සිල් ආරක්ෂා කර ගැනීමට නම් කැමැත්ත වගේ ම ඒ සඳහා අධිෂ්ඨානය, වීර්යය සහ නුවණින් විමසීමත් තිබිය යුතුයි. එම නිසා සිල් ආරක්ෂා කිරීමේ ආනිශංසත්, සිල් බිඳීමේ ආදීනවත් ධර්මයේ පෙන්වාදෙන අයුරින් නිතර නිතර මෙනෙහි කරන්න. රුවන්වැලි මහා සෑරදුන්ට වන්දනා කොට සිල් ආරක්ෂා කර ගැනීමට බලවත් අධිෂ්ඨානයක් ඇතිකර ගන්න. සිල් රැකීමට උපකාරී කරුණ ඉන්ද්‍රිය සංවරය බවත්, සිල් බිඳෙන්නට හේතුවන්නේ ඉන්ද්‍රිය අසංවරය බවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

එම නිසා ඉන්ද්‍රිය අසංවර වන අයුරින් ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප්, කාමුක සඟරා ආදිය භාවිත කරනවා නම් ඒවායින් වළකින්නට කටයුතු කරන්න. සිල් බිඳීමට අනුබල දෙන පාප මිත්‍රයන්ගේ ඇසුරින් වැළකීමට උපක්‍රමශීලී වන්න. සිල් රැකීමට උපකාර කරන කල්‍යාණමිත්‍ර සත්පුරුෂයන්ට වඩ වඩාත් සමීප වන්න. එමෙන්ම පාරිශුද්ධ සීලයක් සුරැකි මහා කාශ්‍යප මුනිඳුන් ආදී උත්තම චරිතාපදාන නිතර කියවන්න. මෙම කරුණු තුළින් සිල්වත් ජීවිතයක් ගොඩනගා ගැනීමට ඔබටත් පුළුවන් වේවි.