සියලු සත්වගහට සෙත සලසන්නා වූ, සියලු ලෝකයන්ට අග්‍ර වූ ශාන්තිනායකයාණන් වහන්සේගේ මේ සම්බුදු සසුන නම් වූ ධර්ම රාජ්‍යයෙහි, සෙන්පතියාණන් හා ධර්ම පුරෝහිතයාණන් සේ තුන් ලෝතලයේ දෙව් මිනිසුන්ගේ අන්ධකාර ලෝකය එළිය කොට වදාළ හිරු සඳු වන් පූජනීය උතුමෝ වූ අප ධර්ම සේනාධිපති වූ සාරිපුත්ත මහරහතන් වහන්සේත්, ධර්ම පුරෝහිත වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් අගතනතුරු ලැබුවේ අපගේ ලොව්තුරු බුදු පියාණන් වහන්සේ සම්බුද්ධත්වය ලබා දසමසෙකින් එළඹි නවම් පුන් පොහෝ දවසේ ය.

ඒ උතුමෝ ඒකාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා බෝසතාණන් වහන්සේ සමඟින් ම සසර පුරා පැමිණ අස්සජී මහරහත් මුනිඳුන්ගෙන් දහම් අසා, දෙසිය පනහක් වූ පිරිසක් සමඟින් වේළුවනාරාමයේ දී පැවිදි බිමට පත් වූහ. තිලොවග නායක වූ අප බුදු පියාණන් වහන්සේගෙන් දහම් අසා ඒ දෙසිය පනහක් වූ පිරිස අරහත්වයට පත් වූ අතර මුගලන් මහ තෙරුන් වහන්සේ පැවිදිව සත් දිනෙකින් මගධ රට කල්ලවාල ගමෙහි දී බුදු පියාණන් වහන්සේගෙන් ධාතු කර්මස්ථානය අසා අරහත්වයට පත් වූ සේක. සාරිපුත්ත මහරහතන් වහන්සේ පැවිදිව පසළොස් වන දින රජගහනුවර සූකරඛත ලෙනෙහි දී දීඝනඛ පරිබ්‍රාජකයා හට කළ දේශනාව අසමින්, බුදු පියාණන් වහන්සේට පවන් සලමින් සිටිය දී අරහත්වයට පත් වූ සේක.

එදින ම සවස් යාමයෙහි වේළුවනාරාමයේ දී අපගේ මහා මුනීන්ද්‍ර වූ බුදු පියාණන් වහන්සේ විසින් උරුවේල කස්සප මහරහතන් වහන්සේ සමඟ වැඩ සිටි පුරාණ ජටිල වූ මහරහතන් වහන්සේලා දහස්නමක් ද සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා සමඟ වැඩි දෙසිය පනහක් වූ රහතන් වහන්සේලා ද සමඟින් එක්දහස් දෙසිය පනහක් වූ මහා ශ්‍රාවක සංඝ සන්නිපාතය මධ්‍යයෙහි, අගතනතුරු පිරිනැමූ සේක. ඒ සමඟ ම අපගේ බුදු පියාණන් වහන්සේ විසින් ඒ බුදු පිරිස මධ්‍යයෙහි ප්‍රාතිමෝක්ෂය දේශනා කළ සේක.

සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං – ඒතං බුද්ධාන සාසනං

“සියලු පව් නොකිරීමත්, කුසල් දහම් උපදවා ගැනීමත්, තමන්ගේ සිත පිරිසිදු කිරීමත් යන මේවා බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයයි!”

දම් සුවඳ පතුරුවමින්, ලොව්තුරු සුවයක මිහිර මුළු ලොවට ම පසක් කරමින්, දෙවියන්ගේ දේවානුභාවයත් බඹුන්ගේ බ්‍රහ්මානුභාවයත් අබිබවා කරුණා නිධානය හදෙහි දරා, දෙව් මිනිසුන්ගේ අන්ධකාර ලෝකය ආලෝකවත් කරන පහන් සිළු දෙකක් බඳු අග්‍රශ්‍රාවකයන් වහන්සේලා කල්ප ගණනකිනුදු දක්නට අතිශයින් දුර්ලභ සම්බුදු සසුනෙහි අසිරිය ලොවට ම කියා පාමින් බැබළී වැඩ සිටි සේක. හිරු සඳු ඇද වැටී මහ පොළෝ සුණුවිසුණු වී ගිය ද කිසි කෙනෙකුගේ අල්පමාත්‍ර දුකකට අකමැති ව ලොව සසල කරමින්, දෙව් බඹුන්ගේ ද ලෝ වැසියන්ගේ ද පූජෝපහාර ලබමින් වැඩ සිටි සියලු ගුණයට ආකරයක් බඳු අපගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

ගනඳුරු ලෝකය දහම් එළියෙන් එළිය කළ හිරු මඬලවන් අපගේ ශාස්තෘන් වහන්සේ තුන් ලෝ තලයේ ම අග්‍රගුණ දරා වැඩ සිටි ශ්‍රේෂ්ඨ උතුමන් බිහිකොට වදාළ සේක. එනමුදු ගෞතම සම්බුදු සසුන ඒකාලෝක කළ නික්ලේෂී පහන් සිළු දිනෙන් දින නිවී යන්නට වන. පහන් සිළු නිවමින් අන්ධකාර ලෝකයකට ඇදගෙන යන කාලය නමැති මහා බිහිසුණු චණ්ඩ මාරුතය වේගයෙන් ඇදී ගියේ ය. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ද පිරිනිවී, හිස් වූ ලොවකින් මළහිරු බසිනා සෙයක් දිස් විය. දකිනු රිසි නොවන ආකූල ව්‍යාකූල වූ ලොවකට ඇද දමන අනිත්‍යයේ මහා සැඩ පහර ගෞතම සම්බුදු සසුනට මරු පහරක් සේ වැදිණ.

ඒ නවම් පුර පසළොස්වක පුන් පොහෝ දවසයි. සම්බුද්ධත්වයෙන් වසර හතලිස් පහක් සපිරීමට තවත් ඇත්තේ මාස තුනක් වැනි අල්ප කාලයෙකි. අප මහා මුනි වූ සම්බුදු පියාණෝ පන්සියයක් වූ මහා භික්ෂු පිරිසක් සමඟින් පාටලීපුත්‍රයෙන් අහසට නැගී ගංගා නම් නදී තරණය කොට විශාලා මහනුවරට වැඩි සේක. චාපාල චෛත්‍යස්ථානයෙහි දිවා විහරණය පිණිස වැඩ සිටි සේක.

ආනන්ද තෙරුන් අමතා අපගේ ශාස්තෘන් වහන්සේ මෙසේ වදාළ සේක. “බලව ආනන්දය, විසල්පුර රමණීය ය, උදේනි චේතියත්, ගෝතමක චේතියත්, සත්තම්භක චේතියත්, බහුපුත්තක චේතියත්, සාරන්දද චේතියත්, රමණීය ය. බලව මේ චාපාල චේතියත් රමණීය ය.

ආනන්දය, යමෙකු විසින් ඡන්ද, චිත්ත, විරිය, විමංසා යන ඉර්ධිපාදයන් හොඳින් ප්‍රගුණ කොට ඇත්නම්, බහුලව ප්‍රගුණ කොට ඇත්නම්, යානයක සෙයින් එහි සිටිය හැකි නම්, නිවසක සෙයින් එහි විසිය හැකි නම්, හේ කැමති නම්, සිය ආයුෂ කල්පය ම සිටිය හැක්කේ ය. ඊට ටිකක් වැඩියෙන් වුවත් සිටිය හැක්කේ ය. ආනන්දය, තථාගත එබඳු කෙනෙකි.”

මෙසේ අපගේ ශාස්තෘන් වහන්සේ විසින් දහසය වතාවක් ම නැවත නැවතත් සිහිපත් කළ සේක්, මනා සිහිනුවණ ඇති, වේගවත් ප්‍රඥා ඇති, බලවත් නුවණ ඇති, මහත් ශ්‍රද්ධා ඇති, සෝවාන්ව වැඩ සිටි, සෙවණැල්ල සේ අප භාග්‍යවතුන් වහන්සේව අත් නොහරිමින් දිවි පරදුවට තබා උවටැන් කළ, අපගේ ආනන්දයන් වහන්සේට, “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පයක් වැඩ සිටින සේක්වා!” යැයි කියා, භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළ නොහැකි අයුරින් ලොව වසා මෝහ පටලයේ සිර කරවන පාපී මාරයා බාධා කළේ ය.

අහෝ! ලොව කෙතරම් බිහිසුණු ද? අඳුරෙහි ම සිරවූ සත්වග මුළාවෙන් මුළාවට ම ඇදගෙන යන, සසරෙහි ම සිර කරන, සත්වගට කෙමනක් බඳු පාපී මාරයා පෙරට ආයේ ය. ආනන්ද තෙරණුවෝ හුදෙකලාවේ ම ඉවතට වැඩි සේක.

මළහිරුට ඇරයුමක් සේ සත්වගට බිය උපදවමින් ඝන වලාවෙන් වැසී ගිය බේළුව ගමෙහි දී පාපී මාරයා අපගේ ශාස්තෘන් වහන්සේට ඇරයුම් කොට, “ස්වාමීනි, භගවත් තෙමේ පිරිනිවන් පෑව මැනව. සුගත තෙමේ පිරිනිවන් පෑව මැනව. දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පාන්නට කාලයයි. මින් පෙර ද භාග්‍යවතුන් වහන්සේට අජපල් නුගරුක් මූලයේ දී සම්බුදු බව ලද අලුත ම මා පිරිනිවන් පාන්නට ඇරයුම් කළ අයුරු මතක ඇතැයි සිතමි. එදා භගවත් තෙමේ මට කියා සිටියේ තම ශාසනයෙහි භික්ෂූ, භික්ෂුණී, උපාසක, උපාසිකා පිරිස ව්‍යක්ත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් වසත් ද උපන් වාද මැඩ පවත්වා ධර්මයෙන් අනුග්‍රහ කරන්නට දක්ෂ වෙත් ද ඒ තාක් පිරිනිවන් නොපාමි කියා ය. ඉතින් දැන් හරි නොවැ. සිදු වී ඇත්තේ එයයි.”
අප භාග්‍යවතුන් වහන්සේ පාපී මරු හට මෙසේ වදාළ සේක.

“මාරය, නුඹ මන්දෝත්සාහී වව්! තථාගතයන්ගේ පිරිනිවීම නොබෝ කලකින් වන්නේ ය. අද පටන් තුන් මසක් ගිය කල තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය.” කියා දින නියම කොට ආයු සංස්කාර අත්හළ සේක.

එකල්හී මහ පොළොව සැලී ගියේ විය. හෙණ හඬ නගමින් අහස ගුගුරන්නට විය. බිහිසුණු ලොමුඩහ ගැනුම් ඇතිවිය. අකල් වැසි දහර ඇද හැළුණි. අප මුනිඳුන් මෙසේ උදන් ඇනූහ.

තුලමතුලං ච සම්භවං – භව සංඛාර මවස්සජි මුනි
අජ්ඣත්තරතෝ සමාහිතෝ – අභින්දි කවචමිවත්තසම්භවන්ති

“සසරත් නිවනත් මැනවින් නුවණින් දුටු මුනිඳු
භවදුක සදනා හැම සංඛත දුරු කළ මුනිඳු
නිවනෙහි ඇලෙමින් එකඟ සිතින් යුතු වූ මුනිඳු
යුද ඇඳුමක් ගැලවූ සේ අදිටනින් අත්හැරියේ මුනිඳු”

අපගේ ආනන්දයන් වහන්සේ වහා පැමිණ අද්භූත දෙයක් සිදුවිණි යැයි පැවසූ කල්හි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නට තීරණය කළ බව කීයෙන් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ ඇරයුම් කළ සේක්,

“ස්වාමීනී, කල්පයක් වැඩ සිටින සේක්වා!”

“ආනන්දය, දැන් පමා වැඩි ය.” භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර එයයි.

නොනවත්වා පෙරැත්ත කරමින් ආනන්ද ස්වාමීන් වහන්සේ හඬා වැළපෙන්නට වූහ.

සද්දහසි ආනන්ද, තථාගතස්ස බෝධිං.” ආනන්දය, තෙපි තථාගතයන්ගේ අවබෝධය අදහන්නෙහි ද? යි භාග්‍යවතුන් වහන්සේ විමසා සිටි විට ආනන්දයන් වහන්සේ නිහඬ වූහ.

ඒ නවම් පුර පසළොස්වක පොහොය, අන්ධකාරය ලොවට කැන්දූ, තුන්ලොවක් කඳුළෙන් තෙමාලූ, මිහිමඬල පාළු සොබා ගත්, දෙව් මිනිසුන්ගේ හදෙහි ශෝකය පුරවාලූ, කඳුළු කතාවක අඳුර මතුකළ දිනය යි. සැදැහින් පිරුණ ආනන්දයන් වහන්සේ බුද්ධ වචනය අබියස නිහඬ වුව ද අඳුරට ලොව රැගෙන යන, කෙලෙස් ලෝකයට මං විවර වන, සත්පුරුෂයින්ගේ ලෝකයට මරු පහරක් එල්ල වන අභාග්‍ය සම්පන්න යුගයක මූලාරම්භය ය මේ.

බොහෝ සත්වයන්ගේ නිරා ගිනි නිවූ, ප්‍රේතයින්ගේ සා පවස් නිවූ, දෙව් බඹුන්ගේ කෙලෙස් ගිනි නිවූ, සැම සිත් සතන් නිවා පහන් කළ, සෑසි තිලෝගුරු, මහා මුනි වූ, ආයු සංස්කාර අත්හළ, ලොව සැබෑම සත්‍යය ලොවට ම දායාද කළ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.