පවුල් ජීවිතයක සාර්ථකත්වයට අප විසින් සසරේ රැස්කරන ලද කුසල අකුසල කර්මයන් මඟින් ප්‍රධාන බලපෑමක් එල්ල වේ. මේ නිසා ඇතැම් අයට තමා කොතරම් නිවැරදිව ජීවිතය ගතකලත් විවාහ ජීවිතයේ නොයෙක් කරදර හිරිහැර වලට පාත්‍ර වීමට සිදුවේ. එය බොහෝවිට සසරේ රැස්කළ අකුසල කර්මයන්ගේ විපාකයක් විය හැකිය. පෙර ජීවිත වලදී අනෙක් අයගේ සාමකාමී පවුල් ජීවිත වලට හානිකොට නොයෙක් අර්බුද ඉපදවීමත් අන් අයට නින්දා අපහාස හිරිහැර කර තිබීමත් වැරදි කාමසේවනය වැනි අකුසලත් බොහෝවිට මෙවැනි දුක් දොම්නස් විඳීමට හේතු වේ. මේ නිසා මෙයට ඇති හොඳම විසඳුම නම් මේ බිහිසුණු සසරෙහිම ස්වභාවයක් ලෙස සලකා හැකිතාක් ඉවසීමත් මෙත් සිතත් දියුණු කරගැනීමයි. තමාට නොයෙක් දුක් කරදර පීඩා ඇති වෙන විට මේ තුලින්ම දුක්ඛ ආර්ය සත්‍ය තේරැම් ගැනීමටද අප උත්සහ කළයුතුය.

නමුත් සමහරුන්ගේ පවුල් ජීවිතවල අවුල් හටගන්නේ කර්ම විපාක වශයෙන් නොවේ. තමා තුලින්ම සිදු වන්නා වූ ඇතැම් දුර්වලතාත් නුවණින් සලකා කටයුතු නොකිරීමත් ඒවාට හේතු සාධක වේ. බොහෝවිට ඇතැම් බිරින්දෑවරුනුත් ස්වාමිවරුත් සිතන්නේ තමා සියයට සියයක්ම නිවැරදිය කියා ය. අනෙකා වැරදිය කියා ය. දෙදෙනාම එසේ කල්පනා කිරීමෙන් ජීවිත අවුලෙන් අවුලට පත්වේ. මේ නිසා දෙදෙනාම සමගිව කතාබස් කොට නිහතමානීව තම තමන්ගේ දුර්වලතා තේරැම් ගෙන ධර්මය තුලින්ම ඒ අඩුපාඩු නිවැරදි කරගත යුතුය. බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත තුළ එකිනෙකාට ප්‍රිය වචනයෙන් කතා නොකිරීම, දුස්සීල වීම, එකිනෙකාගේ යහපත් කැප කිරීම අගය නොකිරීම, එකිනෙකාගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කම් නොදීම, සුළු කරුණකදී පවා කේන්ති ගැනීම ආදී දුර්වලතා නිසා නොයෙක් ආරවුල් හට ගනී. මේවා කල්‍යාණ මිත්‍ර ආශ්‍රයට යොමු වීමෙන් ම, ධර්මය පුරුදු කිරීමෙන් ම, සීලවන්ත වීමෙන් ම, ඉවසීම ආදී ගුණ ධර්ම දියුණු කිරීමෙන් ම, දුරු කරගත යුතුය. එවිට සාමකාමී වාසනාවන්ත විවාහ ජීවිතයක් උරුම කර ගැනීමේ භාග්‍යය ඔබ කාහටත් උදාවනු ඇත.