highlights of the week
Home » Archives » මන බඳිනා සිරුරක් පැතූ ඇය…!

මන බඳිනා සිරුරක් පැතූ ඇය…!

ලෙඩ වීම උරුම කරගෙන ඇති උපතක් ලැබූ ඔබ අප සියල්ලෝ ම උපතත් – මරණයත් අතර ගෙවී යන කෙටි ජීවිත කාලය තුළ නොයෙක් වාර ගණනින් රෝග පීඩාවන්වල ගොදුරු බවට පත් වී තිබෙනවා නො වේ ද? ඇඟ මඳක් උණුසුම් වන විට, කය විඩාවට පත් වන විට, ශාරීරික වේදනා ඇති වන විට අපේ සමීපතමයන් බෙහෙත් ගන්න යැයි කියා අපව යොමු කරන්නේ ද අපට බෙහෙත් වුවමනා වන්නේ ද නිරෝගිකම අපේක්ෂාවෙනි.

කයේ දුබල බව මත ලෙඩ රෝග වැළඳීමේ ප‍්‍රවණතාවය වැඩි බව වෛද්‍ය මතයයි. කය පමණක් නො වේ; සිතත් එසේ ම ය. ඇතැමෙකුට අල්පමාත‍්‍රයක හෝ චිත්ත පීඩාවක් ගෙන නො දෙන දෙය තවත් කෙනෙකුගේ සිතට මහමෙරක් වන්නේ අට ලෝ දහමින් කම්පා නො වන ප‍්‍රබල චිත්ත ශක්තියක් සියලූ දෙනාට නැති නිසා ය.

පසුගිය මහාමේඝයෙන් අපට හමු වූ නදීකා පාසල තුළත්, නිවස තුළත් සමච්චලයට, කොන් කිරීමට ලක් වීම නිසාවෙන් සමාජයෙන් මුළුගැන්වුණු අයෙකි. ඇය සිත නිවන පොත පත කියවන්නට ලැබීමෙන් සියලූ මානසික පීඩාවන්ගෙන් නිදහස්ව නො බියව සමාජය තුළ ඉදිරියට ආ කාන්තාවකි. ඇයට නො හැකිව තිබුණේ බාහිරින් එන පීඩනයට මුහුණ දීමේ ක‍්‍රමයක් සකසා ගැනීමයි. අවසානයේ ඇය එ් ක‍්‍රමය හඳුනාගත්තා ය, පුරුදු පුහුණු කළා ය, පීඩනයෙන් ගැලවී ගියා ය.

මෙවර අපට මුණගැසෙන සමන්ති ඊට හාත්පසින් ම වෙනස් කථාවක් කියන්නී ය. ඇගේ කථාව සැලෙන, චපල ගති ඇති මේ සිත සෘජු කරගැනීමෙහි ලා සත්‍ය ප‍්‍රකාශිත සුභාෂිත ශ්‍රී සද්ධර්මය මහානීය අයුරින් උපකාර කරන අයුරු පසක් කර දෙයි. මේ ඇගේ කථාවයි…

*******************************************

මම සමන්ති. මානසික රෝගයකින් මා පෙළෙන බව සොයා ගැණුනේ 2002 ඔක්තෝබර් 8 වැනි දින යි. එවිට මගේ වයස අවුරුදු 15 යි. එ් කුඩා වයසේ දීත් මගේ සිහිනය වුණේ සිහින්, කාමුක, ආකර්ෂණීය සිරුරක් ලෙසින් මගේ කය තිබෙනු දැකීමට යි. එ් අරමුණ මගේ සිත රෝගී කරවීමට තරම් බලවත් තත්ත්වයට මා පත් කරගත්තේ නො දැනුවත්කම නිසා ම යි.

මසිත රෝගී බව සොයා ගත් දින පටන් එ් සදහා මම ප‍්‍රතිකාර ගත්තා. 2003 ජනවාරි දක්වා මම විශේෂඥ වෛද්‍යවරියක්ව හමු වීමට ගියා. මට මං ගැන ම ලොකු දුකක් සහ කම්පාවක් වගේ ම ආහාර අනුභවයට ලොකු බියක් දැනෙන්නට වුණා. මගේ වෛද්‍යවරිය විශාල උත්සාහයක් ගත්තා මට හැම දෙයක් ම තේරුම් කරවීමට.

රාත‍්‍රී ආහාර වේල ගැනීම කීප විටක් ම මට අතපසු වූ නිසා මගේ වෛද්‍යවරිය මට දහවල් කෑම සඳහා දිනපතා පාසැලේ සිට නිවසට යන ලෙස අවවාද කළා. යම් විදියකින් මට ආහාර ගැනීම අතපසු වුවහොත් නැවත පාසැල් නො එන ලෙසට ඇය මට අවවාද කළා. එ් නිසා ම සෑම දහවල් කෑම වේලක් ම මට අභියෝගයක් බවට පත් වුණා.

2003 පෙබරවාරි වන විට මගේ ආහාර ගැනීමේ රටාව නැවත යථා තත්ත්වයට පත් වී තිබණා. නමුත් මගේ ශරිරය මහත් වී තිබුණු බැවින් එ් දුටු මා යළිත් ආහාර වර්ජනය කරන්නට තීරණය කළා. ඉන් පසු මම ඉතා ම කුඩා සරල ආහාරයක් පමණක් ගැනීමට හුරු වුණා. මේ අසාමාන්‍ය මහත් වීම නිසා මගේ මනස දැඩි ලෙස පීඩාවටත්, දුකටත් පත් වුණා. එ් නිසා ම යි මම ආහාර පාලනය කළේ. මම ආහාර පාලනය කළත් මගේ සිතේ සිටින යුවතියගේ සිරුර මා තුළින් දැකීම සිහිනයක් ලෙසින් ම බොඳ වී තිබුණා. මේ සියල්ල සිදුවුණේ වෛද්‍ය උපදෙස් අනුව ආහාර ගැනීම නිසා බවයි මා කල්පනා කළේ.

ඉන්පසු මම වෛද්‍යවරිය ව හමු වීමට යාමට පවා මැලි වුණා. මුලින් නිතර ම ඇය හමු වීමට ගියත්, එ් වන විට සති කිහිපයකට වරක් පමණක් යන තත්ත්වයට එ් ගමන සීමා වී තිබුණා. අවසානයේ ආහාර දැකීම පවා බියජනක දෙයක් බවට පත්වුණා. මා හට නිරන්තරයෙන් ම අවශ්‍ය වූයේ සිහින්, මනා හැඩයකින් යුත් ශරීරයක්. නමුත් මගේ සිරුර කුඩා ආහාරයකින් පවා බොහෝ මහත් වන බවයි මට හැඟුනේ. අවසානයේ දී, ආහාර නො ගැනීම නිසා දුර්වල වූ මාගේ ජීවිතය රැකගැනීම පිණිස මාපියන් විසින් මා රෝහල්ගත කළා.

රෝහලේ ගත කළ මුල් දින 10 ඇතුළත මගේ බර තවත් අඩු වී තිබුණා. මා ආහාර ගැනීම ප‍්‍රතික්ෂේප කළ නිසා මා පෝෂණය කිරීම පිණිස රෝහලේ වෛද්‍යවරුන් මාගේ නාසයෙන් බටයක් දැමීමට තීරණය කළා. එයට මා අකමැති වුවහොත් කිසි දිනක මා කැමති නොවන වාට්ටුවකට යවන බව තරයේ ම ඔවුන් පැවසුවා. බියපත් වූ මා බටයක ආධාරයෙන් ආහාර දීමේ කටයුත්තට එකඟ වුණා.

මේ ආකාරයෙන් මාස 9 ක කාලයක් ම බටයක ආධාරයෙන් ආහාර ගැනීමට මා හට සිදු වුණා. අවසාන සති කිහිපය තුළ එම බටය ඉවත් කළහොත් සාමාන්‍ය පරිදි ආහාර ගන්නා බවට මා විටින් විට පැවසූ බැවින්, වෛද්‍යවරුන් එ් සඳහා අවසර ලබා දුන්නා. ඉන්පසු රෝහලේ ම සිටිමින් සාමාන්‍ය ලෙස ආහාර ගනිමින් ව්‍යායාම් කිහිපයකට යොමු වුවත්, තවමත් ශරීරයේ හැඩය සහ සාමාන්‍ය තරබාරු බව පිළිබඳව මා පසු වූයේ බලවත් ශෝකයකින්.

සති කිහිපයකින් මා හට නැවත නිවසට යාමට හැකි වුණා. එනමුත් දිනපතා ගත යුතු බේත් වේල් සහ ව්‍යායාම් රැසක් මා හට නිර්දේශ වී තිබුණා. එ් සියල්ල අකුරට සිදු නො වුණහොත් නැවතත් රෝහලේ නැවතීමට සිදුවේවි යැයි නිවැසියන් පැවසූ නිසා, කෙසේ හෝ වෛද්‍ය උපදෙස් පිළිපැදීමට මා තීරණය කළා. එනමුත් මා තවමත් අවලස්සන තරබාරුකමකින් යුක්ත යැයි සිතමින් සිටීම නිසා ජීවිතය ම නීරස වී ගියා.

මේ ආකාරයට මාස ගණනාවක් ගත වී ගියා. තව තවත් මගේ බර වැඩි වුණා මිස අඩු වූයේ නෑ. මම මට ම වෛර කළා. 2004 දී රෝහලෙන් පිට වූ දවසේ පටන් මේ වන විට කොපමණ ව්‍යායාම කළත් මගේ බර කිලෝ 10කින් වැඩි වී තිබුණා. එය මගේ මානසිකත්වය අවුලෙන් අවුලට පත් කළා.

අඛණ්ඩ ව්‍යායාමවල ප‍්‍රතිපලයක් වශයෙන් 2005 පෙබරවාරි මාසය වන විට කිලෝ 7ක් බර අඩුකරගත හැකිවුණා. ඉන්පසු මගේ ජීවිතයේ වෙනසක් ඇතිකරවමින් මා හට සුළු රැකියාවක් ලැබුණා. එ් අයිස්ක‍්‍රීම් කම්හලකයි. එහි වෙහෙස මහන්සි වී සිදුකළ යුතු කටයුතු කිහිපයක් මා හට පැවරී තිබුණා. සැබැවින් ම මගේ ජීවිතය ගැන මා සිතන ආකාරය වෙනස් වූයේ මේ රැකියාව නිසයි. ඔව්…! මම එ් සියල්ල ඔබට පවසන්නම්…

එ් වෙසක් පුන් පොහෝ දිනයක්. අයිස්ක‍්‍රීම් කම්හලෙන් දන්සලක් සංවිධානය කොට තිබුණා. එ් අයිස්ක‍්‍රීම් දන්සල පැවැත්වුණේ කොළඹ සුප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණ ශාලාවක. එහි වෙසක් වැඩසටහනක් පැවැත්වුණා. සැබැවින් ම එය එක්තරා ආකාරයක භාවනා වැඩසටහනක් වැනි දෙයක් බව මම තේරුම් ගත්තා. දහස් ගණනක සිල්ගත් පිරිසක් එහි පැමිණ සිටියා. එ් සියලූ දෙනා සාවධාන ව අසා සිටි ධර්ම දේශනාවකට මා ද ඕනැකමින් සවන් දී සිටියේ දන්සලේ කටයුතු ආරම්භ වීමට තව බොහෝ වේලා තිබූ නිසයි.

ධර්ම දේශනාව කළ ස්වාමීන් වහන්සේ දේශනා කළේ බෝසතාණන් වහන්සේගේ දුෂ්කරක‍්‍රියාව පිළිබදව යි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ වසර 6ක් ම මහ වනයේ දුක් විඳි ආකාරය පිළිබඳ ව මැවි මැවී පේන අයුරින් ස්වාමීන් වහන්සේ විසින් එ් සිදුවීම් සියල්ල මැනවින් විස්තර කළා. එ් සියලූ දුක් දරාගෙන තාපස ජීවිතයේ පවතින සියලූ වෘතයන් ආරක්ෂා කළ ආකාරය…. එ් සියල්ල සිදු කළේ තමාගේත්, අන්‍යන්ගේත් නිර්වාණය පිණිස බවත් පින්වත් ස්වාමීන් වහන්සේ පැවසුවා.

රාජමාළිගාවේ ඇතිතරම් ආහාර පාන තිබිය දී විමුක්තිය පිණිස තාපස වෘතයක් සම්පුර්ණ කිරීමට ශරීරය කෘෂ වෙන්නට දුන් බවත් ඇතැම් අවස්ථාවල දුර්වල සිරුර මහ පොළොවේ ඇද වැටුණු බවත් පවසද්දී මගේ දෙනෙත් කඳුළින් තෙත් වී ගියා. සැබැවින් ම එ් දේශනාව පුරාවට මගේ ම අත්දෙක, මගේ ම ශරීරය දෙස මා කී පාරක් බැලූවා දැයි මා දන්නේ නෑ. එ් තරම් ම මා මගේ සිරුර දෙස බලමින් සිහිපත් කළේ මා කෘෂ වීමට තීරණය කළ අරමුණ සහ බෝසතාණන් වහන්සේගේ ආහාර අත්හැරීමේ අරමුණ අතර ඇති වෙනස පිළිබඳව යි.

මට අවශ්‍ය වුණේ ලස්සනක්. හැඩයක්. හොද ආකර්ෂණීය පෙනුමක්. කාමුක අඟපසඟ. එ් වෙනුවෙන් තමයි මා ආහාර පාලනය කළේ. ඇත්තෙන් ම එ් සියල්ලේ අවසාන ඉලක්කය වුණේ තරුණ පිරිමින් මා වෙතට ආකර්ෂණය කරගැනීමත්, ලස්සන තරුණයෙක් විවාහ කරගැනීිමත් පමණයි. මට ලැබෙන්නේ එපමණයි. ඉන්පසු මගේ ශරීරය සාමාන්‍ය පරිදි වියපත් වෙලා මිය ගිහින් පොළොවට පස් වෙනවා.

එනමුත් බෝසතාණන් වහන්සේ…! තමා සතු සුන්දර සිරුර පවා අත්හැර සසර දුකෙන් එතෙර වන මාර්ගය සොයා යාම පිණිස යි ආහාර පාලනය කළේ. අවසානයේ සම්මා සම්බුද්ධත්වයට පවා පත් වුණා. අද උන් වහන්සේ නැතත් එ් සිරුරේ කොටස් දාස් ගණනින් රැස් වී වන්දනා කරනවා. එ් සියල්ලත් පූජනීයත්වයට පත්වෙලා.

මට ඇතිවුණේ මා ගැන ම ලැජ්ජාවක්. අන් අය සතුටු කිරීම වෙනුවෙන් මා මගේ ශරීරයට කොතරම් නම් දුක් දුන්නාදැයි මා කල්පනා කළා. මාගේ සියලූ ගැටලූවලට විසඳුම එදා ශ‍්‍රවණය කළ වදන් තුළ තිබුණා. මා එ් දේශකයාණන් වහන්සේ සොයා යාමට තීරණය කළේ ඉන්පසුව යි.

දින කිහිපයකින් උන් වහන්සේ වැඩ වසන සෙනසුන සොයාගැනීමට මා හට හැකි වුණා. නමුත්, එදින උන් වහන්සේ එහි වැඩ සිටියේ නෑ. අවසානයේ දී මගේ ගැටලූව සාකච්ඡා කළ හැකි ස්වාමීන් වහන්සේනමක් හමු වීමේ භාග්‍යය උදා වුණා.

උන් වහන්සේ මා හට ඉතාමත් ම වටිනා කරුණු රැසක් කියා දුන්නා. ආහාර ප‍්‍රත්‍යවේක්ෂාව ගැනත්, ශරීරයේ අස්ථිර භාවය ගැනත්, මිනිස් ජීවිතයේ ප‍්‍රධාන ඉලක්කය විය යුත්තේ පිනත් කුසලයත් රැස්කිරීම බවත් උන් වහන්සේ මා හට කියා දුන් කරුණු අතර ප‍්‍රධානයි. එ් සියලූ දහම් කරුණු මා ලියාගත්තා. හොඳින් දරාගත්තා. පිළිවෙළින් ජීවිතයට එකතු කරගත්තා.

මේ වන විට එ් සියල්ල, වසර ගණනාවක් තිස්සේ මා පුරුදු පුහුණු කරමින් සිටින්නේ. ඇත්තෙන් ම මම මේ වචන ටික කියන්නෙ පුදුමාකාර සතුටකින්. මගේ හිතට පුදුම නිදහසක් දැනෙන්නේ. මම දැන් මගේ ශරීරය ගැන දුක් වෙන්නෙ නෑ. ශරීරය රෝගී නො වන පරිදි, නූපන් ආබාධ නූපදින පරිදි, උපන් ආබාධ සන්සිඳෙන පරිදි දැන් මාගේ ආහාරය මම ගන්නේ බොහොම සතුටින්. ඇඟේලස්සන ගැන හිතන්නෙ නැති වුණත්, ශරීරය අවලස්සනයි කියා දැන් මට සිතිවිල්ලක්වත් ඇති වන්නේ නෑ. මා ලද ශරීර හැඩය පිළිබඳව මා දැන් බොහෝ තෘප්තිමත්. අන් අය කුමක් සිතුවත් මා දැන් එය නො සලකා හරින්න දක්ෂයි… ශරීරයක් තියෙන්නේ අනුන්ගේ ඇස පිනවන්න නො වන බව මා තේරුම් ගත් මොහොතේ සිට මගේ සිත නිදහස් වෙන්න පටන් ගත්තා.

සැබැවින් ම මගේ සිත සුවපත් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය යි. අද මා නීරෝගීව සිටීම වෙනුවෙන් මා ශාස්තෘන් වහන්සේට ණයගැතියි. මා හට එ් වෙනුවෙන් කළ හැක්කේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝ්ධ කිරීම පමණයි. එ් වෙනුවෙන් මා හැකි සෑම උත්සාහයක් ම ගන්නවා.

ඔබත් කිසි දිනක ඔබේ ශරීරය ගැන දුක් වෙන්න එපා. උපතේ දී ලද ශරීරය ඔබ ම පෙර දිවියේ කළ කර්මයන්ට අනුවයි සැකසුනේ. එ් නිසා ලද සිරුරෙන් සෑහීමට පත් වී, ලද මිනිස් ජීවිතයේ වටිනාකම ගැන සිතා හැකි තරම් පින් කරන්න. කුසල් වඩන්න. උතුම් වූ තෙරුවන් සරණ යමින් ධර්මයේ හැසිරෙන්න. එසේ කළහොත් ඔබට කිසි දා වරදින්නේ නැහැ…

සමන්තිගේ කතාව තුළ ඇගේ ප‍්‍රශ්නයත්, ඇය ලද පිළිතුරත් ගැබ් ව තිබුණා. සමන්ති විසින් නිතර භාවිත කිරීම පිණිස ප‍්‍රත්‍යවේක්ෂාවක් ඉගෙන ගෙන තිබුණා. අන්න එ් ප‍්‍රත්‍යවේක්ෂාව ඔබේත් යහපත පිණිස අපි මේ ලිපියේ අවසානයේ දී සටහන් කරන්නම්.

ඇත්තෙන් ම, ආහාර ගන්නේ ඇයි කියා එ් ආහාර ප‍්‍රත්‍යවේක්ෂාව අපිට කියා දෙනවා. ප‍්‍රත්‍යවේක්ෂාවට අනුව අපි හිතන්නේ ජීවිතය පවත්වාගැනීම ගැනයි. නිදුක් ව නීරෝගිව සිටීම ගැනයි. කර්මානුරූප ව තරබාරු සිරුරක් හෝ කොපමණ ආහාර ගත්තත් මහත් නො වන කෘෂ සිරුරක් අපිට උරුම වී තිබුණත්, අපි ප‍්‍රමුඛතාවය දියයුත්තේ ජීවිතය රැකගැනීම හා නිදුකින් සිටීම වෙනුවෙනුයි.

එය තමා තමාට සිදු කරන මෛත‍්‍රි සහගත කාය කර්මයක්. තමන්ගේ කයට දුක් දී කය රෝගී වීමට ඉඩ දී කයේ හැඩය නඩත්තු කරන්නේ නම්, කයට දුක් දී කය ලස්සන කරන්නේ නම්, එය කිසි සේත් ම මෛත‍්‍රී සහගත කාය කර්මයක් වන්නේ නැහැ.

එ් නිසා රස තෘෂ්ණාව පාලනය කරගනිමින්, සුදුසු සහ තම සිරුරට ගැළපෙන ආහාර පමණක් යහමින් ගනිමින් ප‍්‍රත්‍යවේක්ෂාව සපුරන අයුරුත්, තමා තමාට මෛත‍්‍රී කරන අයුරුත් ඉගෙනගෙන පුරුදු පුහුණු කිරීමෙන් සමන්ති සුවපත් වූවා සේ ම… මෙවන් ගැටලූවලින් පීඩා විඳින ඔබ සැමටත් සදා සැනසිල්ල උදා කරගත හැකියි.

ආහාර ප‍්‍රත්‍යවේක්ෂාව

‘‘පටිසංඛා යෝනිසෝ ආහාරං ආහාරෙයි්‍යාසි. නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදේව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ‍්‍රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වේදනං පටිහංඛාමි, නවඤ්ච වේදනං න උප්පාදෙස්සාමි, යාත‍්‍රා ච මේ භවිස්සති අනවජ්ජතා ච ඵාසු විහාරෝ චා’ති.”

සිංහල තේරුම –
‘‘නුවණින් ප‍්‍රත්‍යවේක්ෂා කොට ආහාර ගන්න. මේ ආහාරය ජවය පිණිස නො වෙයි; මදය පිණිස නො වෙයි; මත් වීම පිණිස නො වෙයි; ඇඟපත සැරසීමට නො වෙයි; අඩු තැන් පුරවා ගැනීමට නො වෙයි; මේ ශරීරයේ පැවැත්ම පිණිස විතරයි. යැපීම පිණිස විතරයි. වෙහෙස සන්සිඳවා ගන්න විතරයි. බඹසර ජීවිතයට රුකුල් දීම පිණිස විතරයි. මේ අයුරින් පැරණි බඩගිනි වේදනා මං බැහැර කරනවා. අලූතින් බඩගිනි වේදනාවක් උපදවන්නේ නෑ. මගේ ජීවිතය නිවැරදි ලෙස පහසුවෙන් පවත්වාගෙන යනවා.”

තෙරුවන් සරණයි!

මෙහි සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිතයි

සැකසුම
විශ්වනාත් දේවප‍්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ගෙවත්තක් වගා කරමු – බිම් සැකසීම සහ ජල කළමනාකරණය

බිම් සැකැස්මේ දී සලකා බැලිය යුතු වැදගත් ම සාධකය නම් ජල කළමනාකරණය යි. ඉඩමේ ස්වභාවය අනුව ජල කළමනාකරණ සැලැස්ම වෙනස් කර ගත යුතු ය.