ගෙවී ගිය වෙසක් අවුරුදු සමයේ සති අන්තයක සවස් වරුවේ අන්තර්ජාලයට ගොඩවැදුනේ විදේශගත මිතුරකු හා දොඩමළු වන නියාවෙනි. ඔහු තරමක් ප‍්‍රමාද වූ නිසාවෙන් මම අන්තර්ජාලයේ මඳක් සැරිසැරීමි. මා දුටු බොහෝ දෑ අතරින් කිහිපයක් මෙසේ සටහන් තබන්නට අවසරයි….

මැලේසියාවේ බෞද්ධ විහාර කඩා බිඳ දමයි. තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතයට වඩින්නේ හමුදා ආරක්ෂාව යටතේ ය. බංගලාදේශයේ බෞද්ධ පවුල් කපා කොටා සමූලඝාතනය කර තිබිණි. අනතුරුව දුටුවේ චීනයේ ජනාකීර්ණ නගරයක මාර්ගයේ ඉහලින් රඳවා තිබූ කැමරාවක සටහන් වූ ශෝචනීය දසුනකි. වයස අවුරුදු 3ක පමණ ගැහැණු දරුවකු පාර හරහා පැනීමේ දී වාහනයකට යට විය. නමුත් එයින් ඇය මිය ගියේ නැත. බොහෝ පිරිසක් එම දැරිවිය දෙස බලා අහක බල ගනිති. තම තමන්ගේ වැඩෙහි යෙදෙති. ගමන් යති. මේ අතර තවත් වාහනයක් පැමිණ එම අසරණිය නැවත යටකරගෙන ගියේ ය. ටයි-කෝට්, කලිසම් හැඳි නෝනා මහත්වරුන් අතර හුන් එක් කාරුණික මිනිස් ගැහැනියක් අවසන එම අහිංසකාවිය පාරෙන් ඉවත් කළා ය. ඈ මාර්ගය පවිත‍්‍ර කරනා කාන්තාවයි. නමුත් ඒ වන විට බොහෝ දේ සිදු වී හමාර ය.

තවත් එවැනි ම දසුනකි. මෙය මැදපෙරදිගට සබැඳි රාජ්‍යයකි. පාරේ දැඩි වාහන තදබදයකි. මොටර් බයිසිකලයක් අනතුරට පත් වී එහි රියැදුරුට දරුණු තුවාල සිදු වී ඇත. කිසිවකුත් ඔහුගේ උපකාරයට නො පැමිණෙයි. සියල්ලෝ ම නලාව හඬ නංවමින් ඔහු පසු කරමින් යයි. තවත් මහා කුරිරු දසුනක් දුටිමි. ඒ පිරිමි ළමුන් දෙදෙනෙකුට අමානෂික ලෙස පහර දී, තෙල් දමා පණ පිටින් පුළුස්සා දමන අයුරු ය.

හිතවත් පාඨකය, බොහෝ දෙනාගේ දැන ගැනීම පිණිස මෙසේ සටහන් තැබුවේ අප අවට ලෝකයේ තතු වලින් බිඳකි.

නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකාන්ත සත්‍යයකි. ඒ මිනිසා තිරිසනුන් මෙන් හැසිරෙනා කාලයට බොහෝ සෙයින් අපි ළංවී ඇත්තෙමු.

බුදු සසුනක් ජීවමානව පවතිනා යුගයක සිරිලක් දෙරණේ උපත ලැබීමට අප භාග්‍යවන්ත වී ඇත. බුදුන්, දහම්, සඟුන් සරණ ගිය, පවට ලැජ්ජා-බය ඇති සීමිත පිරිසක් හෝ තවමත් මෙහි සිටිනා නිසාවෙන් මේ රටේ මිනිස් ගුණ දම් යම් තරමකට හෝ සුරැකිව පවතී. නමුත් මෙකී ගුණ දහම් ශීඝ‍්‍රයෙන් සෝදාපාළුවට ලක්වෙමින් පවතිනා බව අපට හොඳාකාරව ම පෙනෙනා කාරණයකි.

වරද කාගේ ද? වගකියන්නේ කවුද? මෙතැන් සිට නුවණට ඉඩ දෙමු. හිතවත් පාඨකය, එසේ නම් අවසරයි….

බෞද්ධ උපතක් ලද බොහෝ දරුවන් කුඩා කල සිට ම ගමේ පන්සලේ දහම් පාසලට යති. මම ද පාසල් යන්නටත් කලින් ම දහම් පාසල් ගියා මට මතක ය. ඒ මගේ මව දහම් පාසල් ගුරුවරියක් වූ නිසාවෙනි. දහම් දැනුම තරගවලින් වැඩි ම ලකුණු ලැබුවේ මම ය. ‘අවිජ්ජා පච්චයා සංඛාරා… සංඛාර පච්චයා විඤ්ඤාණං…’ කියමින් පටිච්චසමුප්පාදය කටපාඩම් කළා මට මතක ය. එමෙන් ම ශාසන ඉතිහාසය හා බුද්ධ චරිතය ද මැනවින් කටපාඩම් කළෙමි. අප සැවොම මේ අයුරින්, අඩු-වැඩි ලෙසින් කුඩා කල සිට ම ධර්මය ඉගෙන ගත් පිරිසකි. නමුත්… උතුම් තෙරුවන පිළිබඳ උපන් ශ‍්‍රද්ධාවකින් හෝ දහම පිළිබඳ අල්පමාත‍්‍රික අවබෝධයකින් මේ කිසිවක් සිදුකළවුන් අප අතර බෙහෙතකට හෝ සිටියේ ද?

වසර දහතුනක් පුරාවට පාසැල් ගියෙමි. හැමදාමත් පාසැල අවසානයේ ඡත්ත මානවක ගාථා මන්ත‍්‍රයක් සේ ම මැතිරුවෙමි. අල්ප මාත‍්‍රික හෝ තේරුමක් නම් දැන උන්නේ නැත. අහෝ! අඩු ම තරමින් එම ගාථාවන්ගේ නියමාකාර තේරුමවත් දැනගන්නට ලැබුණේ නම් අපේ මිනිසුන් මීට වඩා බොහෝ සුන්දර පිරිසක් වනු නො අනුමාන ය. තවමත් එයට අප පමා නැත.

හිතවත් පාඨකය, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වීම අතිශයින් දුර්ලභ ය. මිනිසත් බවක් ලැබීම ද අතිශයින් දුර්ලභ ය. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අසන්නට ලැබීමත් අතිශයින් දුර්ලභ ය. අපට ඒ දුර්ලභ අවස්ථාවන් සියල්ල මුණ ගැසී ඇත. ඉතින් ඇයි තවත් පමා…?

”තෙරුවන් සරණ ගියොත් මහා පින් සිදු වෙනවා… සිල් රැක්කොත් දිව්‍යය ලෝකේ යනවා… අම්මා තාත්තාට සැලකුවාම පින් රැස් වෙනවා… මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වැඩුවොත් කුසල් රැස් වෙනවා… දන් දුන්නොත්, පින් කෙරුවොත් සැපය ලැබෙනවා… නුවණ මෙහෙයවලා මේ ධර්මය අවබෝධ කළොත් මේ සසරින් මිදෙනවා…” සියලූ දුකින් මිදීමට නිවැරදිව, පරිපූර්ණව මඟ කියනා වෙනත් කිසිදු යථාර්ථවාදී දහමක් ලොව නැත්තේ ම ය. උතුම් ත‍්‍රිපිටක පොත් වහන්සේ තුළ පවතින ශ්‍රී මුඛ බුද්ධ දේශනාවන්හි සඳහන් වන්නේ රාගයෙන් මිදෙන අයුරු ය. ද්වේෂයෙන් මිදෙන අයුරු ය. මෝහයෙන් මිදෙන අයුරු ය. ඉපදීමෙන්, ජරාවෙන්, ලෙඩවීමෙන්, මරණයෙන්, ශෝක වීමෙන්, සුසුම් හෙලීමෙන් මිදෙන අයුරු ය. ශ‍්‍රී ලාංකික වීමෙනුත්, බෞද්ධ වීමෙනුත් අප ලද භාග්‍යය එයයි.

දුකත්, දුකේ හට ගැනීමත්, දුක නැති කිරීම ගැනත්, දුක නැති කරන මාර්ගය ගැනත් මේ ආකාරයෙන් පැහැදිලි ව පිරිසිදු ව දේශනා කළ තවත් ශාස්තෘවරයකු තුන් ලෝකයේ ම නැත. බුදුරජාණන් වහන්සේ හැරුණුකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, පටිච්චසමුප්පාද ධර්මයත් දේශනා කළ, සියලූ ලෝකයන් විනිවිද දුටු වෙනත් උතුමකු තුන් ලොවේ ම නැත. උපතින් බෞද්ධ වුව ද, කුඩා කාලයේ සිට දහම් පාසල් ගිය ද ඔබේ නුවණට ඔබ ඉඩ නො දුනහොත් ඔබට අත්වන්නේ අයහපත ම ය. උතුම් තෙරුවන් සරණ ගැන අවබෝධයෙන් දැන ගෙන, අවබෝධයෙන් ම තෙරුවන් සරණ යමු. අනවබෝධී බෞද්ධයන්ගෙන් යුතු ශ‍්‍රී ලංකාව ද තවත් මැලේසියාවක්, තායිලන්තයක් හෝ බංගලාදේශයක් වන කාලය මහා දුරක නම් නො වේ. මවට පුතා සමඟ හිඳිනට නො හැකි, දුවට තාත්තා සමඟ හිඳිනට නො හැකි, තරුණියකට මහමඟ යන්නට බැරි, බල්ලන් බළලූන් මෙන් හැසිරෙනා, සතෙක් සතෙක් කියමින් එකිනෙකා ගහ මරා ගන්නා කාලය බොහෝ දුරක නම් නො වෙයි.

උතුම් කල්‍යාණ මිත‍්‍රයන් ද පහළ වී ඇති මෙවන් වාසනාවන්ත යුගයක, උතුම් කල්‍යාණ ධර්මය මුණ ගැසුණු යුගයක, කළ යුත්ත කල් යවමින්, නො කළ යුතු දේ කරමින් නිකරුණේ කාලය අපතේ හැරීමට තරම් අපි අනුවණ දුබලයන් වෙමු ද? තමාට අයිති නැති වස්තුන් කෙරෙහි මම, මගේ ලෙස ගෙන මුලාවෙන් බැඳී යාම අත්හරිමු. අපට අයිති නැති මේ ඇස ගැන, කන ගැන, නාසය ගැන පංචඋපාදානස්කන්ධය ගැන යථාර්ථය නුවණින් දකින්නට උත්සහයක් හෝ ගනිමු. ලෝකයේ බොහෝ අයහපත් දේ වෙයි. යහපත අති දුලබ ය. හනි හනික උතුම් ශ‍්‍රී සද්ධර්මය හදවතින් ම දරා ගනිමු. කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේ දේශනා කරන්නේ උතුම් ශ‍්‍රී සද්ධර්මය යි. කල්‍යාණ මිත‍්‍රයන් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් කරන අවවාද අනුශාසනා ඒ අයුරින් ම අපි පිළිගනිමු. දරාගනිමු. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න උත්සාහයක් හෝ ගනිමු. ඔබ සැමට සදා සැනසිල්ලක් ම වේවා!

සටහන
චාමර ධනංජය ජයවික‍්‍රම