බුදුරජාණන් වහන්සේ සරණ ගිය ආර්ය ශ්‍රාවිකාවක් විසින් සියලු දුක්ඛ දෝමනස්සයන් දරාගෙන ඉවසීම පුරුදු කරමින් ධර්ම මාර්ගය දියුණු කරගන්නේ කොහොමද? කියන කාරණය අපි මහමෙව්නාව අනගාරිකා අසපුවේ පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේ නමක් සමග සාකච්ඡා කළා.

අද සමාජයේ ජීවත් වන බොහෝ දෙනෙකුගේ කුසල් මුල් පිරිහී ඇති නිසා ධර්මය තුළ පිහිටන පිරිස ඉතාමත් අල්ප යි. ඔවුන්ගේ ඉවසීම ඉතා දුර්වලයි. අර්බුද හටගත් තැන එය ඇවිස්සී නොයන සේ කෙසේ හැසිරිය යුතු ද කියා විශේෂයෙන් ම කාන්තාව දැනුවත් වෙන්න ඕනෙ. පවුල තුළ ධර්මයේ හැසිරෙන්න සුදුසු පරිසරයක් ඇති කරගැනීම බිරිඳ මෙන්ම ස්වාමිපුරුෂයා ද අවධානය යොමුකළ යුතු කරුණක්.

අංගුත්තර නිකායේ දේශනාවක් තිබෙනවා පඨම සංවාස සූත්‍රය කියලා. ඒ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් නිවසක සැමියා – බිරිඳ දෙදෙනා ම ධර්මයේ හැසිරෙනවා නම්, ඒ නිවස දෙවියෙකු හා දෙවඟනක් ජීවත් වෙනවා වගෙයි කියලා. දෙදෙනා ම ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් ඒ නිවසේ මළ මිනියක් සමග තවත් මළ මිනියක් ජීවත් වෙනවා වගෙයි. සැමියා ධර්මයේ හැසිරී බිරිඳ ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් දෙවියෙකු සමග මළ මිනියක් ජීවත් වෙනවා වගෙයි. බිරිඳ ධර්මයේ හැසිරී සැමියා ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් දෙව්දුවක් සමග මළ මිනියක් ජීවත් වෙනවා වගෙයි.

සමාජය තුළ මේ පවුල් හතර ම අපට දැකගන්න ලැබෙනවා. මෙයින් අඩුවෙන් ම අපට දකින්න ලැබෙන්නේ දෙව්දුවක් හා දෙවියෙකු ජීවත්වන පවුලයි. ඔවුන් දන් දුන්නත්, සිල් සමාදන් වුනත්, වන්දනාවකට ගියත් එකටයි යන්නේ. නමුත් ධර්මයේ හැසිරීමට මහන්සි ගන්න බිරිඳකගේ සැමියා ධර්මයේ නොහැසිරෙනවා නම් එතැන ඇයට අභියෝග වැඩියි. නමුත් ශ්‍රද්ධාවන්ත කාන්තාවට ඕනෑම තැනක සිට ධර්මය දියුණු කරගත හැකියි. තමන් ධර්මයේ හැසිරීමට කැමැති වුවත්, තමන්ට ඒ නිවස, ස්ථානය ඒ සඳහා සුදුසු නොවෙන්න පුළුවන්. නමුත් තමන්ගේ සිත පාලනය කරගෙන, එයට නොගැටී, අනෙක් අය සමග අර්බුදයක් හට නොගන්නා ලෙස වැඩ කළයුතු වෙනවා. එසේ නොවුනහොත් අර්බුද හදන චරිතය බවට පත්වන්නේත් ඇය යි. එනිසා යම් උපක්‍රමයක් මගින් නිවැසියන්ට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබාදී ඒ අය ධර්මයට ගැනීමට උත්සාහ කළයුතු වෙනවා. මේ සඳහා ඇයට විශාල ඉවසීමක් සමග ම අනුකම්පාවකුත් ඕන.

සමහර විට අනෙක් පැත්තෙන් සිත රිදවන වචන, බුදුරජාණන් වහන්සේට විරුද්ධ වචන ඇසෙන්න පුළුවන්. ඒ වගේ අයත් සමග එකපාරට ම ධර්මය කතා කළොත් ඒ අය අපි සමග ගැටෙනවා. බුදුරජාණන් වහන්සේ අපට කියා දීලා තියෙනවා අශ්‍රද්ධාවන්ත කෙනෙක් එක්ක ශ්‍රද්ධාව ගැන කථා කිරීම දුෂ්කර කථාවක් කියලා. ඒ නිසා මුලින් ම අප කළයුත්තේ ඔවුන්ට ශ්‍රද්ධාව ඇතිවන පරිසරයක් උදාකර දීම යි. ඒ ඉඩකඩ සාදා දෙන්නට ලොකු ඉවසීමක් අවශ්‍ය වෙනවා.

