ්‍රද්ධාවෙන් යුක්ත වෙත්ද, සීලයෙන් යුක්ත වෙත් ද, ත්‍යාගයෙන් යුක්ත වෙත් ද, ප්‍රඥාවෙන් යුක්ත වෙත්ද ඔවුන් සමඟ සිටියි. කතා බස් කරයි.

සාකච්ඡාවන්ට පැමිණෙයි. යම්බඳු සැදැහැවත්වූවන්ගේ ශ්‍රද්ධා සම්පත්තිය අනුව හික්මෙයි ද, යම්බඳු සිල්වත් වූවන්ගේ සීල සම්පත්තිය අනුව හික්මෙයි ද, යම්බඳු ත්‍යාගී වූවන්ගේ ත්‍යාග සම්පත්තිය අනුව හික්මෙයි ද, යම්බඳු ප්‍රඥාවන්ත වූවන්ගේ ප්‍රඥා සම්පත්තිය අනුව හික්මෙයි ද, ව්‍යග්ඝපජ්ජයෙනි, මෙය කල්‍යාණමිත්‍රයන් ඇති බව යැයි කියනු ලැබෙයි.”

වෙහෙස මහන්සි වී උපයා සපයාගත් භවභෝග සම්පත් විනාශ කොට දමන මාර්ග හතරකි. එනම් ස්ත්‍රීලෝලී බව, සුරාලෝලී බව, සූදුවට ලොල් බව, පාපී මිතුරන් – පාපී සහායකයන් ඇතිව පාපයන්ට නැඹුරු වූ ගති ඇති බව යන සතරයි. මේ දෝෂයන්ගෙන් යුතු කෙනෙකුගේ දිවිය, ජලය පිරෙනා සියලු මාර්ග වැසී ගිය, සතරක් වූ ජලය පිට වී යන මාර්ග විවෘතව ඇති පොකුණක් සේ ය. මේ පොකුණෙහි ජලය වහනය වී යන්නා සේ මේ අපාය මුඛ සතරෙන් යුතු තැනැත්තාගේ දිවිය ද වැනසී යයි. විනාශයන්ට පත් නොවී ජීවිතය දහම තුළ රැක ගැනීම පිණිසත්, මුහුණ දීමට සිදු වන නොයෙකුත් ගැටලුවල දී ශක්තිමත්ව මුහුණ දීම පිණිසත් කල්‍යාණ මිත්‍ර ඇසුර අතිශයින් ප්‍රයෝජනවත් වේ. කලණමිතුරු ඇසුරේ ශ්‍රද්ධාව, ශීලය, ත්‍යාගය, ප්‍රඥාව දියුණු කරන තැනැත්තා දෙලොව ම ජය ගනී.

සමජීවිකතා​ව

“ඉධ ව්‍යග්ඝපජ්ජ, කුලපුත්තෝ ආයඤ්ච භෝගානං විදිත්වා වයඤ්ච භෝගානං විදිත්වා සමං ජීවිකං කප්පේති. නාච්චෝගාළ්හං නාතිහීනං, ඒවං මේ ආයෝ වයං පරියාදාය ඨස්සති, න ච මේ වයෝ ආයං පරියාදාය ඨස්සතීති.”

“ව්‍යග්ඝපජ්ජයෙනි, මෙහිලා කුලපුත්‍රයා භෝග සම්පත්වල ආදායම ද දැන, භෝග සම්පත්වල වියදම ද දැන ඉතා මහත් නොවූ ත්, ඉතා පහත් නොවූ ත් සම වූ ජීවිතයක් ගෙවයි. මෙසේ ජීවත් වන කල්හී ‘මාගේ ආදායම වියදම යටත් කොට තිබෙයි. මාගේ වියදම ආදායම යටපත් නොකොට තිබෙයි’ කියා ය.”

දිඹුල් ගෙඩි කනු රිසි එක්තරා පුද්ගලයෙක් ඵල බරින් යුතු දිඹුල් ගසක් අසලට ගොස්, එම ගස සෙලවී ය. ගසෙහි ගෙඩි සියල්ලම පාහේ වැටුණි. හේ ගෙඩි ස්වල්පයක් පමණක් ගෙන පිටව ගියේ ය. ඉතිරි සියල්ල නාස්ති වී ගියේ ය. ඇතැමුන්ගේ වියදම් ද එලෙස ය. සියලු ආදායම් වනසා දමයි. එවැන්නන්ට සමජීවිකතාවයක් නැත.

එමෙන්ම ඇතැමුන් විශාල ආදායම් ඉපදුව ද ජීවත්වෙන්නේ දුගියන් සෙයිනි. අනාථව මැරෙන ඔවුන්ගේ ජීවිත රටාව ද භාග්‍යවතුන් වහන්සේ අනුමත නොකළ සේක.

තරාදියකින් බර කිරන්නා සෙයින් අය වැය සසඳමින් මනා කොට කළමණාකරණය කරගෙන වාසය කිරීම සමජීවිකතාවයි. ඒ සඳහා දීඝ නිකායේ සිඟාල සූත්‍රයේ ඇති මේ ගාථාව සිහිකර ගැනීම ප්‍රයෝජනවත් ය.

“ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය – ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථඤ්ච නිධාපෙය්‍ය – ආපදාසු භවිස්සති”

මෙහි සරල අරුත නම් උපයන භෝග සම්පත් සතරකට බෙදා එක් කොටසක් පරිභෝග කොට කොටස් දෙකක් ව්‍යාපාර ආදියෙහි ආයෝජනය කොට අනෙක් කොටස හදිසි කරදරයක දී ප්‍රයෝජනය පිණිස තැන්පත් කළ යුතු ය යන්නයි. මේ අයුරින් දිවි පෙවත ගෙන ගියා නම් ලක් දෙරණේ කිසිවකුත් ආර්ථික අර්බුදයකට හසුනොවනු නොඅනුමාන ය.

කෙසේ නමුත් දැන් දැන් හෝ යමෙක් මෙලොව යහපත පිණිස පවතින මේ අංගයන් සතර ඇතිකර ගන්නේ නම්, පරලොව යහපත පිණිස පවතින ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව යන අංගයනුත් ඇතිකර ගන්නේ නම් ඔහු දෙලොව ම දිනනු නිසැක ය.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි