01) පින්වත් ස්වාමීන් වහන්ස, වෙනත් වැඩක නිරත වෙමින් දහම් වැඩසටහන්වලට සවන්දීම සුදුසු ද?

භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් හදමඬලේ උපන්, සිරි සම්බුදු මුවමඬලින් දේශනා කොට වදාළ ඒ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය අප ශ්‍රවණය කළ යුත්තේ ධර්ම ගෞරවයෙන් යුතුවයි. භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කොට වදාළේ (අට්ඨිකත්වා) හොඳින් අවධානය යොමු කරගෙන, (මනසිකත්වා) හොඳට මනස යොමු කරලා, (සබ්බචේතසෝ සමන්නාහරිත්වා) මුළු හිත ම යොමු කරගෙන, (ඕහිතසෝතෝ ධම්මං සුණාති) සවන් යොමු කරගෙන, ධර්මය අසන්න කියායි. එමෙන් ම “සුස්සූසති” නම් සූත්‍ර දේශනාවේ දී ධර්මය අසද්දී ඇතිකර ගත යුතු කරුණු 6ක් පෙන්වා දී තිබෙනවා.

1. සුස්සූසති – තථාගතයන් වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගත් ඤාණයෙන් යුතුව දේශනා කළ මේ සද්ධර්මය වනාහි කුමක් ද? යයි අසා දැන ගැනීමේ බලවත් ආශාවක් තිබිය යුතු ය.
2. සෝතං ඕදහති – සද්ධර්මයට සවන් දෙන වේලෙහි බාහිර දේ නො සිතා සද්ධර්මයට මනාව සවන් යොමුකර සිටිය යුතු ය.
3. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති – ‘මම ද මේ සද්ධර්මය අවබෝධ කර ගනිමි’ යි තරයේ සිතට ගෙන සවන්දිය යුතු වේ.
4. අත්ථං ගණ්හාති – තමන් සවන් දෙන සද්ධර්මයේ අර්ථ මනා කොට වටහාගත යුතු ය.
5. අනත්ථං රිඤ්චති – සද්ධර්මයට සවන්දෙන අතරේ මතුවන කරුණු වැරදි ලෙස වටහා ගනිමින් අනවශ්‍ය ගැටලු උපදවා ගනී ද එබඳු කරුණු අත්හළ යුතු ය.
6. අනුලෝමිකාය ඛන්තියා සමන්නාගතෝ හෝති – සද්ධර්මය අවබෝධ කරගැනීම පිණිස යළි යළිත් තමා තුළින් ම විමසා බැලිය යුතු වේ.

මෙම කරුණුවලින් යුක්තව, ධර්මය ශ්‍රවණය අර්ථවත් කර ගැනීමට නම් ධර්ම ගෞරවයෙන් යුතුව එයට කැපවිය යුතු ය. වෙනත් කටයුත්තක නිරත වෙමින් අර්ථවත් ලෙස ධර්ම ශ්‍රවණයක් සිදුකර ගත නො හැකි බව ඒ අනුව ඉතා පැහැදිලි ය.

02) පින්වත් ස්වාමීන් වහන්ස, ජීවිතයේ නැවත නිවැරදි කළ නො හැකි වැරදිවලින් හටගත් පසුතැවීම නැතිකර ගත හැකි ද? කියා කරුණාවෙන් පහදා දෙන්න.

අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට නිවැරදි කළ නො හැකි වැරදි ඇත්තේ පහක් පමණි. එනම් මව මැරීම, පියා මැරීම, සංඝ භේදය, රහතුන් ඝාතනය, බුදුරජුන්ගේ ලේ දුෂ්ට සිතින් සෙලවීම යන ආනන්තරීය පාප කර්ම පහයි. යම් කෙනෙකු අතින් එම පංචානන්තරීය පාප කර්ම 5න් එකක් සිදුවුණෝතින් ඊ ළඟ ජීවිතයේ දී නිරයේ ඉපදී කල්පයක් දුක්විපාක විඳීමට සිදුවේ. නිවැරදි කළ නො හැකි වරදවල් යයි දැක්වූයේ එබැවිනි.

