දහස් වසරකට වඩා පැරණි සිංහල සාහිත්‍ය වංශ කථාවේ සශ‍්‍රීකවත් යුගය ලෙස සැලකිය හැක්කේ අනුරාධපුර රාජ්‍ය සමයයි. සමකාලීන යුගයේ සෙසු බොහෝ රටවලටත් වඩා දියුණු ද්වීභාෂික (සිංහල – පාළි) සාහිත්‍යය පැවති එසමයෙහි විදෙස් රටවලින් පවා වියතුන් මෙරටට පැමිණි බව හියුංසියෑන්, පාහියන්, බුද්ධඝෝෂ, ධම්මපාල යනාදී විදේශීය වියතුන් පිළිබඳ පුවත්වලින් හෙළි වෙයි. ලොවක් අගය කළ මේ මහා සාහිත්‍ය සම්ප‍්‍රදාය ශ‍්‍රී ලංකා ධරණී තලය මත වැඞී ගියේ මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම දූත ආගමනයෙනි. ලාංකික සාහිත්‍යය පමණක් නො ව අනිකුත් සකල විධ විෂය ධාරාවන්හි ම ස්වතන්ත‍්‍ර බවක් මෙන් ම අපූර්වත්වයක් පිළිබිඹු වූයේ බුදු සමය විසින් මෙරටට උරුම කොට දුන් නිදහස් චින්තන සම්ප‍්‍රදායේ ශික්ෂණය නිසා ය.

අනුරාධපුර යුගයේ මැද භාගයේ ලංකාධිපතිව සිටි මේඝවණ්ණ රජතුමාගේ නව වැනි රාජ්‍ය වර්ෂයෙහි දී එනම්, ව්‍යවහාර වර්ෂ 312 දී හේමමාලා හා දන්ත කුමරුන් කාලිංග දේශයෙහි සිට බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේ වැඩමවීම ලක්දිව වංශ කථාවේ මෙන් ම සාහිත්‍යයේ ද අලූත් පරිච්ඡේදයක් සනිටුහන් කරන උතුම් සිදුවීමක් වෙයි. මෙම ඓතිහාසික සිදුවීම දාඨා ධාතු වංශයේ පැහැදිලි ලෙස ම විස්තර කර ඇත්තේ කාලිංග දේශයේ සිට මෙහි පැමිණි හේමමාලා කුමරිය විසින් ඉතා සුරැකිව දන්ත ධාතූන් වහන්සේ වැඩමවන ලද බව ය.

වාම දළදා වහන්සේ ලක්දිවට වැඩමවීම බුදුරජාණන් වහන්සේ යළිත් වරක් වැඩියාක් බඳු විය. දළදා වහන්සේ වැඩම කරවූ දා පටන් මෙරට පැතිරී බුදු සසුන ආශ්චර්යයවත් සිදුවීම්වලින් අනූන විය. දළදා වහන්සේ තරම් රජවරුන්ගේ පටන් මහජනතාව දක්වා ලක්වැසි සියලූ දෙනාගේ ගෞරවයට හා වන්දනාමානයට පාත‍්‍ර වූ වෙනත් පූජාර්හ වස්තුවක් නැත. කිත්සිරිමෙවන් රජතුමා ඇතුළු රජුන් කිහිප දෙනෙකු ම මුළු ලංකාද්වීපය ම වරින් වර දළදා වහන්සේට පූජා කළ බවට මහාවංශය හා සෙල්ලිපි සාක්ෂි දරයි.

පොළොන්නරු රාජ්‍ය සමය වන විට දළදා වහන්සේ රාජ්‍ය බලය සංකේතවත් කරන පුණ්‍ය සංකේතයක් බවට පත්ව තිබිණි. දන්ත ධාතුන් වහන්සේ අහිමිවූවකුට රාජ්‍ය බලය අහිමි වීමේ චාරිත‍්‍රයක් ද ඇති විය.

මෙපරිද්දෙන් දන්ත ධාතුන් වහන්සේ මෙරට මුදුන් මල්කඩක් බඳු ව ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ පූජා සත්කාරයට ලක්වූවා සේ ම උන්වහන්සේ අරමුණු කොට ලියැවුණු දළදා සාහිත්‍යයෙන් සිංහල භාෂා සාහිත්‍ය පෝෂණය ලැබී ය. දළදා වහන්සේ විෂය කොටගෙන ග‍්‍රන්ථ රචනා කිරීම ආරම්භ වූයේ උන්වහන්සේ ලක්දිවට වැඩම වූ කිත්සිරිමෙවන් රාජ්‍ය සමයේ දී ම ය. එ් වකවානුව අනුරාධපුර යුගයේ දීප්තිමත් භාෂා සාහිත්‍ය දියුණුවක් පැවති කාලය විය. එකල රචිත ‘එළු දළදා වංශය’ දළදා සාහිත්‍යයේ ආරම්භක කෘතිය විය.

මෙසමයේ දී සීහලට්ඨකථා හෙවත් හෙළාටුවා ප‍්‍රචලිතව පැවති හෙයින් දළදා වංශය ද හෙළ බසින් ලියැවෙන්ට ඇත. මෙහි කතුවරයා කිත්සිරිමෙවන් රජතුමා ම බව ඇතැම් විද්වත්හු විශ්වාස කරති. එවක සිටි රාජකීයයෝ සාහිත්‍ය කලා රුචි රසිකයෝ වූහ. පොළොන්නරු යුගයේ රජ කළ ලීලාවතී බිසොවගේ කාලයේ දී රාජගුරු ධම්මකීර්ති නමැති මහ තෙරුන් වහන්සේ විසින් ලියන ලද දාඨා වංශ පාළි ග‍්‍රන්ථයේ පුරාණ දළදා වංශයක් තිබුණු බව සඳහන් වෙයි.

දන්ත ධාතූන් වහන්සේගේ ඉතිහාසය විවරණය කරමින් රාජගුරු ධර්මකීර්ති හිමියන් විසින් රචිත පාළි දාඨා වංශය පද්‍යමය රචනයකි. ශ‍්‍රවණ මාධුර්යය මතු කෙරෙන පරිදි විවිධ වෘත්තයන්ගෙන් පබැඳි එය ගාථා හාරසිය පසළොසකින් සමන්විත වෙයි. දළදා වහන්සේගේ ඉතිහාසය එහි විස්තර කෙරේ.

දන්ත හා හේමමාලා දෙදෙනා දන්ත ධාතූන් වහන්සේ ද රැුගෙන නැව් නැඟ ලක්දිවට පැමිණියේ බුද්ධ වර්ෂ 854 දී ය. කිත්සිරිමෙවන් රජතුමා, දළදා වහන්සේ මහත් ගරුබුහුමනින් පිළිගෙන කරඬුවක වඩා හිඳුවා තැන්පත් කළේ, දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද ධම්මචක්කගේහ නම් මැදිරියෙහි ය. දන්ත ධාතූන් වහන්සේ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු චාරිත‍්‍ර විධි පිළිබඳ ව කිත්සිරිමෙවන් රජතුමා ලියූ නිර්නායක පාඨයක් ද එම විස්තරයට ඇතුළත්ව තිබීම අතිශයින් ම වැදගත් ය. දාඨා වංශයේ 16 වැනි ගාථාවේ සඳහන් ‘‘චරිත්ත ලේඛං පරිලේඛයි” යන එකී පුරාණ චාරිත‍්‍රය දළදා වහන්සේ උදෙසා කරනු ලබන වත්පිළිවෙත් සම්බන්ධයෙන් අද ද භාවිත කරනු ලබයි.

දළදා සාහිත්‍යට ඇතුළත් වන තවත් පැරණි ග‍්‍රන්ථයක් නම් කුරුණෑගල යුගයේ දී දෙව්දරදම් පසඟිනාවන් විසින් ලියන ලද ‘දළදා සිරිත’යි. කුරුණෑගල රාජධානියේ සිව් විසි වසරක් රජ කළ සිව්වැනි පරාක‍්‍රමබාහු (1302-1326) රාජ සමය තුළ දී රචනා කළ එහි හැඳින්වීමේ මෙසේ දැක්වෙයි.

‘‘‘දළදා සිරිත’ පාළි දාඨා වංශයට වඩා විස්කෘත ග‍්‍රන්ථයකි. අතීත යුගයේ සිට සිව්වැනි පැරකුම්බා රජු දක්වා වූ රජවරුන් විසින් කරන ලද දළදා පූජාවන් පිළිබඳ වර්ණනා එහි ඇතුළත් වන අතර එ් අරභයා පැණවු චාරිත‍්‍ර වාරිත‍්‍ර තිස් අටක් එ් සමග වෙයි.”

‘දළදා පූජාවලිය’ ද කුරුණෑගල යුගයේ දී හෝ තදාසන්නව රචනා කර ඇති බව පෙනී යයි. දළදා වහන්සේ උදෙසා අතීතයේ සිට පුද පූජා පැවැත්වූ ආකාරය මේ කෘතියෙන් ද වර්ණනා කෙරේ.

දළදා සිරිතෙහි භාෂා විලාසය පාඨකයන් අතර එතරම් ජනප‍්‍රිය නො වූ නිසා දළදා පූජාවලිය ලියන්නට ඇතැයි සමහරු කල්පනා කරති. මෙම කෘතිය එතරම් ප‍්‍රශස්ත ග‍්‍රන්ථයක් නො වූව ද ඉන් කතුවරයාගේ අසීමිත බුදු බැතිය පළ කෙරෙයි.

කෝට්ටේ යුගයේ පසු කාලයේ පෘතුගීසි, ලන්දේසි ආක‍්‍රමණ නිසාත්, ප‍්‍රාදේශීය දේශපාලකයන්ගේ කුලල් කා ගැනීම් නිසාත් වියවුල් බහුල වූ කාලයේ පළමුවන රාජසිංහ රජුගේ ශාසන විනාශයෙන් බෞද්ධ වෙහෙර විහාරවලට මහත් හානියක් සිදු විය. පන්සල්වල පැවති ධර්ම ග‍්‍රන්ථ හා සාහිත්‍ය පොත පත ගිනිබත් කරන ලදි. මේ කාලයේ දී දළදා වහන්සේ උදෙසා පොතක් රචනා වීම විස්මය දනවන කරුණකි. 1693 පොසොන් මාසයේ ලියා අවසන් කරන ලද එම ග‍්‍රන්ථය වූ කලී දළදා පුවතයි. පද්‍ය හාරසිය හැටකින් යුත් දළදා පුවත රචනා කළ කතුවයාගේ නම එහි සඳහන් නො වූයේ එකල පැවති සසුන් විලෝපන වාතාවරණය නිසා ය. බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයෙහි සුරක්ෂිතව පැවති දළදා පුවත නම් මෙම ග‍්‍රන්ථය, එහි පර්යේෂණ කටයුතුවල නියැලෙමින් සිටි ආචාර්ය විමල් විජේරත්න මහතාට දැක ගන්නට ලැබීම අපේ වාසනාවකි. මෙම පද්‍ය කාව්‍ය එවකට ලක්දිව අප‍්‍රකටව තිබිණි. විජේරත්න මහතාගේ දෘඪ පරිශ‍්‍රමයෙන් දළදා පුවත 1992 දී ශ‍්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ ප‍්‍රකාශනයක් වශයෙන් එළි දක්වනු ලැබීම පැසසුම් කටයුතු කාර්යයකි.

දන්ත ධාතූන් වහන්සේ කෙරෙහි අප‍්‍රමාණ ගෞරවයකින් යුතු ව රචනා කර ඇති මෙම කාව්‍යය පුරාම පැතිරී පවත්නා සංවේග ගුණය එහි අවසාන පැතුමෙන් පරිසමාප්ත වෙයි.
සසිරි සැප වේවා!
කිසි දුක් බිය නො වේවා!
සිරිලක වැවේවා!
හැමට නෙක යස මඟුල් වේවා!

මහනුවර යුගයේ රචිත දළදා වරුණ නම් වූ කුඩා පොත පළමුවන විමලධර්මසූරිය රජුගේ කාලයේ සිටි කවියකු විසින් ලියන ලදැයි විශ්වාස කෙරේ. පද්‍ය හතළිහකින් යුතු එම පොතෙහි ආදියෙහි සිට විමලධර්මසූරිය රජතුමා දක්වා රජවරුන් විසින් දළදා වහන්සේට කළ පුද පූජා ගැන වර්ණනා කර ඇත. රත්නපුර දිස්ත‍්‍රික්කයේ දෙල්ගමුව විහාරයේ සිට සෙංකඩගල පුරය දක්වා දළදා වහන්සේ වැඩම කරවන ලද වකවානුවේ දී ම මෙම පද්‍ය ග‍්‍රන්ථය රචනා කරන්නට ඇති බව සිතිය හැකි ය. එහි කතුවරයා පිළිබඳ තොරතුරු දැනගන්නට නැත.

කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ දී ලියන ලද සිංහල දළදා වංශය නමැති කෘතියට පසුබිම් වී ඇත්තේ, කුරුණෑගල සිව්වැනි පරාක‍්‍රමබාහු රජතුමාගේ යුගයේ සිට සෙංකඩගල කීර්තී ශ‍්‍රී රාජසිංහ රජුගේ රාජ්‍යෝදයෙන් සූවිසි වසරක කාලය දක්වා අවුරුදු හාරසිය හැට අටක කාලය තුළ දළදා වහන්සේ හා සම්බන්ධ ඓතිහාසික තොරතුරු ය. මෙකලට අයත් තවත් දළදා වර්ණනාවක් ලියවී ඇති අතර එය ද දළදා පූජාවලිය නමින් හඳුන්වා තිබේ.

සිංහල රාජ්‍ය වංශයේ අවසානයේ දී ලියන ලද දළදා සාහිත්‍ය ග‍්‍රන්ථය වනුයේ දළදා විත්තිය නමැති කෘතියයි. එය ලියා ඇත්තේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ කාලයේ දී ය. ඉහත දැක්වුණු ග‍්‍රන්ථයන්ට වඩා වෙනස් වූ අන්තර්ගතයක් සහිත දළදා විත්තිය කෘතියෙහි ඇතුළත් වන්නේ අස්ගිරි මහා විහාරය සම්බන්ධ පුවත් හා දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා තැනින් තැන වැඩමවා ගොස් සඟවා තැබූ පුවත් ය. බෙහෙවින් විසිතුරු ව්‍යක්ත භාෂා රීතියකින් මේ පොත ලියා තිබේ.

ඉහත දැක්වුණ පොත් හැරුණු විට විවිධ කතුවරුන් විසින් ලියන ලද, දළදා සාහිත්‍යට අයත් පොත් රාශියක් පිළිබඳ තොරතුරු ඇත. 1818 දී වැලිගල කිවිඳුන් විසින් රචිත පද්‍ය 434කින් සමන්විත ‘දාඨාගොත් ප‍්‍රදීපය’, 1845 දී මුල්ලේගම කහඳ නවරත්න මුදලිගේ මුණුබුරෙකු ලියු ‘දළදා කාව්‍යය’, කහඳ නවරත්න මුදලිගේ ‘දළදා හටන’ යන කෘති එවක වියතුන් අතර සම්භාවිත දළදා සාහිත්‍ය ග‍්‍රන්ථයන් ය. තවද කාලවකවානු හා කර්තෘ කවුරුන් දැයි අවිනිශ්චිත දළදා සාහිත්‍යයට අයත් ග‍්‍රන්ථ රාශියක් පවතී. ඉන් කිහිපයක නම් වැල් මෙසේ ය. දන්ත ධාතු විස්තරය, දළදා වරුණ, දළදා වතුර, දළදා ශතකය, දළදා පුද, දළදා අෂ්ටකය, දළදා කතාව, දළදා පූජා විස්තරය, දළදා වංස සන්තය, දළදා වන්දනාව, දළදාවලිය, දළදා සරණේ කතාව, දළදා සින්දු, දාඨා ගොත් ප‍්‍රදීපය, දළදා ඉතිහාස කාව්‍යය සහ තවත් ග‍්‍රන්ථ රාශියකි. පාළි භාෂාවෙන් මධ්‍යතන යුගයේ රචිත දාඨා ධාතු වංස, දාඨා වංස ටීකා, දාඨා ධාතු වන්දනා ගාථා වැනි පොත් ද ශ‍්‍රී ලාංකික දළදා සාහිත්‍ය පෝෂණය කිරීමට ඉවහල් විය. දන්ත ධාතුන් වහන්සේ අරභයා නූතන යුගයේ ලියවී ඇති ග‍්‍රන්ථ, නිබන්ධන, කාව්‍යමය නිර්මාණ මෙන් ම ගීතමය උපහාරයන් ඇතුළත් සාහිත්‍යය පිළිබඳව වෙනම ග‍්‍රන්ථයක ඇතුළත් කිරීමට තරම් තොරතුරු පවතී. මේ අයුරින් කිත්සිරිමෙවන් රජතුමාගේ කාලයේ සිට අද දක්වා පුරා අවුරුදු එක්දහස් හත්සියයකට අධික යුගයක විහිද ගිය දළදා සාහිත්‍යය උරුමයක් අප සතුව තිබීම බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වූ අපගේ ඉමහත් භාග්‍යයකි. දඹදිව අශෝක යුගයෙන් පසුව ශ‍්‍රී සම්බුද්ධ ධර්මය ලොව පුරා පතල කර ගැනීමේ කේන්ද්‍රස්ථානය වූ අනුරාධපුරයෙන් ඇරඹුණ ශ‍්‍රී දළදා සාහිත්‍යමය උපහාරය පිළිවෙළින් පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, මහනුවර රාජධානි ඔස්සෙ නුතන යුගය දක්වා අඛණ්ඩව විකාශනය වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කරනු ලබන උත්තම පූජාවක් ලෙසිනි.

සර්වඥ ධාතූන් වහන්සේ සලකනු ලබන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානව ය. දන්ත ධාතුන් වහන්සේ උදෙසා කරන පූජාව බුදුරජාණන් වහන්සේට ම කරන පූජාවක් වශයෙන් අද පවා සලකනු ලබේ. මතු මතුත් එසේ සලකනු ඇත.

(මෙම ලිපිය සම්පාදනය සදහා, 1989 වර්ෂයේ ‘වෙසක් සිතුවිලි’ සඟරාවේ පළවූ, කථිකාචාර්ය වරකාවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ ‘දළදා සාහිත්‍ය’ නම් ලිපිය ද ආශ‍්‍රය කරගනු ලැබිණි.)

මහාමේඝ 2013 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති