ආගමක් හෝ දේශපාලන පක්ෂයක් හෝ වෙනත් මතවාදයක් දරන කණ්ඩායමක් හෝ විසින් ප‍්‍රචණ්ඩත්වය පවත්වනවා නම්, එය සමාජයකට මහත් ව්‍යාසන ඇති කරන්නක්. සමගියට බාධා ඇති කරන ගැටුම්කාරී පිළිවෙත් නිසා රටකට හෝ ජන කොටසකට දීර්ඝ කාලීන විපාක අත් විඳින්නට සිදු වෙනවා. එයට අමුතුවෙන් උදාහරණ දිය යුතු නැහැ. තිස් වසරකට ආසන්නව පැවති යුද්ධය නිසා අප සතු අත්දැකීම් හොඳට ම ප‍්‍රමාණවත්. ඒ අත්දැකීම නැවතත් ලක් දෙරණේ ඇති නො වන්නට ඉටු කළයුතු වගකීමක් අප සෑම කෙනෙකුට ම තිබෙනවා. මේ රටේ කෝලාහල කලින් කල ඇති වුණා. මේවාට විවිධ හේතු තිබුණ ද ඒ අර්බුධ සෑම දෙනාට ම යහපතක් ඇතිවන ආකාරයට විසඳාගත් අවස්ථාවල එහි යහපත අනාගතය විසින් සුවසේ අත්විඳි බව අප දන්නවා.

වත්මන් ලෝකයේ ආගමික ගැටුම් රැල්ලක් ඇති වෙලා. එය හමුවේ අප කෙසේ මුහුණ දිය යුතු ද යන්න ගැන නිවැරදි අවබෝධයක් තිබීම අපට ඉතා වැදගත් වෙනවා. අන්තගාමී අදහස් දරන සුළු පිරිසක් නිසා රටේ මුළුමහත් සමාජය ම අර්බුධයක් කරා නො යා යුතු යි.

ආගමික සහජීවනය පිණිස නොයෙක් අදහස් කලින් කල මතු වෙනවා. ඒත් ඒවාගෙන් ද නිවැරදි විසඳුමක් ලැබී නැහැ. ලෝකයේ ආගමික අර්බුධ කෙසේ ඇති වුණ ද අපට සමගියෙන් සිටින්නට හැකි සාධක බලවත් නම් ආගමික ගැටීම් කවදාවත් ඇතිවන්නේ නැහැ.

ආගමික න්‍යායන් සියල්ල සමාන කිරීමෙන් ආගම් අතර සහජීවනය ඇති කරන්න පුළුවන් කියල වැරදි වැටහීමක් පිරිසකට තිබෙනවා. හැම ආගමකින් ම කියවෙන්නේ එක ම අදහස කියන වැරදි මිථ්‍යාව නිසා හටගත් අනවශ්‍ය අර්බුධ අප අද අත්විඳිනවා. ඒ ඒ ආගම් සිය අයිතීන් දිනා ගත යුත්තේ අරගල කිරීමෙන් යන්න ප‍්‍රකට අදහසක්. මේ ඔස්සේ පැමිණි දරුණු අර්බුධවලට අප තාම මුහුණ දුන්නේ නෑ. සුළු වශයෙන් මේ අදහස ඔස්සේ ගැටීම් පැවතුණ ද එය මෙතෙක් අපට ජාතික අර්බුධයක් වුණේ නැහැ. ඒ කරා යන්නට පෙළඹෙන ලකුණු දැන් දැන් ලෝකයේ නිර්මාණය වන නිසා, අප කෙසේ නම් ආගමික සහජීවනය ඇති කරගන්නේ ද යන්න කථා කිරීම වැදගත්.

ආගමික දෘෂ්ටියක් ඇති පිරිසක් සත්‍යය, අසත්‍යය, පිළිපැදිය යුත්ත, අත්හළ යුත්ත, පුරුදු කළ යුත්ත, නො කළ යුත්ත ආදී සංකල්ප සියල්ල ඇතිකරන්නේ ශාස්තෘ මතය අනුවයි. ඒ ඒ ශාස්තෘවරුන් විසින් අර්ථ දැක්වූ ආකාරයට අනුගාමිකයා ක‍්‍රියා කිරීමයි සිදු වන්නේ. බොහෝ ආගම්වල විමුක්තිය, මෝක්ෂය, ස්වර්ගය ආදි අවසන් ඉලක්කයක් අර්ථ දැක්වෙනවා. ඒ ඉලක්කය කරා යන්නට ඇති වැඩපිළිවෙළ ශාස්තෘවරයා විසින් හෙළි කරනවා. මේ ඔස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දෙස බැලිය හැකිදැයි කෙනෙකුගෙන් ඇසුවහොත් එක එල්ලේ ලැබෙන උත්තරය ‘ඔව්’ යන්නයි. ඇත්තෙන් ම ඒක ඇත්ත ද කියන එකට උත්තරය හොයාගත්තොත්, හංසයා කිරිටික දියෙන් වෙන්කරගන්නා සේ අනිත් ‘ආගම්’ හා බුදුරජාණන් වහන්සේගේ හෙළි කිරීම ගැන නිවැරදි අර්ථයකට, අවබෝධයකට එන්න පුළුවන්. එවිට සෑම ආගමකම අරමුණ එක ය යන්න හිස් අදහසක් බව කාට නමුත් වැටහේවි.

බුදුරජාණන් වහන්සේ නමක් ආර්ය සත්‍යය කියැවෙන ධර්මය හෙළි කරන්නේ මිනිසෙකුට සිය ජීවිතයේ ම අත් විඳින්නට පුළුවන් සත්‍යයක් මුල් කරගෙනයි. ඒ පැනවීම ශ‍්‍රාවකයා විසින් දරාගන්නේ ද සිය ජීවිතයේ ඇත්තෙන් ම සිදුවන සිදුවීමක් මුල් කරගෙනයි. අපි මොන මතවාද දරාගෙන මොන ඇදහීමක් දරාගෙන සිටිය ද ඒකාන්තයෙන් ම ජරා මරණ කියන ස්වභාවයට ලක් වෙනවා. මේ ජරා මරණ ස්වභාවය ගැන කියාදෙන ධර්මය ඉගෙන ගැනීමෙන් ලෝකයේ ආගම් හා බුද්ධ වචනය කෙසේ වෙනස්වන්නේ ද යන්න නිවැරදිව ම අවබෝධ කරගන්නට හැකි වෙනවා. අන්න ඒ ජරා මරණ ස්වභාවයෙන් සදහට නිදහස් කර දෙන මාර්ගයයි අපට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. මේ කාරණය නිවැරදිව නො දත් පිරිසක් තමයි හැම ආගමක් ම එකයි කියන අදහසේ ඉන්නේ. ඒ ඒ ආගමික පිළිගැනීම සමාන කරන්නට ගොස් ආගමික සහජීවනයක් නොව ආගමික වාද විවාදවලටයි අප යොමුවන්නේ.

සිය ආගමික අනන්‍යතාවය සඳහා අන්‍යාගමික මත විවේචනය කරන්නට යාම කිසිදා නො කළ යුත්තක්. අන්‍යාගමික මතවලට පහර ගැසීමෙන් වාද විවාද, කලකෝලාහල මිස සංසිඳීමක්, සමගියක් කිසිදාක ඇති වුණේ නැහැ. ඒ ඒ ආගම් සිය පැවැත්ම සඳහා සටන් කරන්නට පවා මේ විවේචන හේතු කරගන්නවා. අද ලෝකයේ ඇතිවී තිබෙන්නේ එවැනි පරිසරයක් නේ ද? අපි මෑත භාගයේ සුප‍්‍රකට උදාහරණ කිහිපයක් කථා කරමු.
මෑත කාලයේ ඇමරිකාව විසින් නිපදවූවා යැයි සඳහන් ඉස්ලාම් ධර්මය විවේචනය කරන චිත‍්‍රපටයක් අන්තර්ජාලය ඔස්සේ විකාශනය කළා. මෙයින් ඉස්ලාම් ආගමිකයන් ලොව පුරාම උද්ඝෝෂණය කරන්නට කලකෝලාහල කරන්නට පෙළඹුණා. මේ රටේ ද උද්ඝෝෂණ ඇති වුණා. ලෝක බලවතුන්ගේ හීන අරමුණුවලට ආගම යොදා ගත්තේ අද ඊයෙ නෙවෙයි. මේ ඒ අරමුණේ අලූත් ම එළිදැක්වීමයි. ආගමික නායකයෙකුට පහර ගැසීමෙන් අනුගාමිකයන් තව තවත් ප‍්‍රකෝපකාරී ලෙස හැසිරෙන බව මේ චිත‍්‍රපට නිපදවන්නන් දන්නවා. මෙයින් පීඩාවට ලක්වුණේ කවුද? වාසි ගත්තෙ කවුද? ප‍්‍රකෝපකාරී පරිසරයක් නිර්මාණය කිරීමෙන්, කැරලි කෝලාහල ඇති කිරීමෙන් වාසි අත්කරගන්නේ ද ලෝකයේ බලවතුන් ම යි. දැනටමත් සිය දේශපාලන ආර්ථික අරමුණු මේ කැලඹිළි ඔස්සේ නෙළාගන්නට ඔවුන් සැරසිලා. ප‍්‍රචණ්ඩත්වයේ ලක්ෂණයක් තමයි එකට එක කිරීම. තමන්ට කළ මේ අපහාසය හිතේ දරාගෙන ඉන්නා පිරිස ද ප‍්‍රතිචාර දක්වන්නේ ප‍්‍රචණ්ඩකාරිවයි. සමාජයේ හැම අන්දමකින් ම ප‍්‍රචණ්ඩත්වය සංසිඳෙන ක‍්‍රමය නිවැරදි ව අරුත් දැක්වුයේ බුදුරජාණන් වහන්සේ යි. එය ධම්ම පදයේ සඳහන් වෙනවා.

