වී ගොවිතැන සිය ජීවනෝපාය කොට ගත් ශ‍්‍රී ලාංකික ජනතාව ආදි යුගයේ සිට ම ස්වභාව ධර්මයේ විපර්යාසයන්ට මුහුණ දෙමින් කුඹුරු, වතුපිටි, හේන් සරුසාර කර ගැනීමට දැරූ වෙහෙස මහන්සිය පිළිබඳ කතා පුවත කාව්‍යයක් මෙන් අතිශය සිත් ගන්නා සුලූ ය. භූගත ජලය මෙන් වැසි දිය ද අපතේ නො යවා අරපිරිමැස්මෙන් යුතුව ඔවුහු පරිභෝජනයට ගත්හ. අහසින් වැටෙන එක වැසි දිය බින්දුවකුදු ප‍්‍රයෝජනයට නො ගෙන මුහුදට නො යැවිය යුතු යැයි නියමයක් පැනවූයේ ප‍්‍රතාපවත් සිංහල නරපතියෙකු වූ මහා පරාක‍්‍රමබාහු රජතුමා ය.

ජනකායක් වශයෙන් සිංහලයන්ගේ ස්වාධීනත්වයටත්, ශක්තියටත් දෙස් කියන කර්මාන්තයන් අතර වැව් තැනීමත් වී ගොවිතැනත් පළමුවන තැන ගන්නා බව පවසන මාර්ටින් වික‍්‍රමසිංහයන් සිංහලයා පොදු හැඟීමකින් හා අපේක්ෂාවකින් එකට බැඳුණේ ගොවිතැන නිසා බව කියයි. වියළි කලාපයේ මහා වැව් තනා වැසි දිය එකතු කරගත් පැරණි සිංහලයෝ සැතපුම් සිය ගණන් ඈත උස්බිම්වලට පවා ජලය රැුගෙන ගිය ඇළ වේලි අදත් ප‍්‍රයෝජනයට ගනු ලැබේ. වී ගොවිතැන් කළ නො හැකි ප‍්‍රදේශයන්හි වැසි වසින කල් බලා ගොඩ ගොඩ ගොවිතැන් කළ ඔවුන් ඊට සුදුසු ධාන්‍ය වර්ග රෝපණය කිරීමේ තාක්ෂණය ද සොයාගත්තේ අත්දැකීමෙන් ම ය. ගොඩ ගොවිතැන් කිරීමේ දී ප‍්‍රමුඛත්වය ලැබුණේ හේන් ගොවිතැනට ය.

හේන් ගොවිතැන් කරනු ලබන්නේ කාලාන්තරයක් තිස්සේ කැලෑවෙන් වැසී වල් බිහිවී තිබුණ ඉඩමක් එළි පෙහෙළි කිරීමෙනි. පරිසරයට දැඩිසේ ළෙන්ගතුකම පළ කළ පැරැුන්නන් හේන් සකස් කිරීමේ දී ඉව බව නැතිව කැලෑ විනාශ කළේ නැත. මහ ගස් ඉතිරිව තිබිය දී යටි වගාව කපා දමා එළි පෙහෙළි කොට මල් පැලක් තනා පහන් දල්වා, අඬහැර නගා සතා සීපාවා පළවා හැර, වියළි අතු ඉති ගිනි තබා දඬු වැට බැඳ බිම සකස් කරනු ලැබේ. මෙසේ සැකසූ වගා බිම ‘නවදැලි හේන’ නමින් හැඳින්වේ.

වැඩිහිටියෝ මෙන් ම පවුලේ තරුණ තරුණියෝ ද හේන් ගොවිතැන් වැඩවලට සහභාගී වීමෙන් මහත් ආස්වාදයක් ලබති. මුං, අමු, මෙනේරි, බඩඉරිඟු වැනි ධාන්‍ය වර්ග මෙන් ම මෑ, කරවිල, පතෝල, වැටකොළු ආදි එළවළු වර්ග ද හේනේ වගා කෙරේ. පැලක් හෝ ගස් දෙබලක මැස්සක් හෝ තනාගෙන හේන් රකින ඔවුන්ගේ මුවින් කවි ගායනා ලෙසින් පිටවන්නේ තම දිවි පෙවෙතේ කටුක අත්දැකීම් ය.

නවදැලි හේනක සරුවට භව භෝග වගා කළ තරුණයකු කියුවක් ලෙසින් සැලකිය හැකි අපූරු ජන කවියක් සිංහල ජන කවි සාහිත්‍යයෙන් හමුවෙයි. හේනක් කොටා භෝග වගා කොට සරු ඵල නෙළා ගත් ඔහු සිත තුළ දැල්වෙන්නේ සතුටක් නොව මහා පාළුවකි. කාන්සියකි. තම පරිශ‍්‍රමයේ ප‍්‍රබෝධය බෙදා හදා ගන්නට පංගුකාරියක නොමැතිවීම ඔහුගේ කනස්සල්ලයි. එම අපූරු අත්දැකීම් ජනකවියාගේ විශිෂ්ට පරිකල්පනයෙන් ප‍්‍රභාවිත වූයේ මෙපරිද්දෙනි.

වැව ඉහළින් මෝරා ඇති අත්දොළුවා ලන්ද
නව දැලියෙන් වල් පායා ගිනි බිඳ වැට බැන්ද
බව බෝගෙන් යාන් වුණත් මගෙ හිත නෑ නින්ද
ඉව වැටියන් මෑ වැලකට අන්දර කණු මන්ද

මේ කවියේ එළි සමය තතන තතනා ගැට ගැසුවාක් නොව නිරායාසයෙන් කවි සිතට ගලා ආ හැඟුම් ධාරාවක් බව අවබෝධ කොට ගන්නේ ගැමි ජීවිතය හා බස පිළිබඳව වැටහෙන නුවණක් ඇත්තකු පමණි. වැව ඉස්මත්තේ පිහිටි ‘අත්දොළුව’ නමැති කැලය ගණ සැරේට වැවී තිබුණු අයුරු ‘මෝරා ඇති ලන්ද’ යන වදන්වලින් ධ්වනිත වෙයි. එම ලන්ද කොටා හේනක් බවට පත්කිරීමට ගත් පරිශ‍්‍රමය දෙවැනි පද්‍ය පදයෙන් දක්වා ඇත්තේ හේනක් සකස් කර ගැනීම පිළිබඳ හැඟීමක් ඇතිවන අයුරුනි. ‘වල් පායා, ගිනි බිඳ, වැට බැන්ද’ යන යෙදුම්වලින් හේන කෙටීමේ අවස්ථා විදහා දැක්වෙයි. ‘නවදැලියෙන්’ යන වදන නිසා එය අලූත් හේනක් බව හැඟවේ. එහි වැවූ වගාවන් සරු ඵල ලබා දී ඇති අයුරු ‘බව බෝගයෙන් යාන් වුණත්’ යන වදන් පෙළින් අනාවරණය වෙයි. අදහස සඵල වීම, සරු ඵල ලබාදීම යන අරුත් ‘යා දෙනවා, යාන් වෙනවා’ යන ගැමි වදන්වල දැවටී තිබේ. හේනක් කෙටීම නැතහොත් අස්වැද්දීම පිළිබඳ අදහසක් කාව්‍යය ආරම්භයේ දැනවුණ ද තෙවැනි පාදයෙන් අවසන් වන විට එය පුද්ගලයෙකුගේ අත්දැකීමක් බව අනාවරණය වෙයි.
”බව බෝගෙන් යාන් වුණත් මගෙ සිත නෑ නින්ද”

හේනක් කොටා සරු ඵලදාවක් ලැබූ තරුණ ගොවියෙකුගේ උද්දාමයක් වෙනුවට කනස්සල්ලක් පිළිබඳ හැඟීමක් එ් පුද්ගල අත්දැකීම තුළ ගැබ් වී ඇත. එය කියවන අසන සහෘදයා තුළ ද ඇති වන්නේ සෝකී හැඟීමක් සමග මුසුවුණ කුහුලකි. කවිය අවසානයේ දී කියැවෙන අතිශය සිත් ගන්නා සුලූ රූපකාර්ථවත් වදනින් නැගෙන තුරුණු සිතක පැතුමත් සමග ම ඔහු කෙරේ පහළ වුණ ශෝක හැඟීම තවත් තීව‍්‍ර වී අනුකම්පාවට හැරේ.

‘‘ඉව වැටියන් මෑ වැලකට අන්දර කණු මන්ද”

ගොවිජන ජීවිතය හා බැඳුණු මෙබඳු විරල, රමණීය යෙදුම් හමුවන්නේ ගැමි ජනතාවගේ සුසුම් වැල් ලෙස හැඳින්විය හැකි ජනකවි තුළින් පමණි. එය වූකලී කෙත්වතු හේන් බිම් පිසගෙන හමන සිහිල් සුළඟක් වැන්න.

මෙම කවියේ පූර්වෝක්ත ව්‍යංගතාර්ථ දනවන වදන් පෙළින් මතු කරන්නේ හේන් ගොවි තරුණයා තනිකඩයකු බවත්, ඔහු පෙළවහක් කර ගැනීමට සුදුසු තරුණියක පතමින් පසුවන්නකු බවත් ය. හේනේ සිටුවන ලද මෑ ඇට පැලවී වැල් ඇදෙමින් පවතී. අන්දර කණු මත ලණු ගැට ගසා ඇත්තේ මෑ වැල් ඇදී එතී වැඩෙනු පිණිස ය. ගොවි තරුණයා අන්දර කණුව තමා පිළිබඳ රූපකයක් කොට සැලකීම අතිශයින් ගැළපේ. නො සැලෙන බව, එඩිතර බව, ගොවි බිම මත තිරසර ලෙස පිහිටා තිබීම වැනි ගුණයන් අන්දර කණුව සංකේතවත් කරයි. එය ජීවයක් ලබන්නේ එහි දලූ ලියලා වැඩෙන වැල් එතී ගියහොත් පමණි. තමා සිට වූ මෑ වැලක් අන්දර කණුව අසල වැඩෙනු තරුණයා දකී. එකෙණෙහි ම සහකාරියක් පිළිබඳ හැඟීම ඔහු සිත තුළ මතුවෙයි. ‘ඉව වැටීයන්’ යන යෙදුම සෙනෙහෙවන්තියකගේ බැල්ම තමා වෙත යොමු වේවා!යි පැතීමක් වැන්න.

හේන් ගොවි දිවි පෙවෙතට අදාළ වදන් හා යෙදුම් භාවිත කරමින් පබැඳුණු මේ වටිනා ජන කවිය, ජීවනය සඳහා මහ පොළොව සමග පොර බදන ගැමි ජනකායගේ කටුක ජීවන වත ගැඹුරු ලෙස හා භාවාත්මක ලෙස විවරණය කරන්නකි. පොතකින් ලියා විස්තර කළ හැකි අත්දැකීමක් පද හතරක හුදු කවියකින් කියා පෑමට සමත් වීම, උතුම් දහමකින් හා දිගු කාලීන භාෂා සාහිත්‍යයකින් හික්මුණු ජනකායකගේ නිසර්ග සිද්ධ ප‍්‍රතිභානයට දෙස් දෙන්නකි.

සිතුවම් නිර්මාණකරුවනට පුණ්‍යානුමෝදනා!

මහාමේඝ 2015 බිනර කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති