පින්වතුනේ, පින්වත් දරුවනේ,

එක්තරා අවස්ථාවක කොසොල් රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඒ ආවේ රාජ සීමාව තවත් පළල් කරගන්න පිරිසක් යවලා. රජතුමා මේ කාරණය බුදුරජාණන් වහන්සේට පැවසූ වෙලාවේ උන්වහන්සේ අහනවා,

‘‘රජතුමනි, ඔන්න හතර දිශාවෙන් ඔබට විශ්වාසවන්ත ඔත්තුකාරයෝ හතර දෙනෙක් එනවා. ඇවිල්ලා කියනවා ‘මහරජතුමනි, හරි වැඩේනේ… උතුරු දිශාවෙන් මහා විශාල ගල් පර්වතයක් රෝල් වෙවී එනවා…’ ඊළඟ එක්කෙනා ඇවිදින් කියනවා ‘නැගෙනහිරිනුත් පර්වතයක් පෙරලීගෙන එනවා…’ ඒ එක්කම බටහිරින් කෙනෙක් ඇවිල්ලා කියනවා ‘රජතුමනි, බටහිර දිශාවෙනුත් පර්වතයක් පෙරලීගෙන එනවා…’ දකුණින් තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා, ‘රජතුමනි, බේරෙන්න විදිහක් නෑ. දකුණිනුත් පර්වතයක් පෙරලීගෙන එනවා…’ කියලා. රජතුමනි, මේ විදිහට පණිවිඩ හතරක් ආවොත් ඔබ මොකද කරන්නේ..?”

‘‘භාග්‍යවතුන් වහන්ස, මට ඒ වෙලාවට කරන්න තියෙන්නේ ධර්මය සිහිකිරීමයි, ධර්මයේ හැසිරීමයි විතරයි.”

‘‘රජතුමනි, ඒ වගේම උපන් සත්වයාට ජරා මරණ දෙක තමයි තියෙන්නේ. වෙන මුකුත් නෑ.”

හැබැයි අන්තිමට රජතුමාට මැරෙන්න වුණෙත් මහපාරේ. සීත කාලයේ අම්බලමක දාසියෙකුගේ ඔඩොක්කුවේ තමයි මැරෙන්න වුණේ. ඉතින් මේ නිසා අපි මේ සංසාර ගමනක ඇවිදින් මනුස්ස ජීවිතයක් ලබාගෙන තියෙන සුළු කාලයේ මේ මනුස්ස ජීවිතය ගිලිහෙන්න කලින් අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ඇති පැහැදීම දියුණු කරගන්න ඕන.

අපට ලැබුණු දුර්ලභ දෙයක් තමයි සීලය. ඒ කියන්නේ යම් මනුස්සයෙක් සතුන් මැරීමෙන් වැළකිලා, සොරකම් කිරීමෙන් වැළකිලා, වැරදි කාමසේවනයෙන් වැළකිලා, බොරුවෙන් වැළකිලා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිලා ඉන්නවා කියලා කියන්නේ ඒ මනුස්සයාගේ ජීවිතය යහපත් කියන එකයි. ඔබ පසළොස්වක පොහොය දවසට ඒ සිල්වත්කම ඉහළ මට්ටමකට ගන්නවා. එදාට ඔබ සීලය සුරකින්නේ රහතන් වහන්සේලා අනුගමනය කොට.

නමුත් බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කරලා නෑ, බුදුරජාණන් වහන්සේලාව අනුගමනය කරන්න කියලා. දේශනා කරලා තියෙන්නේ පොහොය දවසට රහතන් වහන්සේලා අනුගමනය කරන්න කියලයි. මොකද, බුදුරජාණන් වහන්සේව අනුගමනය කරන්න බැරි බව උන්වහන්සේ දන්නවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේලා අනුගමනය කරන්න කියලයි. බුදුරජාණන් වහන්සේ ‘විශාකා උපෝසථ’ සූත‍්‍රයේ ඒ බව විශාකාවට දේශනා කළා.

ඒ ක‍්‍රමයට තමයි ඔබ අංග අටකින් යුක්ත වූ උපෝසථ සීලය සමාදන් වෙන්නේ. ඒ උපෝසථ සීලයේ විශේෂත්වය තමයි උපෝසථය සමාදන් වෙන වෙලාවට රහතන් වහන්සේලා සිහිකරනවා. ‘රහතන් වහන්සේලා සතුන් මැරීමෙන් වැළකී සිටියා. ඒ නිසා අද පොහොය දවසේ මමත් සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා. රහතන් වහන්සේලා සොරකම් කළේ නෑ. අද පොහොය දවසේ මමත් රහතන් වහන්සේලා සිහිකරගෙන සොරකමින් වැළකී සිටිනවා. රහතන් වහන්සේලා බ‍්‍රහ්මචාරීව වැඩ සිටියා. ඒ රහතන් වහන්සේලා අනුගමනය කොට මමත් අද පොහොය දවසේ බ‍්‍රහ්මචාරීව වාසය කරනවා. රහතන් වහන්සේලා බොරු කිව්වේ නෑ. ඒ නිසා මමත් රහතන් වහන්සේලා අනුගමනය කොට අද පුන් පොහෝ දවසේ බොරු කීමෙන් වැළකී සිටිනවා. රහතන් වහන්සේලා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළේ නෑ. ඒ නිසා මමත් රහතන් වහන්සේලා අනුගමනය කරලා අද මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ. රහතන් වහන්සේලා ඉර අවරට ගියාට පස්සේ ආහාර වැළඳුවේ නෑ. මමත් අද ඉර අවරට ගියාට පස්සේ ආහාර වළඳන්නේ නෑ.. රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු සෙන්ට් වර්ග, මල්, සුවඳ විලවුන් ආදිය පාවිච්චි කළේ නෑ. මමත් අද ඒ දේවල් පාවිච්චි කරන්නේ නෑ. රහතන් වහන්සේලා විකාර දේවල් නරඹන්න ගියේ නෑ. මමත් අද විකාර දේවල් නරඹන්න යන්නේ නෑ. රහතන් වහන්සේලා විසිතුරු වස්ත‍්‍රාභරණවලින් සැරසුණේ නෑ. මමත් අද දවසේ විසිතුරු වස්ත‍්‍රාභරණ වලින් සැරසෙන්නේ නෑ. රහතන් වහන්සේලා වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණය කළේ නෑ. මමත් අද වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණය කරන්නේ නෑ…’ කියලා උතුම් සීලයක හික්මෙනවා.

මේ විදිහට අපිත් උපෝසථ දවසට අටසිල් ආරක්ෂා කරන්න ඕන. අනෙකුත් සෑම දිනකම පංච ශීලය ආරක්ෂා කරගන්න ඕන. ශ‍්‍රද්ධාව ඇති කරගෙන සිල්වත් ජීවිතයක් ගත කරන කෙනාට පැහැදිලි ආරක්ෂාවක් තියෙනවා. ඔබත් ජීවිතයට අන්න ඒ ආරක්ෂාව ඇති කරගන්න ප‍්‍රමාද වෙන්න එපා!

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !