දේවෝ වස්සතු කාලේන
සස්ස සම්පත්ති හෝතු ච
පීතෝ භවතු ලෝකෝච
රාජාභවතු ධම්මිකෝ
කල් වැසි වසීවා!
කෙත් වතු සාර වේවා!
හැම දෙවියෝ රකිත්වා!
රජු දැහැමිව ලො වැජඹේවා!
ඉපැරණි වන්දනා ගාථාවන් අතර මෙම ගාථාව ඔබ අසා ඇති. එයින් කියැවෙන්නේ රටක සමෘද්ධියට අතිශයින් ම බලපාන කාරණා හතරක් සම්බන්ධවයි. ඒවා නම්, නිසි කලට වැසි වැසීමත්, කෙත් වතු සාර වීමත්, දේවාශීර්වාදයත්, දැහැමිව රට පාලනය කරන රජෙකු සිටීමත් ය. එකල සාමාන්‍ය ජනතාව අතර රට පාලනය කරන රජතුමාට හිමි වූ ස්ථානය කෙතරම්දැයි මෙම වන්දනා ගාථා තුළින් පවා සිතාගත හැකි ය.
රටක දියුණුවට, අභිවෘද්ධියට රජ කෙනෙකු රට පාලනය කරන ආකාරය බලපායි. එමතුද නොව එම දෙරණේ සාරවත් බව ගහකොළ ආදියේ සෞම්‍ය බවට, දේශගුණයට පවා රටේ පාලකයන්ගේ ධාර්මික, අධාර්මික බව බලපායි. එබඳු පුවතක් කියැවෙන අපූරු ජාතකයක් ජාතක පාලියේ සඳහන් වේ.
එක්තරා කලෙක බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය පාලනය කළේ ය. එකල අපගේ බෝසතාණන් වහන්සේ එක්තරා බ්‍රාහ්මණ කුලයක ඉපිද තරුණ වයසට එළඹුන කල්හි ගිහිගේ අත්හැර තාපස පැවිද්දෙන් පැවිදි බිමට පත් වූයේ ය. ඉන්පසු නොබෝ කලකින් ම පංච අභිඥා සහිතව ධ්‍යාන සමාපත්ති ආදිය දියුණු කරගෙන ඉතාමත් සුවසේ වාසය කළේ ය. එසේම ඒ බ්‍රහ්මදත්ත රජු ද බදු බර අඩු කොට, සමානව ජනතාවට සහන සලසමින්, වැව් අමුණු ආදිය බඳිමින්, රට සශ්‍රීක කරමින් ඉතා සුවසේ රාජ්‍යය කරගෙන ගියේ ය. හෙතෙමේ දිනක් තමාගේ රාජ්‍ය පාලනය පිළිබඳව රටවැසියන් පවසන දෑ දැනගැනීමේ අදහසින් වෙස් වලාගෙන ඇතුල් නුවර සැරිසැරුවේ ය. එහිදී ඒ රජතුමාට තමා පිළිබඳ කිසිම දොසක් ඇසිය නොහැකි විය. එබැවින් හෙතෙමේ නුවරින් පිට රාජ්‍යය තුළ සැරිසැරූ නමුත් එයින් ද දොසක් නොඇසිය හැකි කල්හි හිමාලයේ හෝ තමාගේ අඩුපාඩුවක් කියන කෙනෙක් ඇත්දැයි විමසීමට සිතා හිමාලයට පිටත් වූයේ ය. එහිදී ඒ රජුට අප මහ බෝසත් තෙමේ මුණගැසුණේ ය. ඉන්පසු ඒ තාපස තෙමේ හොඳින් ඉදුණු, රත් පැහැ වූ නුග ඵලයක් අනුභවය පිණිස රජතුමාට පිළිගැන්වූයේ ය. එයින් රස නහර පිනා ගිය රජතෙමේ ඒ නුග ඵල ඉතාමත් රසවත් බවත්, උක් හකුරුවලින් තැනුවාක් මෙන් ප්‍රණීත බවත් පවසා මෙතරම් ප්‍රණීත වීමට හේතුව කුමක්දැයි විමසී ය. එවිට එම තාපස තෙමේ පැවසූයේ බරණැස රජතෙමේ ඉතාමත් ධාර්මික ව රජ කරන බැවින් පෘථිවි ඕජාව පවා රසවත් වී ඵලවැල ආදිය පවා ඉතාම ප්‍රණීත වී ඇති බවයි. මෙම වචන විශ්වාස නොකළ බරණැස රජතෙමේ තමා ම මෙය පරීක්ෂා කර බැලිය යුතු බව සිතා ආපසු රාජ්‍යය වෙත ගොස් මිනිසුන්ට දැරිය නොහැකි තරම් බදු බර පැනවී ය. මිනිසුන් තලා පෙළා කටයුතු කළේ ය. රට අධාර්මික ව පාලනය කරන්නට පටන් ගත්තේ ය. ඉන්පසු හෙතෙමේ නැවතත් හිමාල වනය කරා ගොස් බෝසත් තාපසතුමන්ගේ ආරාමයට පිවිසියේ ය. ඒ අවස්ථාවේ තාපස තෙමේ සුපුරුදු පරිදි පෙරකී නුගයෙන් ම නුග ඵලයක් ගෙන රජතුමාට අනුභවය පිණිස පිළිගැන්වූයේ ය.
එම නුග ඵලය මුඛයට ගත් සැණින් මහත් වූ තිත්ත රසක් දැනුණු අතර රජතුමා එය වහා ම මුඛයෙන් එළියට දැමී ය. ඉන්පසු බෝසත් තාපස තෙමේ දෙසට හැරුනු රජතුමා විමසුවේ මෙවන් වූ තිත්ත රසයක් දැනුණු මෙම නුග ඵලය නම් පෙර නුගයේ ඵලයක් විය නොහැකි බවයි. එවිට බෝසත් තාපස තෙමේ පැවසුවේ මේ නුග ඵලය එම නුග ශාකයේ ම ඵලයක් බවත්, මෙවන් වූ තිත්ත රසක් දැනීමට හේතුවක් සිතාගත නොහැකි බවත් ය. පෙර ධාර්මික ව කටයුතු කළ බරණැස් රජතුමා දැන් අධාර්මික ව, රටවැසියන් තලා පෙළමින් කටයුතු කරන බැවින් ගහකොළට පවා එය දැනී පෘථිවි රසය පවා අතුරුදන් වී ඇති බවට සිතිය හැකි බවයි. සමහර විට කල් වැසි නොවසින, බෝවන රෝග ඇති, රටට ම දුර්භාග්‍ය සම්පන්න කාලයක් උදාවී ඇතැයි සිතිය හැකි බවයි. මෙසේ කරුණු කියන විට, ඒ කාරණා හොඳින් තේරුම් ගත් රජතෙමේ පැවසුවේ බරණැස් රජු තමා බවත්, බරණැස් රට පාලනය කරන රජුගේ ධාර්මික බව මේ හිමාල වනයට පවා දැනෙන අයුරු ඉතාමත් විස්මිත බවත් ය. ඒ මොහොතේ බෝසත් තාපස තෙමේ ගාථා කිහිපයකින් මෙසේ වදාළේ ය. “ඒකාන්තයෙන් ම එතෙර වන්නා වූ ගොනුන් අතරින් ප්‍රධාන ගවයා වක්‍ර ව ගමන් ගන්නේ ද සියලු ගවයන් ද වක්‍ර ව ගමන් කරයි. එසේම මිනිසුන් අතර යම් කෙනෙක් ශ්‍රේෂ්ඨ යැයි සම්මත ද ඉදින් ඒ තැනැත්තා අධාර්මික ව හැසිරෙයි ද රට ම අධාර්මික වේ. සියලු ජනයා දුකට පත් වෙති.
ඒකාන්තයෙන් ම එතෙර වන්නා වූ ප්‍රධාන ගවයා ඍජුව ගමන් ගන්නේ ද සියලු ගවයෝ ඍජුව ගමන් කරති. එසේම මිනිසුන් අතර යම් කෙනෙක් ශ්‍රේෂ්ඨ යැයි සම්මත ද ඉතින් ඒ තැනැත්තා ධර්මයේ හැසිරෙයි ද මුළු රට ම සැපයට පත් වන්නේ ය.”
මේ අයුරින් ද පෙනී යන්නේ රටක සෞභාග්‍යය, දියුණුව, ලෞකික ලෝකෝත්තර සැපය පිණිස එම රට පාලනය කරන රජුගේ ධාර්මික බව හෝ අධාර්මික බව හොඳින් බලපානා බවයි. රාජ්‍යත්වය අතිශයින්ම තේජාන්විතය, බලවත්ය. රටක සියලු බලධාරීන්ට අයත් බලයන් අතරින් අග්‍ර වන්නේ රාජ්‍යත්වයයි. නිලයන් අතරින් අග්‍ර වන්නේ ද රාජ්‍යත්වය ම යි. ධනධාන්‍ය, යස ඉසුරු සම්පත්වලින් රාජ්‍යත්වය ඉක්මවා ගිය සිටුවරු ආදීන් විසිය හැකි වුවත් ඒ සියලු දෙනාම පාහේ රාජ්‍යත්වයට යටත් ය. රටක ජනතාවගේ භාරකරු වශයෙන් ඉමහත් තේජසක් පතුරවමින් සිටින රජ කෙනෙකුට ඒ නිලය, ධනය, බලය තමා කැමති ඕනෑම දෙයක් උදෙසා යෙදවිය හැකි ය. බටහිර රාජ්‍යයන් සැලකූ විට, සමහර රජවරු තම බලපුළුවන්කාරකම් යොදාගෙන ඇත්තේ සටන් කරමින් තම රාජ්‍ය ප්‍රදේශය වඩ වඩා වැඩිකර ගැනීම උදෙසා ය.
ඒ සඳහා ඔවුන් දහස් ගණන් මිනිසුන්ගේ ලේ සෙලවීමට තරම් සිත් පිත් නැති අය වූහ. සමහර රජවරු තම බලය යොදාගෙන ඇත්තේ පංචකාම සැපයෙන් මත් වීම උදෙසා පමණ ම ය. සුරාසූදුවේ යෙදෙමින්, බොහෝ ගණන් ස්ත්‍රීන් සේවනය කරමින් සතුටු වීමට පමණක් ඔවුහු තම රාජ්‍ය කාලය භාවිත කළහ. එසේ නොයෙකුත් දුරාචාරවල යෙදුණු රජවරු ඒ රටවල මිනිසුන් විසින් ම නෙරපා හැරීමට කටයුතු කෙරිණ. එමතුද නොව ලක්දිව රජවරු සැලකූ විට ඒ සමහරක් රජවරු නොයෙකුත් පෙළඹවීම් සහ නොමඟ යැවීම් නිසා බුද්ධ ශාසනයට හානි කිරීමට පවා පෙළඹුණහ. මහසෙන් රජු ඊට හොඳ ම උදාහරණයයි. ඔහු එක්තරා මිථ්‍යාදෘෂ්ටික භික්ෂුවකගේ නොමඟ යැවීම් නිසා මහා විහාරවාසී තෙරුන් පිළිබඳ කිපී බුදුදහමට මහා විනාශයක් සිදු කළේ ය.
මහසෙන් රජු යනු ජෙට්ඨතිස්ස රජුගේ බාල සොයුරා ය. මහාවිහාරී භික්ෂූන් සමඟින් වෛර බැඳගත් සංඝමිත්‍ර නම් පාපී භික්ෂුවගේ ඇසුරට පත් හෙතෙමේ මහාවිහාරී භික්ෂූන් සීල සංවරයෙන් තොර යැයි සිතා ඒ භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීම පවා රටවැසියන්ට තහනම් කළේ ය. ඉන්පසු මහා විහාරය පාළුවට ගිය අතර සංඝමිත්‍ර භික්ෂුවගේ පෙළඹවීම මත මහා විහාරයත්, ලෝවාමහා ප්‍රාසාදයත් බිඳවීමට ඒ රජතුමා කටයුතු කළේ ය. මේ සඳහා සෝණ නම් දුෂ්ට ඇමති කෙනෙකුත්, දුෂ්ට භික්ෂූනුත් මැදිහත්ව ක්‍රියා කළහ. ඒ පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ මෙසේ ය.
“සංඝමිත්‍ර නැමැති පාප මිත්‍ර භික්ෂුවත්, සෝණ නැමැති සේවකයාත් තමන් ළඟට පැමිණීම නිසා ඒ මහසෙන් රජ්ජුරුවෝ සුවිශාල පව් රැස්කර ගත්තා.”
ඉන්පසු සංඝමිත්‍ර භික්ෂුවගේ උපදෙස් පරිදි අභයගිරිය බොහෝ විහාරාංගයන්ගෙන් සමන්විතව පිළිසකර කළ රජතෙමේ, ඔහුගේ කුළුපග මිත්‍රයෙකු වූ මේඝවර්ණ අභය නැමැති අමාත්‍යයාගේ යහපත් ඇසුර නිසා මහාවිහාරය පිළිබඳව තිබූ වැරදි අදහස අත්හැරගෙන සංඝයාගෙන් සමාව අයැද, මහා විහාරය නැවත පිළිසකර කර බොහෝ පිරිවෙන් ආදිය තනවා බුදුදහමට මහත් සේවයක් සිදු කළේ ය. ඒ පිළිබඳ මහාවංශයේ මෙසේ සඳහන් වේ.
“මේ ආකාරයෙන් මහසෙන් රජ්ජුරුවෝ අතිවිශාල වශයෙන් පිනුත්, පවුත් රැස් කරගත්තා. මේ රජකම කියන්නේ නොයෙක් ආකාරයෙන් බොහෝ පින් කරගන්ට උපකාරී වන තනතුරක්. ඒ වගේ ම බොහෝ පව් කරගන්ටත් හේතුවන තනතුරක්. රජකම කියන්නේ වස මිශ්‍ර කරන ලද මිහිරි භෝජනයක් වැනි දෙයක්. එනිසා සත්පුරුෂ තැනැත්තා කිසි කලෙකත් රාජ්‍යත්වය ඇසුරු නොකළ යුතුයි.”
එසේ නම් රාජ්‍යත්වයට පවා නිවැරදි මඟපෙන්වීමක්, යහපත් ඇසුරක් නොලැබී යාමෙන් මහත් විනාශයක් සිදුවිය හැකි බව මෙයින් මනාව ගම්‍ය වේ. අපගේ වාසනාවකට මේ කරුණු රහතන් වහන්සේලාගෙන් මනා ව උගත් බොහෝ ලක්දිව රජවරු සතර අගතියට පත් නොවී සතර සංග්‍රහ වස්තූන්ගෙන් ජනයාට සංග්‍රහ කරමින්, දසරාජ ධර්මයට අනුව යමින් මේ රට පාලනය කළෝ ය.
මෙම ලිපි මාලාවේ ඉදිරි කලාප තුළින් ලක්දිව බුදු සසුන බැබළවූ සැදැහැවත් රජදරුවන් සිදු කළ තවත් බොහෝ පින්කම් පිළිබඳ ව ඔබට ඉගෙනගත හැකි වනු ඇත.
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
සාකච්ඡා කළේ – උත්පලා ගුණතිලක
Recent Comments