දෙදහස් පන්සිය වසරකට අධික කාලයක් පැවති, ස්වදේශීය ලංකා රාජ්‍යය ඉංග‍්‍රීසීන්ට නීත්‍යානුකූල ලියවිල්ලකින් පවරා දුන්නේ උඩරට ගිවිසුමෙනි. එකල සිිටි බෞද්ධයන් කුල්මත් කරවීම උදෙසා සුදු ජාතික ජෙනරාල් බ‍්‍රවුන්රිග් විසින් ‘බෞද්ධාගම එහි අයිතිවාසිකම්, සංඝයා හා පන්සල් රැක දෙන බවටත්, එ්වා නඩත්තු කර දෙන බවටත් ප‍්‍රතිඥා දෙමි’ යන වාක්‍යය ඊට ඇතුළත් කළ අතර, ගිවිසුම් කොළයේ තීන්ත වියැළීමටත් ප‍්‍රථම එ් සියල්ල උල්ලංඝනය කිරීම සඳහා අවශ්‍ය කරුණු යෙදිණ. 1815 සිට 1948 දක්වා ගෙවී ගිය වසර 133 පුරාවට මේ පස මත සිදු වූ සිදු වීම් බිහිසුණු සිහිනයක් සේ අමතක ව ගොස් ඇතුන් ලවා වත් ඇද්දිය නො හැකි යයි ප‍්‍රසිද්ධ ස්ථානයේ මිහිදන් වී ඇත. එනමුත්, වාසනාවකට හෝ අවාසනාවකට සංවත්සරය කියා දෙයක් ලෝකවාසීන් සතු ය. එය අවාසනාවේ සංවත්සරයක් පමණක් නො ව ඉතිහාසයෙන් මකා දැමිය යුතු දිනයක් ද වේ. එනමුත්, අවාසනාවෙන් වුව ද උගත යුතු පාඩම් තිබේ. නැති නම්, එක ම වරද පුනරාවර්තනය වීම වැළැක්විය නො හැකි වනු ඇත. එබැවින්, කිව යුතු ම වූ වැදගත් කාරණා කිහිපයක් උදෙසා පන්හිඳ වයන්නට කල්පනා කළෙමි…!

‘‘බෞද්ධාගම එහි අයිතිවාසිකම්, සංඝයා හා පන්සල් රැක දෙන බවටත්, එ්වා නඩත්තු කර දෙන බවටත් ප‍්‍රතිඥා දෙමි”
– කන්ද උඩරට ගිවිසුම – 1815 මාර්තු මස 02 වැනි දින දී ය…

2015 වර්ෂය වන විට උඩරට ගිවිසුම අත්සන් කොට වසර 200ක් සම්පූර්ණ වේ. සැබැවින් ම එය සංවත්සරයක් වුවත් සතුටින් සැමරිය හැක්කේ ඉංග‍්‍රීසීන්ට පමණි. 1815 යනු විනාශය ඇරඹුනු දවස යැයි අයෙක් පවසනු ඇත. නමුත්, 1815 යනු, දශක ගණනාවක් තිස්සේ පැවති අදූරදර්ශී ක‍්‍රියා පටිපාටියක ප‍්‍රතිඵලයක් යැයි පැවසුව හොත් ඉතිහාසය හාරා අවුස්සා ඇති ඕනෑ ම අයෙක් මා සමඟ එකඟ වනු ඇත.

ආසන්න වශයෙන් 1505 සිට 1658 දක්වා පෘතුගීසීන් විසින් ද 1656 සිට 1796 දක්වා ලන්දේසීන් විසින් ද ලක්දිව මුහුදු බඩ ප‍්‍රදේශ පාලනය කළ නමුත්, ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 1815 දී සමස්ත ලක් දෙරණ ම ඉංග‍්‍රීසීන් අතට නිල වශයෙන් ම පත් විය. 1505 සිට 1815 දක්වා ගත වූ ශත වර්ෂ තුන පුරා ම වන්දි ගෙවිය නො හැකි තරමේ අත්වැරදීම් රාශියක් අප අතින් සිදු වී තිබිණ. ඉන් එකක් තනි ව අවසාන ප‍්‍රතිඵලයට හේතු වූයේ නැත. එ් අත්වැරදීම් සියල්ල ම ඍජුව හා වක‍්‍ර ව එ් සඳහා හේතු විය. එනමුත්, 1815 දී ඉංග‍්‍රීසීන්ට කන්ද උඩරට බලය අත්පත් වීමත්, එ් වන විට අතුරුදහන් ව පැවති සිංහලයේ රාජාවලියත්, වංශක්කාර නිලමක්කාරවරුන්ගේ බල අරගලයත් යන සියල්ල අතරේ කතාබහට ලක් නො වූ සිංහලයන්ගේ වීරෝධාර පුරාවෘත්තයන්ට කණ කොකා හැඬූ යුගයක් තිබේ. එනම්, අප ඉතා ඉහළින් සිහිපත් කරන ‘සිංහලයේ අන්තිම රජතුමා’, ‘සිංහල රාජාවලියේ අවසන් පුරුක’, යන විරුදාවලි ලත් වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රාජ්‍ය පාලන යුගය යි.

උතුම් වැඩපිළිවෙළක් නම් එහි නිර්මාතෘවරයා වාසනාවන්ත ය. නමුත් එහි අවසන් පුරුක සෑම විට ම වාසනාවන්තයෙකු නො විය හැකි ය. යම් අවසානයෙකු විසින් ඔහුගේ පරපුර අවසන් කළේ නම්, එ් තුළ සිදු නො විය යුතු ව තිබූ අත්වැරදීම් රාශියක් ගැබ් ව තිබිය යුතු යැයි සිතීම යුක්ති යුක්ත වේ. තම රාජ්‍ය කාලය තුළ දී, සමාව දිය නො හැකි ආකාරයේ අත්වැරදීම් රාශියක් සිදු කළ වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහයන් ඉන් නො නැවතී හිතා මතා ම තම රජ පෙළපතට නැවතීමේ තිත තබා… ඉන් ද නො නැවතී, විසඳිය නො හැකි ජාතික ගැටලූවක් ද අනාගතයට ප‍්‍රක්ෂේපණය කළහ. එනිසා ම ඔහුට අවාසනාවන්ත අනාගතයක් බිහිකළ අවසානයෙකුගේ විරුදාවලියට අකැමැත්තෙන් වුව ද උරුමකම් කියන්නට සිදු වේ.

උඩරට පාලනය කළ දෙවන විමලධර්මසූරිය රජුගේ රාජ්‍ය කාලයෙන් පසු, ඔහුගේ රන්දෝලියගේ පුත් කුමරා, වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජ විය. රන්දෝලිය යනු රජුගේ අභිෂේක බිසව යි. යකඩ දෝලිය යනු දෙවැනි බිසව යි. රජ පෙළපත හිමිවන්නේ රන්දෝලියට උපදින දරුවාට යි. විමලධර්මසූරිය රජුගේ රන්දෝලිය වූයේ ආර්ය සිංහල කුල කුමරියක් නො වේ. මධුරා පුරයෙන් ආනයනය කළ බිසවකි. එනමුත්, රටවැසියා සැනසීමට මෙන් යකඩ දෝලිය වූයේ ආර්ය සිංහල වංශක්කාර බිසවකි. විමලධර්මසූරිය රජුගේ යකඩ දෝලිය ද මවක් වූ නමුත්, රන්දෝලියගේ පුත‍්‍රයා නිසා දකුණු ඉන්දීය මධුරා පුරයේ මවකගේ පුත‍්‍රයෙකු වූ නරේන්ද්‍රසිංහ සිංහාසනාරූඪ විය.

1707 දී ආරම්භ වූ නරේන්ද්‍රසිංහ යුගයේ කිසිදු උපසම්පදා භික්ෂූන් වහන්සේනමක් වාසය කළේ නැත. වෘද්ධ භික්ෂූන් පවා සාමණේරයන් වූ අතර ගණින්නාන්සේලා නම් වූ ඇතැම් ශාසනික අවශ්‍යතා ඉටු කළ නමුත් පැවිද්දක් හෝ ශ‍්‍රමණ ප‍්‍රතිපදාවක් නැති අමුතු ම වර්ගයේ පිරිසක් ද එ් අතර වූහ. නරේන්ද්‍රසිංහ රජු අක්ෂර ශාස්ත‍්‍රය උගත්තේ සූරියගොඩ රාජසුන්දර නම් වූ ගණින්නාන්සේ වෙතිනි. (උන් වහන්සේ පිළිබඳ ඇතැම් තැනක සූරියගොඩ සාමණේරතැන නමින් ද සඳහන් වේ). එනමුත් රජු බුදු දහම පිළිබඳ අල්පශ‍්‍රැතයෙකු වීය. ඊටත් වඩා ඔහුට බුදු දහම පිළිබඳ ඕනෑකමක් තිබුණේ ද නැත. උපන් දේශයටත්, බුදු සසුනටත් කිසිදු ළෙංගතුකමක් නො දැක්වූ ඔහු විනෝදකාමී දිවියක් ප‍්‍රිය කළේ ය. එමෙන් ම, දෙවන විමලධර්මසූරිය රජුගේ අවසරයෙන් ලක්දෙරණේ තම මිෂනාරිය යහමින් කරගෙන ගිය කතෝලික පූජකවරුන්ගේ බලපෑම නිසා දෝ, නරේන්ද්‍රසිංහයන් වැඩි වැඩියෙන් පෙළඹුනේ බටහිර පන්නයේ මිතුරන් ඇසුරු කිරීමට ය. ජේකම් ගොන්සාල්වේස් නම් රෝමානු කතෝලික පාදිලිතැන ඔහුගේ අග‍්‍ර පුරෝහිතයෙකු බඳු විය. පේද්‍රෝ දි ගැස්කන් නම් වූ පෘතුගීසි ජාතිකයා ඔහුගේ සමීපතම සගයෙකු විය. දස්කොන් රාළ නමින් ද ඔහු ප‍්‍රසිද්ධ ය. දස්කොන් රාළ කෙතරම් රජුට සමීප ද යත්, පසු ව ඔහු මහාදිකාරම් පදවියක් ද ලැබී ය.

නරේන්ද්‍රසිංහ ඉතා බොළඳ ය. බේබදු ය. විනෝදකාමී ය. සල්ලාල ය. මේ නිසා ම, ලන්දේසීන් විසින් ඔහු විස්කි බෝතලයෙන් නහවා ලන්දේසි නෞකා හරහා ආනයනය කළ විදේශීය බිසෝවරුන්ගේ පහසින් අන්ධ කොට දැමී ය. එපමණක් ද නොව, බටහිර සම්භවයක් ඇති සුරතල් බල්ලන් පූසන් ද ඔහු වෙත තෑගි කළෝ ය. මේ සියල්ල සක්විති ප‍්‍රසාද මෙන් පිළිගත් නරේන්ද්‍රසිංහයන්ගේ සල්ලාල ජීවිතය දඩමීමා කර ගත්, ඔහුගේ බිසෝවරුන් සමඟින් පැමිණි මධුරා පුරයේ දමිළයන් ද අනිසි ලෙස කන්ද උඩරට රාජ්‍යයට අත පෙවීමට පටන් ගත්හ.

නරේන්ද්‍රසිංහයන් රජ කරවීමට දිවා රෑ තිස්සේ කෙස් රැවුල් පූට්ටු වන සේ සැලසුම් සකස් කළ නිලමක්කාරවරුන්ට පවා ඔහු එපා වී යන්නට වැඩි කලක් ගත වූයේ නැත. ඔහුගේ පාලනය ඇරඹී දෙවසරක් ගත වූ තැන, ඔහු මරවා තම පියාගේ යකඩ දෝලියගේ පුත‍්‍රයා රජ කරවන්නට ගත් තැතක් ව්‍යර්ථ වීම නිසා නරේන්ද්‍රසිංහ විසින් දේශ හිතෛෂි නිලමක්කාරවරු කිහිප දෙනෙක් ම හිසගසා මරා දමන ලදී.

මේ සිදුවීම් ද හේතු කොට ගෙන, සිංහලයන් සමඟ තවදුරටත් උරණ වූ රජතුමා ගොන්සාල්වේස් වැනි පාදිලිවරුන්ගෙන් උපදෙස් ගෙන රාජ්‍ය විචාරීමට පෙළඹිණ. උඩරට කතෝලික දහම පැතිරවීමට බොහෝ ආධාර උපකාර කළ නරේන්ද්‍රසිංහයන් රජ මාළිගය අසළ ගොන්සාල්වේස් හට පල්ලියක් තනා ගැනීමට ද අවසරය ලබා දුන්හ. එමෙන් ම, බුදු දහමට පහර ගසා ගොන්සාල්වේස් විසින් ලියූ පොත් සඳහා ආශීර්වාද ලබා දීමත්, දස්කොන් රාළගේ උපදෙස් පරිදි ‘බුද්ධ බණ ප‍්‍රත්‍යක්ෂය’ ආදි පොත් පත් හරහා සිදු කළ බෞද්ධ විරෝධී මතවාදීමය ව්‍යාපාරයත් නිසා සිංහලයේ බෞද්ධ බලය සලිත වී ගියේ ය.

ලක් දෙරණේ කතෝලික දහම පැතිරවීම සඳහා ජෝසප් වාස් පාදිලිතුමා සිදුකළ ව්‍යාපාරයේ සාර්ථක ම අනුප‍්‍රාප්තිකයා වූ ගොන්සාල්වේස් පාදිලිතැන විසින් තම අභිමතාර්ථ සමෘද්ධිමත් කරගනිද්දී රාජ්‍ය විරෝධි කැරළි තව තවත් උත්සන්න විය. ගොන්සාල්වේස් පාදිලිතැනගේ ඉලක්කයන් අවස්ථා කිහිපයක දී ම බොඳ වූයේ සරණංකර සාමණේර තැන සමඟින් රජු ඇතැම් අවස්ථාවල සුහද ව කටයුතු කිරීම නිසා ය. එය හුදෙක් ම සිංහලයන් සන්සිඳවීමට මිස ශ‍්‍රද්ධාවකින් සිදු වූවක් නො වේ. එනමුත්, එක් අවස්ථාවක ගොන්සාල්වේස් විසින් සරණංකර සාමණේරයන් හට වස පෙවීමට පවා සැලසුම් කළේ ය. එය ව්‍යර්ථ වී ඊට ගොන්සාල්වේස් සම්බන්ධ බව හෙළිදරව් වු අතර කෙටිකාලීන දඬුවමකින් පසු නැවත කන්ද උඩරට පදිංචි වී නරේන්ද්‍රසිංහගේ ආශීර්වාද මධ්‍යයේ පෙර සේ ම ආගම ව්‍යාප්ත කරගෙන ගියේ ය.

සරණංකර සාමණේරයන් පිළිබඳ ව නො දත් ශාසනමාමකයෙකු නැති තරම් ය. සරණංකර සංඝරාජ මා හිමි නමින් වත්මනේ මහත් ඉහළින් බුහුමන් කරන, සිල්වත් ගුණවත්, මහා පින් ඇති උන් වහන්සේ, එ් වන විට ලක් දෙරණෙන් අතුරුදහන් ව පැවති උපසම්පදාව සියම් දේශයෙන් නැවත රැුගෙන එ්මට බෙහෙවින් වෙහෙස මහන්සි වූ සංඝ පීතෘවරයෙකි. උන් වහන්සේ කොයි තරම් මේ සඳහා වෙහෙස මහන්සි වී ද යත්, එ් සඳහා රාජ්‍ය කාල දෙකක් ම බලා සිටීමට සිදු විය.

නරේන්ද්‍රසිංහයන් වෙතින් බොහෝ වාර ගණන්වල ඉල්ලීම් කරමින් ලක් දෙරණේ භික්ෂු සංඝයාගේ පැවැත්ම උදෙසා උපසම්පදාව සියමෙන් ගෙන එ්මට උත්සාහ දැරුව ද රජු විසින් එය තැකීමකට ලක් නො කළහ. එය ද රජු විසින් සිදු කළ ද්‍රෝහී ක‍්‍රියාවකි. සරණංකර සාමණේරයන් රජුට හිතවත් ව වාසය කළේ බුදු සසුන රැකගැනීම උදෙසා වන අත්‍යාවශ්‍ය අංගයක් වූ භික්ෂු සංඝයා නැවත බිහි කිරීම උදෙසා ය. එ් රජුට පක්ෂපාතී ලන්දේසීන්ගේ නෞකා ආධාරයෙන් එම කටයුත්ත පහසුවෙන් ම කළ හැකි ව තිබූ නිසා ය. එනමුත්, ගොන්සාල්වේස්ගේ බලපෑම නිසා හෝ රජුගේ වූ ශාසන විරෝධී අදහස් නිසා හෝ එ් අභිප‍්‍රාය අවසන් මොහොත දක්වා ම මල්ඵල ගැන්වුනේ නැත.

බුදු සසුනේ චිර පැවැත්මට අඩිතාලම නො දැමූ, සිංහලයේ අවසන් රජු යැයි සුප‍්‍රසිද්ධ නරේන්ද්‍රසිංහයන් අවසානයේ දී තම ලේ ධාතුවට ද ද්‍රෝහී විය. රජුගේ ලෙයින් ඉපදුණු රන්දෝලියගේ පුත‍්‍රයා හෝ ඇයට දරුවන් නැති නම්, යකඩ දෝලියගේ පුත‍්‍රයාට සිංහාසනය ලැබීමේ සිංහලයේ රාජ පරම්පරාවේ පෙර සිරිත භ‍්‍රෂ්ට කර දමමින්, සිංහලයන් කෙරෙහි තිබූ කෝන්තරය පිරිමසා ගනිමින් අමුතු ම රාජාඥාවක් පනවන ලදී. එය අප දන්නා තරමින් ලෝක ඉතිහාසයේ කිසිදු රාජ පරම්පරාවක දැකිය නො හැකි, සිංහලයේ ම සිදු වූ තවත් අරුමයකි.

එනම්, ‘රජුගෙන් පසු රජුගේ මස්සිනාට රජකම ලැබිය යුතු ය’ යන නීතිය යි. රජුගේ මස්සිනා යනු කිසිසේත් ම රජුගේ ලේ පරපුර නො වේ. මධුරා පුරයේ බිසෝවලියකින් යුතු කන්ද උඩරට රාජ පරම්පරාවට අනුව නම්, රජුගේ මස්සිනා යනු මධුරා බිසවගේ සොයුරා ය. එනම්, තවත් මධුරා පුර වැසියෙකි. සිංහල වැසියෙකු ද නො වේ. රජු විසින් දැන දැන ම, මේ සිදු කළේ සිංහල රාජ පරම්පරාව පාවා දී සිංහලය නිල වශයෙන් ම දකුණු ඉන්දියාවට ලියා දීම නො වේ ද! 1815ට පෙර, ඊට ආසන්නයේ සිදු වූ බරපතළ ම පාවාදීම මෙය යි. මේ පාවාදීම නිසා පෘතුගීසින්ට අන්ත පරාජයක් අත්පත් කර දුන් රාජසිංහ වැනි සිංහල ලේ ඇති රජවරුන්ගේ පෙළපත ඉංග‍්‍රීසි පාලන කාලයේ දී වඳ වී තිබුණු නිසා, දේශය අරාජික ව ගියේ ය. විටින් විට ඉස්මතු වූ රජවරුන් කෙරෙහි රට තුළ ම ඇති වූ විරෝධ නිසා ලක් දෙරණේ ස්වදේශීය පාලනය ඉංග‍්‍රීසි දංගෙඩියට පහසුවෙන් ම සිර වී යාමට වගකිවයුත්තේ නරේන්ද්‍රසිංහයන්ගේ ක‍්‍රියා කලාපය යි.

නරේන්ද්‍රසිංහ රජුගේ රන්දෝලියට දරුවන් නො සිිටි නිසා එම තීරණය ගත්තා නම්, ඔහුගේ යකඩ දෝලියගේ පුත‍්‍රයාට රජකම ලැබීමට ඉඩකඩ සැලසිය යුතු වේ. එනමුත් සිදු වූයේ අනෙකකි. රන්දෝලියගේ සොයුරා රජකම පිණිස සූදානම් කරවන ලදී. එ් සඳහා ඔහු ව සරණංකර සාමණේරතැන වෙත භාර දී අකුරු ඉගෙනුමට යොමු කළේ බුදු සසුන කෙරෙහි උපන් ශ‍්‍රද්ධාවකින් නො වේ. අනාගතයේ දී කුමාරයා රටවැසියන්ට ඉදිරිපත් කිරීමේ දී ඔහු සරණංකර සාමණේරයන්ගේ ශිෂ්‍යයෙකු යැයි පෙන්වීම උදෙසා ය. රජුගේ මේ කූට උපාය සඳහා දැන හෝ නො දැන උපකාර කිරීමට සරණංකර සාමණේරයන්ට සිදු විය. උපසම්පදාව ලබා ගැනීම පිණිස රාජ හිතෛෂී වී සිටි සරණංකර සාමණේරයන් බළලා කර ගත් රජතුමා රන්දෝලියගේ සොයුරා නම් වූ කොස් ඇටය සාර්ථක ලෙස බාගත්තේ ය.

සිංහලයේ අවසන් රජු වූ, දෙවන විමලධර්මසූරිය නම් සිංහල රජුගේ රන්දෝලියගේ පුත‍්‍රයා 1739 දී 33 වසරක රාජ්‍ය පාලනය නිමා කොට මිය ගියේ ය. ඔහුගේ මිය යෑම සිංහල වැසියන්ට අමුත්තක් නො වුණත්, එ් වන විටත් ජීවතුන් අතර සිටි ගොන්සාල්වේස් පාදිලි තැනටත් – රෝමානු කතෝලිකයන්ටත් බරපතළ වේදනාවක් විය. එ් සමඟ ම රජුගේ බිසවගේ සොයුරා වන නායක්කාර් වංශික කුමරා ‘ශ‍්‍රී විජය රාජසිංහ’ නමින් සිංහාසනාරූඪ විය. නරේන්ද්‍රසිංහයන් සිතු සේ ම, සරණංකර සාමණේරයන්ගේ සම්බන්ධය නිසා විජය රාජසිංහයන් වෙත නැෙඟමින් ආ සියලූ විරෝධයන් අළු යට ගිනි පුපුරු මෙන් ඉස්මතු නො වී යටපත් වී ගියේ ය.
විජය රාජසිංහයන්ගේ පදවිප‍්‍රාප්තියෙන් පසු, කන්ද උඩරට ද්‍රවිඩ බස කතා කරන අමාත්‍යවරුන් පත් වන්නට විය. එ් අතර සිංහල බෞද්ධ නිලමේවරුන් සිටිය ද ඔවුන් ද එකිනෙකාට ඊර්ෂ්‍යාවෙන් කල් ගෙවූ නිසා සමඟියක් නො වී ය. අවසානයේ වාසිය වූයේ නායක්කාර්වරුන්ට යි. විජය රාජසිංහයන් නායක්කාර් කුමරියක විවාහ කර ගැනීමත් සමඟ ම මේ තාක් තනි අතක් ව තිබීමෙන් නිහඬව තිබූ නායක්කාර් බලය අත් දෙක ම එකතු වීමෙන් උපදින අත්පොළසනක් මෙන් කටු කොහොල් ඉවත දමා කරලියට පැමිණියේ ය.

බිසෝවරුන් සමඟ පැමිණි දමිළ ජාතිකයන් සිය ගණනින් කන්ද උඩරට පදිංචි විය. අඳුරු වලාවේ රිදී රේඛාව මෙන් නායක්කාර්වරු ශිව භක්තිකයන් වුව ද, රජ පැමිණි විගස බුදු දහම වැළඳගත්හ. විජය රාජසිංහයන්ගෙන් ද ඔහුගේ අනුප‍්‍රාප්තික රජවරුන්ගෙන් ද ඇතැම් විට බුදු සසුනට සැලකිය යුතු සේවයක් ද සිදු වූ අවස්ථා නැත්තේ ම නැත. නමුත්. අඳුරු වලාවේ රිදී රේඛාව ක්ෂණයෙන් අතුරුදහන් වන්නා සේ, නැවත නැවතත් ඉස්මතු වූයේ මධුරා පුරවරයේ හින්දු සිරිත් විරිත් සහ පූජා මාලාවන් ය.

1747 දී පරලෝකප‍්‍රාප්ත වූ විජය රාජසිංහ රජුගෙන් පසු නරේන්ද්‍රසිංහ විසින් බිහි කළ ගූඨනීතිප‍්‍රකාර ව විජය රාජසිංහයන්ගේ බිසවගේ සොයුරා වූ, එනම් තම මස්සිනා වන කීර්ති ශ‍්‍රී රාජසිංහයන් රජ බවට පත් විය. බුදු දහම ද වැළඳ ගත්, ශිව ආගම ද ඇදහූ, නළලේ අළු තවරාගත් අභිනව රජතුමා 1779 දක්වා රාජ්‍ය පාලනය කළ අතර අසෙකු පිටින් වැටී හදිසියේ ම අභාවප‍්‍රාප්ත විය. රජුගේ හදිසි වියෝව නිසා, රජ පැමිණියේ ඔහුගේ සොයුරු රාජාධිරාජසිංහ යි. ඔහුත්, කීර්ති ශ‍්‍රී රාජසිංහ මෙන් ම සිංහල ලේ ධාතුවක් නොමැති, නායක්කාර් රජෙකි.

පෙරදිග ඉංග‍්‍රීසි බලය ඉස්මතු වීම නිසා එකල ලක් දෙරණ මුහුදුබඩ පෙදෙස්හි තම අණසක පතුරවමින් සිටි ලන්දේසීන් මුහුදුබඩ පළාත් අතහැර මුළු රට ම රාජාධිරාජසිංහ රජු හට පවරා දී පිටත් ව යාමට සූදානම් ව සිටියහ. නමුත්, ශිව භක්තිකයන් වූ කීර්ති ශ‍්‍රී රාජසිංහයන් හා රාජාධිරාජසිංහයන් කෙරෙහි දැඩි කණස්සල්ලකින් පසු වූ අදිකාරම්වරු කිහිප දෙනෙක් ලන්දේසීන්ට හිතවත් ව සිටි නිසා ඔවුන් ඊට ඉඩ නො තැබූහ. එසේ වූවා නම්, එ් තාක් කන්ද උඩරටට සීමා වී තිබූ නායක්කාර් වංශික පාලනය මුළු රටට ම පැතිර යන්නට ඉඩ තිබිණ. එසේ වූවා නම් සමස්ත ලක් දෙරණ ම අද ඉන්දීය ප‍්‍රාන්තයකි. එමෙන් ම, එදා නායක්කාර් රජෙක් නොමැති ව සිංහල රජෙක් සිටියා නම්, අදිකාරම්වරුන්ගේ ද උදව් ඇති ව ලන්දේසීන්ගෙන් රට මුදවාගෙන 1815ට පෙර නැවත සිංහල බෞද්ධ රාජ්‍යය එක්සේසත් වීමට ඉඩ තිබිණ. එසේ වූවා නම්, ඉංග‍්‍රීසීන්ට යන එන මං නැති වනු පමණක් නො වේ; අදටත් තායිලන්තයේ මෙන්, සිංහල රජ පෙළපතක් දැකිය හැකි වනු ඇත. නමුත්, නරේන්ද්‍රසිංහ විසින් කළ ද්‍රෝහී ක‍්‍රියාව නිසා, එදා රාජාධිරාජසිංහයන්ට අදිකාරම්වරු විරුද්ධ විය. නායක්කාර්වරු යටතේ ලක් දෙරණ එක්සේසත් වීමට ඔවුහු විරුද්ධ වූහ. නමුත් යහපතක් සිදු නො වුණි. සිදු වූයේ කබලෙන් ලිපට වැටීමට ය.

එ් අනුව, 1796 දී ඉංග‍්‍රීසීන් විසින් ලන්දේසීන් පලවා හැර මුහුදුබඩ පළාත් අත්පත් කර ගත්හ. ඉන් හරියට ම දෙවසරකට පසු එනම්, 1798 දී රාජාධිරාජසිංහ පරලෝකප‍්‍රාප්ත විය. එ් වන විට පැවති නව රජු පත් වීමේ සිරිතට අනුව මුත්තුසාමි කුමාරයාට රජකම ලැබිය යුතු ව තිබුණත්, හිතාමතා ම මස්සිනාට රජකම යන ක‍්‍රමය වළක්වමින් පිළිමතලව්වේ මහාදිකාරම්ගේ ද සහය ඇති ව මිය ගිය රජුගේ දෙවන බිසවගේ සොයුරියගේ පුත‍්‍රයා වූ කන්නසාමි කුමරා රජු බවට පත් කර වී ය. මහා සම්මත රජ පෙළපතක් හිතා මතා ම අතුරුදහන් කරවීමේ විපාකයට මුහුණ දෙමින් රජ පෙළපතට කිසිදු ලේ නෑකමක් නැති, කනින් කොණින් අල්ලාගත් කුමාරයෙකු රජ කරවීමට සිදු වීම මොනතරම් අවාසනාවක් ද!

කන්නසාමි කුමරා ‘ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ’ නමින් රජ වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

තවත් නායක්කාර් වංශික රජෙකු වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ පිළිමතලව්වේ හිතූ ආකාරයේ රූකඩයක් නො වී ය. රජ වූ පසු තමාට පාලනය කර ගත නො හැකි බව තේරුම් ගත් මහාදිකාරම්තුමා රජුට එරෙහි වී යම් යම් කටයුතු සිදු කරන්නට පටන් ගත්හ. මින් උදහස් වූ රජු විසින්, රදළ බලයට එරෙහිව ගත් ක‍්‍රියාමාර්ග නිසා කුපිත වූ පිළිමතලව්වේ ඉංග‍්‍රීසින් හා හිතවත් වී සිංහල රජු පහකරන්නට උපකාර පැතී ය. නමුත්, එකල ඉංග‍්‍රීසි පාලනය මෙහෙයවූ ලංකා ආණ්ඩුකාර නෝත් විසින් ප‍්‍රථමයෙන් එය නො සලකා හැරී ය. නමුත් කල් යල් බලා පිළිමතලව්වේ ගෙන්වා ඊට පූර්ණ සහයෝගය ලබා දුන් ඔහු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ බලයෙන් පහ කොට පිළිමතලව්වේ රජ කරවීමට පොරොන්දු විය. සිංහලයේ රාජකීය ලේ ධාතුව අතුරුදහන් කරවීම නිසා සිදු වූ අවසන් විපාකය නම්, උඩරට රදල වංශික නිලමේවරු සිංහාසනය ලබා ගැනීමට පෙළඹීම යි. මේ හේතුවෙන් සිදුවිය යුතු අවසන් විනාශයටත් පිඹුරු පත් ඇඳිණ.

තමාට එරෙහි ව කැරලි ගැසී යැයි දෙවතාවක් ම ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් පිළිමතලව්වේට අවවාද කරන ලදී. දෙවතාවක් ම සමාව ලැබුණ ද අත්නොහැර සිදු කළ රාජ විරෝධී කටයුතු නිසා 1811 දී පිළිමතලව්වේ මහාදිකාරම් රජුගේ නියමයෙන් මරා දමන ලදී. පිළිමතලව්වේගේ මරණයෙන් පසු ඔහුගේ කටයුත්තට අතගැසුවේ ඔහුගේ බෑණනුවන් වන ඇහැළේපොල අදිකාරම් ය. ඔහු පිළිමතලව්වේට වඩා දක්ෂ, කාර්යශූර අයෙකි. එනමුත් පිළිමතලව්වේට ඇති නෑකම නිසා දෝ, රජු ඇහැළේපොල ගැන නිරන්තර අවධානයෙන් සිටියේ ය.

අවසානයේ තමාට විරුද්ධව ඇති වූ සබරගමු කැරැුල්ලට ඇහැළේපොලගේ දායකත්වය පිළිබඳ සැලවීමෙන් උදහස් වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු, අමිහිරිතම රාජකීය දඬුවම් රැසක් ඉතිහාසගත කරමින් ඇහැළේපොලගේ පවුලේ සාමාජිකයන් මරා දමන ලදී. ඇහැළේපොල කුමාරිහාමිත්, දරු තිදෙනාත් ජීවිතයෙන් වන්දි ගෙව්වේ නායක්කාර් විරෝධයේ වක‍්‍ර ප‍්‍රතිඵලයක් වශයෙනි. එපමණක් නො වේ. උඩරට රදල නායකයන් කිහිප දෙනෙක් ද සංඝයා වහන්සේලා දෙනමක් ද ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ අතින් එ් කාලය තුළ දී මරණයට පත් විය.

1815 පෙබරවාරි 18 වැනි දා මැදමහනුවර පල්ලැහැවත්ත බෝමුරේ ආරච්චිගේ නිවසේ බිසෝවරුන් සමඟ සැඟවී සිටිය දී ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ ඉංග‍්‍රීසීන් විසින් අල්ලා ගන්නා ලදී. එ් සඳහා ඉංග‍්‍රීසීන්ට කත් ඇද්දේ නායක්කාර් විරෝධී රදලයන් වන එක්නැලිගොඩ නිලමේ, දොළොස්වල මොහොට්ටාල සහ මහවලතැන්න මොහොට්ටාල යනාදීන් ය. සිංහල රදල නිලමේවරුන් සමඟ එහි පැමිණි දහසක පමණ සිංහල රට වැසියෝ ක්‍රෝධයෙන් යුතු ව ශ‍්‍රී වික‍්‍රම රාජසිංහයන් ඌරෙකු මෙන් ඇදගෙනවිත් මුහුණට කෙළ ගසා සුද්දන්ගේ දෙපා ඉදිරියේ ඇද දැමූහ. එදා ඉංග‍්‍රීසින්ට පාවා දුන්නේ ද්‍රවිඩ ජාතික කන්නසාමි වුවත්, නාමික ව හෝ අවසන් වරට රජ කළ අපේ රජතුමා බව ඔවුන්ට අමතක වූයේ, පරම්පරා ගණනක් තිස්සේ පැවති නායක්කාර් විරෝධයත් – නිලමක්කාරවරුන්ගේ බල අරගලයත් නිසා බව ඕනෑ ම කෙනෙකුට පැහැදිලි ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ සිදු කළ බිහිසුණු දඬුවම් ආදිය මිනිසුන්ගේ තීරණය ඉක්මන් කර වී ය.

ජෝසප් වාස්, ගොන්සාල්වේස්, දස්කොන් රාළ, ලැනරෝල් වැනි රෝමානු කතෝලිකයන්ගේ ඉත්තෙකු වූ සිංහල බෞද්ධ විරෝධී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් සිදුකරන ලද සිංහලේ රාජකීය ලේ ධාතුව පාවා දීමේ මහා ද්‍රෝහිකමේ බරපතළ ම විපාකය උරුම වූයේ රටවැසියන්ට යි.

එ් අනුව, 1815 මාර්තු මස 2 වැනි දින සිදු වූ කන්ද උඩරට ගිවිසුමත් සමඟින් නිල වශයෙන් ම, කන්ද උඩරට, කෝට්ටේ, සීතාවක, රයිගම, යාපනය, වන්නි යන සියලූ ප‍්‍රදේශ සහිත ව සමස්ත දිවයින ම ඉංග‍්‍රීසි ආණ්ඩුවට ලියා දෙන ලදී. එදා සිට මේ රට හැඳින්වූයේ ‘බි‍්‍රටිෂ් සිලෝන්’ යන නමිනි. ‘‘බි‍්‍රතාන්‍ය රැජින සදා සුරැකේවා..!” යන තේමාවෙන් ලියැවුනු ගීයක් අපගේ ජාතික ගීය බවට පත් විය. සිංහ ධජය වෙනුවට බි‍්‍රතාන්‍ය ධජය එසැවිණ. මුළු මහත් දිවයින ම බි‍්‍රතාන්‍යයේත්, ඉංගී‍්‍රසින්ගේත් යටත් විජිතයක් බවට පත් විය. 1739 දී පරලෝකප‍්‍රාප්ත වූ වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ දේශද්‍රෝහී තීරණයෙන් සියවසක් යාමටත් පෙරාතුව ලක් දෙරණ අප හට අහිමි විය. බුදු සසුනටත්, ජය සිරි මහා බෝ සමිඳුන්ටත්, තුන් වරක් ම පිදූ මේ උතුම් ලක් දෙරණට, සිංහලේ රාජ වංශය අහිමි කළ ද්‍රෝහිකමට එරෙහි ව, ලංකා ශාසනය භාර දේවතාවෝ ශාප නො කළා නම් එය පුදුමයකි. එනිසා උක්ත වරද සිදු කළ ජෝසප් වාස්, ගොන්සාල්වේස් වැන්නවුන් සරණ ගොස් සිටි නරේන්ද්‍රසිංහ රජුගේ ක‍්‍රියාව පුනරාවර්තනය නො වීමටත් – එවන් රජවරුන් නැවත බිහි නො කිරීමටත් – බිහි වී ඇත්නම් ඉවත් කිරීමටත් දෙවිවරුන් වගබලා ගනු ඇති බව අපගේ වැටහීම යි.

එදා, අනුරාධපුර රාජ්‍ය පාලන යුගයේ දී, රෝමයේ අධිරාජයා වූ ක්ලෝඩියස් සීසර් විසින් බි‍්‍රතාන්‍යය තම ග‍්‍රහණයට ගෙන, එහි රජකම් කළ කැරඩොක් සහ කැරැක්ටකක් නම් රජවරුන් සිර භාරයට ගෙන රෝමයට රැගෙන විත්, මහජනයා ඉදිරියේ යුධ පෙළපාලියේ රැගෙන යද්දී, සඳලූ තලයේ සිට මාවත දෙස බලා සිටි සීසර්ගේ දකුණු පසින් අසුන්ගෙන සිටියේ අනුරාධපුරයෙන් පිටත් ව ගිය සිංහල තානාපතිවරයා බව රෝම ඉතිහාසඥ ප්ලීනි විසින් වාර්තා කොට ඇත.

දෙදහස් වසරක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියූ අනුරාධපුරයෙන් ඇරඹි දෙවනපෑතිස්, ගාමණී අභය, සද්ධාතිස්ස, මහා පරාක‍්‍රමබාහු වැනි අභිමානවත් රජවරුන් බිහි කළ සිංහලයා එදා රෝම අධිරාජයාගෙන් අභිමන් ලබද්දී, බි‍්‍රතාන්‍යයෝ ඔවුන්ගේ සිරකරුවෝ වූහ. එ් බි‍්‍රතාන්‍යයට ම 1815 දී යටත් වී සිරකරුවෝ බවට පත් කළේ නාම මාත‍්‍රික ව හෝ ලක් දෙරණේ රජකම් කළ අවසන් රජතුමා සහ රාජකීය පිරිස ය. එ් සියල්ලට මුල් වුණේ උඩරට සිංහල රදල නිලමේවරු කිිහිප දෙනෙක් සහ සිංහලේ ම මිනිසුන් ය.

නමුත්, එ් අභිමානවත් ජාතිය ඉංග‍්‍රීසීන්ට පාවා දීම සඳහා අවශ්‍ය පසුබිම උදාවීම පිණිස, සිංහලේ රාජ වංශය අහිමි කළ වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා එදා දැන හෝ නො දැන, පිඹුරුපත් සකස් කළ බැවින් මේ අවසාන ඉරණමට අප මුහුණ දුන් බව පාඨකයාට පැහැදිලි ඇතැයි සිතමු.

අනුරාධපුර යුගයේ දී රෝම අධිරාජයා සමඟින් ඉංග‍්‍රීසි වහලූන්ගෙන් ආචාර ලැබූ සිංහලයා, එ් වහලූන්ගේ ම ආධිපත්‍යයට යට වීමේ දෛවයේ සරදමට මුහුණ දීමට සිදු වී වසර 200ක් සම්පූර්ණ වන 2015 වර්ෂය යි මේ..! සිංහලයෝ නම් කිසිදාක මෙම සංවත්සරය සතුටින් තබා දුකෙන්වත් සමරනු නැති බව අපගේ විශ්වාසය යි. එනමුත් මේ ගැන සතුටු විය හැකි අයට මෙය සිහිපත් වූවා නම්, එය මහ ඉහළින් සමරනු ඇත.
මේ අතරේ දෛවෝපගත සිදුවීම් කිහිපයක් සිහිපත් කරනු කැමැත්තෙමි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වූ රටවල් එක් ව බිහි කළ ‘පොදු රාජ්‍ය මණ්ඩලයේ’ සභාපතිත්වය උඩරට ගිවිසුමෙන් වසර 200ක් සම්පූර්ණ වන 2015 වසර වන විට උසුලන්නේ ශ‍්‍රී ලංකාව යි. එමෙන් ම, එදා වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ යුගයේ වාසය කළ ජේකම් ගොන්සාල්වේස්ගේ පෙර ගමන්කරු වූ ජෝසප් වාස් පාදිලිතුමා ශාන්තුවරයෙක් වශයෙන් ඔසවා තැබීමේ උත්සවය ද ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් ගාලූ මුවෙදාර දී සිදු වූයේ 2015 වසර ආරම්භයේ දී ම ය. මේ සියල්ල කල්යල් බලා උඩරට ගිවිසුමේ 200 වැනි සංවත්සරය නො නිල වශයෙන් සැමරීමට සිදු කළ දෙයක් යැයි පැවසීමට අපි හදිසි නොවෙමු. එනමුත්, එය අත්‍යන්තයෙන් ම සිංහලයන් මුහුණ දුන් දෛවෝපගත සිදුවීමක් බව නම්, කිව යුතු ව තිබේ.

එමෙන් ම, පසුගිය 2014 වසර අවසානයේ මුළු රට ම මුරුගසන් වරුසාවකින් දියබත් විය. කිසි දා නො සැලේ යයි සිතා සිටි මහා කඳු සහ කඳු පන්ති ද නාය ගොස් පොළොවට ම සමතලා විය. එ් සියල්ල නිමා වී 2015 වසර ආරම්භයේ දී පැහැදිලි අහසක් යට අලූත් යුගයක මුරුගසන් වැස්සට නො තෙමී නිදහස සැමරීමට වාසනාව උදා වී ඇත. ඉදින්, මේ වසරේ, පෙබරවාරි මස 4 වැනි දා ඉංග‍්‍රීසින්ගෙන් නිදහස් වීමේ දිනය සමරන මොහොතේ දී, සිරිලකට සාපයක් වූ අවසන් සිංහල රජතුමා යයි විරුදාවලි ලත්, වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ වැන්නවුන් සිහි කොට කිසිදා අමතක නොවන පාඩමක් ඉගෙන ගත යුතු ය. එ් ඉතිහාසය පුනරාවර්තනය නො වීම උදෙසා ය. එ් සඳහා වර්තමානයත්, අනාගතයත් ගැන සිතා වරක් නොව දෙවරක් මේ ලියූ සියල්ල කියවා බලන මෙන් ඉල්ලා සිටිමි.

තෙවරක් ම ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කළ අපගේ ලක් දෙරණ සදා කාලෙන් සදා කාලෙට බුද්ධ ශාසනයන්ට ම පූජා වේවා…!!!

තෙරුවන් සරණයි!

ආශ‍්‍රිත ග‍්‍රන්ථ –
ගොන්සාල්වේස් චරිතය, උඩරට විත්ති,
අපේ අන්තිම රජතුමා, උඩරට කැරැල්ල, සරණංකර සංඝරාජ සමය, සිංහලේ ජාතික සටන්

මහාමේඝ 2015 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන 
විශ්වනාත් දේවප්‍රිය