සුනිල් එදිරිසිංහයන්ගේ, සිත නිවාලන හඬින් ගැයෙනා ගීතයක කොටසක් තමයි මේ…

“ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනි වී එනවා
ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒදඬු මංකඩ තිත්ත පැටව් රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්න ද
පුංචි දෙපා එක තැන රැඳුනා…”

අපේ පාසල් කාලය මෙහෙම අත්දැකීම් අඩු නොවූවක්. එක පොදියට පාසල් ගේට්ටුවෙන් එළියට පනින ළමා රංචුව බොහෝම ඝෝෂාකාරියි. අද වගේ දෙමව්පියන් හෝ රථවාහන හෝ අප ව ගෙනයන්න පාසලේ ගේට්ටුව ළඟට ආවේ නෑ. ගඩා ගෙඩි කකා ලන්ද පුරා කරක් ගසමින් තමයි ඒ කෑ කෝ ගහන නඩය ගෙවල්වලට ගියේ… අද දරුවන්ට ඒ අත්දැකීම නෑ.

සොබාදහමේ දරුවා

මේ දරුදැරියන් අතරේ එක දරුවෙක් නඩයෙන් වෙන් වෙලා තනිවමයි එන්නේ. ගහකොළ සෙලවෙන්නේ ඔහු දිහා බලන්න. බිම්මල් හිනාවෙලා හිස වනන්නේ ඔහුට. තිත්ත පැටව් දන්නවා මේ දරුවාගෙන් උන්ට ගැහැටක් නෑ කියලා. ඔහුගේ සුවඳට තිත්ත පැටව් ඒදඬු මංකඩට එකතු වෙනවා… මේ දරුවා සොබාදහමේ දරුවෙක්.
කලබලකාරී, කලහකාරී මනුෂ්‍ය ස්වභාවයන් ඉක්මවා ගිය – සොබාදහම හා ඒකාත්මික වුණ සංවේදී සිතක් ඔහුට තිබෙනවා. ඔහු මේ පරිසරය කියවනවා. පරිසරය ද ඔහු ව කියවනවා. අද අපේ දරු පරපුරේ මේ උරුමයට මොකද වුණේ? අර කෑ කෝ නඩයේ සාමාජිකයන් වීමත් අහිමි වුණ අපේ දරුවන් තුළ, මේ සොබාදහමේ දරුවෙක් වීමේ උරුමය නොසිඳී ඉතිරි වෙන්න ඉඩක් නැති තරම්…

කථා නොකරන අපේ දරුවෝ…

ඒ විතරක් නෙවෙයි; දරුවන්ගේ සංවේදී භාවයන් කෙරෙහි සැලකිලිමත් නොවීමේ ආදීනවයන් අපට දැන් දැන් අත්දකින්නට ලැබෙනවා…

කුඩා දරුවන්ට ප්‍රතිකාර කරනා වාට්ටුවක මා දන්නා වෛද්‍යවරයෙකු සිටිනවා. රෝගී දරුවන්ටත්, ඔවුන් සමඟ රැඳී සිටිනා වැඩිහිටියන්ටත් වගේ ම කාර්ය මණ්ඩලයටත් මෘදු මොළොක් සැලකීමකින් යුතු අයෙක් විදිහටයි මා ඔහු හඳුනන්නේ…

එක්තරා දවසක දී මට ඔහු කෙනෙකුට තදින් කථා කරනවා අහන්නට ලැබුණා. එය අසාමාන්‍ය සිදුවීමක් වූ නිසා ම යි එයට පසුබිම් වූ කාරණය ගැන මගේ සිත යොමු වුණේ. ඔහු දොස් පැවරුවේ වෛද්‍ය ශිෂ්‍යයෙකුට. එදා ඒ වාට්ටුවේ අධ්‍යයන කටයුතුවල යෙදුණු වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක් එක් කෙනාට එක් එක් රෝගියා බැගින් බාර දී තිබුණේ එම රෝගීන් ව පරීක්ෂා කොට තොරතුරු ලබා ගැනීම පිණිස. වෛද්‍ය ශිෂ්‍යයා රෝගී දරුවාගේ සියලු විස්තර සඳහන් ඇඳ ඉහපත් වාර්තාව වෛද්‍යවරයාගෙන් ඉල්වා තිබුණේ අදාළ තොරතුරු ලබා ගැනීමේ අදහසින්. ඒ හේතුවෙනුයි වෛද්‍යවරයා ඔහුට දෝෂාරෝපණය කළේ…

වෛද්‍ය ශිෂ්‍යාගේ වරද ඔබට තේරුණා ද? රෝගී සත්කාරයේ යෙදෙද්දී රෝගීන් සමඟත්, ඔවුන්ගේ භාරකාරයන් සමඟත් කථාබස් කිරීමෙනුයි මූලික ම තොරතුරු ලබා ගත යුත්තේ. ඕනෑම වෘත්තියක සේවා සැපයීමේ දී සේවාදායකයන් සමඟ කථාබහ කිරීම අනිවාර්යයෙන් ම පුහුණු විය යුතු ගුණාංගයක්. මේ සන්නිවේදන කුසලතාවයන් සම්බන්ධයෙන් අද දරු පරපුරේ ලොකු අඩුවක් තිබෙනවා. ඒ වෛද්‍ය ශිෂ්‍යයා තුළ විද්‍යාමාන වුණේත් එකී අඩුපාඩුව.

හොඳ ම දේ නිසා වුණ නරක ම දේ…

දරුවන්ට හොඳ ම දේ දෙන එක තමයි පසුගිය දශක දෙක තුන පුරා වැඩිහිටියන්ට තිබුණ ඉලක්කය. හොඳ ම කෑමබීම, හොඳ ම ඇඳුම් පැලඳුම්, හොඳ ම පාසල්, හොඳ ම උපකාරක පන්ති… මෙකී නොකී හොඳ ම දේවල් දරුවන්ට දෙන්න දෙමාපියෝ බොහෝ වෙහෙස මහන්සි වුණා. ඒ වෙහෙස මහන්සි වීම තුළ ඔවුන් දරුවන්ගෙන් බලාපොරොත්තු වුණේ එක දෙයක්. පන්තියේ පළමුවෙනියා වෙන එක, විභාගය ඉහළින් ම සමත් වෙන එක, කොටින් ම ඉහළ ම අධ්‍යාපන සුදුසුකම් ලබන එක… ඒ ඉලක්කය වෙනුවෙන් හැල්මේ දුවන ජීවිත තමයි දෙමව්පියන්ටත්, දරුවන්ටත් තිබෙන්නේ. හරියට සතියෙන් දෙකෙන් ලොකුමහත් වෙලා වැඩෙන බ්‍රොයිලර් කුකුල්ලු වගේ… ඒ පරම්පරාවට වැඩිම සම්බන්ධකම් තියෙන්නේ තාක්ෂණික මෙවලම් එක්කයි. සාර්ථක සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඔවුන් දක්ෂ නෑ. පසුගිය කාලයේ සරසවි සිසුන් කිහිපදෙනෙකු දිවිනසා ගත් බව වාර්තා කෙරුණා ඔබටත් මතක ඇති. තවත් අවස්ථාවක සරසවි පෙම්වතුන් යුවළකගෙන් පෙම්වතා පිහියකින් ඇන පෙම්වතිය ඝාතනය කළ බව කියවුණා. මේ ජීවිතවල යම් අඩුවක් ඔබට පෙනෙන්නේ නැද්ද…?

සරසවියේ සමීක්ෂණය

සරසවියක් ආශ්‍රිත ව මේ සම්බන්ධයෙන් කළ සමීක්ෂණයක් ගැන ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියකගෙන් මට අසන්නට ලැබුණා. එහි දී ඔවුන් හොයාගෙන තිබුණේ මෙබඳු කාරණයක්. ‘සරසවි ප්‍රවේශය ලබන බහුතරය සිසුන් පළමු ශ්‍රේණියේ පටන් ම පන්තියේ පළමුවෙනියන්, දෙවෙනියන්, තුන්වෙනියන්… ඔවුන් ශිෂ්‍යත්වය, සාමාන්‍යපෙළ, උසස්පෙළ ඉහළින් ම සමත් වෙලා. ඔවුන් පරාජය දන්නේ නැහැ. ඉතින් සරසවියේ දී විෂයක් අසමත් වුවහොත්, ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටුණහොත්, ප්‍රතික්ෂේප වීමකට ලක් වුණහොත් ඔවුන්ට එය දරා ගැනීමට හැකියාවක් නැහැ. එයින් ඔවුනගේ ජීවිතවල විශාල බිඳ වැටීමක් ඇති වනවා.’

මේ ගැටළුවට ඔවුන් යෝජනා කර තිබුණේ ක්‍රීඩාවලට දරුවන් යොමු කළ යුතුයි කියල යි. විශේෂයෙන් ම සමූහ ක්‍රීඩාවක දී පිරිසක් ලෙස කටයුතු කිරීමේ කුසලතාවය වර්ධනය වීමත්, ජය පරාජය විඳ දරා ගන්නා අයුරු පුහුණු වීමත් සිදු කෙරෙන නිසා කුඩා කාලයේ පටන් ක්‍රීඩාවනට දරුවන් යොමු කිරීම ගැන අවධානය යොමු කළ යුතු බවටයි ඒ සමීක්ෂණයේ දී අවධාරණය කර තිබුණේ.

ගැටළුව එයින් විසඳේවි ද?

ක්‍රීඩා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සමීප අත්දැකීම් මට තිබෙනවා. අද පාසල් මට්ටමේ ක්‍රීඩාවල දී පවා කෙසේ හෝ පාසලේ ජයග්‍රහණය අත්පත් කර ගැනීම ගැනයි පුහුණුකරුවනුත්, ක්‍රීඩකයනුත් සිතන්නේ. ඇතැම් ක්‍රීඩා අනතුරුවල දී, සති දෙකක් අනිවාර්යයෙන් විවේක ගැන්විය යුතු දක්ෂ ක්‍රීඩකයන් ව ඊ ළඟ දිනයේ දී ම පිටියට බසින කෙටිකාලීන ප්‍රතිකාරයනුයි ඒ බොහෝ දෙනා අපේක්ෂා කරන්නේ. යම් යම් ප්‍රතිකාර හරහා ඔවුන් ඊ ළඟ මොහොතේ ම පිටියට බැස්සවිය හැකි නමුත් එයින් ඇතිවන දිගුකාලීන ආබාධයන් ඇතැම් දරුවන් ව දිගින් දිගට ම පිටියෙන් බැහැර කර තබන්නට හේතු වන බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ. පහදා දුන්න ද පිළිගන්නේ ද නැහැ. ඔවුන් දිනුම් පිපාසිතයින්… ඒ විතරක් නෙමෙයි; පාසල් මට්ටමේ ක්‍රීඩා තරගවල දී පවා ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ආබාධයන් ගැන දැනගෙන ඒ ආබාධයන් වැඩි වන අයුරින් උපායශීලී ව පහර දීම්, හදිසි අනතුරු යැයි හැඟවෙන දීන උපක්‍රමයන් භාවිත කෙරෙන බව රහසක් නෙමෙයි. ක්‍රීඩාව තුළින් අපේක්ෂිත මානුෂීය ජීවගුණයත් අද ක්‍රීඩා පිටියේ බොහෝසෙයින් පිරිහීමට ලක්වෙලා…

සුවපත් දරු පරපුරකට දායාදය…!

තරගකාරී බවට ම තල්ලු කරමින් ඔබ විසින් පාලනය කරලනු ලබන ළමා කාලයක අවසානයේ බිහිවන යොවුන් දරුවා අනෙකාගේ දියුණුවට අකුල් හෙළන්නෙක් වීම ගැන, අනෙකාගේ දියුණුවේ දී අසතුටු වීම ගැන, ඔබේ විපතේ දී පවා සංවේදී නොවීම ගැන පුදුම වන්නට එපා… ආගම දහමට, පූජනීය වස්තූන්ට, සංඝයා වහන්සේට ඔවුන් ගරු නොකිරීම ගැන ද නිරාගමිකයන් යැයි කියාගෙන ඔවුන් ලෞකික සම්මා දිට්ඨියෙන් පවා බැහැර වීම ගැන ද පුදුම වන්නට එපා. ඒ වගේ ම, දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක ක්ෂණ සම්පත්තිය ලද දරුවා ව ඒ අසංවේදී බවට ඇද දැමීමට ඔබ ද බොහෝසෙයින් වගකිව යුතු බවත් අමතක කරන්නට එපා. මේ හැල්මේ දුවන ජීවිත තුළ යම් දවසක ඔබේ දරුවන් අසරණ වෙනවා. එදාට ඔවුන්ට පිහිටට උපදවා ගත් ගුණධර්මයක් නොතිබුණොත්; අද ඔබ කම්මුලේ අත් තබාගෙන අසනා ඛේදනීය ප්‍රවෘත්තීන්ගේ නිමිත්ත බවට ඔබේ දරුවන් පත් වීම වළක්වන්නට බැහැ.

දරුවන්ට හරි දේ දෙන්න. හරි ම දේ දෙන්න. මානව වර්ගයාට පමණක් නොවෙයි; ගහට වැලට සතාසීපාවාට පවා දයාමෙත ඇති සංවේදී සිතක් ඔවුන් තුළ පෝෂණය කරන්න. සම්බුදුරජුන්ගේ සදහම් දායාදය ඔවුන්ගේ වටිනා ම උරුමය කරන්න. ඒ සිතැඟි ඇති දරුවන් කවර වෘත්තියක නියැළුණත් ඔවුන් ඔවුන්ගේ සමාජ වගකීම හරියට ම ඉටු කරනවා. සමාජය සුවපත් කරලනවා. ඔවුන් ද සුවපත් වෙනවා. එවැනි දරුවන් බිහි කෙරූ ඔබටත් බොහෝ පින් රැස් වෙනවා…!

සටහන – උදුලා පද්මාවතී