මේ සසර අතිශයින් බියකරුයි. අපි ප්‍රමාද වූ නිසයි මෙවැනි බියකරු සසරකට වැටුණේ. සාමාන්‍ය ජීවිතයේ දී රැකියාවේ වේවා, ව්‍යාපාරයක් කරද්දී වේවා, පවුලේ කටයුත්තක දී හෝ වෙන ඕනෑම කටයුත්තක දී එහි වගකීම අපි ගන්නවා. හරියට සොයා බලා සියලු දේ කරනවා. ඒ දේට අපි කවුරුත් ප්‍රමාද වන්නේ නැහැ. නිදි නොලබා ඒ දෙයට මහන්සි වෙනවා. කැප වෙනවා. තමාගේ කාලය, ශ්‍රමය මෙන් ම කායික සෞඛ්‍යය පවා ඒ සඳහා වැය කරනවා. මේ දේ තමා අපි මුළු සසර පුරා ම සිදු කළේ. අප්‍රමාදය සහ ප්‍රමාදය කියන්නේ කුමක් ද කියා අප මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ මෙසේ සාකච්ඡා කළා.

“අප්‍රමාදය කියා භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුසල් දහම් වැඩීම යි. අකුසල් ප්‍රහාණය කිරීම කිරීමයි. නූපන් කුසල් උපදවා ගැනීම යි. නූපන් අකුසල් නූපදවා සිටීම යි. අප්‍රමාදය කියන්නේ සුදු වස්ත්‍ර ඇඟලීම හෝ වනයට ගොස් භාවනා කිරීම ම හෝ නොවෙයි. අප්‍රමාදය ඇතිවිය යුතු තැන ප්‍රමාදය ඇතිවන්නේ තමා තමාටම මිත්‍ර නැති නිසයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව ප්‍රමාදය හා අප්‍රමාදය එකිනෙකට විරුද්-ධයි. ප්‍රමාදී පුද්ගලයා අප්‍රමාදයට විරුද්ධයි. අප්‍රමාදී පුද්ගලයා ප්‍රමාදයට විරුද්ධයි. අප්‍රමාදය කියන දේ භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කළ දෙයක්. උන්වහන්සේ නැවත නැවත කරුණු දක්වමින් ශ්‍රාවකයා අප්‍රමාදයට උනන්දු කළා. නමුත් අපගේ ජීවිත තුළ අප්‍රමාදයට වඩා ප්‍රමාදයට නැඹුරු බවක් තමයි තිබෙන්නේ. අප්‍රමාදී විය යුතු තැන බොහෝ දෙනා ප්‍රමාද වෙනවා.

සාමාන්‍යයෙන් මිනිසුන් මේ ජීවිතයේ කරන දේ වෙනුවෙන් කැප වෙනවා. ඉහළ ම රැකියාවක් කරන පුද්ගලයාත්, පහළ ම රැකියාවක් කරන පුද්ගලයාත් කරන රැකියාවට කැප වෙනවා. ඒ සඳහා අප්‍රමාදී වෙනවා. ඒ කිසිදු දෙයක් බුද්ධ ශාසනය තුළ හඳුන්වා දෙන අප්‍රමාදයට අයත් වන්නේ නැහැ. මේ සසරේ අපි සුගති දුගති ලෝකවල උපත ලැබුවා. නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය පසු කරමින් අපි මේ ජීවිතය ලැබුවේ. කුරුල්ලෙක් වුවත් තමාගේ කූඩුව ගොඩනගා ගන්න බොහෝ සේ මහන්සි වෙනවා. බාහිරෙන් බලන විට අපට එහි අර්ථයක් පෙනෙන්නේ නැහැ. ලෞකික ජීවිතය සාර්ථක කරගන්න අප මේ ජීවිතයේදීත්, මීට පෙර ජීවිතවලදීත් විශාල ලෙස කැප වුණා. මහන්සි වුණා. ඒ මහන්සිය, කැපවීම ස්වල්පයක් හෝ දහමේ හැසිරීමට යොදා නොගත් නිසා තවමත් අප මේ සසරේ යනවා.

අප්‍රමාදී විය යුතු තැන ප්‍රමාද වීම තමා අපගේ සසර පුරුද්ද. අප සසරේ දී නොයෙක් පුරුදුවලට ඇබ්බැහි වෙලා ඉන්නේ. සතුන් නොමරා ඉන්න නොවේ අපි පුරුදු වුණේ සතුන් මරන්න යි. සසරේ දී අපේ පුරුද්ද සොරකම් නොකිරීම නොවේ, සොරකම් කිරීම යි. අපි සසර පුරාම සිල්පද බිඳ ගත් අයයි. එනිසා මෙහෙම ප්‍රමාදයට පත් වීම සසර පුරුද්දක් වෙන්නත් පුළුවන්.

මේ ජීවිතයේ අප ගත කරන සමාජ රටාවත් අප්‍රමාදී වීමට බාධාවක්. තමා අවට සිටින ඥාතීන්, මවුපියන්, රැකියා කරන ස්ථානය, පදිංචි පළාත, පරිසරය, නොයෙක් වැරදි පුරුදු, ධර්මයට ගරු නොකරන බව ආදී බොහෝ කරුණු තමා තුළ අප්‍රමාදී බව උපදවා ගැනීමට බාධාවක් වෙනවා. එනිසා බුද්ධ ශාසනයක් මුණගැසුණ මේ මොහොතේ ප්‍රමාදය දුරු කර අප්‍රමාදය ජීවිතයට ඇතිකර ගන්නට අප මහන්සි විය යුතු වෙනවා.”

“පින්වත් මෑණියන් වහන්ස, මවකට, බිරිඳකට, ගෘහණියකට ඇත්තේ සුළුපටු වැඩ කොටසක් නොවේ. ඇය බොහෝ කාර්යයන් සමඟ පොර බදනවා. එනිසාම ඇයට ධර්මය මඟ හැරෙන්නට පුළුවන්. ධර්මය තුළ ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ සියලු බාධක බිඳගෙන බොහෝ කටයුතු, වගකීම් මැද දහමේ හැසිරිය යුත්තේ ඇයි?”

“බොහෝ කාන්තාවන්ට තමන්ගේ කටයුතුවලට අමතරව පවුලේ කටයුතු, ස්වාමියාගේ කටයුතු, දරුවන්ගේ කටයුතු වගේම පවුලේ ඥාතීන්ගේ කටයුතු සොයා බලන්න සිදු වෙනවා. මවක් කියන්නේ බොහෝම කාර්යබහුල, තමන් වෙනුවෙන් කැප වෙන්න අවස්ථාව අහිමි කාන්තාවක්. නමුත් ධර්මයේ හැසිරීම ඕනෑම මවකට, බිරිඳකට, ගෘහණියකට කරන්න පුළුවන් දෙයක්. පැවිදි පිරිස අප්‍රමාදී වී ගිහි පිරිස ප්‍රමාද විය යුතුයි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළේ නැහැ. සියලු ම දෙනා ලැබුණ මෙම අවස්ථාවේ අප්‍රමාදී විය යුතුයි කියායි උන්වහන්සේ වදාළේ. අපගේ ශාස්තෘන් වහන්සේ හතළිස් පස් වසරක් තුළ වදාළ ඒ සුමියුරු ධර්මය එකට කැටි කර, පිරිනිවන් පානා මොහොතේ එක වාක්‍යයකින් වදාළා. ‘වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ’ – ‘හේතු ඵල දහමින් සකස් වූ සංස්කාරයෝ නැසෙන සුළු වෙති. අප්‍රමාදී ව දහමෙහි හැසිරෙව්’ කියා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අවසන් අවස්ථාවේ සියලු දහම් කරුණු එකට කැටිකර අප්‍රමාදය ගැනයි වදාළේ.

භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූ පිරිස හංසයාටත්, ගිහි උපාසක උපාසිකාවන් මොනරාටත් උපමා කළා. හංසයා සැහැල්ලුයි. පියාපත් බර අඩුයි. සරලයි. එනිසා වේගයෙන් ගමන් කරනවා. ඒ වගේ වගේම පැටලිලි නැති, බැඳීම් රහිත භික්ෂුවට වේගයෙන් දහම් මඟ ගමන් කරන්න පුළුවන්. මොනරාගේ පිල් කළඹ සුන්දරයි. නමුත් බරයි. එනිසාම මොමොනරාට වේගයෙන් පියාසර කරන්න බැහැ. ඒ වගේ ගිහි තැනැත්තෙකුට තමාගේ කටයුතු අධික බව නිසාම, කාමභෝගී පැටලිලි නිසා ම වේගයෙන් දහම් මඟ පුරුදු කරන්න අපහසුයි. ඒක සත්‍යයක්. නමුත් තමන් සසරට වැටී දුක් විඳීම ඒ හේතුවෙන් වෙනස් වෙන්නේ නැහැ. එනිසා ඕනෑම කාන්තාවක් සියලු කටයුතු මැද වුව ද දහමට දිවි පුදා, කැමැත්තෙන් දහමේ හැසිරුනොත් තමාගේ මේ ජීවිතය වගේ ම සසර ජීවිතයත් සාර්ථක කර ගැනීමට අවස්ථාව තිබෙනවා.”

“පින්වත් මෑණියන් වහන්ස, අප්‍රමාදී වීම සරල ව පහදා දෙන්නේ කොහොමද?”

“අප්‍රමාදී වෙන්න කියා ඇසුණ විට අපට සිතෙන්නේ එදිනෙදා සියලු වැඩ නවතා භාවනා කරන්න ඕන කියන සිතිවිල්ල යි. එවිට අමුතු, අසාමාන්‍ය චරිතයක් ඇය විහින්ම ගොඩනගා ගන්නවා. සියලු වැඩ නවතා දමා ධර්මය අහන්න ඕන, සිල් ගන්න ඕන, බැඳීම් ඈත් කරන්න ඕන කියා ඇයට සිතෙන්න පුළුවන්. නමුත් ධර්මයේ හැසිරීම සමාජයට ප්‍රදර්ශනය කරමින් කරන දෙයක් නොවෙයි. නිවසක බිරිඳක් ස්වාමියාට මෛත්‍රී සිතින් උපස්ථාන කරනවා නම් එයත් ධර්මයේ හැසිරීමක්. දරුවන්ට යහපත කියා දෙමින් කුසලයේ පිහිටුවමින් යුතුකම් නොපිරිහෙළා ඉටු කරනවා නම් ඒකත් ධර්මයේ හැසිරීමක්. අන් අයට අනුකම්පාවෙන්, මෙත් සිතින් කටයුතු කරනවා නම් එයත් ධර්මයේ හැසිරීමක්. අවංකව සිල්පද සමාදන් වෙලා ආරක්ෂා කර-නවා නම් එයත් ධර්මයේ හැසිරීමක්. ඒ අතරේ ඇය නිවසේ ආහාර සකසනවා. රෙදි සෝදනවා. නොයෙක් උත්සවවලට සහභාගි වෙනවා. ඒ සියලු දේ කරන අතරම සමාදන් වූ සිල්පද මැනවින් ආරක්ෂා කරනවා. කඩ වන සිල්පද නැවත අවංකව ම සමාදන් වෙනවා. ඒ අප්‍රමාදී බවයි. ඇය සීලය කියන ධර්මය තුළ විද්‍යමාන වෙනවා.

මේ බුද්ධ ශාසනය තුළ බොහෝ උපාසිකාවෝ ධර්මය අවබෝධ කළේ නොයෙක් තාඩන, පීඩන හැලහැප්පීම් මැදයි. බිම්බිසාර කියන්නේ විශාල රටක රජතුමෙක්. එතුමා සෝතාපන්නයි. නමුත් රටක් පාලනය කළා. රටේ ආර්ථිකය, ජනතාව, සංස්කෘතිය ගැන සිතුවා. රටට පැමිණෙන උවදුරු, සතුරු කරදර ගැන සිතුවා. රටේ තිබෙන සම්භාෂණවලට දිනපතාම සහභාගි වුණා. කෝටි ගාණක් රටවැසියාගේ කටයුතු සොයා බලපු ධාර්මික රජෙක්. එතුමා තිසරණය සමාදන් වෙලා සිල්පද රකිමින් ධර්මයේ හැසිරීමට ඒ කිසිවක් බාධාවක් කර ගත්තේ නැහැ. ඒ වගේමයි අපි කවුරුත් දන්නා විශාඛා උපාසිකාව. ඇයට දරුවන් තිස් දෙකක් සිටියා. ඒ සියලු දරුවෝ කුඩා කල සිට හදාවඩාගෙන, ලොකු මහත් කළා. එදා එරට ඇය නොමැතිව කිසිදු ප්‍රිය සම්භාෂණයක්, විවාහ උත්සවයක් තිබුණේ නැහැ කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන අතරම අප්‍රමාදී වීම කරන්න බැරි දෙයක් නෙමෙයි.

මේ ධර්ම මාර්ගයේ අප්‍රමාදී ව හැසිරුණු ඇතැම් උපාසිකාවන් දාසියන්. එදා වේල පිරිමසා ගත් දුක්ඛිත ජීවිත ගත කළ ඇතැම් ස්ත්‍රීන් මේ ධර්ම මාර්ගය දියුණු කළා. පුණ්ණා කියන්නේ එදා සිටි දාසියක්. ඇය ධර්මය අවබෝධ කළ ස්ත්‍රියක්. නමුත් ඇයට එක තැන වාඩි වෙලා ඉඳගෙන ඉන්න අවස්ථාවක් නැහැ. හිමිදිරියේ ම අවදි වෙනවා. වතුර අදිනවා. වී කොටනවා. අතුපතු ගානවා. නොයෙක් දුෂ්කර දේ කළා. නමුත් ඇය අප්‍රමාදියි. ඇය සෝතාපන්න වෙලා ධර්මයේ හැසිරුණා. ධර්මයේ හැසිරීමට අවස්ථාව, පහසුකම් ලැබෙන්නේ එකිනෙකාගේ සසර පින මත යි. නමුත් යම් උපාසිකාවක් තමන්ගේ සියලු කටයුතු මැද ධර්මයේ හැසිරෙනවා නම් ඇය අප්‍රමාදියි. යම් උපාසිකාවක් නිති පන්සිල් රකිනවා, අවස්ථාව පරිදි උපෝසථය ආරක්ෂා කරනවා. එය ද අයිති අප්‍රමාදයට යි. ස්වාමියාට, දරුවන්ට ආදරයෙන් උපස්ථාන කිරීමත් උතුම් ධර්මයක්.

ඔබ නිතරම ගැටුණු සිතින් ම කටයුතු කරනවා නම්, පොඩි දෙයටත් දොස් කියමින් කෑ ගසමින් දෙස්දෙවොල් තබනවා නම්, ‘මට එපා වෙලා ඉන්නේ’ කියමින් නිරන්තරයෙන් අඬනවා නම් ඇයට ධර්මය හමු වෙලා නැහැ. ඇසූ ධර්මය ඇය මෙනෙහි කරන්නේ නැහැ. කාලය කළමනාකරණය කරගෙන සියලු කටයුතු කර ගන්නා මවක්, බිරිඳක් ලෙස ඔබ දක්ෂ වෙන්න අප්‍රමාදයට පත් වෙන්න. ඔබ මේ දුක්ඛිත සසරේ ගමන් කරන කෙනෙක් කියලා නිතර සිහි කරන්න. මේ දුක්ඛිත සසරෙන් මිදෙන්නට වීර්යය උපදවා ගන්න. ධර්ම ශ්‍රවණයට පුරුදු වෙන්න. කාලය සමඟ බොහෝ කටයුතු හා පොර බදමින් සිටිද්දී ඔබ මවක් ලෙස මෙත් සිතින්, වීර්යයෙන්, සිහියෙන් කටයුතු කළොත් ඔබටත් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නට
අවස්ථාව ලැබේවි.”

සටහන – නයනා නිල්මිණි