ජීවිතය කියන්නේ සුන්දරත්වය පිරුණු රෝස මල් යහනාවක් නෙමෙයි. මේ ජීවිත ගමනේ දී අපිට ලේසියෙන් ගමන් කළ හැකි සමතලා බිම් තීර වගේ ම ගමන් කිරීමට තබා සිතීමටත් අපහසු ගිරිදුර්ගයනුත් කොතෙකුත් හමුවෙනවා. ඒත් මේ ගිරිදුර්ගයන් තරණය කරලා කොහොම හරි අපේ ඉලක්කයට යාමටයි අපි දක්ෂ විය යුත්තේ. අප උත්සාහ කළ යුත්තේ ද එයට ම යි. එවිටයි දුර්ලභ වූ මිනිස් ජීවිතයේ සාර්ථකත්වය ලබාගත හැකි වන්නේ.

සම්බුදු සිරිපද කමල සුපිහිටි සමනොළ ගිර කරුණා කරන්න කොච්චර අමාරු වුණත් අපි බැහැ කියලා නල්ලතන්නියෙන් ආපහු හැරිලා එන්නේ නෑ නේ. කොහොම හරි සමනොළ ගිර කරුණා කරලා සිරිපා පියුම මත හිස තියලා වැඳලයි එන්නේ… ඒත්, අපි අපේ ජීවිතවලට මේ දේවල් ගළපාගෙන දිවි මඟ සරුකර ගන්න උත්සාහ කරන්නේ නැහැ නේ ද? ඔහේ අරමුණක් නැතුව වැනි වැනියි අප බොහෝ විට ජීවත් වෙන්නේ.

තමන්ගේ ජීවිතයට වටිනාකමක් එකතු කරන්න පුළුවන් තමන්ට ම යි. එයටයි අපි උත්සාහ කළ යුත්තේ. කොහොමටත් කන්දකින් පස්සේ තියෙන්නේ පල්ලමක් නේ. ඒත් ගොඩක් දෙනෙක්ට මේක අමතක වෙලා. මුදල් පිටිපස්සෙ ම හඹාගෙන යනවා. ඉවක් බවක් නෑ. මුදල් උපයන්න ඕනේ. ඒත් එය කළ යුත්තේ දැහැමි ව, සාධාරණ ව. අසාධාරණ කෙටි මාර්ගවලින් කොච්චර මිල මුදල් උපයා ගත්තත් ඒවා යා දෙන්නේ නෑ. එයින් අත් වෙන්නේ තාවකාලික සතුටක්. එය කිසිසේත් ම දියුණුවක් නම් නෙවෙයි…

වර්තමානයේ ගොඩක් දෙනෙක්ට අභියෝගයක් භාරගන්නවත් ආත්ම ශක්තියක් නෑ. අභියෝගයක් ආ පමණින් ම ඔවුන් දුර්මුඛ වෙනවා. අඩු ම තරමේ ඒ දිහා ඍජු ව බලන්නේවත් නෑ, පරාජය භාරගෙන ශෝක වැළපීම් කරනවා.
ගොඩක් දෙනෙකුට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ කැමැත්ත තිබෙනවා. ඒත් ඒ වෙනුවෙන් කැපවෙන්න, දැඩි ව වෑයම් කරන්න කැමති නැහැ. ලෙහෙසියෙන් කිසි දෙයක් අත්පත් කර ගන්න බැහැ. මේ නිසයි අප කැප විය යුත්තේ. අඩුම තරමේ බුදුරජාණන් වහන්සේ ගිහියාගේ නිත්‍ය සීලය ලෙස නම් කළ පංච සීලයවත් නියමාකාරයෙන් රැකගන්න බොහෝ දෙනෙකුට බැහැ. ඉතින් කෙසේ නම් නිර්වාණය සාක්ෂාත් කරන්න ද? කෙසේ නම් විමුක්තියක් ලබන්න ද? නිවන සාක්ෂාත් කිරීම පිණිස වූ ගමන දුෂ්කරයි. ඒ දුෂ්කර ගමන් මාර්ගයෙනුයි සදාකාලික සැනසීමක් ලැබෙනුයේ. මෙහි දී අවශ්‍ය පරිදි වෙනස් වීම වගේ ම අවශ්‍ය පරිදි අලුත් වීමත් අප විසින් කළ යුතු වනවා.
අපේ පැරණි මතකයන්, පසුතැවීම්, හුරුපුරුදු ආදිය බැහැරකිරීමට මේ කාලය යි. මොහොතක් සිතන්න. 2561 වන බුද්ධ වර්ෂය ළඟ ළඟ ම පැමිණෙනවා. 2560 වන බුද්ධ වර්ෂයේ දී ළං විය නො හැකි වුණු ඉලක්ක වෙත එළඹෙන බුද්ධ වර්ෂයේ දීවත් අපි ළං වෙන්න බලමු ද?

ඔබේ ජීවිතය පසුපසට ගෙන ගිය පරණ හණමිටි අදහස්වලට විලංගු දා අලුතින් හිතන්න පටන් ගන්න. ඒ සඳහා ඔබ නිර්භීත වන්න, ධෛර්යවත් වන්න. වෙනසක් තුළින් පැහැබර හෙටක් කරා යන මගේ අවංක පියවර අද ම තබන්න. මේ සඳහා දිරි දෙන්නයි රාජාලියාගේ කතාව අපි ඔබට කියන්නේ. බලන්න, දුර ඈත ආකාසයේ පියාඹන්නට අපට හැකි ද කියා…

රාජාලියාගේ කතාව

රාජාලියා කියන්නේ දීර්ඝ කාලයක් ජීවත් විය හැකි පක්ෂි විශේෂයක්. සාමාන්‍යයෙන් රාජාලියාගේ ආයු කාලය වසර 70ක් පමණ වනවා.

නමුත් මේ සම්පුර්ණ කාලය ම රාජාලියා ජීවත් වන්නේ නම් ඌට තම ජීවිතයේ ඉතා දුෂ්කර එක්තරා සන්ධිස්ථානයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වයස අවුරුදු 40 දී. එහි දී ඌ ගන්නා තීරණය මතයි උගේ මුළු ජීවිතය ම රඳා පවතින්නේ.

රාජාලියා සතු වන්නේ ඉතා විශාල ඝන පිහාටු. වයස හතළිහ පමණ වන විට උගේ පැරණි පියාපත් ඇඟට ඇලීම හේතුවෙන් ඌට පියාඹන්න අපහසු වෙනවා. උගේ දිගු හා උල් හොට වකුටු වෙනවා සේ ම දිගු හා නම්‍යශීලි නියපොතු අඩපණ වීමට පටන් ගන්නවා. මෙහි අවසන් ඵලය ඌට හරිහැටි ගොදුරු ඩැහැ ගැනීමට නොහැකි වීම යි.

මේ තත්ත්වයෙන් මිදෙන්නට රාජාලියට ඇත්තේ විකල්ප දෙකයි. ඉන් පළමුවැන්න ලෙහෙසියි, පහසුයි. ඒ තමයි, රාජාලියා කිසිම උත්සාහයකින් තොරව බඩගින්නේ සිට ජීවිතය අවසන් කර ගැනීම.

අනෙක් මාර්ගය ලෙහෙසි පහසු නැති දුෂ්කර මාර්ගයක්. උත්සාහයෙන් සාර්ථක විය හැකි මඟක්. මේ සඳහා ගත වන කාලය දින එකසිය පනහක්. එය දැඩි වේදනාකාරී හා පීඩාකාරී කාල සීමාවක්.

වෙනස් වීමේ ක්‍රියාවලියට මුහුණ දීමට රාජාලියා උස් කඳු මුදුනකට පියඹා යනවා. අනතුරුව ඌ හොටය සම්පූර්ණයෙන් ගෙවී යන තුරු ගල්තලාවක අතුල්ලනවා. හොටය යථා තත්ත්වයට පත් වන තෙක් ඉවසා සිටින රාජාලියා, ඉතාමත් ධෛර්යවන්ත ව තම දිරාපත් වූ පියාපත් එකින් එක ගලවා දමා තම ස්වරූපය ද සම්පූර්ණයෙන් ම වෙනස් කර ගන්නවා.

මාස පහකට පමණ පසුව පුනර්ජීවය ලබන රාජාලියා නැවතත් තම පිහාටු යථා තත්ත්වයට පත්කර ගන්නවා. ඉන් පසු රාජාලියාගේ ආයු කාලය වසර තිහකටත් අධික වන බවයි සාමාන්‍ය පිළිගැනීම වන්නේ.

රාජාලියාගේ කථාව එපමණයි…

මඟ අසීරුයි කියා මැසිවිලි නොනගා නොබිය ව ඉදිරියට යන්න. සාර්ථකත්වය ඔබ ළඟයි. මේ ධර්ම මාර්ගය යනු පුරුදු පුහුණු කළ යුතු ප්‍රතිපදාවක් මිස හුදු මතකයක් හෝ කටපාඩමක් නම් නො වෙයි…!

සටහන – අයෝමි පලිහවඩන