‘‘ලෝකය හරි පුදුම තැනකි. කෙනෙක් කෑම සොයා සැතපුම් ගණනක් ඇවිදයද්දී කෙනෙක් කෑම දිරවන්නට සැතපුම් ගණනක් ඇවිද යයි.” මේ කියමන කොතැනින් මුණ ගැසුණේ ද යන්න මට මතක නැත. මෙවැනි ම දෙයක් අද අපේ ආහාර සංස්කෘතිය ගැන ද කිව යුතු ව ඇත. එනම් කෙනෙකු කෑම නැති නිසා මිය යද්දී තවත් කෙනෙකුට කෑම නිසා මිය යන්නට සිදුව ඇති බවයි. වස විස ඇති ආහාර ඉහවහා යෑම හා ක‍්‍රමයෙන් ඇති වන ආහාර අර්බුදය මෙයට හේතුවයි. එ් නිසා ම දේශීය ගොවිතැන මෙන් ම දේශීය ආහාර සම්බන්ධයෙන් ද කතා කිරීමට මේ අත්‍යවශ්‍ය ම කාලයක් බවට පත්ව ඇත.

2013 සහ 2014 වසර ලෝක ආහාර අර්බුදයක් ආසන්නයේ ම සිටින බව දැන් ලෝක ආහාර සංවිධානය ම ප‍්‍රකාශ කර ඇත. මෙම මස මුල දී ප‍්‍රකාශ කරන්නට යෙදුණ වාර්තාවක් අනුව ලොව ප‍්‍රධානතම ආහාර නිෂ්පාදන රටවලට මෙම වසරේ දී සිය අපේක්ෂිත ඉලක්ක වෙත කිසිසේත් ළඟාවිය නො හැකි වන බව කියැවේ. ඇමරිකාවේ සහ යුක්රේනයේ නිය`ග තත්ත්වය මෙයට වඩාත් හේතු වී ඇත. එම වාර්තාව වැඩි දුරටත් හෙළි කරන කාරණයක් වන්නේ මේ වන විට ලොව ආහාර සංචිතවල ප‍්‍රමාණය දින 107 සිට දින 74 දක්වා පහළ බැස ඇති බව ය.

මෙම තත්ත්වය තාවකාලික එකක් නො වේ. පරිසරයේ අසමතුලිතතාවය සහ කාලගුණ විපර්යාස නිසා දිගින් දිගට ම ආහාර සංචිතවල අඩුවීමක් බලාපොරොත්තු වේ. මෙහි ප‍්‍රතිඵල වන්නේ ආහාර ද්‍රව්‍යවල හිඟය සහ මිල ඉතා ඉහළ යාම ය. ලොව ආහාර හිඟයෙන් වඩාත් ම පීඩා විඳින අප‍්‍රිකා රටවල බඩගිනි මරණ ඉහළ යාම ය. දිළිඳු ජනතාවට ආහාර මිල දරා ගත නො හැකි වීම ය.

නවීන කෘෂිකර්මයට මෙම තත්ත්වයන්ට මුහුණ දීමට කිසිදු අන්දමකින් හැකි වී නැත. වැඩිවන ජනගහනය සහ ඉඩම්වල ක්ෂය වීම නිදහසට කරුණු වශයෙන් දක්වා කෘෂි විද්‍යාඥයෝ අර්බුදයෙන් මග හැර යති. ඔවුනට ලබා දිය හැකි විස`දුමක් හෝ ප‍්‍රතිකර්මයක් පෙනෙන තෙක් මානයකවත් නැත.

බත් වෙනුවට කෘමීන්

පය බරවායට පිටිකර බෙහෙත් බඳිනා අන්දමේ ප‍්‍රතිකර්මයක් දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර සංවිධානය විසින් ඉදිරිපත් කර ඇත. ජුනි මස මුල දී ඉදිරිපත් කරන මෙම පිටු 200ක වාර්තාව (www.fao.org/docrep/018/i3253e/i3253e00.html) කියා සිටින්නේ, අනාගත ජනගහනයට ආහාර සැපයීමට කෘෂිකර්මයට කිසිදු හැකියාවක් නො මැති බව ය. එම නිසා ලෝක ජනතාව විසින් කෘමීන් ආහාරයට ගැනීමට වහ වහාම පුරුදු විය යුතු බව එම වාර්තාව ඉදිරිපත් කළ ‘විද්වතුන්’ විසින් තරයේ නිර්දේශ කර ඇත.

ආහාරයට ගන්නා කෘමීන් වර්ග 1900ක් පමණ වන බව මෙම වාර්තාව කියයි. දැනටමත් ලෝක ජනගහනයෙන් බිලියන 2ක් පමණ යම් යම් කෘමීන් තම ආහාරයේ කොටසක් ලෙස ගන්නා බවත්, එම නිසා ක‍්‍රමවත් වැඩ පිළිවෙළක් තුළින් කෘමීන් වර්ධනය කොට ආහාරයට ගැනීමට කටයුතු කළ යුතු බවත් එම වාර්තාව කියයි. මෙම වැඩපිළිවෙළ නිසා, පරිසරයට හානි නො වන බවත්, පරිසරය රැුකෙන බවත්, ජනතාවට පෝෂ්‍යජනක ආහාර ලැබෙන බවත්, කෘමීන් බෝ කිරීම හා ආහාරයට සැකසීම තුළින් නව ආදායම් මාර්ග මතු වන බවත් පෙන්නා දී ඇත.

හරිත විප්ලවය ලොවට හඳුන්වා දීමේ දී නවීන විද්‍යාඥයන් ඉදිරිපත් කළේ ද මෙවැනි මූඨ තර්කයන් ය. ලොව සියලූ ආහාර අර්බුදයන්ට පිළියම් ලෙස ගෙනා එම වැඩපිළිවෙළ දැනට මුහුණ පා තිබෙන අර්බුදකාරී තත්ත්වය ඔවුන් විසින් ම පිළිගෙන ඇත.

දැන් එම විද්‍යාඥයන් විසින් ම කෘමීන් අනුභව කරන ලෙස ලොවට නිර්දේශ කරනුයේ, ඔවුන් ඉදිරිපත් කළ තාක්ෂණය තුළින් කෘමී නාශනය කළ නො හැකි වූ නිසා අපට උන් අනුභව කර අවසන් කරන්නට කියා විය යුතු ය. ලොව අන් සියලූ ම සතුන් බිහි වී ඇත්තේ මිනිසාට ආහාර සැපයීමට බව මෙම විද්‍යාඥයන් සිතා සිටින බව පෙනේ.

මෙය කියවන ඔබ ඇතැම් විට ‘‘ඕවා කවදා කෙරෙන ඒවා ද?” යයි සිතනු ඇත. එහෙත් දැනටමත් කෘමීන්ගෙන් ආහාර සහ සත්ව ආහාර නිපදවන බව ඔබ දන්නවා ද? සත්ව ආහාර සඳහා භාවිතා වන මාළු වෙනුවට ඔබගේ නිවසේ වෙසෙන ගෙමැස්සන්ගෙන් නිපදවන සත්ව ආහාර වඩා පෝෂ්‍යජනක බවත් සොයා ගෙන ඇත. ඉතා ඉක්මනින් ඔබේ කෑම මේසයට එන බ්‍රොයිලර් කුකුල් මස් මෙලෙස කෘමි සත්වාහාර යොදා නිපදවන ඒවා වනු ඇත.

සෘජු ලෙස අනුභව කළ හැකි සහ සකසන ලද ආහාර වශයෙන් කෘමි ආහාර නිපදවීමට දැනටමත් සමාගම් අත ගසා ඇත. මේ අනුව ඇතැම් සමාගම් තණකොළපෙත්තන්, කැරපොත්තන්, කුරුමිණියන්, ගෙමැස්සන් විශාල වශයෙන් ඇති කිරීමට පටන් ගෙන ඇත.

මා මේ වාර්තාව ඔබගේ අවධානයට යොමු කළේ, ඉදිරි ආහාර අර්බුදය පිළිබඳ ව යළි ඔබේ මතකයට නැංවීමට ය. නවීන කෘෂිකර්මය තුළින් ලෝකයට ආහාර සැපයීමට නො හැකි හෙයින් දැන් කෘමි වගාවට ලෝකය පෙළඹවීමට නවීන විද්‍යාඥයන් දරන වෑයම පෙන්වා දීමට ය.

හරිත විප්ලවය තුළින් නිපදවන ලද ආහාරවලින් ලෝකයට විෂ කවා, මෙතෙක් නො ඇසු විරූ රෝගවලට මග පෙන්වූ නවීන කෘෂි විද්‍යාඥයන් මේ සූදානම් වන්නේ කුමකට දැයි අප අවධානයකින් සිටිය යුතු ය. දැනටමත් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට ඉදිරියට පැන සූදානම් වන්නේ බහුජාතික සමාගම් ය. ඉදිරියේ දී බහුජාතික සමාගම් කෘමීන් ඇති කිරීම සහ ආහාර වශයෙන් සැකසීමට මූලිකත්වය ගනු ඇත. ඔබගේ ආහාරවල සුරක්ෂිත භාවය ගැන වගකීමට ඉදිරියේ දී කිසිවකුත් සොයා ගැනීමට නො හැකි වනු ඇත.

අපත් මෙම නවීන උගුලට දැන දැනම පැනිය යුතු ද? මෙම උගුලට අප හසු වන්නේ නවීන යයි කියාගන්නා ආහාර පුරුදු නිසා නො වේ ද? ඔබ ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වූයේ නම් ඉදිරියේ දී කෘමි ආහාරවලට ද සූදානම් විය යුතු ය. දැනටමත් ඇමරිකාවේ සහ යුරෝපයේ කෘමි ආහාර සපයන අවන්හල් ඕනැ තරම් ඇත. තායිලන්තයේ දැනටමත් කෘමීන් ඇති කරන සමාගම් ඇත.

මෙම උගුලෙන් මිදීම සඳහා අප කළ යුතු වන්නේ අපගේ ම දේශීය ආහාර රටාවකට යළි හුරු වීමයි. මෙය කළ හැක්කේ කෙසේ ද? අප විසින්ම නිපදවා ගනු ලබන ආහාර පරිභෝජනයට හුරු වීම ය. ඔබට උපකාරි විය හැකි එක් පැත්තක් පමණක් යළි ඔබගේ මතකයට නංවන්නට උත්සාහ දරන්නෙමි.

වගා නො කළ ආහාර

අප අවට පරිසරයේ ඇති ආහාර ගැන ඔබ සිතා බැලූවා ද? නාගරික නො වන ප‍්‍රදේශවල පරිසරයෙන් සොයා ගත හැකි ‘වගා නො කළ ආහාර ද්‍රව්‍ය’ කෙතරම් තිබේ ද? වගා පරිසරයක ඔබ හැදුණේ වැඩුණේ නම් ඔබට මේවා ඔබගේ මුතුන් මිත්තන්ගෙන් උගෙන ගන්නට ලැබෙන්නට ඇත.

ගෙවත්තේ, හේනේ හෝ අවට කැලෑ ප‍්‍රදේශවල අපට අනුභව කළ හැකි ආහාර ද්‍රව්‍ය කෙතරම් තිබේ ද? පලා වර්ග, අල වර්ග, බිම්මල්, මල් සහ ගෙඩි මෙලෙස අපට ආහාරයට ගත හැකි ඒවා ය. ආහාරය යනු වගා කළ දේ පමණකි යන සංකල්පයෙන් මිදීමට අපට දැන් කාලය එළඹ ඇත. වෙළඳපළින් හෝ වගා කර ලබාගන්නා ආහාරවලට වඩා ඇතැම් විට මෙම ආහාර පෝෂ්‍ය ගුණයෙන් ඉහළ ය.

මෙම තොරතුරු කෙරේ අවධානයෙන් බලන්න. මුරුංගා අප සැලකිල්ලකින් වගා කරන්නේ නැත. බොහෝ වියළි කලාප ඉඩම්වල වැඩි මහන්සියක් නො මැතිව වැවේ. අප මුරුංගා කරල් ගැන වැඩි අවධානයක් යොමු කළ ද මුරුංගාවල වැඩි පෝෂණය ඇත්තේ කොළවල ය. සොයාගෙන ඇති අන්දමට මුරුංගා කොළවල දොඩම්වල මෙන් 7 ගුණයක් සී විටමින් ඇත. කැරට්වල මෙන් 4 ගුණයක් ඒ විටමින් ඇත. කිරිවල මෙන් 4 ගුණයක් කැල්සියම් ඇත. කෙසෙල්වල මෙන් 3 ගුණයක් පොටෑසියම් ඇත. යෝගට්වල මෙන් දෙගුණයක් ප්‍රෝටීන් ඇත. මෙයට අමතර ව මුරුංගා කොළවල සියලූ ම පාහේ ඛනිජ වර්ග අඩංගු ය. මුරුංගා ඖෂධීය ගුණයෙන් ද ඉහළ ශාකයකි.

අප අවට ඇති මෙබඳු ආහාර වර්ගවල පෝෂණ ගුණයට අමතර ව ඇති ඖෂධීය ගුණ ගැන ඔබ සිතා බලා තිබේ ද? ඔබ හඳුනන දේශීය වෛද්‍යවරයෙකුගෙන් විමසන්න. අවට පරිසරයේ ඇති පලා, අල සහ වෙනත් ආහාරවල පෝෂණ ගුණය මෙන් ම ඖෂධීය ගුණය ද ඔබට පැහැදිලි කර ගත හැකි ය.

වගා නො කළ ආහාර පරිභෝජනය යළි ආරම්භ කිරීමට පෙර ඔබ විසින් අනුගමනය කළ යුතු කරුණු කීපයක් මතක් කරමි.

– හඳුනා ගැනීම

කලක් තිස්සේ පරිභෝජනය නො කිරීම නිසා ඔබ ගෙවත්තේ ඇති ආහාරයට ගත හැකි පැළෑටි වල් වශයෙන් සලකා විනාශ කළා විය හැකි ය. අල වර්ග සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් ය. මෙරට තිබුණු සියයකට අධික අල වර්ග අද හඳුනා ගැනීමට නො හැකි ව ඇත්තේ අපගේ ම නො සැලකිල්ල නිසා ය. ඒවා නැවත හඳුනාගෙන පරිසරයේ තිබෙන්නට හරින්න.

– සකස් කිරීම

නවීන ආහාර රටාවලට හුරු වීම නිසා මෙම ආහාර ද්‍රව්‍ය සකස් කිරීමේ, පිසීමේ ක‍්‍රමයන් ඔබ නො දන්නවා විය යුතු ය. ඒ සඳහා ඔබට වැඩිහිටියන්ගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.

– රැක ගැනීම

වගා නො කළ ආහාර ද්‍රව්‍ය, පරිසරය විසින් නොමිලේ ඔබට ලබා දෙන ත්‍යාගයකි. ඒවා පවතින්නේ පරිසර සාධකවලට අප අනිසි බලපෑමක් නො කරන තාක් කල් පමණි. එම පරිසර සාධක හඳුනාගෙන ආරක්ෂා කරගැනීම ඔබගේ යුතුකමකි.

ඔබගේ මෙන් ම ඔබගේ අනාගත පරපුර වෙනුවෙන් ද තීරණ ගැනීමට පෙර යළි සිතා බලන්න. විදේශීය ප‍්‍රභවයක් ඇති, වස විස පිරුණු කෘමීන්ගෙන් සකසන ලද ආහාරවලට ඔබ හසු වනවා ද? හරිත විප්ලවය විසින් ගෙනෙන ලද රෝගාබාධ මෙන් තවත් රෝගාබාධ ගොන්නක් සඳහා ඔබ ගන්නා ආහාර හේතු විය හැක. එනිසා, දේශීය ආහාර රටාවන්ට හුරු වී එම අනතුරුවලින් මිදෙනවා ද ?

වස විසෙන් තොර ආහාර වේලක් ඉදිරි පරපුරට දායාද කිරීමේ දැහැමි ක‍්‍රියා පිළිවෙළකට එළඹීමට ඔබටත් සිත් පහළ වේවා!

මහාමේඝ 2013 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

හරිත සටහන
හැපී ගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව

හැපි ග‍්‍රීන්ස් සංවිධානය
www.happygreens.lk
මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, ඇල්ල.