සුභාෂිත – දුර්භාෂිත දෙවදන්හි අරුත් නොදන්නා ලෝකයෙහි අවිදු අඳුර දුරු කරමින් සම්බුදු හිරු මඬල ලොව පහළ වී වදාළ සේක. පුන්සඳ වන් ඒ සම්බුදුරජුන්ගේ පහළ වීමත් සමග තාරුකා එළි බඳු මිසදිටු බල බිඳ වැටින.

එයින් උරණ වූ, ලාභ සත්කාර සාරය කරගත් මිසදිටුවෝ බුදු සමිඳුන් හට නින්දා ගැරහුම් කරන්නට අනේක වෙහෙස දැරූහ. එනමුත් එලෙසින් ගත් සියලු උත්සාහ ව්‍යර්ථ විය. චිංචි මානවිකාවගේ දරමිටිය මීයෙක් කැපී ය. සුන්දරී පරිබ්‍රාජිකාව මළවුන් අතරට යැවීමේ වරද උඩු සුළඟට ගැසූ දූවිලි සෙයින් මිසදිටුවන් කරා ම පෙරලා ආයේ ය.

මේ වන විට බුදුරජුන් සමීපයේ ම පැවිදි වූ දේවදත්ත ද බුදුරජුන් හට ද්‍රෝහිකම් කරන්නට පටන් ගෙන තිබුණි. එනමුදු ඒ සියල්ල මැණිකක් ඔප දමන කලක මෙන් සම්බුදු ගුණ බබුළුවන්නට හේතු විය. අඥාන දේවදත්ත නම් යළි පිළියම් කළ නොහැකි පරිද්දෙන් ම වැනසී ගියේ ය. අන් කිසිවෙකුට එවන් විපතක් නොවීම පිණිස බුදු සමිඳාණෝ මහා කාරුණික සිතින් දෙව්දත්ට වුණු විපත ගැන දහම් දෙසූ සේක.

නිවටුන්ගේ නිවට සිතිවිලි.

අනාථ ශාස්තෘවරයෙක් වූ නිගණ්ඨ නාතපුත්‍ර හට සිව් වසක තමන්ගේ උත්සාහය සඵල වන සැටියක් දැනුණි. සිව්වසක් පුරා බුදුරජුන් පරදන මගක් සොයමින් සිටි මිසදිටුවන්ගේ ප්‍රමුඛයෙක් වූ ඔහුට අපූරු තොරතුරක් ලැබුණි. එනම්, බුදුරජාණන් වහන්සේ දේවදත්තයන් ඒකාන්ත කොට නිරයේ උපදින බව වදහළ බවයි.

බුදුරජුන් පරදන්නට සුදුසු ඇමක් ලැබුණා යැයි පිනා ගිය ඔහුට, ඊට සුදුසු බිලීපිත්ත බඳු වූ අභය රාජකුමරු නුදුරේම පැමිණෙමින් සිටිනු දකින්න ලැබුණි. නිගණ්ඨ නාතපුත්‍රගේ නිරුවත ගැන තදින් ම සිත පහදවාගෙන සිටි අභය රාජකුමරුට ඔහුගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

“ප්‍රිය රාජකුමාරය එන්න. මහානුභාව සම්පන්න ශ්‍රමණ භවත් ගෞතමයන් පරදා කීර්තියේ ඔටුනු පලඳන හැටි මම ඔබට පවසන්නම්.”

විශ්මයට පත් දෙනෙතින් යුතුව බලා සිටිනා අභය රාජකුමරුට ඔහු තම සැලසුම පවසන්නට විය.

“රාජකුමාරය, මෙච්චරයි කරන්න තියෙන්නේ. ශ්‍රමණ ගෞතමයන් ළඟට ගිහින් මෙහෙම අහන්න ඕන. ‘ඔබවහන්සේ අන්‍යයන්ට අප්‍රිය, අමනාප වචන පවසනවා ද?’

එතකොට ශ්‍රමණ ගෞතමයෝ එක්කො මෙහෙම කියාවි, ‘රාජකුමාරය, යම් වචනයක් අන්‍යයන් හට අප්‍රිය අමනාප ද ඒ වචන තථාගතයන් වහන්සේ වුණත් පවසන්න පුළුවනි.’ එහෙම කිව්ව ගමන් මේකයි කියන්න තියෙන්නේ. ‘එහෙම නම් ස්වාමීනි, පෘථග්ජනයයි ඔබවහන්සේයි අතර වෙනසක් නෑනේ.’ කියල.”

කුල්මත් වූ දෙනෙතින් යුතු ඔහු තම හඬ තව තවත් තීව්‍ර කරමින් අභය රාජකුමරුට තවදුරටත් සැලසුම දිග හැරියේ ය.

“නැත්නම් ශ්‍රමණ ගෞතමයෝ මෙහෙම පිළිතුරු දුන්නොත්; ‘රාජකුමාරය, යම් වදනක් අන්‍යයන් හට අප්‍රිය අමනාප ද ඒ වදන් තථාගතයන් වහන්සේ නොවදාරයි.’ කියලා, එතකොට එහෙම ම කියන්න තියෙන්නේ, ‘ඔබවහන්සේ දේවදත්ත නිරයේ යනවා කියල පවසලා තියෙන්නේ, ඒක දේවදත්තට ප්‍රියමනාප වදනක් නෙවෙයිනේ.’ කියල.”

දිනූ සටන් ඇත්තෙකු සෙයින් සිනාසුණු ඔහු ඒ සිනහවෙන්ම යළි හඬ අවදි කළේ ය.

“රාජකුමාරය, ඔය උභතෝකෝටික පැනය නම්… ශ්‍රමණ ගෞතමයන්ට උගුරේ හිර වුණු යකඩ ගුලියක් වගේ තියෙයි.

ගිලගන්ටත් බෑ, වමාරන්ටත් බෑ.”

‘තමන්ට ලැබුණේ කීර්තියේ කිරුළ පලඳවන ශ්‍රේෂ්ඨ වාදයෙකි’ යි ඔද වැඩුණු සිත් ඇති අභයරාජ කුමරු ද නිගණ්ඨ නාතපුත්‍රයන් ආදරයෙන් පැදකුණු කොට වන්දනා කර භාග්‍යවතුන් වහන්සේ සොයා වේළුවනාරාමයට පිටත්ව ගියේ ය.

වාදයට පෙර සූදානමක්

මහත් සඟ පිරිසක් ඇති තැනක භාග්‍යවතුන් වහන්සේ සමග වාද කරන්නට බිය වූ අභය රාජකුමරු, තම සමීපයට බුදු සමිඳුන් වඩමවා ගැනීමට නුවණක් සිතී ය- ඒ අනුව ඔහු බුදුරජුන් හට තවත් භික්ෂූන් තුන්නමක් සමග පසු දිනට තම රජ මැදුරට දනට වැඩීමට ආරාධනා කළේ ය.

බුදුරදුන් ඇරයුම පිළිගත් බව දැන රජමැදුරට පැමිණි හෙතෙම දානය පිළියෙල කිරීමට සේවකයන් හට භාර දී වාදය සඳහා සූදානම් විය.

බුදුරජාණන් වහන්සේ තුන්නමක් ස්වාමීන් වහන්සේලා සමග දනට වැඩ දන් වළඳා අවසන් වූ නමුදු, වාදය ඇරඹීමට ඔහු තුළ වූයේ බලවත් චකිතයකි. චකිතය මැඩලීමට ඔහුට අපූරු නුවණක් පහළ විය.

‘හා… මේ බිළිඳු දරුවා සමග වාඩි වුණොත් නම් මට බේරුමක් තියෙනවා. වාදයෙන් මම පරදින්න ගියොත් දරුවට කොනිත්තලා අඬවන්න බැරියැ. ඊටපස්සෙ දරුව පිට දාලා නැගිටලා යන්නනේ තියෙන්නේ.’

එලෙසින් සිතා සිඟිති දරුවා සමග මිටි අසුනක හිඳ ගත් ඔහු වාදයට මුල පිරී ය.

ලත් තැන ම ලොප් වාදය

“ස්වාමීනී, යම් වචනයක් අන්‍යයන්ට අප්‍රිය අමනාප ද ඒ වචන තථාගතයන් වහන්සේ පවසනවා ද?” සම්බුදු මුව මඬලින් බ්‍රහ්මස්වරය විහිදුණි.

“රාජකුමාරය, ඔය ප්‍රශ්නයට එක එල්ලේම ලබා දිය හැකි පිළිතුරක් නැහැ.”

නිගණ්ඨ නාතපුත්‍රගේ වාදය මොහොතකින් නිරුවත් කොට දැමූ එම වදනින් මවිතයට පත් වූ අභය රාජකුමරුගේ මුවින් නොදැනුවත්වම මෙවදන් පිට වුණි.

“ස්වාමීනි, මේ කාරණය නිසා නිගණ්ඨයෝ නැසුණා, නිගණ්ඨයෝ නැසුණා.”

නිගණ්ඨ නාතපුත්‍ර සමගින් නිසරු වාදය ගොඩනැගූ අයුරු හෙළි කළ අභය රාජකුමරුන්ට මහා කාරුණිකයන් වහන්සේ දහම් දෙසූ සේක.

බුදු සමිඳුගේ අසිරිමත් උපමා

“රාජකුමාරය, ඔය උකුලේ ඉන්න ඔබේ ප්‍රියමනාප දරුවා ඔබේ හරි, කිරි මව්වරුන්ගේ හරි, ප්‍රමාදයකින් ලී කැබැල්ලක් වැනි දෙයක් ගිල දැම්මොත් ඔබ මොකද කරන්නේ?”

“ස්වාමීනී, දරුවා හඬද්දී වුණත් මම ඒ ලී කැබැල්ල ඉවත් කරනවා. පහසුවෙන් ඉවත් කරන්න බැරිවුණොත්, වම් අතින් දරුවගේ හිස තදින් අල්ල ගන්නවා. දකුණතේ ඇඟිල්ල වක් කරලා කට ඇතුළට දාලා, ලේ ගලද්දී වුණත් ඒ ලී කැබැල්ල ඉවත් කරනවා. බිළිඳු දරුවාට අනුකම්පාවෙන්මයි එහෙම කරන්නේ.”

මහා කරුණාවෙන් පිරී ඉතිරී ගිය හද මඬලකින් යුතුව වැඩ සිටි බුදු සමිඳුන් තුළ ඇත්තේ තුන්ලොව කෙරෙහි ම උත්තරීතර කරුණාවකි. ඒ කරුණාභරිත හද මඬලින් නැගෙන සුභාෂිත වදන් මේ අයුරු බව තථාගතයන් වහන්සේ ම අභයරාජ කුමාරයාට දේශනා කළ සේක.

1.) තථාගතයන් වහන්සේ යම් සිදුනොවුණු අසත්‍ය වූ බසක් වේ ද එයින් යහපතක් නොවන බව දනී ද අන් අයට අප්‍රිය අමනාප ද වේ ද එවැනි බස් ද තථාගතයන් වහන්සේ නොපවසන සේක.

2). තථාගතයන් වහන්සේ යම් සිදුවුණු සත්‍ය වූ බසක් වේ ද එයින් යහපතක් නොවන බව දනී ද අන් අයට එම වචන අප්‍රිය අමනාප ද වේ ද එවැනි බස් ද තථාගතයන් වහන්සේ නොපවසන සේක.

3). යම් සිදු වුණු, සත්‍ය වූ, යහපත සලසන බසක් වේ ද අන් අයට අප්‍රිය අමනාප වූව ද එවැනි බස් තථාගතයන් වහන්සේ සුදුසු කල්හි පවසන සේක.

4.) යම් සිදු නොවුණු, අසත්‍ය වූ බසක් වේ ද එයින් අයහපත සලසන්නේ වේ ද එය අන් අයට ප්‍රියමනාප වූව ද තථාගතයන් වහන්සේ එවැනි බස් නොපවසන සේක.

5). යම් සිදුවුණු සත්‍ය වූ බසක් වේ ද එයින් යහපතක් නොවන බව දනී ද එය අන් අයට ප්‍රියමනාප ද වේ ද එවැනි බස් ද තථාගතයන් වහන්සේ නොපවසන සේක.

6). යම් වදනක් සිදුවුණු සත්‍ය වූ යහපත සලසන වදනක් වේ ද එය අන් අයට ප්‍රියමනාප වූව ද එවැනි බස් තථාගතයන් වහන්සේ සුදුසු කල්හි පවසන සේක.

බුදුරජාණන් වහන්සේ පෙරුම් දම් පුරන බෝසත් අවදියේ පටන්ම කිසි කලෙක මුසාබස් නොදෙසූ සේක. ලොව්තුරා සම්බුදු පියාණන් වහන්සේ අයහපත සලසන, අරුත් නැති වදන් දොඩමින් කාලය කා නොදැමූ සේක. සත්‍ය වූ, අරුතින් පිරි, යහපත සලසන සුභාෂිත වදන් අන් අයට ප්‍රියමනාප වූව ද නොවූව ද සුදුසු කල්හි ම දෙසමින් ලෝකයට සෙත සැලසූ සේක.

ඒ සුභාෂිත වදනින් හිත පහදවාගත් අභයරාජ කුමරු ද තිසරණ සරණ ගියේ ය.

අපට ද සුභාෂිත වදනින් පිරිපුන් සම්බුදු සසුනෙහි පිහිට ලැබීමට වාසනාව උදා වේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.