2015 පෙබරවාරි හතරවනදා… හරියට ම අපේ නිදහසට හැට හත් වසරයි…
‘මොන නිදහසට ද?’
සුදු ජාතිකයන්ට යටත් වෙලා ඉඳලා ලබපු නිදහසට…

‘ඉතින් අපි දැන් හැබෑවට ම නිදහස් ද?’
ජාතික උත්සව පවත්වනවා තමයි… ජාතික ධජය නිවසේ, කාර්යාලයේ, වාහනයේ පවා ඔසවා තබනවා තමයි… නිදහස් සටනේ අග මුල සිහිපත් කරමින් උදම් අනනවා තමයි… එ් මොන දේ කළත් අපි එ් ලබපු නිදහසටත් සීමා මායිම් තියෙනවා කියන කාරණය සඟවා තබන්න බැහැ…

සීමා මායිම් සහිත නම් එය නිදහසක් වන්නට බැහැ නේද? සැබෑ නිදහසට සීමා මායිම් තිබෙන්නට පුළුවන්කමකුත් නැහැ.

‘එතකොට අපි නිදහස ලැබුවේ නැද්ද?’
ඔය ප‍්‍රශ්නයට උත්තර හොයන්න නම් 1948 වර්ෂයට කලින් සහ ඊට පස්සෙ සමාජ වටපිටාවන් සන්සන්දනය කරන්නට සිද්ධ වෙනවා. 1948 වෙනකොට අපේ රටේ පාලකයා වුණේ හිරු නො බසින අධිරාජ්‍යය වූ මහා බි‍්‍රතාන්‍යයේ කිරුළ දරන මහ රැජිණ. 1948න් පස්සෙ අපි රටක් විදිහට අපේ ම නායකයන් යටතේ පාලනය වුණා. ‘ඉතින් එ්ක ම නිදහසක් නෙව…’ කියලා හිතුණ නම් එය වැරදියි. මොකද රැජිණගෙන් නිදහස්
වුණාට අපි රැජිණගේ නීති රීති, අණ පනත්වලින් නිදහස් වුණේ නැහැ. අදටත් අපි රට කරවන්නේ විජාතිකයන් හදපු නීති සම්ප‍්‍රදායන් අනුව. විදේශිකයන් අනුගමනය කරන සැලසුම් අනුව. එ් විදෙස් බලපෑම්වලින් සහමුලින් ම නිදහස් වූ පාලන තන්ත‍්‍රයක් අපට නිර්මාණය කරන්නට අදටත් හැකි වී නැහැ.

ඉතින් අපි හැබෑවට ම නිදහස් ද?
1948ට කලින් අපේ රටේ ස්වභාවික සම්පත් විදේශිකයන් විසින් කොල්ලකනු ලැබුවා. ඔවුන්ගේ වාණිජ වෙළඳපළට සරිලන නිෂ්පාදනාගාරයක් ලෙසයි අපේ රට භාවිත කෙරුණේ. අවසානයේ අපි අපේ නිෂ්පාදනත් විදේශ වෙළඳපළ අවශ්‍යතා සරිලන ආකාරයේ නිමැවුම් ලෙසින් ඉදිරිපත් කිරීමේ රටාවකට හැඩ ගැසුණා. 1948න් පසුව අපි අපේ සම්පත් පිටරට පටවන්න පටන් ගත්තා. විදේශ තරගය තුළ ඉදිරියෙන් සිටින්නට කලාපයේ අන් රටවල් සමග අපිත් පෙරමුණ සෙව්වා. අදටත් සොයනවා. අපේ රටට අපේ නිෂ්පාදනවල හොඳ ම කොටස නො ලැබුණාට අන් රටවලට අපි එ් හොඳ ම කොටස යවනවා. එදත් විජාතිකයෝ කළේ හොඳ ම කොටස ඔවුන්ට ගෙන ගිය එකයි. අදත් අපි බහුල වශයෙන් කරන්නේ එ් දේ ම යි.

ඉතින් අපි හැබෑවට ම නිදහස් ද?
1948 වර්ෂය වන විට අපි අපේ දෙයට වඩා පිටරට දේ අගය කරන මානසිකත්වයක හිටියා. එය ස්වයංව සිදු වුණ දෙයක් නෙමෙයි. කාලාන්තරයක් මුළුල්ලේ විදේශිකයන් යටතේ පාලනය වුණ අප සිතන රටාව පවා ග‍්‍රහණය කරන්නට විදේශිකයන් සමත් වෙලා තිබුණා. එ් නිසා විදේශිකයන් අපේ රටෙන් යන්න ගියත් විදේශයන්ට අපේ තිබෙන ගැති භාවය සම්පූර්ණයෙන් ඉවත් වුණේ නැහැ. මඳකට හිතලා බලන්න, ප‍්‍රමාණයෙන් විශාල, පෙනුමෙන් යහපත් හැම දෙයක් ම අපි අදටත් පිටරට දේවල් කියලා නේ ද හඳුන්වන්නේ…? ‘රට ගොටුකොළ, රට උළු, රට දෙල්, රට පුවක්, රට තණකොළ, රට හරක්…’ අදටත් අපේ හිත්වල තියෙන්නේ ‘රට’ දෙයක් නම් හොඳයි, ‘මෙරට’ දෙයක් නම් එ් තරම් හොඳක් නැහැ කියන අදහසයි.

ඉතින් අපි හැබෑවට ම නිදහස් ද?
1948 පෙබරවාරි 04 වනදා මේ රටේ ජාතික ධජ එසැවෙද්දී අපේ ජීවන සම්ප‍්‍රදායන් සුරක්ෂිත කරවන අපේ ම අදහස් උදහස් සමඟ පාලනය වන නිදහස් දේශයක් ගැන ශ්‍රී ලාංකිකයන්ට අපේක්ෂාවන් තිබෙන්නට ඇති. හැබැයි එ් අපේක්ෂාවන් එ් ආකාරයෙන් ම යථාර්ථයක් නො වුණ බවට සැක නැහැ. අද අප සතුව තිබෙන්නේ විදෙස් ආභාසයෙන් නිදහස් නො වූ ජීවන සම්ප‍්‍රදායක්. අපි අඳින පලඳින, කන බොන ආකාරය පමණක් නෙවෙයි අපේ රැුකියාවන්ගේ ස්වභාවයන්, අපේ අදහස් උදහස් යන සියල්ලමත් බටහිරකරණය වෙලා. අපට දැන් තිබෙන්නේ පෙර – අපර දෙදිග මිශ‍්‍ර කර ගත් දිවි පෙවෙතක්. ඉතින් හැට හත් අවුරුද්දක් ගෙවිලා යද්දිවත් අප සැබෑවට ම නිදහස් වෙලා නැහැ…

1948 කියන්නේ අප රටක් වශයෙන් ‘නිදහස’ කියන වචන මාත‍්‍රය කරළියට ගෙන්වූ පළමු අවස්ථාව නෙවෙයි. ව්‍යවහාර වර්ෂ පූර්ව යුගවලදීත් අප රටක් වශයෙන් නිදහස පිළිබඳ කථා කර තිබෙනවා. එ් වෙනුවෙන් දිවි පුදා කටයුතු කොට තිබෙනවා. අනුරාධපුර යුගයේ සේන ගුත්තික ආක‍්‍රමණය, එළාර ආක‍්‍රමණය හා චෝළ ආක‍්‍රමණයන්, පොළොන්නරු යුගයේ දී කාලිංග මාඝ ආක‍්‍රමණය ආදි ඉන්දීය ආක‍්‍රමණ සියල්ල තුළදීත් අප රටක් ලෙස නිදහස ගැන අවධානයෙන් සිටියා. එ් ගැන කථා කළා… නිදහස උදෙසා දිවි හිමියෙන් සටන් කළා… නිදහස දිනුවා. 1505න් පසු පෘතුග‍්‍රීසි, ලන්දේසි, ඉංග‍්‍රීසි පාලනයන්ට ක‍්‍රමයෙන් රට නතු වද්දීත් ශ්‍රී ලාංකිකයන් නිදහස ගැන විමසිලිමත් වුණා. එසේ වරින් වර අප නිදහස සොයා ගියා වාගේ ම වරින් වර අප නිදහස අත්පත් කර ගත්තා යැයි කියා සතුටටත් පත් වුණා. එහෙත් එ් කිසිම නිදහසක් නිත්‍ය වුණේ නැහැ… අපට රිසි අයුරින් එ් කිසිදු නිදහසක් අපේ වසඟයේ පවත්වා ගන්නට හැකි වූයේත් නැහැ. එ් සියල්ලක් ම කාලයත් සමඟින් අනිත්‍ය වී ගියා…

යටත් විජිතවාදී බවෙන් අප නිදහස ලැබුවාට පසු එ් නිදහස තුළ නිවහල්, සාමකාමී, සෞභාග්‍යවත් රටක අපේක්ෂාවන් ඉටු නො වූ ආකාරය අප අත්වින්දා. පසුකාලීනව තිස් වසරක් මුළුල්ලේ දිව යන ලෙස ඇති වුණ යුද්ධයෙනුත් රටේ නිදහස්, සාමකාමී, ස්වෛරී පැවැත්මට අපමණ බාධා එල්ල වුණා. දැන් එ් යුද්ධයත් අවසන්. රටත් නිදහස් කියලයි කියැවෙන්නේ. එ් නිසා ම මැයි 19 වැනිදා අප තවත් නිදහස් දිනයක් සමරනවා. එහෙත් ගැඹුරින් සිතා බලනකොට අප තවමත් නිදහස් ජාතියක් නෙවෙයි…

ලෝකයේ නිදහස සොයා ගිය, නිදහස ලැබුවා කියා අප‍්‍රමාණ සතුටට පත් වුණ සහ එ් ලැබුවා යැයි සිතූ නිදහස සැබෑ නිදහස ම යි කියා මුළාවට පත් වුණ එකම රට අප නොවෙයි. ලෝක ඉතිහාසයේ කවර පරිච්ෙඡ්දයක් විමසා බැලූවත් බලහත්කාරයෙන් යටත් කර ගැනීම්, එවැනි ආක‍්‍රමණකාරී පිළිවෙත්වලට එරෙහි ව නැගී සිටීම්, නිදහස් අරගලයන් සහ එකී අරගල තුළ ජයග‍්‍රහණයන් කිහිපයක් මුණ ගැසෙනවා ම යි. එ් එකදු නිදහසක්වත් සදාතනික නිදහසක් වී නැහැ. එ් එ් මොහොතට, එ් එ් සිද්ධිදාමයට අනුරූප වූ නාමමාත‍්‍ර අරුත් සහිත වූ නිදහසක් මිස සැබෑ නිදහසක් අපට එ් කිසිදු නිදහස් අරගලයක දී හමු වන්නේ නැහැ.

එසේ සිදු වන්නේ ඇයි? එයට හේතුවක් තිබෙනවා. එ් හේතුව නම්, මේ සියල්ල; එනම්, යටත් කර ගැනීම්, ආක‍්‍රමණයන්ට එරෙහිව සටන් කිරීම්, නිදහස් අරගල සහ නිදහස ලැබීම් යන සියල්ල ජනිත වූයේ රාග, ද්වේෂ, මෝහයන්ගෙන් නිදහස් නො වූ සිත් ඇත්තන් අතරේ වීම නිසයි. එ් කිසිදු සිතක් කෙලෙස් මුල් නසා නො තිබුණ නිසා යළි යළිත් ක්ලේෂ දාහයන්ගෙන් පීඩා විඳින සමාජයීය අර්බුදයන් නිර්මාණය වන වටපිටාවක් නිර්මාණය වීම වළක්වන්නට හැකි වූයේ නැහැ. එ් වගේ ම, එ් කිසිදු සිතක් පරිපූර්ණ වශයෙන් සන්සිඳී නො තිබුණ නිසා ම කෙලෙසුන්ගෙන් බැඳුණු සීමා මායිම් ඇතිවයි ලෝකයේ නිදහස හැම විට ම සමන්විත වුණේ. එ් නිසා එ් කිසිදු නිදහසක් පරිපූර්ණ වූයේ නැහැ… එ් සෑම නිදහසක් ම අපරිපූර්ණ වූවා පමණක් නෙවෙයි; අලූත් ආරක සංසාරික අර්බුද නිර්මාණය කරමින් ලෝක සත්වයා සසරට ඇද බැඳ තබන්නටත් සමත් වුණා. එසේ සසරට ඇදී බැඳී යාම නිසාවෙන් තව දුරටත් ලෝකපාලක පවිටු බලවේගයේ ග‍්‍රහණයෙන් නිදහස් නො වී අසරණ වූ යටත්වැසියන් ලෙසින් ගමන් කරන්නට සෑම සියලූ දෙනාටම සිදු වුණා.

යටත් කර ගැනීම්, බලහත්කාරකම්, බලපෑම්, ආක‍්‍රමණයන් සියල්ල ඉක්මවා යමින් දිවි දෙවැනි කොට විමුක්තිය සොයා කරන ලද අරගලයකින් ලෝකයේ සියලූ අයහපත පරදවා සැබෑ නිදහස උරුම කර ගත් ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයක් ලෝකයේ පහළ නො වූවා නම් අප කිසිවෙකුට සැබෑ නිදහස යනු කුමක්ද කියා සිතිවිලි මාත‍්‍රයකින් හෝ දැන ගන්නට ලැබෙන්නේ නම් නැහැ. විදුරසුනේ වැඩ හිඳිමින්, පිරූ පුණ්‍ය බලයෙන් මිහිකත කම්පා කරවමින් සියලූ ග‍්‍රහණයන්ගෙන් නිදහස් වූ එ් වීර නරාණන් වහන්සේ වීතරාගීව, වීතදෝෂීව, වීතමෝහීව උපදවා ගත් මහා ප‍්‍රඥලෝකය තුළ කිසිවෙකුට බලපෑම් කොට වෙනස් කළ නො හැකි, කිසිවෙකුට පැහැර ගත නො හැකි, කිසිවෙකුට සීමා මායිම් පැනවිය නො හැකි අපූර්ව නිදහස් වීමක් සනිටුහන් වුණා. එ් නිකෙලෙස් හද මඩල ලෝක පාලක පවිටු බලවේගයේ පාපයෙන් ඇද බැඳ තබන්නට හැකි වූයේ නැහැ. එනිසා ම එ් උත්තරීතර නිදහස තුළ කිසිදු විපරිනාමයක් කිසි කලෙක සිදු වූයේ නැහැ. එ් නිදහස සනාතනයි; සදාතනිකයි…

එකී නිදහස ලබන්නට කැමැති නම් පුරුදු කළ යුත්තේ එක ම ධර්මය යි. දුටුවොත් දුටුවා පමණයි, ඇසුවොත් ඇසුවා පමණයි, සුවඳ වින්දොත් සුවඳ වින්දා පමණයි, රස වින්දොත් රස වින්දා පමණයි, පහස ලැබුවොත් පහස ලැබුවා පමණයි, සිතුවොත් සිතුවා පමණයි… ඉන් ඔබ්බට ගෙන යන්නට, සංස්කරණය කරන්නට කිසිවක් එ් කිසිවක නැහැ. එවිටයි සීමා මායිම් අතික‍්‍රමණය කළ අති උත්තරීතර සැබෑ නිදහසේ උරුමකරුවන් බවට අප පත් වන්නේ.

ඉදින්, ජීවමාන ධර්මය තුළ හැසිරෙමින් සැබෑ නිදහස දායාද කර ගන්නා නිකෙලෙස් විරුවන් ලෙසින් මේ කෙලෙස් යුද්ධය ජය ගන්නට අපට වාසනාව උදා වේවා!!!

නිදහසේ සටහන
උදුලා පද්මාවතී