‘‘න හි වේරේන වේරානී සම්මන්තී’ධ කුදාචනං
අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ”

‘‘මේ ලෝකයේ කවරදාවත් වෛර කිරීමෙන් නම් වෛරය සංසිඳෙන්නෙ නෑ. වෛර නො කිරීමෙන් ම යි වෛරය සංසිඳෙන්නෙ. මේක මේ ලෝකෙ තිබෙන සනාතන ධර්මයක්.”

ඊළඟ සිදුවීම හටගත්තේ මියැන්මාරයේ. රකීන් බෞද්ධ ජනතාව හා රෝහින්ගයා මුස්ලිම්වරුන් අතර එරට ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය එකට එක කිරීමක් දක්වා දුරදිග ගොසින්. බෞද්ධ කාන්තාවක් මුස්ලිම්වරුන් තිදෙනෙකු අතින් කෙළෙසීම මුල්කරගනිමින් හටගත් මෙම ගැටුම්වලින් රෝහින්ගයාවාසීන් බොහෝ අසරණ වෙලා. අවසානයේ මෙම එකට එක කිරීම නතර වුණේ බොහෝ පිරිසකට අනාථ කඳවුරුවල වාසස්ථාන ඇති කරමින්, ඒ වගේ ම මරණය උදා කරමින්. රටක මෙවන් දෑ ඇතිවන විට රටේ නීතියට පියවර ගන්නට බල කිරීමයි පළමුව කළයුතු වන්නේ. නීතිය ඉක්මවා ආවේගය පෙරට ගත්විට තම තමා ම නොයෙක් කරදරවලට අර්බුධවලට පැටලීමෙන් ප‍්‍රශ්න ඔඩු දුවන්නේ. නිවැරදි ආගමික පසුබිමක් තුළ කලකෝලාහල නැහැ. අපි මෙයින් තේරුම්ගත යුත්තේ බෞද්ධ රටක ආගමික පසුබිම බුද්ධ වචනය ඉක්මවා ගියහොත් එහි අනිසි විපාක විඳින්නට වන්නේ අපට ම බවයි.

දකුණු තායිලන්තයේ වසර අටක් පුරා පවතින වාර්ගික ගැටුම් නිසා මේ වන විට 5300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වෙලා. දැනට දශක ගණනාවක් පුරා තායිලන්තයේ පැවතෙන බෞද්ධ මුස්ලිම් ගැටුම් නිසා බොහෝ පිරිසක් පීඩාවට ලක්වෙලා. අන්තවාදී කල්ලි විසින් රටක සාමයට බාධාකරනවිට එය පාලනය කිරීම බොහෝ අපහසුයි. එහෙත් මෙහිදී දෙපාර්ශවය ම ආවේගශීලීව හැසිරෙන්නට පටන්ගෙන තිබෙනවා. වරින් වර අන්තවාදී කල්ලි විසින් බෞද්ධ භික්ෂූන්වහන්සේලා ඝාතනය කරන තත්ත්වයට පත්වෙලා. මේ හමුවේ බෞද්ධයා ක‍්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න අපට ඉතා වැදගත්. ඉතා අපහසුවෙන්, කටුක දුක් විඳිමින් හෝ ප‍්‍රචණ්ඩත්වයට විසඳුමක් සමගියෙන් සොයාගත්විට එහි මිහිරි වූ ප‍්‍රතිඵල අපට ම යි නේ ද? එසේ නැතිව ප‍්‍රචණ්ඩතාවයට බෞද්ධයා ද ප‍්‍රකෝපකාරී ව එකට එක කරන විට සියලූ පිරිහීම් ළඟා වෙනවා.

මෑතක බංගලාදේශයේ දී සිය ආගමේ ගරු බුහුමන් පුදන ග‍්‍රන්ථයට ගිනි තබා එහි පින්තූරයක් අන්තර්ජාලයට මුදා හැරීම නිසා ඉස්ලාම්වරුන් අතින් බෞද්ධ පන්සල් රැසක් විනාශ වුණා. මෙවැනි සිදුවීම් ද අපට හොඳ අත්දැකීමක් සපයනවා. ධර්ම ග‍්‍රන්ථ පුළුස්සා විනාශ කළ ද ආගමක් විනාශ කරන්නට බැහැ. තමන්ගේ ආගමික නායකයාගේ පිළිමයක් විනාශ කළ ද ආගමක් විනාශ කරන්නට බැහැ. බුදු දහමේ සිව්වනක් පිරිස යම් දිනක ධර්මයේ හැසිරීමෙන් ඉවත් වුවහොත්, අන්න එදා පටන් තථාගතයන් වහන්සේ පැනවූ ධර්මය විනාශය කරා ගමන් කරනවා. මේ බුද්ධ වචනය අදහාගත් යම් කෙනෙක් වේ ද ඔහු බාහිර විනාශයන් දැක කලබල වන්නේ නැහැ. කෝලාහල ඇති කරන්නේ නැහැ.

එහෙත් අපේ රටේ ඉතිහාසගත සිදුවීම් එක්ක මේ කෝලාහල සම කරන්නට නම් බැහැ. අතීත රජවරුන් මේ රට බේරාගන්නට සටන් කර ඇති ප‍්‍රධානතම අරමුණක් තමයි බුද්ධ ශාසනයේ ආරක්ෂාව, පැවැත්ම කියන කාරණය. අතීත සිංහල රජදරුවන්ගේ රට බේරාගැනීමේ සටන් ගැන දීර්ඝ ඉතිහාසයක් අපට තිබෙනවා. රජයක් ලෙස රටක් බේරාගන්නට කටයුතු කරන විට නොයෙක් තීරණ ගන්නට සිදු වෙනවා. එය රට කරවන පිරිසක් විසින් ගන්නා තීරණයක්. යුධ ගැටුමකට ජනතාව විසින් ප‍්‍රකෝපකාරී ලෙස දායක වුණොත්, අර්බුධ ඇති කරමින් විරුද්ධවාදීන්ට හට නො ගත් වෛර කිරීම් පතුරුවා හැරියොත්, අනාගතයේ රටවාසීන්ට එහි අනිසි විපාක අත්විඳින්නට සිදු වෙනවා. අපට අතීත උරුමක්කාරයන් විසින් රැකදුන් යහපත් දෙයක් විනාශ කිරීම අනාගතයට ඒකාන්තයෙන් බලපානවා. රටේ ජනයා අතර ප‍්‍රචණ්ඩත්වය වපුරා බෞද්ධයා විසින් විසඳුම් සොයන්නට පටන් අරන්. බුදු දහම නාමයෙන් දැන් මේ රටේ ප‍්‍රකෝපකාරී විසඳුම් සෙවීමේ ක‍්‍රමයක් ඇති කරලා. බෞද්ධයාගේ අයිතීන් දිනා ගන්නට ප‍්‍රචණ්ඩත්වය භාවිත කරන්නට පටන් අරන්. බුදු දහමේ පැවැත්ම පිණිස යැයි කියා තවත් පිරිසකට විරුද්ධව පෙලපාලි යන්නට, සේනා සංවිධානය කරන්නට, ගැටුම් ඇති කරන්නට බෞද්ධයා ම ක‍්‍රියා කිරීම ශෝචනීය පූර්වාදර්ශයක් වෙනවා. අනාගතේ බෞද්ධ ජනතාව සිතන්නේ ප‍්‍රශ්නවලට විසඳුම් සොයන්නට මේකත් ක‍්‍රමයක් කියා යි. නරක පූර්වාදර්ශ නිසා හිංසාවට ලක්වෙන පිරිසගෙන් බැටකන්නේ අප නො වෙයි. අනාගත පුරවැසියන් ම යි.

ලෝකයේ ආගම් 4200ක් පමණ තිබෙනවා. ඒ සියලූ ආගම් හා බුද්ධ වචනය හාත්පසින් වෙනස් දෙයක් කියන පිළිගැනීම අපට දැඩි ව තිබිය යුත්තක්. බෞද්ධ බහුතරයක් වෙසෙන අපේ රටේ ආගමික පසුබිම කෙසේ නිර්මාණය විය යුතුදැයි අප විමසා බැලිය යුත්තක්. අන්‍යාගමිකයන් අර්බුධ කරාගොස් විඳින පීඩාකාරී විපාක ගැන හොඳින් අධ්‍යයනය කොට බුද්ධ වචනයට අනුව රටක පැවැත්ම සකසා ගන්නට අපි දැඩිව අදිටන් කරගනිමු. භාග්‍යවතුන් වහන්සේ අපගෙන් අපේක්ෂා කළ උතුම් වූ ධර්මයේ පැවැත්ම අප තුළින් ම ඇතිකරගනිමින් සමගි සම්පන්න රටක් අනාගතයට උරුම වේවා යි අපි ප‍්‍රාර්ථනා කරමු.

සටහන
කාලිංග මහනාම