යම් නිවසක කාන්තාව ධර්මයේ හැසිරෙන්නට කැමැති නමුත්, සැමියාට ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නැති නිසා ඇය සිල් සමාදන් වීමට යාමේදී, වන්දනාවකට, දානයකට යාමේදී අමනාප වෙන්නත් පුළුවන්. එයින් ඇයට යහපතක් වන බව ඔහු දන්නෙ නැහැ. නමුත් එවැනි අවස්ථාවක බිරිඳ සිතුවොත් ‘අනේ… මම මහා පව්කාරයි. මේ සේරම දුක් කසාද බැඳපු නිසානේ. බැන්දේ නැත්නම් මටත් හිතේ හැටියට පින් දහම් කරන්න තිබුණා. මමත් පැවිදි වුනා නම් මේ කරදර නැහැනේ…’ කියා සිතුවොත් පවුල තුළ අර්බුද ඇතිවන ආකාරයට වචන කියවෙන්න පුළුවන්. එය සම්පූර්ණයෙන් ම වැරදියි. තමන් සැබෑ ලෙස ම ධර්මයේ හැසිරෙනවා නම්, තව කෙනෙකුට එය පීඩාවක් වෙන්න බැහැ. ධර්මය මුණගැසීමට පෙර තමා තුළ යම් කරුණාවක් තිබුණා නම්, ධර්මයේ හැසිරෙන්න පටන් ගත් පසුව ඒ කරුණාව වැඩිවෙන්න ඕනෙ. තමා තුළ කලින් යම් දයානුකම්පාවක් තිබුණා නම්, ධර්මයේ හැසිරෙද්දී එය වැඩිවෙන්න ඕන. කලින් පවුල තුළ ඉටුකළ වගකීම් ධර්මයේ හැසිරෙන්න පන් ගත් පසුව තව තවත් හොඳින් කෙරෙන්න ඕනෙ. පවුලේ අයත් සමග මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරනවා කියන්නේත්, දහමේ හැසිරෙනවා කියන්නෙත් දෙකක් නොව එකක් කියා නිතරම තේරුම් ගත යුතු වෙනවා. ඇය දැඩි වුවොත් පවුල තුළ අර්බුද හටගන්නවා. ඒ සියලු තැන්හි ඇයට ඉවසීම උපකාරී වෙනවා. ඒ වගේම උපක්‍රමශීලීව පවුලේ සියල්ලන්ට ම ධර්මයේ පිහිට ලැබීමට උපකාර කළ හැකි නම් එය උතුම් වෙනවා. නමුත් එය අප හිතන වේගයෙන් එය සිදුවේවි යැයි සිතන්න එපා. ඒ සඳහා අඛණ්ඩ උත්සාහයක් අවශ්‍ය වෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළේ තමන් තව කෙනෙකුට සෙනෙහෙවන්ත නම්, ආදරෙයි නම්, සානුකම්පිත නම්, ඔවුන්ගේ යහපත කැමති නම්, තමා කියන දේ අසාවි යැයි සිතනවා නම් බුද්ධ – ධම්ම – සංඝ රත්නයන් කෙරෙහි සිත පහදවන්න කියලයි. නමුත් සිතන පමාවට එය කළ නොහැකියි. කෙනෙකුට ධර්මයට පහදින්නත් පිනක් තිබෙන්න ඕනෙ. ඒ පින රැස්කර ගැනීමටයි මුලින් ම උදව් කළ යුත්තේ. පින මෝරන තැන කොතැනද කියා අපි දන්නේ නැහැ.
ඒ නිසා අපටත් යම් ප්‍රශ්නයක් තැවුලක් ආ විට ඉවසන්න ඕනෙ. ඉවසලා ඉවසලා ඔවුන්ට ධර්මය දෙන්න මහන්සි ගන්න ඕනෙ. ඉවසලා ඉවසලා ධර්මය දෙන්න බැරිවුනොත්? ඒත් සතුටු වෙන්න ඕනෙ මම හොඳ දෙයක් වෙනුවෙන් උත්සාහයක් ගත්තා කියලා. ඒ විදිහට බොහෝ කාලයක් ඉවසූ එක් රහත් තෙරණියක් ගැන අපට දේශනාවල මුණ ගැහෙනවා. ඒ ථේරිකා රහත් භික්ෂුණිය යි.

ඇය විවාහ වෙලා සැමියාගේ නිවසට ගියේ තරුණ වයසේදී ම යි. ඇය විවාහ වුනාට පස්සෙයි ධර්මය අහන්න ලැබුණේ. ධර්මය අහලා ඇය සතුටට පත් වුනා. විවාහයෙන් පස්සේ පැවිදි වුනා නම් හොඳයි කියලා කියන කාන්තාවන් අදත් අපට ගොඩක් මුණ ගැසෙනවා. නමුත් අද අපට වඩා ඇයගේ කල්පනා රටාව බොහෝම වෙනස්.

ථේරිකා බණ අසා ඇවිත් කල්පනා කළා ‘මේ ගිහි ගෙදර නම් ඒකාන්තයෙන් ම දුකක් ම යි. පැවිදි වෙන්න තියෙනවා නම් හොඳයි’ කියලා. සැමියා වෙත ගොස් තම අදහස කියා සිටියා. සැමියා කිව්වා “මම ඔබව විවාහ කරගෙන ආවේ ළඟදී. ඇයි ගිහි ගෙදරට කළකිරෙන්නේ? ඕවා අමතක කරලා මේ ගෙදර ඉන්න” කියලා. ථේරිකා සිතුවා ‘පැවිදි වෙන්නත් පිනක් ඕන. මගේ පින තවම මෝරලා නැතිව ඇති. ඒ නිසා මම පැවිදි වෙන්න ඕන කියා කලබල කළොත් ඒ අවේගශීලී බව දහමේ හැසිරෙන කෙනෙක් හැටියට මට ගැලපෙන්නේ නැහැ.” ඒ නිසා ඇසූ ධර්මය ලැබෙන තැන සිට පුරුදු කිරීමට ඇය කල්පනා කළා.

ඇය එදා පැවිදි වීමට ඕන බව කියමින් ගැටුම් ඇති කරගත්තා නම්, ඇය ඔට්ටු වෙන්නේ වස්ත්‍රයක් සමග යි. නමුත් ධර්මයේ හැසිරෙන්නෙකු කටයුතු කළ යුත්තේ ප්‍රතිපත්තියක් සමග යි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට චීවරය අනිවාර්ය නැහැ. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් කුසල් දියුණු කිරීම අනිවාර්යයෙන් කළයුතු වෙනවා. එසේ නම් වස්ත්‍රය වෙනුවෙන් කුසල් යටපත් කළොත් ඒක අපරාධයක්. ථේරිකා වස්ත්‍රයට නෙවෙයි, කුසලයටයි ආශා කළේ. ඇය නිවසේ වැඩපල කරන ගමන් මම දහම් මනසිකාරයක් තුළ සිත තබා ගන්නවා කියා අධිෂ්ඨානයක් ඇතිකරගත්තා. ථේරිකා නිවසේ සියලු වැඩකටයුතු කරන ගමන් දහම් මනසිකාරයක් පුරුදු කළා. ‘හැම දෙයක් ම අනිත්‍යයි, අනිත්‍ය දේ දුකයි, අනිත්‍ය වූ දුක් වූ දේ මාගේ වසඟයේ පවත්වන්න බැරි නිසා අනාත්මයි.’ මේ දේ සිතමින් සියලු වැඩ කළා. ඇය නිවසේ වැඩපළ කරද්දී ද්වේෂය ඇති කරගත්තේ නැහැ. ‘මේ අය මට පිනක් කරගන්න යන්න දෙන්නේ නැහැ. මට මහණ වෙන්න දෙන්නේ නැහැ’ කියලා ගැටුණු සිතින් හිටියේ නැහැ. ඇය මේ සියලු දෙය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන සංඥාව කාලයක් තිස්සේ පුරුදු කළා.

එක් දිනක් ඇය පලාකොළ මැල්ලුමක් භාජනයකට දමා එය ලිප මත තබා වෙනත් වැඩක නිරත වුනා. ඒ වෙලාවෙත් ථේරිකාගේ සිතේ වැඩ කළේ මේ හැම දෙයක් ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන සංඥාව යි. එකවරම මැල්ලුම රොස්වෙන ගඳක් ආවා. ඇය වහා ලිප දෙස බැලුවා. ඇය දැක්කා මැල්ලුම රොස් වෙලා. පාට වෙනස් වෙලා. සුවඳ නැති වෙලා. ඇය පුරුදු කළ සංඥාව ඇගේ සිත තුළ පැන නැංගා. හැම දෙයක් ම අනිත්‍යයි, අනිත්‍ය වූ දෙය දුකයි, දුක් දේ අනාත්ම යැයි විමස විමසා සිටි ධර්මය ඒ මොහොතේ ඇයට වැටහුණා. ඒ සුන්දර ධර්මය ඇයට කෙතරම් වැටහුනාද යත් මුළුතැන්ගෙයි ලිප අසල ඇය අනාගාමී ඵලය ලැබුවා. දැන් ඇය මැදිවිය ඉක්මවූ අම්මා කෙනෙක්. පැවිදි වීමට අවසර ඉල්ලුවේ විවාහ වූ අලුත. එහෙනම් ඇය බොහෝ කාලයක් අඛණ්ඩ උත්සාහයක යෙදී තිබෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝ යන සංයෝජන ධර්මයන් ඇය ප්‍රහාණය කරලයි තිබුණේ. පින හොඳින් මෝරපු මොහොතේ ඇය සිය සැමියාගෙන් අවසර ගෙන පැවිදි වීමට භික්ෂුණී ආරාමයකට ගියා.

ථේරිකා භික්ෂුණියක් ලෙස පැවිදි වුනා. ථේරිකා භික්ෂුණිය භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් නිකෙලෙස් වීමට උපදෙස් ඉල්ලා සිටියා. ඇය පිළිබඳව විමසූ භාග්‍යවතුන් වහන්සේ ථේරිකා ඔබ පලා මැල්ලුම රොස් වූ ආකාරය ම සිහි කරන්න යැයි වදාළා. තෙරණිය කුටියට වැඩියා. පා සෝදාගත්තා. පළඟක් බැඳගෙන වාඩිවෙලා ඒ පිළිබඳව විදර්ශනා කොට උතුම් අරහත්වයට පත්වුනා. ථේරිකා භික්ෂුණියට ඒ වාසනාව උදාවුනේ කුසලයේ හිත පවත්වන්න ආශා කළ නිසායි. ධර්මය ලැබුණ අවස්ථාවේදී කොතැනක හරි ඉඳගෙන ඒ ධර්මය පුරුදු කරනවා නම්, ඇයට මේ සසර දුකෙන් එතෙර වීමට අවස්ථාව උදාකර ගන්නට පුළුවන්.

ඒ නිසා ඔබත් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට කැමති නම්, නිවැසියන් සමග ගැටෙන්න යන්න එපා. එකටෙක කරන්න එපා. අප අවට සිටින සියලු දෙනා ධර්ම මාර්ගය දියුණු කරන්න උදව් කරයි කියා අපේක්ෂා තබාගන්නත් එපා. අපේක්ෂාව කියන්නේ බරක්. උපේක්ෂාව සැහැල්ලුයි. ඒ නිසා නිවසේ උදවිය දෙස නිතරම උපේක්ෂාවෙන් බලන්න. ඒ වගේම අසල්වාසීන්, මිතුරන්, ප්‍රදේශවාසීන් ඇතුලු මුළු ලෝකයා දෙස ම උපේක්ෂාවෙන් බලන්න. ගැටෙන තැන නොගැටී සිටින්න. එල්ල වන චෝදනා මෙනෙහි නොකර සිටින්න. ඒ වගේම තැන වෙනස් කිරීමෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙයි කියන අදහස අතහැර දමන්න. ඉවසන්න ඕන අවස්ථාවේ මග හැර සිටීම ඉවසීම පුරුදු කරන්න බාධාවක්. එයින් සිදුවන්නේ අර්බුද වැඩිවීම යි. නමුත් අපි ධර්මය මෙනෙහි කරගෙන එතැන ම සිට ඉවසනවා නම් හොඳ විසඳුමක් ලැබෙන්නත් පුළුවන්. සමහරවිට අපට මුළු ජීවිත කාලය ම ඉවසන්න වේවි. සංසාර දුකත් සමග ගලපා මේ ජීවත්වන කෙටි කාලය තුළ ඉවසන්න පුරුදු වුනොත් එය යහපත පිණිස පවතිනවා ම යි. සසර ගමන ඉතාමත් දීර්ඝ යි. නිරයේ ඉපදෙන්න සිදුවුනොත් අවුරුදු කෝටි ගණන් විඳවන්න වෙනවා. එහෙම ඉපදුනොත් අපට තැන මාරු කරන්න බැහැනේ. ඒ නිසා නිරන්තරයෙන් ඉවසීම පුරුදු කරමු.

සාකච්ඡා කළේ – නයනා නිල්මිණි