සජීව, අජීව දේවල්හි නොසිතූ විරූ වෙනස්වීම් අත්දකින්නට සිදු වීම හුදෙක් කිහිප දෙනෙකුගේ විරල අත්දැකීමක් නොව සියලු දෙනා ම පාහේ සෑම කල්හිම මුහුණ දෙන සුලබ අත්දැකීමකි. එහෙත්, ඒ වෙනස්වීම් එකිනෙකාට පුද්ගලික ව බලපානා ආකාරයන් වෙනස් බැවින් ඒවා අරබයා සිතෙහි හටගන්නා කම්පනයන් ද එකිනෙකාගෙන් වෙනස් වේ. සැබැවින් ම එහිලා සිදුවීම්වල විවිධත්වයකට වඩා පුද්ගලික ප්‍රතිචාරයන්හි විවිධත්වයක් ප්‍රකටව දක්නට ලැබේ. එකම සිදුවීම අරබයා එකිනෙකාගේ වෙනස් ප්‍රතිචාරයන් ඇති බවක් දිස් වන්නේ එනිසාවෙනි. ඒ අර්ථයෙන් මෙය තනි තනිව සලකා බැලිය යුතු, තනි තනිව පිළියම් යෙදිය යුතු තත්ත්වයකි.

මහා ජන ප්‍රසාදයක් ලබමින්, ජනහිතකාමී පාලකයන් ලෙස ලෝකයක් ඉදිරියේ පිදුම් ලැබූ නායක නායිකාවන් පසුකාලීන ව ජන අප්‍රසාදයට පත්ව ගැරහුම් ලබන අයුරු අප අත්දැක තිබේ. ලෝකයම නතු කර ගත්, ලෝක ආර්ථිකය හැසිරවීමෙහිලා තීරණාත්මක සාධකයන් බවට පත් වූ මහා ධන කුවේරයන් පසුකාලීන ව අතිශය දුක්ඛිත, දිළිඳු භාවයන්ට පත් වෙමින් – ඇතැම්විට සිරබත් කන්නට පවා සිදු වෙමින් පිරිහී ගිය බව ද අප අසා දැක තිබේ. තමන්ට පිදුම් කළ, තමන් ඉදිරියේ යැදීම් කළ ලෝකය මෙලෙස තමන්ගේ ම හිස මත කඩාවැටීම අපගේ ජීවිත තුළ ද කලින් කල ප්‍රකට වන බව අප තේරුම් ගත යුතු ය.

ගුණ කී, පැසසූ, ගෞරවයෙන් යුතු ව අප කෙරෙහි හැසිරුනු පිරිස් පසු කලෙක නින්දා කරමින්, අවමන් කරමින්, ගරහන බව අත්නොවිඳි අය ඇතැයි සිතිය නොහැකි තරමට මිනිස් සිත්සතන්හි වෙනස් වී යන ස්වභාවය බොහෝසෙයින් ප්‍රකට ය. එසේ වහා වෙනස් වී යන සිතක් සිතක් පාසා අප ද සසල වන්නට ගියහොත් සසැලීම හැර අන් යමක් අපට ලද නොහැකි ය.

කිසිදු නුගුණක් නොවූ, පරසිත් දක්නා වූ දෙවි බඹුනට වුව නුගුණක නිමිත්තකින්වත් චෝදනා කළ නොහැකි වූ, නිකෙලෙස් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පවා ලෝකයා නින්දා නොකළෝ ද? පුණ්‍ය මූර්තියක් වූ, ගුණ ආකරයක් වූ සම්බුදුරජාණන් වහන්සේලාට පවා ගැරහීම් සිදු වූයේ නම් අල්ප වූ පින් ඇති, අල්ප වූ ගුණ ඇති අප කෙරෙහි ගැරහීම් සිදු වීම ගැන කවර කතා ද?

අප ආදරයෙන් ඇසුරු කරන ලෝකය මේ වහා පෙරළී යන ස්වභාවයෙන් යුතු වූවක් ම බව අප තේරුම් ගත යුතු ය. නින්දා ගැරහුම් වේශයෙන්, පිරිවරෙහි හිස් වීමෙන්, බොහෝ අලාභයන් සිදු වීමෙන්, දුක් ඉපදීමෙන් (පමණක් නොව ප්‍රශංසා වේශයෙන්, යස පිරිවර එක් වීමෙන්, ලාභයන් සිදු වීමෙන්, සැපවත් භාවයන් ඉපදීමෙන්) යන සියලු ආකාරයන්ගෙන් ලෝකය හිස මත කඩා වැටෙද්දී නුවණැත්තන් කළ යුත්තේ හිස පසෙකට ගැනීම ය. එසේ නොමැතිව කඩා වැටෙන ලෝකයට හිස දී සිටියහොත් සිදු වන්නේ එයට යට වී විනාශ වීමටය.

සැබැවින් ම අප වඩාත් සැලකිලිමත් විය යුත්තේ සෙසු ලෝකයා අප කෙරෙහි දක්වන ආකල්පය ගැන නොවේ; නුවණැති සත්පුරුෂයන් අප කෙරෙහි දක්වන ආකල්පය ගැන ය. අප සිතින්, කයින්, වචනයෙන් කරන ක්‍රියාවන් නුවණැති සත්පුරුෂයන් විසින් පසසන්නක් ද ගරහන්නක් ද යන්න අපේ හැසිරීම මත බලපාන ප්‍රධාන නිර්ණායකය වන්නේ නම් කෙලෙසුන්ගෙන් ගහන මුළු ලෝකය ම හිස මත කඩා වැටෙන්නේ වුව ද අපට අප ව රැකගන්නට බැරිකමක් නැත. එනිසා, අද පසසන ලෝකය හෙට ගරහාවි යැයි ද අද ගරහන ලෝකය හෙට පසසාවි යැයි ද සිතා, එය දැනගෙන ලෝකය හා එක් නොවී වාසය කළ යුතු ය. ලෝකාමිසය අත්හරිමින්, සසරින් නිදහස් වීම පිණිස ම කුසල් දහම් සම්පාදනය කළ යුතු ය.