අපි පසුගිය කලාපයෙන් පටිච්චසමුප්පාදයේ සංස්කාර ගැන ඉගෙන ගත්තෙමු. ඒ වගේම පංච උපාදානස්කන්ධයේ සංස්කාර ගැනත් තරමක් දුරට ඉගෙන ගත්තෙමු. මේ එහි ඉතිරි කොටසයි. පසුගිය කොටසත් සමඟම මෙය කියවන්න.
“අභිසංස්කරණය” යනුවෙන් වචනයක් අපි පසුගිය කලාපයෙන් දැන ගත් බව ඔබට මතක ඇති. අපි දැන් ඒ මොකක්ද කියලා ඉගෙන ගනිමු.
ඒ ගැන ධර්මයේ සඳහන් වන්නේ මෙසේ ය. “පින්වත් මහණෙනි, සංස්කාර යැයි කියන්නේ කවර කරුණක් නිසා ද? පින්වත් මහණෙනි, සංඛතයක් අභිසංස්කරණය කරත් ය යන අර්ථයෙන් ය, ‘සංඛාර’ යයි කියන්නේ. කුමන සංස්කාරයන් ද අභිසංස්කරණය කරන්නේ?
පින්වත් මහණෙනි, රූපය නම් වූ සංඛතය යළිත් රූපය වීම පිණිස අභිසංස්කරණය කරත්. වේදනාව නම් වූ සංඛතය යළිත් වේදනාවක් පිණිස අභිසංස්කරණය කරත්. සඤ්ඤාව නම් වූ සංඛතය යළි සඤ්ඤාවක් පිණිස අභිසංස්කරණය කරත්. සංස්කාර නම් වූ සංඛතය යළිත් සංස්කාරයක් පිණිස අභිසංස්කරණය කරත්. විඤ්ඤාණය නම් වූ සංඛතය යළිත් විඤ්ඤාණයක් පිණිස අභිසංස්කරණය කරත්. ‘සංඛතයක් අභිසංස්කරණය කරත් ය’ යන අර්ථය නිසා ම ‘සංස්කාර’ යයි කියනු ලැබේ.
(ඛජ්ජනීය සූත්‍රය, සං. නි. 3)
මේ සියල්ල ඔබට තේරෙන අයුරින් පැවසුවහොත් අප දැන් මේ කරමින් සිටින්නේ අපට ලැබී ඇති රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර සහ විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පහ මුල් කරගෙන යළි ඒවා ම ලැබීම පිණිස කටයුතු කිරීමයි. එනම් කර්ම රැස් කිරීමයි. අපට මේ ජීවිතය ලැබුණේ ඒ අයුරින් අප සසරේ රැස් කරගත් කර්මවල ප්‍රතිඵලයක් වශයෙනි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “පුරාණමිදං භික්ඛවේ කම්මං” – “මහණෙනි, මේ ජීවිතය පැරණි කර්මයකි.” එසේනම් අනාගත ජීවිතය ද සකස් වන්නේ අතීත කර්මත්, වර්තමානයේ කරන කර්මත් එක් වීමෙනි. කරත්තයේ රෝදය ඉන් නොගැලවීම පිණිස යොදා ඇති කඩ ඇණය සේ සත්වයා සසරෙන් නොගැලවීමට ගසා ඇති කඩ ඇණය කර්මය බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක.
පටිච්චසමුප්පාදයට කර්මය සම්බන්ධ වෙන්නේ නැද්ද?
ඇත්තෙන්ම සංසාර දුක, එහෙමත් නැත්නම් පංච උපාදානස්කන්ධය සකස් වන ක්‍රියාවලිය ය, පටිච්චසමුප්පාදය කියන්නේ. එහි කර්මය ගැන කතා කරන්නෙ ‘භවය’ යන කොටසේ දී ය. භවය කියා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීමයි. සත්වයා යළි යළි උපදින්නේ භවය නිසා ය. ඒ කියන්නේ විපාක පිණිස කර්ම තිබීමයි. කාම ලෝකවල උපදින්නට කර්ම සකස් වීම, කාම භවයයි. රූප ලෝකවල උපදින්නට කර්ම සකස් වීම, රූප භවයයි. අරූප ලෝකවල උපදින්නට කර්ම සකස් වීම, අරූප භවයයි. ඉතින් එයට අදාළ කර්ම සකස් කරත්, එයට අදාළ උපත ලැබෙන්නේ ය. විඤ්ඤාණය චුත වන්නේ කර්මානුරූප ව ය.
ඉතින් දැන් ඔබට පංච උපාදානස්කන්ධයේ සංස්කාර ගැන බොහෝ දේ ඉගෙන ගන්නට ලැබුණි. මේවා ඒ අයුරින් ඒ ඒ තැනට අදාළ ලෙස පිළිවෙළට මතක තබා ගන්නට උත්සාහ ගන්න. එවිට ඔබට පැටලීමකින් තොරව සංස්කාර විග්‍රහ කරගන්නට පුළුවන. ඉතා නිරවුල් දහම් දැනුමක් තිබීම අපට ඉතාම වැදගත් ය.
03. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙඤ්ජාභි සංස්කාර
සංස්කාර යන වචනය භාවිත වන තවත් සංස්කාර කොටසකි. මෙහි නම දුටු පමණින් යම්කිසි තැති ගැනීමක් ඇතිවන්නට පුළුවන. නමුත් ඇත්ත වශයෙන් ම මෙහි ඇත්තේ අප ඉතා හොඳින් දන්නා දෙයකි. ඒ ගැන ධර්මයේ සඳහන් වන්නේ මේ අයුරිනි.
“පින්වත් මහණෙනි, අවිද්‍යාව තුළ ඉන්න මේ පුද්ගලයා යම් හෙයකින් රැස් කරන්නේ පුණ්‍ය වූ සංස්කාරයක් නම් (පුඤ්ඤාභි සංස්කාර) විඤ්ඤාණය ඒ පිනට අනුව සකස් වෙනවා. යම් හෙයකින් සකස් කරන්නේ අපුණ්‍ය වූ සංස්කාරයක් නම් (අපුඤ්ඤාභි සංස්කාරයක්) විඤ්ඤාණය ඒ පවට අනුව සකස් වෙනවා. යම් හෙයකින් රැස් කරන්නේ ආනෙඤ්ජ වූ (ආනෙඤ්ජාභි සංස්කාර) සංස්කාරයක් නම් ඒ විඤ්ඤාණය ඒ ආනෙඤ්ජයට අනුව සකස් වෙනවා. (පරිවීමංසන සූත්‍රය, සං. නි. 02)
මෙහි සඳහන් වන්නේ ද අමුතු දෙයක් ගැන නොව කර්මය ගැන ම ය. ඇත්තේ වචනවල වෙනසක් පමණි. පුණ්‍ය සංස්කාර යනු පුණ්‍ය කර්මයි. එනම් පිනයි. අපුණ්‍ය සංස්කාර යනු පාප කර්මයි. ආනෙඤ්ජ සංස්කාර යනු රූප අරූප ධ්‍යාන තුළ සකස් වන කර්මයි.
මෙහි පවතින්නේ ද විපාක පිණිස කර්ම සකස් වීමයි. එනම්, භවය සකස් වීමයි. පුණ්‍ය කර්ම සහ පාප කර්මවලට අනුව කාම භවයක උපත සකස් වේ. පුණ්‍ය කර්මවලට අනුව මිනිස් ලොවත්, කාමාවචර දිව්‍ය ලෝක සයෙත් උපත සිදු වේ. පාප කර්මවලට අනුව සතර අපායේ උපත සිදු වේ. එසේම රූප ධ්‍යාන තුළින් රූප භවයේ උපත සඳහා කර්ම සකස් වේ. අරූප ධ්‍යාන තුළින් අරූප භවයේ උපත පිණිස කර්ම සකස් වේ.
ඔබ සිතන්නේ මේ සංස්කාර අතරින් රහතන් වහන්සේට කුමන සංස්කාරයක් සකස් වේවි ද? සමහර අය රහතන් වහන්සේට ආනෙඤ්ජ සංස්කාර සකස් වන බව කියති. ඇත්ත වශයෙන් ම රහතන් වහන්සේට මේ කිසිම ආකාරයේ සංස්කාරයක් සකස් වන්නේ නැත. රහතන් වහන්සේ ගැන සඳහන් වන්නේ “ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං” – “පැරණි කර්ම අවසන් බවත්, අලුත් කර්ම හට නොගන්නා බවත්” ය. එබැවින් උන්වහන්සේ පමණක් පටිච්චසමුප්පාද ක්‍රියාවලියෙන් සදහටම නිදහස් වී ගිය ශ්‍රේෂ්ඨ උත්තමයා වන්නේ ය. මේ සංස්කාර ගැන මේ අයුරින් දැන ගැනීම ප්‍රමාණවත් ය.
04. ආත්ම දෘෂ්ටිය තුළ හට ගන්නා සංස්කාර
සංස්කාර ගැන ඉගෙන ගන්නා විට මේ ගැන ද ඉගෙනගෙන තිබීම ඉතා ප්‍රයෝජනවත් ය. ඒ ගැන ධර්මයේ සඳහන් වන්නේ මේ අයුරිනි. “පින්වත් මහණෙනි, මේ කරුණෙහිලා අශ්‍රැතවත් පෘතග්ජනයා ‘රූපය ආත්මය’ වශයෙන් මුළාවෙන් දකී. පින්වත් මහණෙනි, මුළාවෙන් වූ යම් දැකීමක් වේ ද එය සංස්කාරයකි.”
(පාරිලෙය්‍යක සූත්‍රය, සං. නි. 3)
මෙහිදී රූපය පමණක් නොව පංච උපාදානස්කන්ධය කෙරෙහි ම පවතින විසි ආකාර වූ සක්කාය දෘෂ්ටිය ගැනත්, ශාස්වත හා උච්ජේද දෘෂ්ටිය හට ගැනීමක් ඇද්ද එය ගැනත් සංස්කාරයක් වශයෙන් පෙන්වා දී ඇත. නමුත් අපගේ භාග්‍යවතුන් වහන්සේ එය ද පටිච්චසමුප්පාදයෙන් ම හටගත් දෙයක් බව මෙසේ පෙන්වා දුන් සේක.
“ඒ සංස්කාරය කුමක් මුල් කරගෙන තියෙන එකක් ද? කුමකින් හටගන්නා එකක් ද? කුමකින් ඉපදෙන එකක් ද? කුමකින් ප්‍රභවය වන එකක් ද? පින්වත් මහණෙනි, අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් පහස ලබන අශ්‍රැතවත් පෘතග්ජනයාට තණ්හාව ඉපදිලයි තියෙන්නේ. අන්න ඒ තණ්හාවෙනුයි ඒ සංස්කාරය හට ගන්නේ. නමුත් පින්වත් මහණෙනි, ඔය සංස්කාරයත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. අර තණ්හාවත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. ඒ විඳීම… ස්පර්ශය… ඒ අවිද්‍යාවත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. පින්වත් මහණෙනි ඔය විදිහට අවබෝධ කර ගන්නා විට, ඔය විදිහට දකින විට මේ ජීවිතයේ දී ම ආශ්‍රවයන් ක්ෂය වෙලා යනවා.”
(පාරිලෙය්‍යක සූත්‍රය, සං. නි. 3)
දැන් ඔබට වැටහෙන්නට ඇති ‘සංස්කාර’ යන වචනය සමාන වුණාට එය එකිනෙකට වෙනස් අදහස්වලින්, අර්ථවලින් යොදා ඇති බව. ඉතින් අප කළ යුත්තේ තර්ක හදාගෙන මේ ධර්ම මාර්ගය පටලවා ගැනීම නොව ඒ ඒ තැන දී අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට ම තේරුම් ගෙන පැටලුම් ලිහා ගැනීමයි. අප මුල දී කියූ සෙයින් ම ශ්‍රාවකයාගේ තැන සිටිය විට කිසිදු අර්බුදයක් හට නොගනී. අර්බුද හට ගන්නේ ශ්‍රාවකයාගේ සීමාව නොතේරුම් ගැනීමෙනි.
එසේ නම්, මේ ලිපි කිහිප වතාවක් ම කියවා බලත්වා! එවිට ‘සංස්කාර’ යනු මොනවාදැයි ඉතා හොඳින් පැහැදිලි කර ගන්නට පුළුවන. තවදුරටත් ඒ ගැන විස්තර ඉගෙන ගැනීමට අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ‘විස්මිත අවබෝධය’ හා ‘අච්ඡරිය මනුස්සෝ’ යන පොත් නිතර කියවන්න. ඔබට ද ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා…!
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments