කල්පයක් යනු ඉතාමත් ම දිගු කලකි. උපමාවකින් එය දැක්වෙන්නේ මෙසේ ය. යොදුන් තුනක් උස මහතින් යුතු ගල් පර්වතයක් තිබේ. එක්තරා මිනිසෙක් වසර සියයකට වතාවක් සිනිඳු සේලයකින් එ් පර්වතය පිස දමයි. දිගු කලක් ඇවෑමෙන් එ් ගල් පර්වතය පොළොව මට්ටමට ම ගෙවී යනු ඇත. නමුත් කල්පයේ ආයුෂය තවමත් අවසන් වී නැත. එ් දිගු කාලයකින් සමන්විත කල්ප කී කෝටියක් නම් අප මේ සසරේ ගෙවා දමන්නට ඇද්ද?

සක්විති රජ පදවිය ලබන කෙනා පවා චතුරාර්ය සත්‍යාවබෝධය ලබා ගන්නා තුරු සතර අපා දුකින් නිදහස් නො වේ. අපත් කී වාරයක් නම් සක්විති රජවරු වෙන්නට ඇද්ද? එ් සක්විති රජවරුන්ට තිබූ දෙතිස් මහා පුරිස ලක්‍ෂණ කිසිවක් දැන් අපට නැත. අපි කලාතුරකින් දෙව්ලොවටත්, බඹලොවටත් ගියෙමු. මිනිස් ලොවට ආවෙමු. තිරිසන් අපායේ ගත කළ කාලය කොතරම් දිගු දැයි කවුරු නම් දනිත් ද? පේ‍්‍රත ලෝකයේ නිරයේ දුක් විඳි කාලය කොතරම් දිගු දැයි කවුරු නම් දනිත් ද?

මෙතරම් දිගු කලක් මුළුල්ලේ ඉපදීමත්, ජරාවත්, මරණයත් වැළඳගෙන අප සසර ගමනක පැටලී සිටින බව අප මෙතෙක් දැන සිටියේ නැත. එහෙත් දැන් අපි එය දනිමු. අපගේ ජීවිත තුළ පවතින සැබෑ ම අනතුර කුමක් දැයි අපි දැන් දනිමු. මේ දක්වා ම නිමා නො වන සසර ගමනක් උරුම වූයේ මක් නිසා දැයි දැන් අපි දනිමු.

කලාතුරකින් පහළ වන අසිරිමත් මනුෂ්‍ය රත්නයක් වන භාග්‍යවත් වූ, අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපට වදාරණ ලද ශ්‍රී සද්ධර්මය නිසා අප එය දැනගතිමු.

චතුරාර්ය සත්‍යාවබෝධයට පැමිණෙන තුරු සතර අපා දුකින් නිදහස් විය නො හැකි බව අපට පහදා දුන්නේ එ් භාග්‍යවතුන් වහන්සේ ය. චතුරාර්ය සත්‍ය යනු කුමක් දැයි අපට පහදා දුන්නේ එ් භාග්‍යවතුන් වහන්සේ ය. මේ සා දිගු ගමනක් අප සසර පුරා සැරිසරා ආවේ ස්ථිර වූ, නොවෙනස් වූ කිසිවක් නිසා නො ව හේතූන් නිසා ඵල හටගන්නා ධර්ම නියාමයක් මත බව අපට පහදා දුන්නේ උන්වහන්සේ ය. හේතූන් නැති වීමෙන් ඵල ද නැති වී යන ස්වභාවයෙන් යුක්ත යැයි අපට පහදා දුන්නේ උන්වහන්සේ ය.

මේ හේතු ඵල දහමින් සකස් වූ ජීවිතය පිළිබඳ යථාභූත ඤාණය ඇති කර ගත හැකි බව අපට පහදා දුන්නේ එ් භාග්‍යවතුන් වහන්සේ ය.

ලොව සියලූ දෙය අනිත්‍ය බවත්, අනිත්‍ය වූ සියල්ල ම දුකට අයත් වන බවත්, දුක් වූ සියල්ල තමාගේ වසඟයේ පවත්වා ගත නො හැකි නිසා අනාත්ම බවත් අපට පහදා දුන්නේ උන්වහන්සේ ය. එ් යථාර්ථය අවබෝධ කර ගැනීම බුද්ධිමත් කෙනෙකුට කළ හැකි බවත් පහදා දුන්නේ උන්වහන්සේ ය. එවිට මේ හේතු ඵල දහමින් සකස් වූ ජීවිතයේ ස්වභාවය අවබෝ්ධ වන බවත්, එ් නිසා ම එ් ගැන කළකිරෙන බවත්, එ් නිසා ම එ් ගැන ඇල්ම දුරු වීමෙන් එයින් නිදහස් වන බවත් පහදා දුන්නේ උන්වහන්සේ ය.

හේතු-ඵල දහමින් සකස් වූ දුක හේතු නැති වීමෙන් නැති වී ගිය විට ඔහු දුකින් නිදහස් වන බවත් අපට පහදා දුන්නේ උන්වහන්සේ ය. එ් කෙනා අමා මහ නිවන නම් වූ අත්‍යුදාර සැපයට පත්වන බවත්, එ් අමා නිවන් හේතූන්ගෙන් හට නො ගත් නිසා ජාති-ජරා-මරණ කිසිවක් එහි නැති බවත් අපට පහදා දුන්නේ එ් භාග්‍යවතුන් වහන්සේ ය.

එ් සඳහා සීල – සමාධි – ප‍්‍රඥවෙන් යුතු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කළ යුතු බවත්, එ් ආර්ය මාර්ගය සම්පූර්ණ කර ගත් විට එ් අමා නිවන සාක්ෂාත් කළ හැකි බවත් අපට පහදා දුන්නේ උන්වහන්සේ ය.

එ් ආර්ය මාර්ගය තුළින් බුද්ධිමත් කෙනෙකුට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන අවස්ථා හතර දක්වා දියුණු කර ගනිමින් එ් අමා නිවනට පත් වීම පිණිස කෙමෙන් කෙමෙන් නිකෙලෙස් විය හැකි බවත් පෙන්වා වදාළේ එ් භාග්‍යවතුන් වහන්සේ ය.

අපට කොතරම් ආදරය කළ අය සිටිය ද එ් කවුරුත් අපට මේ දෙය පවසා නැත. අපට කොතරම් සෙනෙහසින් සිටියත් බොහෝ දෙනෙක් අප සසර දුකින් නිදහස් වීම ගැන ද කැමති නැත. එවන් මිනිස් ලොවක අපගේ භාග්‍යවතුන් වහන්සේ මොන තරම් කරුණාවකින් අපට මේ උතුම් සත්‍යය පහදා දෙන සේක් ද?

මේ උතුම් මොහොතේ අපිත් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස උත්සාහ නො කළොත් සතර අපායට වැටෙන සුලූ සසරින් නිදහස් වීමට අපට නො හැකි වනු ඇත. එනිසා අප කළ යුත්තේ වහ වහා චතුරාර්ය සත්‍යාවබෝධයට වෑයම් කිරීම යි. මේ තමයි උතුම් ම මොහොත! ආයෙ කවදා නම් මෙවන් උතුම් මොහොතක් අපට මුණ ගැසේවි ද?

මහාමේඝ 2016 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