නමුත් එම වැරදි පහ හැර අනෙකුත් ඕනෑම වරදක්, වරද වරද වශයෙන් දැක, යළි නොකිරීම පිණිස ආයතිසංවරයෙහි පිහිටා නිවැරදි විය හැකියි. එම වැරදිවලින් අත්මිදී, පින් රැස්කර, කුසල් වඩා, යහපත සෙතසුව සලසාගත හැකියි. එය සිදුකර ගත හැක්කේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළිනි. අංගුලිමාල වැනි දහස් ගණනක් මිනිසුන් මැරූවෙකු ශාන්ත දාන්ත අරහත් මුනිවරයෙකු බවට පත්වූයේත්, ගණිකා වෘත්තියේ යෙදී සිටි අම්බපාලිය, රහත් මුනිවරියක් බවට පත්වූයේත් තථාගත දහමේ අනුහසිනි. ධර්මයේ සඳහන් වන්නේ,

“යෝ ච පුබ්බේ පමජ්ජිත්වා – පච්ඡා සෝ නප්පමජ්ජති
සෝ ඉමං ලෝකං පභාසේති – අබ්භා මුත්තෝ’ව චන්දිමා”

යමෙක් කලින් ප්‍රමාදී ව වාසය කොට (අකුසල් සිදුකොට) පසුව නොපමා වෙයි ද (අකුසලයෙන් මිදී කුසල් වඩයි ද) වලාකුළින් මිදුණු සඳ සේ ඔහු මෙලොව එළිය කරයි” යන්නයි. එම නිසා අප කවුරුත් කළ යුතු වන්නේ අතීත වැරදි ගැන පසුතැවීම නොව, වර්තමානයත්, අනාගතයත් යහපත් කර ගැනීම ම යි.

03) පින්වත් ස්වාමීන් වහන්ස, සමහර පරිගණක ක්‍රීඩාවල දී (යුද මෙහෙයුම් තේමා කර ගත් ඒවා) මිනිසුන් ඝාතනය සිදු වේ. මෙහි දී කර්මය රැස් වෙන්නේ කෙසේ ද? මනුෂ්‍ය ඝාතන පාපකර්මය ඉන් සිදු වේ ද?

ප්‍රාණඝාතයක් සිදුවීම පිණිස පහත අංග සම්පූර්ණ විය යුතු බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

1) පණ ඇති සත්වයෙක් වීම. (පාණෝ)
2) පණ ඇති සත්වයෙක් බව දැනීම (පාණසඤ්ඤී)
3) මරණ චේතනාව හෙවත් වධක චිත්තය (මරණඅධිප්පායස්ස)
4) මැරීම පිණිස උපක්‍රමයක් කිරීම
5) ඒ හේතුවෙන් මරණයට පත්වීම.

පරිගණක ක්‍රීඩාවල දී ඝාතනය කිරීම් තුළ ඉහත අංග සම්පූර්ණ නොවන නිසා ප්‍රාණඝාත අකුසලයක් සිදු නො වේ. එනමුත් ද්වේෂය නමැති අපායගාමී අකුසල් මූලය වර්ධනය වීමත්, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක බලවත් වීමත් සිදුවී තම ජීවිතයට එය ඉතාමත් අහිතකර ලෙස බලපෑ හැකියි. මෑතක දී පාතාල කල්ලිවලට සම්බන්ධ වූවන් සහ සංවිධානාත්මක දරුණු අපරාධ සිදු කළ පුද්ගලයින් ගැන එක්තරා සමීක්ෂණයක් සිදුකොට තිබේ. එහි දී හෙළි වී ඇත්තේ ඔවුන්ගෙන් බහුතරයක් කුඩා අවධියේ දී හිංසනික සිදුවීම් ඇතුළත් කාටූන් නැරඹීමටත්, ළමා අවධියේ සිට ම සටන් ජවනිකා ඇතුළත් ත්‍රාසජනක චිත්‍රපට නැරඹීමටත් හුරුවී සිටි අය බවයි. ඔවුන්ගේ මෙලොව ජීවිතය අඳුරු වීම පිණිසත්, පරලොව ජීවිත දුගතිගාමී වීම පිණිසත් එම කාටූන් නැරඹීම සහ ත්‍රාසජනක චිත්‍රපටි නැරඹීම ඍජු බලපෑමක් කර තිබේ. එම නිසා අකුසල් වර්ධනය වන, අයහපත් ප්‍රතිවිපාක උදාකර දෙන එවැනි පරිගණක ක්‍රීඩාවලින් වැළකී, එයට යොදන කාලය තමාටත් – අන් අයටත් යහපත පිණිස පවතින අර්ථවත් දෙයකට යොදාගැනීමයි බුද්ධිමත් කෙනෙකු විසින් සිදු කළ යුත්තේ.

04) පින්වත් ස්වාමීන් වහන්ස, බඹසර සිල් කියන්නේ මොනවා ද?

බඹසර සිල් සුරැකීම යනු සියලු ම ලිංගික කටයුතුවලින් වැළකී, (කාම සේවනය, ස්වයංවින්දනය, රාග සහිත ශාරීරික පිරිමැදීම් ආදිය) බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කිරීමයි. ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි උපසම්පදාව ලබන පින්වත් ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කළ යුත්තේ ඒ උතුම් පාරිශුද්ධ බ්‍රහ්මචාරී සීලය යි. ගිහි පින්වතුන්ට ද උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් මාසයකට දින 4ක් (උපෝසථ දිනවල දී) බඹසර සිල් සුරකින්නට භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාරා තිබෙනවා. එමෙන් ම කැමති කෙනෙකුට බ්‍රහ්මචාරී පංචසීලය සමාදන් වී එය දිවිය පුරා ම ආරක්ෂා කළ හැකියි. බුද්ධ කාලයේ වේසාලික උග්ග, හත්ථ ආලවක, චිත්ත ගෘහපති ආදි පින්වන්ත ශ්‍රාවකයන් එසේ බ්‍රහ්මචාරී පංච සීලය ආරක්ෂා කළා. එමෙන් ම කාශ්‍යප බුදුසසුනේ දී කිකී රජතුමාගේ පින්බර දියණියන් හත් දෙනා ම රජ කුමරියන් ව සිටියදීත් අවුරුදු 20000ක් පුරාවට දිවි ඇතිතෙක් බඹසර සිල් රැකගත්තා. ඔවුන් ගෞතම බුදු සසුනේ දී ඛේමා, උත්පලවණ්ණා, භද්‍රාකුණ්ඩලකේසී, පටාචාරා ආදි නිකෙලෙස් මුනිවරියන් බවට පත් වුණා. එම නිසා බ්‍රහ්මචාරී බව යනු මහත්ඵල – මහානිසංසදායී කුසලයක්.

05) පින්වත් ස්වාමීන් වහන්ස, මම 2017 උසස්පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටිමි. මගේ ගැටලුව වන්නේ තමාගේ කේන්දරයට අනුව ජීවිතයේ සියලු දේ සිදු වේ ද? ඒවා ධර්මයට අනුව උත්සාහ කිරීමෙන් වළක්වා ගත හැකි ද? පහදා දෙන්න.

සියල්ල ගැන සියලු දේ දන්නා සර්වඥතා ඤාණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේ, කේන්දර, සුබ නැකැත්, සුභ නිමිති ආදිය අර්ථ ශුන්‍ය නිස්සාර දේවල් ලෙස පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. හේතු – ඵල දහම මනාව විග්‍රහ කළ මහා තණ්හංසංඛය සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට තිබෙනවා. “පින්වත් මහණෙනි, සැබෑ ලෙස ම පවතින මේ පට්ච්ච සමුප්පාදයේ පැවැත්ම, හේතු – ඵල දහම ඒ ආකාරයෙන් ම දන්නවා නම්, මේ මිනිසුන් අන්‍ය ආගමික බ්‍රාහ්මණයන්ගේ හිස් නිස්සාර අර්ථ ශුන්‍ය නැකැත් කේන්දර සුභ නිමිති අනුගමනය කරාවි ද?” කියා. එමෙන් ම උපාසක චණ්ඩාල නම් සූත්‍රයේ දී තෙරුවන් සරණ ගිය සැබෑ ශ්‍රාවකයන් නැකැත් කේන්දර සුභනිමිති අනුගමනය නො කරන බව (න කෝතුහලමංගලිකෝ හෝති) පැහැදිලිව පෙන්වා දෙනවා.

එමෙන් ම යමෙක් ඒවා අනුගමනය කරනවා නම් ඔහු උපාසකයෙකු ලෙස පෙනී සිටින උපාසක චණ්ඩාලයෙක් කියා දේශනා කළා. දීඝ නිකායේ සීලක්ඛන්ධ වර්ගයේ දී නැකැත් කේන්දර ආදිය හඳුන්වා දී ඇත්තේ තිරශ්චීන විද්‍යා, මිථ්‍යා ආජීව හැටියටයි. ඒ වගේ ම ජාතක පාළියේ “නක්ඛත්ත ජාතකයේදීත්” “කිං කරිස්සන්ති තාරකා?” යනුවෙන් අහසේ ඇති තාරකා කුමක් කරන්න ද? කියා නැකැත් කේන්දර ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

මහාවංශයේ සඳහන් පරිදි නැකැත් කේන්දර ආදී මේ මිථ්‍යා අදහස් බලෙන් අප සමාජයට ඇතුල් කළේ විශාල සිංහල බෞද්ධ සංහාරයක් කොට සසුන වැනසූ කාලිංග මාඝ විසිනුයි, පසුකාලීනව පියා මැරූ සීතාවක රාජසිංහ රජු සමග එකතුව අරිට්ඨකී වෙණ්ඩු නම් ශිව භක්තික බ්‍රාහ්මණයා විසිනුයි. මෙම මිථ්‍යා ඇදහිලි අප ජාතියේ ප්‍රගමනයට විශාල බාධාවක් වී තිබෙනවා. එමෙන් ම පෞද්ගලික ව ජීවිතවල දියුණුව අහුරා මානසික බෙලහීනත්වයකට පත් කොට තිබෙනවා.

එම නිසා ඒවා අත්හැර මනා කොට තිසරණයෙහි පිහිටා සිල්වත් ව පින බලවත් කර ගැනීම තුළ උත්සාහයෙන් වීර්යයෙන් කටයුතු කිරීමෙන් ජීවිතයේ ලෞකික ඉලක්කයන්, ලෝකෝත්තර ඉලක්කයන් අනිවාර්යයෙන් ම ජයගත හැකියි.

06) පින්වත් ස්වාමීන් වහන්ස, “මව්පියන්ගේ කුල පරපුර එලෙසින් ම රැකගත යුතුයි” යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? මෙයින් කියවෙන්නේ ලංකාවේ තියෙන කුල ක්‍රමය ගැන ද? පැහැදිලි කර දෙන්න.

සිඟාලෝවාද සූත්‍රයේ දී දරුවන් විසින් දෙමව්පියන්ට ඉටු කළ යුතු යුතුකම් පහක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

1. භතෝ නේ සම්භරිස්සාමි – වයසට ගිය දෙමාපියන් ආදරයෙන් රැක බලා ගත යුත්තේ ය.
2. කිච්චං නේසං කරිස්සාමි – මව්පියන්ගේ කටයුතු සොයා බලා සිදුකළ යුත්තේ ය.
3. කුලවංසං ඨපෙස්සාමි – (මව්පියන් විසින් හැදූ වැඩූ මා) ඔවුන් මැනවින් රැක කුල පරපුර ඒ අයුරින් තබා ගත යුත්තේ ය.
4. දායජ්ජං පටිපජ්ජාමි – මව්පියන් දායාද කළ දේපොළ, භවභෝග සම්පත් මැනවින් පරිහරණය කළ යුත්තේ ය.
5. අථ වා පන පේතානං කාලකතානං දක්ඛිණං අනුප්පදස්සාමි – මව්පියන් මිය පරලොව ගිය පසු දානාදී පින්කම් සිදු කොට පින් අනුමෝදන් කළ යුත්තේ ය.

මෙහි කුල පරපුර එලෙසින් ම රැකගත යුතුයි යන්නෙන් අදහස් කරන්නේ පවුල් පරම්පරාව නොසිඳ පවත්වා ගැනීමයි. පාලි භාෂාවේ කුලය යනුවෙන් අදහස් කරන්නේ “පවුල” යන අර්ථය මිස කුල වාදය නො වේ. එය සඳහන් කරන්නේ “වර්ණ” යන පදයෙනි. චතුර්වර්ණ යනු ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍යය, ශුද්‍ර යන සමාජ සම්මත කුල වාදයයි. නමුත් මෙහි දී අදහස් කරන්නේ එය නොව පවුල් පරම්පරාව යන්නයි.

07) පින්වත් ස්වාමීන් වහන්ස, සතර ඉර්ධිපාද වඩන ආකාරය පිළිබඳ පහදා දෙන්න.

සතර ඉර්ධිපාද ගැන විස්තර වශයෙන් දහම් කරුණු දැනගැනීම සඳහා සංයුත්ත නිකාය පස්වෙනි කොටසෙහි ඉද්ධිපාද සංයුත්තය කියවන්න.