පෙර ජීවිතවල අනුන්ට ඉරිසියා නොකරපු අය මේ ජීවිතයේදී මහේශාක්‍ය, ආනුභාව සම්පන්න, ප්‍රසිද්ධ අය බවට පත් වෙනවා (මල්ලිකා සූත්‍රය, චූලකම්ම විභංග සූත්‍රය). ඒ නිසා එය පිනක විපාකයක්. ඒ නිසා අනිත් අයගේ සැපයට, දියුණුවට අකමැති බව නම් වූ ඉරිසියාව දුරු කොට අන් අයගේ සැපය කැමතිව දන් දීම, අන් අයගේ කටයුතුවලට උදව් කිරීම, ප්‍රිය වචන කතා කිරීම, පියකරු සිනහවකින් හෝ අන් අයට සංග්‍රහ කිරීම තුළින් අනිත් අය අතර ප්‍රියමනාප කෙනෙක් බවට පත් විය හැකියි.

විශේෂයෙන් ම දන් දීමෙන්, සිල් රැකීමෙන් මේ ජීවිතයේදී ම ලබන ආනිශංසයක් තමයි යහපත් වූ කීර්ති රාවයක් පැතිරීම (සීහ සේනාපති සූත්‍රය). ඒ නිසා දන් දීමත්, සිල් රැකීමත් ආදී ගුණ පුරුදු කළ හැකියි. දවසක් ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා හොඳ නමත්, කීර්තියත් පැතිරෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා සත්‍ය වචන පවසන කෙනා ගැන හොඳ නම කීර්තිය පැතිරෙනවා කියලා (සච්චේන කිත්තිං පප්පෝති). ඊ ළඟට ඇහුවා මිතුරන් ලබා ගන්නේ කොහොමද කියලා, බුදුරජාණන් වහන්සේ වදාළා දන් දීමෙන් මිතුරන් ලබා ගන්න පුළුවන් බව (දදං මිත්තානි ගන්ථති). (ආලවක සූත්‍රය)

මෙවැනි යහපත් ගුණ පුරුදු කිරීමෙන් සමාජයේ කීර්තියක්, ප්‍රසිද්ධ බවක් ලැබිය හැකියි. නමුත් කිසිසේත් මත්පැන් සංග්‍රහ, ඕපාදූප කීම, හිස් වචන කීම, තමා තුළත් – අනුන් තුළත් අකුසල් වැඩෙන දේවල් නො කළ යුතු අතර දුක්ඛිත සසරින් නිදහස් වීමට පින් රැස්කර ගන්නා අදහසින් අන් අයට සංග්‍රහ සත්කාර කිරීම වඩාත් සුදුසු යි.