පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ මහා පරිලාහ කියන අපාය ගැන විස්තරයක් කරනවා. එ් අපාය තුළ ඇහැට දකින්නට ලැබෙනුයේ භයානක දර්ශන බවත්, කණට අසන්නට ලැබෙනුයේ භයානක අමිහිරි වූ ශබ්ද බවත්, කයට දැනෙනුයේ අතිශය පීඩාකාරී වූ රළු වූ වේදනා ගෙන දෙන පහස බවත් මේ හේතුවෙන් එහි සිටින කෙනෙකුට නිරන්තරයෙන් සිතට ඇතිවෙනුයේ අමිහිරි පීඩාකාරී කටුක සිතුවිලි බවත් උන්වහන්සේ විස්තර කරදෙනු ලබනවා. මෙහිදී එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් ‘‘භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මේ නිරය නම් මහා භයානක පීඩාකාරී වධ වේදනා ඇති එ්කාන්තයෙන්ම දුක් සහිත වූ නිරයක් නේද?” කියා විමසුවා. ‘‘මහණෙනි, එ් නිරයට වැඩිය බොහොම භයානක දෙයක් තියෙනවා. එනම් මනුෂ්‍යයා විසින් දුක ආර්ය සත්‍යයක් බව නොදැනීම. දුකට හේතුව ආර්ය සත්‍යයක් බව නොදැනීම. දුක නැතිකිරීම ආර්ය සත්‍යයක් බව නොදැනීම. දුක නැති කිරීමේ මාර්ගය ආර්ය සත්‍යයක් බව නොදැනීමයි.”

මේ නොදැනීම නිසා මනුෂ්‍යයන් භවය පිණිස, ජාති ජරා මරණ පිණිස සංස්කාරයන් එකතු කරනවා. ඔවුන් හැඬීම්, වැළපීම්, ශෝක කිරීම්, දුක්, දොම්නස් පිණිස හේතුවෙන සංස්කාරයන් රැස්කරනවා. එ් සංස්කාරයන් තුළ ඔවුන් ඇලෙනවා. එ් සංස්කාරයන් ආශාවෙන් රැස්කිරීම නිසා ඔවුන් ජාතිය නැමති දාහයෙන් දැවෙමින් යළි යළිත් උපදිනවා. එයින් ජරා, මරණ, ශෝක කිරීම්, හැඬීම්, වැළපීම්, දුක් දොම්නස් නැමති ගිනිවලින් නැවත නැවතත් දැවෙනවා. ඔවුන්ට කිසි දවසක මේ දුක් වලින් මිදෙන්නට ලැබෙන්නේ නැහැ. මිදෙන්න ලැබෙන්නේ නැති නිසා කවර කාලෙකවත් දුක් අවසන් කරන්නට ලැබෙන්නේ නැහැ.

යම් දවසක බුද්ධිමත් මනුෂ්‍යයා විසින් දුක, දුක හැටියටත්, දුක හටගන්නේ මේ හේතුව නිසා බවත්, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ ක‍්‍රියාමාර්ගය දුටුවේ නම් ඔහු ජාති, ජරා, මරණ, දුක්, දොම්නස් වලට හේතුවෙන සංස්කාරයන් තුළ නොඇලෙනු ඇත. එ් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම තුළින් මෙම ජීවිතය නිවැරදිව අවබෝධ කරගත් තැනැත්තෙකු වෙනු ඇත.

දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ පිඩුසිඟා වඩිද්දී ලිච්ඡවී කුමාරවරු යුද පුහුණුව ලබන අයුරු දුටුවා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි ආනන්ද ස්වාමීන් වහන්සේ තමන් දුටු දේ මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ හමුවේ විස්තර කරනවා. ‘‘ස්වාමීනි, මම දැක්කා ලිච්ඡවී කුමාරවරු බොහෝ ඈත ඉඳන් කුඩා සිදුරු තුළට හරියටම ඉලක්කයට විදිනවා. ඔවුන් ඉතා දක්‍ෂ ලෙසින් පුහුණු වෙලා.” ‘‘ආනන්දය, වඩා දුෂ්කර වන්නේ ලිච්ඡවී කුමාරවරුන්ගේ එ් විදීමද, නැතිනම් අශ්ව ලෝමයක් සියයකට පලා, එයට තවත් අශ්ව ලෝමයකින් විදීමද?” ‘‘ස්වාමීනි, සියයට පැලූ අශ්ව ලෝමයට විදීම බොහෝ අමාරුයි.” ‘‘ආනන්දය, ඊටත් වැඩි බොහොම අමාරු දෙයක් නම් චතුරාර්ය සත්‍යාවබෝධයයි.

මෙයින් පැහැදිලි වෙන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම පහසු කටයුත්තක් නොවන බවත්, එ් සඳහා ඉතා සියුම් ලෙස අපේ චින්තනය මෙහෙයවිය යුතු වන බවත්ය. බුදුරජාණන් වහන්සේ තවදුරටත් පහදා දෙනවා ‘‘මහණෙනි, මේ ලෝකයේ ඉරත් හඳත් දෙකම නැත්නම් එ් අඳුර මොකක්ද?” ‘‘භාග්‍යවතුන් වහන්ස, එසේ නම් එය මහා භයානක ඝන අන්ධකාරයක් වේවි.” ‘‘නැත මහණෙනි, ඊටත් වඩා භයානක වූ අඳුරක් තියෙනවා. යමෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ නොකරන්නේද, භයානකම අන්ධකාරය වෙන්නේ එයයි.”

එහෙම නම් මේ අන්ධාකාරයෙන් මිදෙන්නට චතුරාර්ය සත්‍ය අපේ ජීවිතයට ගලපාගෙන තිබිය යුතුයි. ආර්ය සත්‍යය නම් කවර කලෙකවත් වෙනස් නොවන්නා වූ සත්‍යයි. එ් වෙනස් වෙන්නේ නැති දුක පිළිබඳ සත්‍යය කෘතිම විදිහට නැතිකරන්න බැහැ. නැතිකළ හැකි වනුයේ එය අවබෝධ කිරීම තුළින්ම පමණයි.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !