“නන්ද…” සැබවින්ම එය රෞද්‍ර හඬකි. එක්තරා කාලවර්ණ පුරුෂයෙක් අසිපතක් අතැතිව ගර්ජනා කරමින් සිටියි.

වේළුකණ්ඨකී ගමේ කාගේත් සිත් දිනා සිටි ඔහු නමින් ‘නන්ද’ ය.

නන්දගේ නිවසට පැමිණි රාජපුරුෂයෝ ඔහුගේ හිස බැඳි ජටාවෙන් ඇද බිම දැමුවෝ ය. දම්වැලින් දෙඅත් දෙපා බැඳ, නැවත ඔහුව බලහත්කාරයෙන් සිටුවා නිවසෙන් එළියට ම ඇද දමා, ඔවුන් ආක්‍රෝශ පරිභව කරමින්, පොල්ලකින් තලමින් ඉතා ක්‍රෑර ලෙස ඔහුව පෙළයි.

කාගේත් සිත් තුළ ඇති වූයේ දැඩි කම්පාවකි. සිදුවන්නට යන දෙය ඔවුන් නොදන්නවා නොවේ. නොකළ වරදකට දඬුවම් ලැබෙන බව බොහෝ දෙනෙකුගේ මතය විය. ඔහුව රැගෙන යන්නේ දඟගෙයට ය. පයින් යා යුතු, ඉතා දුර ඒ ගමන ද ඉතා වෙහෙසකර වනු ඇත.

නන්ද නොපෙනී යන තුරු කඳුළු පිරි නෙත් දල්වා, විස්සෝපයට පත් වූවෝ බලා සිටියහ. වේළුකණ්ඨකී ගමට ඉතා සෙමෙන් ඒ රැය ගෙවී ගියා සේ ය. හිමිදිරි උදයේ ම සවනත වැකුනේ හද සසල කරවන පුවතකි.

“දහසක් වද දීලා, හිස ගසා දමා මරා දමලා.”

නන්දගේ නිවස වෙත දිව ආ ඔහුගේ මිතුරෙක් හැඬූ කඳුළින් පැවසුවේ ය. තම සහෘදයාගේ වියෝව දරාගත නොහැකිව උපන් බලවත් ශෝකයෙන් ඔහුට සිහි උපදවාගත නොහැක්කා සේ ය. නිවසේ සේවක පුරුෂයෝ පවා සොවින් හිස අත් බැඳ හඬා වැටුණෝ ය.

සිදුවන සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටින ඈ… නන්දගේ මෑණියන් ය. ‘නන්දමාතා’ නමින් සියල්ලෝ ඇයව ඇමතූහ. තමාට සිටි එක ම ප්‍රියමනාප පුතුව සෙනෙහසින් රැක බලාගත් අයුරු ඇයට සිහි විය. දස මසක් කුසෙහි දරාගෙන හිඳ, කිරි පොවා, උරහිසෙහි හොවා ඇතිදැඩි කර, ඉමහත් ආදරයෙන් ඔහු ව පෝෂණය කොට රැකබලා ගත්තේ ඈ ය. එනමුදු ඇයගේ මුව මඬලෙහි වෙනසක් නැත. ඒ දීප්තිමත් දෙනෙත් තුළ පැතිර තිබුණේ විරාගයයි. ඇයගේ ඉරියව් ඉතා ශාන්ත ය.

තමාගේ එක ම ප්‍රියමනාප පුතු, රාජපුරුෂයන් විසින් අල්ලාගත් වේලාවෙහි හෝ යදමින් බඳිනු ලැබූ වෙලාවේ හෝ දැඩි වධ බන්ධන ලබාදුන් වේලාවෙහි හෝ මරණයට පත් කළ පසු හෝ ඈ කම්පා නොවූවා ය. නොහැඬුවා ය. සුසුම් නොහෙළුවා ය. ඈ සිය හද තෙරපාගෙන දුක ඉවසනවා ද නොවේ. ඒ සිත අචල ය.

‘ප්‍රියමනාප දේ වෙනස් වී යන විට සිහි උපදවා ගත නොහැකිව, දුක් විඳින මිනිසුන් අතර, තම කුසින් උපන් එකම ප්‍රියමනාප පුතු වෙන් වී ගිය කල්හි ඒ මව්ගේ සිතෙහි වෙනසක් ඇති නොවී ය’ යන කරුණ ඒකාන්තයෙන් ම අද්භූතයකි! තමන්ගේ ජීවිතයෙහි සිදුවන කිසියම් ම කරුණක් අරභයා නොසැලෙන අකම්පිත සිතක් උපදවා ගනිමින්, බුදු සසුනෙන් ඇය ලැබූ ලාභය නම් සුළු දෙයක් නොවේ!

වෙනස්වන ලෝ දහම ලොවට ම අභියෝගයකි. අපටත් ඒ ලෝ දහම අබියස අකම්පිත ව සිටිය හැකි ද? ඒ අභියෝගය ජයගත්, ඒ අභියෝගය ජයගන්නා මග විවර කළ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ධර්මය මඳක් විමසා බලමු.

මේ කඨෝර සංසාර චාරිකාවේ ඔබත් මමත් ගෙවා ආ දුර අතිශයින් දීර්ඝ ය. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා සේක. “පින්වත් මහණෙනි, මේ සා දීර්ඝ කාලයක් තුළ යමෙක් පුතෙක් නොවූයේ නම් එබඳු එක ම සත්වයෙක් සොයා ගැනීම ලෙහෙසි නෑ. පින්වත් මහණෙනි, මේ සා දීර්ඝ කාලයක් තුළ යමෙක් දුවක නොවූයේ නම් එබඳු එකම සත්වයෙක් සොයා ගැනීම ලේසි නෑ.”

සසර පුරාවට ගණනින් නිම කළ නොහැකි දරුවන් කොතරම් ලැබුණ ද ඒ කිසිවකු අද අප ළඟ නැත. එදා සෙනෙහසින් සිප වැළඳ ගත්, ආදරයෙන් හොවාගත් එකම පුතකු හෝ එකම දුවක හෝ අද අප ළඟ නැත. සියලු දෙනා අපට අහිමි වී ගොසින් ය. එසේනම් අද අප ළඟින් සිටින, අපගේ ප්‍රියමනාප දුවගෙන්, පුතාගෙන් වෙන්වන්නට සිදු වන දිනය ඒකාන්තයෙන් ම උදාවනු ඇත.

පුද්ගලයෙකු මෙලොව අතහැර පරලොව යන විට, ඔහුගේ වියෝව හේතුවෙන් මෙලොව ඔහු සමඟ ගත කළ අය බොහෝ දුක් විඳිත්. ප්‍රිය විප්පයෝගය නිසාත්, අප්‍රිය සම්ප්‍රයෝගය නිසාත් අපගේ නෙතින් ගලා ගිය කඳුළු මෙපමණකැයි කිව නොහැකි ය.

අතැඹුලක් සේ ලොව දකින අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ, අපට සිහි කර ගත නොහැකි අපගේ සාංසාරික කතන්දරයේ, අප නෙතින් වෑහුණු කඳුළු ගැන මේ ආකාරයෙන් පෙන්වා වදාළ සේක.

“පින්වත් මහණෙනි, බොහෝ කලක් මුළුල්ලේ ඔබ විසින් පුතා මිය ගිය දුක විඳලා තියෙනවා. පුතා මිය ගිය දුක විඳින ඔබ විසින් අමනාප දේ සමඟ එක් වීමෙනුත්, මනාප දෙයින් වෙන් වීමෙනුත් හඬද්දී වැළපෙද්දී ඔබ නෙතින් වෑහුන, වැගිරුණ යම් කඳුළක් වේ නම් ඒ කඳුළුමයි ඉතාමත් වැඩි. සතර මහා සාගරයේ ජලය නම් නොවේ.”

සතර මහා සාගරයේ ජලය පරයන්න නෙතින් කඳුළු ගලා ගිය ද දුකෙහි අඩුවක් නැත. ඇඬුමෙහි නිමාවක් ද නැත.

ජීවිතය හමුවන වාරයක් පාසා මරණය ද නිතැතින් ම හමු වේ. එසේ නම් ප්‍රිය විප්පයෝග දුකට මුහුණ දිය යුතු වන්නේ ම ය. ප්‍රිය විප්පයෝග දුක නිසැකවම දරාගත යුතු වන්නේ ම ය.

සතර මහා සාගරයේ දිය පරදමින් සසරේදී නෙතින් වෑහුනු කඳුළිනුත්, සියලු දුකිනුත් සදහට ම මිදුණු අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ ද වදාළ සේක.

“යම් දුකක් උපදිනවා නම් ඒ සෑම දුකක් ම ආශාව (ඡන්දරාගය) මුල් කොටයි තියෙන්නේ.”

කෙතරම් ආශ්චර්යවත් ධර්මයක් ද?

වර්තමානයේ යම් කිසි දුකක් ඉපදුණා නම්, ඒ සෑම දුකකට ම කැමැත්ත මුල් විය. අතීත කාලයේ යම්කිසි දුකක් ඉපදුණා නම් ඒ සෑම දුකකටමත් කැමැත්ත ම ය මුල් වුණේ. අනාගත කාලයෙහි යම් කිසි දුකක් උපදිනවා නම්, ඒ සෑම දුකකට ම කැමැත්ත මුල් වෙයි. කොයිතරම් සුභාෂිතයක් ද?

දුකත්, දුකට හේතුවත් ප්‍රඥාවෙන් අවබෝධ කළ අපගේ බුදුරජාණන් වහන්සේ, අප කෙරෙහි උපන් මහා කරුණාවෙන් දුක් නැති අමා මහ නිවන ලබාගන්නා මඟ අවබෝධයෙන්ම දේශනා කොට වදාළ සේක.

පින්වත් දෙවි මිනිසුන්ට නුවණින් විමසන්නට, සත්‍ය වූ දෙයක් ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේනමක් නිසා ම යි!

බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසේන වා ගහට්ඨේන වා පබ්බජිතේන වා.”

“මා හට ප්‍රියමනාප වූ සෑම දෙයක් කෙරෙන් ම වෙනස් වීමකට පත් වන්නේය, වෙන් වීමකට පත් වන්නේ යැයි ස්ත්‍රියක වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙක් විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ ය.”

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය කථන මාත්‍රයකින්, ශ්‍රවණ මාත්‍රයකින් අවසන් වන දෙයක් නොවේ. නුවණින් නිතර නිතර මෙනෙහි කොට, සොඳුරු ප්‍රතිඵල ලබාගත හැකි සොඳුරු දහමකි.

ප්‍රියයන්ගෙන් වෙන් වීම පිළිබඳව නිතර මෙනෙහි කරන්නේ නම්, ප්‍රිය වූ දේ කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇද්ද, එය මුළුමනින් ම හෝ නැති වී යයි. නැතහොත් තුනී හෝ වෙයි.

‘ප්‍රියමනාප සෑම දෙයින්ම වෙන්වන්නට සිදු වන්නේ ය’ යන කරුණ නිතර නිතර සිහි කළ පමණින් ඡන්ද රාගය දුරු වන්නේ ය යන කරුණ ඒකාන්තයෙන් ම අසිරිමත් ය!

“මහණෙනි, ඒ ආර්ය ශ්‍රාවකයා මෙසේ ද නුවණින් සිහි කරයි.

‘මා හට පමණක් නොවේ, යම්තාක් සත්වයන් ඇද්ද ඒ සියලු සත්වයන් හට ප්‍රියමනාප සියලු දෙයින් වෙන්වන්නට සිදු වන්නේ ය.’ යන මෙකරුණ නිතර නුවණින් මෙනෙහි කරන කල්හි ඔහුට ලොව්තුරු මාර්ගය උපදින්නේ ය. හේ ඒ මාර්ගය සේවනය කරයි. භාවිත කරයි. බහුල වශයෙන් ප්‍රගුණ කරයි. එවිට ඔහුගේ සංයෝජනයෝ ප්‍රහාණය වී යති. කෙලෙස් අනුසයෝ නැති වී යති.”

මහත් අසිරියෙකි! සෝක වැළපීම්, දුක් දොම්නස් උරුමකර ගත් සත්වයෝ, කල්‍යාණමිත්‍ර වූ, බුදුරජාණන් වහන්සේ වදාළ අයුරින් නුවණ මෙහෙයවා ඒ දුකින් නිදහස් වෙති.

බුදුරජාණන් වහන්සේ කුමක් වදාළ සේක්දැයි ඒ අයුරින් ම දැන ගැනීමේ වාසනාව ලැබුණ අපට, ඒ ධර්මය නිතර නිතර නුවණින් මෙනෙහි කොට, ප්‍රිය විප්පයෝග දුකිනුත්, සියලු දුකිනුත් නිදහස්ව ශාන්ත අමා මහ නිවනින් සැනසෙන්නට වාසනාව ලැබේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.